බැඳුම්කරයේ සුද්දවන්ත රනිල්

කොළේ ඉරාගෙන ඇෙඟ් හලාගෙන සිටින අය ගැන ජනාධිපතිවරයා කීවේ ගිය සතියේය. ඔහු නොකියා කීවේ අගමැති රනිල් ගැනය. රනිල් කොළේ ඉරාගෙන බව ජනාධිපති මෛත්‍රී දැනගත්තේ ඊයේ පෙරේදා විය හැකිය. ඒත් මේ රටේ ඕනෑම දේකට මුහුණ දී කෙළින් ක්‍රියා කරන මිනිසුන් ඒ බව දන්නේ 2015 ජනවාරි, පෙබරවාරිවල සිටය. එයට පෙර රනිල් සම්බන්ධව 1977 සිට දිගු ඉතිහාසයක් ද තිබෙන්නේය. දේශපාලනයේ දී ප්‍රගතියේ දිසාවට වෙනස් වීම සඳහා තිබෙන අවකාශ කිසිවක් රනිල් ප්‍රයෝජනයට නොගන්නා බව අපට තේරුම් ගියේ 2015 ජතවාරි 09 වෙනිදා අලුයම මහින්ද හමු වීමට ගිය ගමනේදීය.
මෙරට අංක එකේ මූල්‍ය ජාවාරම්කාරයෙකු සේ ප්‍රකට තිරුකුමාර් නඩේසන් කැටිව ගියේ අලුයම සොහොන් පිටිවල හොල්මන්වලට බයේ නොවේය. පරාජිත රාජපක්ෂ පවුල් පාලනය සමඟ ගනුදෙනු බේරා ගැනීමටය. යුද්ධයට මුවා කර වැසි වස්සවා තිබූ කළු සල්ලි එක පැත්තකය. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ තිබූ වත්කම්වලට සුද්දය දුන් සල්ලි තවත් පැත්තක වැහි වැහැලා තිබුණේය. කේ. පී. සතුව තිබූ සල්ලි තවත් පැත්තකය. මේ හැම දේකටම වඩා 2009 මැයි මාසයේ යුද්ධය නිම කිරීමෙන් පසුව කොළඹ කොටස් වෙළෙඳපොළ හරහා ගේම් ගසා උපයා ගත් කළු සල්ලි තවත් පැත්තකය. දේශප්‍රේමය පෙන්නා මිනිසුන්ගේ දේපළ කොල්ලකෑමෙන් ගත් කළු සල්ලි තව පැත්තකය.
මේ ආදී වශයෙන් කළු සල්ලි වැහි වැහැලා තිබූ තරම රනිල් දැනගෙන නොසිටියා නොවෙයි. තිරුකුමාර් නඩේසන් සමඟ මහින්ද හමු වීමට යන්නේ මේ කළු සල්ලි දෙගොඩ තලා ගිය තරම හොඳින් දැනගෙනය. සිව් වරක් අගමැති ධුරය දැරූ ලෝක වාර්තාව පිහිටුවා සිව් වසරකට පා තැබීමේ සූදානම පවතින්නේ මේ පසුබිම තුළය. රාජපක්ෂ පවුල් පාලන සමයේ කළ මහා වංචා, දූෂණ ඇතුළු මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් එවක දී ‘චෝදනා තිබුණාට ඔප්පු කරන්න සාක්ෂි නැහැ.’ ආදී වශයෙන් කියූ මහා ඔස්තාද්ලා ලෙස පත්තර ලෝකයේ පෙනී සිටින අය රාජපක්ෂ පාලනයේ අවසාන සමයේ චෝදනා එල්ල කළ ආකාරය මතකය. දැන් රනිල් අගමැති සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ ද එවැනිම පිළිවෙතක්ය.
‘මිස්ටර් ක්ලීන්’ යනුවෙන් පටබැඳ තිබූ නම ඉරාගෙන ඇෙඟ් හලාගෙන තිබුණ ද, කිසිත් නොදැක්කා සේ සිටීමට වගබලාගෙන සිටීම එසේ නොවේ නම් ආරම්භයේ පටන්ම රනිල් වික්‍රමසිංහගේ ‘යහපාලනය’ ජනතා අභිලාෂය රාජපක්ෂ සහ ඒ වටේ සිටින උන් සමඟ ඩීල්්වලින් වසුරු ගොඩට හෙළන ආකාරය හොඳින් දැකිය යුතුව තිබිණි. 2015 පෙබරවාරි 27 වෙනිදා සිදු කළ බැඳුම්කර මහ කොල්ලය පිළිබඳව දැකිය හැකිව තිබිණි. එක්නැලිගොඩ
ඝාතනය තාජුඩීන් ඝාතනය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධ අපරාධවල ඇත්ත වගකිව යුත්තන් නීතිය හමුවට ඉදිරිපත් කළ යුතුව තිබිණි. සල්ලි සහ දේපළ කප්පම් ගැනීමට සිදු කළ සමූහ ඝාතනවලට වගකිව යුතු මූලිකයන් නීතිය හමුවට ඉදිරිපත් කිරීමේ හැකියාව තිබිණි. වැලිකඩ මහා මනුෂ්‍ය සංහාරය කළඋන් නීතිය හමුවට ඉදිරිපත් කළ යුතුව තිබිණි. මේ ආදී අපරාධ වැලක් සම්බන්ධ රාජපක‍ෂ පාලනයේ ඇත්ත අළුගෝසුවන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුව තිබිණි.
