මහින්දගේ සිල් රෙද්ද රනිල්ටත්

සීතල උදුවප් මාසයේ දේශපාලනය නම් දැඩි සේ උණුසුම් වී ඇත්තේය. මතුපිට තලයේ එය උණුසුම් වී ඇත්තේ පළාත් පාලන මැතිවරණය එළඹෙමින් තිබෙන නිසාය. නමුත් ඊට වඩා ජාතිවාදී සහ ධනවාදී පක්ෂ උණුසුම් වී තිබෙන්නේ දියයටින් ගින්දර ගෙන යාම් නිසාය. ඛෙලි කැපීමේ සහ ඒ වෙනුවෙන් විවිධ කොන්ත්‍රාත් දීම් නිසාය. ජනතාවගේ අවධානය ගැඹුරු දේශපාලන කරුණු වෙත යොමු නොවී දිය යටින් ගින්දර ගෙන යාම් වෙත යොමුකර ගොසිප් විකුණන මාධ්‍යයට තවදුරටත් අවකාශ ඉතිරි වී තිබේය. ජවිපෙ අනුර කියා සිටි පරිදි මහින්ද – මෛත්‍රී දෙදෙනා එක කාමරයක ගාල් කරනු වෙනුවට මේ සතියේද ඇදී ගියේ පූට්ටු කිරීමේ හෝ වෙන් කිරීමේ මාතෘකාව ගැන වන්නේය. අනික් පැත්තෙන් රනිල් මෛත්‍රී දෙදෙනාම පස්ස තැලුණු කඩියන්ගේ තත්ත්වයට පත් කළ ජනමත සමීක්ෂණ වාර්තා හෙළි කිරීම්ය. තවත් පැත්තකින් ජවිපෙට එරෙහිිව මඩ අවලාද ගැසීම ඉහළ දැමීම් තිබුණේය. සීතල උදුවප් මාසය දෙවෙනි සතිය ගෙවී යන්නේ මේ සියල්ල සමඟ වන්නේය.

ප්‍රසන්නත් පොරක්

මහින්දගේ කණ්ඩායම පසුගිය 06 වෙනිදා සවස මහින්දගේ නිල නිවසේදී රැස් කර තිබුණේ මෛත්‍රී පිල සමග පූට්ටුවීම පිළිබඳව ‘තීරණාත්මක’ සාකච්ඡාවකට බව කිය වුණේය. මෙවැනි ‘තීරණාත්මක’ සාකච්ඡා කීයක් නම් දෙපිල තුළ වෙන වෙනමත් දෙපිල අතරත් තිබුණේ දැයි සිතිය නොහැකි තරම් වන්නේය. කොහොම වුණත් දැන් වෙනම තරග කිරීමේ මහා ලොකු පම්පෝරිය ගහන තරමට වැඩේ ලේසි නැති බව මහින්දටම තේරී ඇති බව හෙළි වන්නේය. මෛත්‍රී දැන් දැන් මහින්දගෙන් ගත් ආදර්ශ වලින්ම මහින්දට දෙන ගේම දරා ගැනීමට අසීරු තරම මහින්දගේ කියුම් කෙරුම් වලින් හෙළි වන්නේය. මහින්දගේ පිරිස මෛත්‍රී වෙත දිනා ගත නොහැකිනම් අභ්‍යන්තරයේ බරපතළ ගැටීම් අවුලුවාලීමට තරම් මෛත්‍රී සමත් වී ඇත්තේය. 6 වෙනිදා සවස මහින්ද කණ්ඩායමේ අභ්‍යන්තර සාකච්ඡා ගැන මාධ්‍යයට කීමට මුල් පෙළේ කිසිවෙකු හෝ ඉදිරිපත් නොවූයේය. මේ නිසාම ප්‍රසන්න රණතුංග පොරක් වී තිබුණේය. ප්‍රසන්න යනු තනිකරම බැසිල්ගේ මිනිහෙක්ය. මහින්ද – මෛත්‍රී පූට්ටුවට තදින්ම විරුද්ධව සිටියේ බැසිල්ය. මෙය නොකෙරෙන වෙදකමක් කිරීමට දන්නා ගැට ගැහුවේ බැසිල්ය. මේ නිසා දැන් බැසිල් කල්ලියත් අභ්‍යන්තරයෙන් බලවත් වී ඇත්තේය.