රාජපක්ෂ පවුල් පාලනය පරාජය කළ පසු අතේ මාට්ටු වූ නීති විරෝධී ක්‍රියා සහ අපරාධ සම්බන්ධයෙන් හෝ නීතිය ක්‍රියාත්මක නොකිරීමෙන් ප්‍රධාන වගඋත්තරකරුවා කොළේ ඉරා ගත්ත අගමැති රනිල්ය. නිදර්ශනයක් වශයෙන් වීරවංස දැක්විය හැකිය. වීරවංසගේ පමණක් නොව වීරවංස ඇඹේනියගේ හොර පාස්පෝට්, ජාතික හැඳුනුම්පත්, මගඩි ආදියේ දී පමණක් නොව නිවස තුළ දී තරුණයෙකු අභිරහස් ලෙස මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පවා නීතිය ක්‍රියාත්මක නොකෙරී තිබෙන්නේ රනිල් කොළේ ඉරාගෙන ඇෙඟ් හලාගෙන සිටින කැත නින්දිත භාවය මොනවට කියාපාමින්ය.
මේ වන විට ඒ සියල්ලේ ඉහළම ඵලය වී තිඛෙන්නේ බැඳුම්කර මහා මූල්‍ය අපරාධයයි. රනිල් වික්‍රමසිංහ අගමැති රාජපක්ෂ කල්ලිය සමඟ ඩීල්වලින් මෛත්‍රීගේ විධායක බලය මෙල්ල කළේ යම් සේ ද අනික් අතට රනිල් සහ මහින්දගේ ඩීල් මෙල්ල කිරීමේ මෙවලමක් මෛත්‍රී සොයා ගත්තේය. ඒ බැඳුම්කර පරීක්ෂණ පැවැත් වීමේ විශේෂ ජනාධිපති කොමිෂන් සභාව පත් කිරීමය. මේ අතර වෙනත් පැත්තකින් මාධ්‍ය මෙහෙයුමකට ද මුලපුරා තිබේ. එය නම් 2006 සිට පෞද්ගලික මිල දී ගැනීම් හරහා මහ බැංකු බැඳුම්කර වංචා සිදු කර තිබෙන බවට රාජ්‍ය රුපවාහිනී මඟින් ප්‍රචාරය කිරීමය. එවැනි දහසක් දේ ද රාජක්ෂවරුන්ගේ කළු සල්ලි ආකරයට උපත දුන් බව සැබෑය. දැන් මේ හදිසියේ භික්ෂුන් වහන්සේ ඇතුළු නොයෙක් පුද්ගලයන්ගෙන් වීඩියෝ කට් ලබාගෙන රාජපක්ෂ පාලන සමයේ බැඳුම්කර කොල්ලයක් ගැන පරීක්ෂණ පැවැත්වීමට ජනාධිපති කොමිෂන් සභා පත් කළ යුතු බව කියන්නේ ද දේශපාලන ගේමකටය.
මේ වන විට ඇස්පනාපිට ඔප්පු වී ඇති රාජපක්ෂලාගේ අපරාධ පිළිබඳව නීතිය ක්‍රියාත්මක නොකොට තවත් අහුමුළුවල තිබෙන ජාවාරම් අවුස්සන්නට යෝජනා කරන්නේ දේශපාලන තක්කඩිකමකට මිසක් ඇත්තට නොවේය. බැඳුම්කර කොමිෂන් සභාවේ අවසන් වාර්තාව නිකුත් වූ පසු එය පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීම කෙසේ වෙතත්, සමාජයේ ඇති වන සංවාදය බොඳ කිරීමේ පූර්ව ක්‍රියාමාර්ගයක් වශයෙන් මාධ්‍ය මෙහෙයුම් දැන් සිටම ක්‍රියාත්මක කරන්නේය. අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සිට ගෙන්වා තමන් යටතේ තිබෙන මහ බැංකුවේ අධිපති ලෙස පත් කිරීමේ පටන්ම ගෙන ගියේ ගේමක්ය. මුදල් අමාත්‍යාංශය යටතේ තිබුණු ශ්‍රී ලංකා මහ බැංකුව ජාතික ප්‍රතිපත්ති යන අලුත් අමාත්‍යාංශයක් අගමැති යටතේ පිහිටුවා එයට පවරා ගැනීම අහම්බයක්ද? තම අංක එකේ සගයෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් 2002 – 2004 කාලයේ ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙස සිටිය දී කළ කී දෑ සම්බන්ධයෙන් චෝදනා තිබිය දී මහ බැංකු අධිපති ලෙස පත් කෙරිණි. එයට එක්සත් ජාතික පක්ෂය තුළින්මද විරෝධයක් එම වකවානුවේ එල්ල විය. එහෙත්, මහේන්ද්‍රන් ගැන සම්පූර්ණ වගකීම රනිල් භාරගෙන මහ බැංකු අධිපති ලෙස පත් කළ බව කිසිසේත්ම අමතක නොකළ යුතුය.
එසේ පත් කළ මහේන්ද්‍රන්ගේ බෑනාගේ මූල්‍ය බ්‍රෝකර් සමාගම වන පර්පැචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ජාවාරම් පසුව කරළියට පැමිණේ. මෙතන දී ඉතාම සරල නීති ගැටයක් ගසමින් බෑනා වන අර්ජුන් ඇලෝසියස් එකී සමාගමෙන් ඉවත් වූ බව කියා තිබිණි. ඒ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් තම නම මකා දැමීමෙන්ය. ඒ අතර පර්පැචුවල් ට්‍රෙෂරීස් සමාගම යටතේ පිහිටුවා තිබූ සමාගමක ලොක්කා ලෙස දිගට ම රැඳීසිටියේය. බැඳුම්කර කොමිසමේ දී රනිල්ගෙන් ප්‍රශ්න කරන ලද්දේ ඇලෝසියස් එකී උප සමාගමේ සිටීම පිළිබඳව බව ප්‍රකාශ කරමිනි. රනිල් උත්තර දී ඇත්තේ ඇලෝසියස් පර්පැචුවල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් වූ බව දැනගෙන සිටිය ද, මෙකී උප සමාගමේ දිගටම කටයුතු කළ බව නොදැන සිටි බවයි. අර්ජුන් මහේන්ද්‍රන් ගැන වගකීම භාර ගන්නා බව කියා සිටි අගමැති රනිල් තොත්ත බබා වී සිටියේ එසේය.
තවත් විශේෂ දෙයක් කෙරෙහි අවධානය යොමු කළ යුතුමය. බැඳුම්කර කොල්ලය සිදු කළ වහාම ‘ලංකා’ රටට හෙළි කිරීමෙන් පසුව ‘බට කැලේට ගිනි තැබූසේ ඇවිළී ගියේය. කොතරම් ද යත්, චීනයේ සංචාරයක යෙදී සිටි ජනාධිපතිට ද මේ කෙරේ අවධානය යොමු නොකර සිටිය නොහැකිව තිබිණි. ඒ පිළිබඳව වහාම සොයා බලන ලෙස දැන්වීමෙන් පසුව තමන්ගේ පක්ෂයේ කණිෂ්ඨ නීතිඥයන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කෙරිණ. එකී කමිටුවේ වාර්තාවට සිදු වූයේ කුමක්ද? හොරාගේ අම්මාගෙන් පේන ඇහීමෙන් සිදු වන දේ හැර වෙනෙකක් නොවීය. පසුව මේ ප්‍රශ්නය එවකට ඩිව් ගුණසේකර සභාපතිවරයාගේ මෙහෙයවීමෙන් පැවති කෝප් කමිටුවට ඉදිරිපත් කෙරිණි. එම වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට ඔන්න මෙන්න කියා තිබියදී පාර්ලිමේන්තුව විසුරුවා හැරිණි. මුල සිටම මේ මහා මංකොල්ලය යට ගැසීමට කටයුතු කරන ලද්දේය.
නමුත් රටේ තිබූ ජනමතය නිසා ම නැවත කෝප් කමිටුව ඉදිරියේ බැඳුම්කර කොල්ලය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කෙරිණි. හොරුන්ගෙත් හොරුන් කම්බා හොරු පිළිබඳව මූලික එළිකිරීම් සිදු වුයේ එහිදීය. නව කෝප් කමිටුව නොවැම්බර් 26 වෙනිදා පත් කරන ලදී. සභාපති ලෙස රටේ ජනමතයේ තෙරපීම අනුව පත් කරන ලද්දේ ජවිපෙ.සුනිල් හඳුන්නෙත්තිය. සෙසු සාමාජිකයන් 23 ඇතුළුව මුළු සාමාජිකයන් 24 දෙනෙක් වූහ.