පවිත්‍රාගේ මූණ

බැසිල් කණ්ඩායමේ බලවත්වීම කොතෙක්දැයි හරියටම නිශ්චය කළ හැකි වූයේ පවිත්‍රාගේ මූණෙන්ය. මෛත්‍රී පිල සමඟ සාකච්ඡා කිරීමට මහින්ද පිල වෙනුවෙන් පත්කළ තුන් දෙනාගෙන් බලවන්තිය වූයේ පවිත්‍රාය. පවිත්‍රාගේ ළඟම හිතවතෙකුට කියා තිබුණේ ‘මේ මගුල මට දැන් එපා වෙලා තියෙන්නේ. ජීවිතේට මෙහෙම කට්ටක් කාලා නෑ.’ යන ආවේගශීලී සහ බිඳුණු ස්වරයකින්ය. දැන් මහින්ද පිල මුහුණ දී තිඛෙන අසීරුම තත්ත්වය කොතරම් දැයි පවිත්‍රා හොඳින්ම තේරුම්ගෙන සිටින බවත් මේ ප්‍රකාශයෙන් කියවෙන්නේය. එවැනි අසීරුම බවක් නොමැති නම් ඇයම කියන පරිදි ජීවිතේටම කා නැති මෙහෙම කට්ටක් කාගෙන වැඩ කරන්නේ නැත. අල්ලලා දාලා එඩිතරව මහින්දගේ වේදිකාවේ කෑ ගහන්නේය. නමුත් පසුගිය මාසයක පමණ කාලය පුරා මහින්දගේ සාකච්ඡා කණ්ඩායමේ පවිත්‍රා ඇතුළු තුන් දෙනාගේත් කිසිම කෙනෙක් ගැන හාවක් හූවක් නැත්තේය. යන්තම් මාධ්‍ය ඉදිරියට පැමිණ සිටියේ මහින්ද යාපා පමණය.

මෛත්‍රී – රනිල්

මෛත්‍රී – රනිල් දෙදෙනා කොළේ ඉරාගෙන ඇගේ හලාගෙන දඟලන දැඟලිල්ල පසුගිය කාලය පුරාම වරින්වර විවිධ අවස්ථාවලදී දැකගත හැකි වූයේය. නමුත් එළිපිට ප්‍රහාරයක් එල්ල කරමින් ‘කොළේ ඉරාගෙන ඇෙඟ් හලාගෙන’ කතාව කීවේ මෛත්‍රී – රනිල්ට විරුද්ධවය. ඒ බැඳුම්කර කොල්ලය සම්බන්ධයෙන්ය. නමුත් මෛත්‍රී කොළේ ඉරාගෙන ඇෙඟ් හලා ගත් අවස්ථා ළඟ ළඟම තිබුණේය. පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණය එකක්ය. එහි උණුසම මැකී යන්නටත් පෙර ගෝඨා අත්අඩංගුවට ගැනීමෙන් වැළැක්වීමත් සිදු කළේය. දැන් මැතිවරණය සම්බන්ධ කුමන්ත්‍රණය සැලකිය යුතු තරම් පරාජය කර අවසන්ය. නමුත් ගෝඨා සම්බන්ධ ගැටලුව වෙනත් පාර්ශ්ව දෙකක් අතර ගැටුමක ස්වරූපයට පත් වෙමින් ඉදිරියට යන්නේය. ඒ අභියාචනාධිකරණය සහ නීතිපති දෙපාර්තමේන්තුව යන ආයතන දෙක වන්නේය. අභියාචනාධිකරණයේ අභ්‍යන්තර වැඩ ක්‍රියාවලිය තුළින් නීතිපති දෙපාර්තමේන්තුවට වෙට්ටු දැමීම දක්වා ගොස් ඇත්තේය. හවුල් පාලනයේ තරම දැන් එළියට පනින්නේ මේ ආයතන දෙක හරහාය. දිය යටින් ගින්දර ගෙන යාම මෙවැනි අන්තයක් කරාද යොමු වී තිබෙන්නේය.

මහින්දගේ සිල් රෙද්ද රනිල්ටත්

මහින්දගේ අඩි පාරේම යන මෛත්‍රීට දෙවෙනි වීමේ සූදානමක් රනිල්ට නැත්තේය. මේ බව හොඳින්ම තහවුරු කරන ලද්දේ තවත් ඡන්ද ගේමක් තුළින්ය. රනිල් ඡන්ද ගේම ගහන්නේ රටේම පන්සල්, පල්ලි, කෝවිල් ටික අල්ලා ගනිමින්ය. පරාජයෙන් පස්සේ මහින්ද පන්සල් ගානේ ගියාට බොහෝ විට කළේ නාමපුවරුවක් විවෘත කිරීම හෝ මුල්ගල් තැබීම් වන්නේය. ඒ ගියේද හිස් අතින්ම වගේය. රනිල්ගේ ඡන්ද ගුණ්ඩුව වැඩ කරන්නේ හිස් අතින් නොව ගෙඩි රුපියල් වලින්ම ලක්ෂ පහක් බැගින් චෙක්පත් බෙදා දීමෙන්ය. මේ වෙනකොටත් පන්සල් 1,800ක් මූල්‍ය ප්‍රතිලාභ ලබා තිබෙන්නේය. කොහොම වුණත් 2020දී රනිල්ගේ ජනාධිපතිවරණ සිහිනයට තල්ලුව දෙන්න ඉන්නේ මහින්දත්, මහින්දගේ දේශපාලන ලොකු පුතා බව කියන වීරවංසත් යන දෙදෙනාය. මහින්ද සිල් රෙදි වැඩත් නා ගත්තාට රනිල්ගේ ලක්ෂ පහක් බෙදිල්ල කිසිම නීතිවිරෝධී දෙයක් නොකිරීමට හොඳින් වගබලා ගෙන බව හෙළිවන්නේය.