වෙනත් බොහෝ රාජ්‍ය ආයතනවල කටයුතු පරීක්ෂා කිරීමට අමතරව බැඳුම්කර කොල්ලය පිළිබඳව විශේෂයෙන් පරීක්ෂණයක් සිදු කෙරිණි. මුළු රටම එහි වාර්තාව දෙස බලා සිටියේය. රනිල්ගේ හොරා පොලිස් සෙල්ලමේ කැතම නිරුවත එළි වූයේ පරීක්ෂණ තීව්‍ර වීමත් සමඟය. එජාපය නියෝජනය කරමින් කෝප් කමිටුවට පත් කර සිටි අය ඉත්තන් මාරු කරන සේ මාරු කරනු ලැබීය. වේළුකුමාර් මන්ත්‍රීවරයා 2016 ජූලි 5 වන දින ඉවත් කර ඒ වෙනුවට සුජීව සේනසිංහ 2016 ජූලි 7 වන දින පත් කරන ලදී. සුනිල් හඳුන්නෙත්ති සභාපතිවරයා විසින් බැඳුම්කර කොල්ලය පිළිබඳව කළ පරීක්ෂණ වාර්තාව සකස් කිරීමේ දී ‘ෆුට්නෝට් කල්ලිය’ ලෙස පිරිසක් කරළියට පැමිණියේ මේ අනුවයි.
ෆුට්නෝට් කල්ලිය නීතිඥ සුජීව සේනසිංහගේ මෙහෙයවීමෙන් කි්‍රයාත්මක වූ බව මොනවට පැහැදිලි වෙයි. පෙළ සැදුණේ සුජීව, රනිල්, මහේන්ද්‍රන්, සහ ඇලෝසියස් ලෙසය. කෝප් කමිටුවේ වාර්තා පදනම් කරගෙන රට තුළ විශාල ආන්දෝලනයක් ඇති වූයේය. අර්ජුන් මහේන්ද්‍රන් සහ අගමැති රනිල් තකටතක සේ හිර වී සිටියහ. මහින්ද යොදවමින්, මෛත්‍රීගේ විධායක ජනාධිපති බලය ආම්බාන් කිරීමේ ගේමට මුහුණ දීම සඳහා මෛත්‍රී විසින් බැඳුම්කර කොමිසම තුළින් ඉඩ හදා ගත්තේ මෙසේය.
කෝප් කමිටුවේ සීමාවෙන් පිට පැවැති බොහෝ දේ ජනාධිපති කොමිෂන් සභාවේ දී හෙළි විය. මෑත කාලයේ මහත් ආන්දෝලනයකට ලක් වූ අර්ජුන් ඇලෝසියස් හෙවත් බෑනා සමඟ දුරකථන සංවාද සිදු කළ කෝප් කමිටු සාමාජිකයන් ගැන තොරතුරු හෙළි වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසය. කෝප් කමිටුව තුළ රනිල් වෙනුවෙන් සියල්ල මෙහෙයවීමට පත් කරන ලදැයි තහවුරු වන සුජීව සේනසිංහගේ පැටිකිරිය එළියට පැන්නේ කොමිසමේදීය. ඔහු ඇලෝසියස් සමඟ 2015 ජූලි 4 වෙනි දින සිට දුරකථන සම්බන්ධතා පවත්වා තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙළි කර තිබෙන තොරතුරු අනුව 2017 මාර්තු 3 දක්වා ඇලෝසියස් සමඟ 227 වරක් දුරකථන ඇමතුම් හුවමාරු කරගෙන තිබේ. මෙතරම් සම්බන්ධයක් තිබූ ඇලෝසියස්ගේ සුජීව කෝප් කමිටුවේ දී කළේ කුමක් දැයි පැහැදිලිය.
අර්ජුන් මහේන්ද්‍රන් ගැන වග කියන බව ප්‍රකාශ කළ රනිල් සුජීව සේනසිංහ යොදවා ගැසු ගේම කුමක් දැයි පැහැදිලිය. රනිල්, අර්ජුන්, සුජීව සේනසිංහ සියල්ල එකට කොළේ ඉරාගෙන ඇෙඟ් හලාගෙන ඉවරය. මේ හැම දේම හෙළි වී ඇත්තේ ජනතාව ඉදිරියේය. මෙතරම් කරුණු පැහැදිලිව තිබිය දීත් ඊළඟට කොළේ ඉරාගෙන ඇගේ හලා ගන්නේ දැයි ජනතාව තීරණය කළ යුතුව තිබේ.


ඉන්ද්‍රසිරි ජයසුන්දර