වටගල මඩකාරයන් අල්ලයි

සීතල උදුවප් මාසයේදීත් දේශපාලන පිටිය මතවාදී අදහස් ගැටීමකින් උණුසුම් කිරීම ජවිපෙ විසින් කරගෙන යන්නේය. එයට මතවාදීව මුහුණ දිය නොහැකි පිරිසේ මඩකරියන් වී හැංගී සිටිමින් බොහෝ දේ කරන්නේය. පසුගිය සතියේ පුවත්පත් දෙකක් පැහැදිලිව සාක්ෂි තිබෙන සත්‍යය පවා විකෘති කරන තත්ත්වයට දුර දිග ගොස් තිබුණේය. එකක් ආචාර්ය අජන්තා හපුආරච්චි විසින් ශිෂ්‍යයෙකුට පවරන ලද සමීක්ෂණයක කරුණු විකෘති කිරීමය. ඊටත් වඩා බරපතළ ලෙස ඉදිරියට ගොස් අධිකරණයේ නඩුවක් සම්බන්ධ කරුණු විකෘති කිරීමක්ය. මෙයට පාදක වී තිබුණේ එල්ටීටීඊ සංවිධානයේ නායකයා බවට පසුව පත් වූ බව කියන කේපී හෙවත් කුමරන් පද්මනාදන්ය. ඔහු සම්බන්ධයෙන් ජවිපෙ ප්‍රචාරක ලේකම් පවරා තිබූ නඩුවක් අධිකරණය විසින් ඉවත හෙළා තිබුණේය. මඩවලට නමක් දිනාගෙන සිටින පුවත්පතක් එය වාර්තා කර තිබුණේ විකෘති කරමින්ය. ජවිපෙ දේශපාලන රහස් සතුරන්ට ලබා දී ද්‍රෝහී වූවකු සහ ජවිපෙ විනාශ කිරීමට ක්‍රියා කළ පුද්ගලයෙකු සම්බන්ධයෙන් විජිත හේරත් පවරා තිබූ නඩුවක් යැයි අර්ථ ගන්වා තිබිණි.

මහින්දගේ මඩ කල්ලිය

මුලින් බොරුව පළ කළ මඩ පත්තරය එය නිවැරදි කර තිබුණේය. නමුත් වෙනත් පත්තරයක සිටින මහින්දගේ මඩකරියෙකු මෙය පදනම් කරගෙන තවත් කතා ගොතා අලුතින් ප්‍රවෘත්තිය පළ කර තිබෙනු දැක්කේ නීතිඥ සුනිල් වටගලය. කොළඹ අධිකරණ සංකීර්ණයේ මාධ්‍යවේදී කාමරයට ගිය වටගල මේ මඩකරියා සිටින්නේ දැයි බැලීය. එහි නොවූ හෙයින් දුරකථන ඇමතුමක් ගත්තේය. ‘මම … පක්ෂයෙන් කතා කරන්නේ. අර ෙජ්වීපී එක ගැන ප්‍රවෘත්තියේ තවත් බඩු ටිකක් මගේ ළඟ තියෙනවා. ඒ ටික ඔබතුමාට දෙන්න පුළුවන්.’ මඩකරියාද සතුටින් පිළිතුරු දෙමින් වටගල සිටින දෙසට පැමිණියේය. වටගල දැකීමෙන් රත් වූ ඔහු කලබලයෙන් දුරකථනය විසන්ධි කළේය. ඒ වන විටත් ඇමතුම දුන්නේ වටගල බව ඔහු නොදැන සිටියේය. ‘ඔයාට කතා කළේ මං. දවස ගානේ මෙතනදී හම්බ වෙනවා. ඔය වගේ ජරා වැඩ කරන්ඩ එපා.’ වටගල අනෙකුත් මාධ්‍යවේදීන් ඉදිරියේ මඩකරියාට අවවාදයක් දුන්නේය. අනෙකුත් මාධ්‍යවේදීන් එය දැක වටගලට කීවේ ‘හොඳ වැඩේ කළේ. මහින්ද වෙනුවෙන් අනිත් අයට මඩ ගහන එක තමයි එයා කරන්නේ’ මාධ්‍යවේදියෙකු ලෙස හිඳිමින් ගෙනයන පහත් ක්‍රියා ගැන වටගලට හෙළි කළේ අනෙකුත් මාධ්‍යවේදීන්ය.

ගමේ බලය වෙනුවෙන් ජවිපෙ බලය

පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට බලකරමින් ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවේ, අධිකරණයේ සහ වෙනත් ක්ෂේත්‍රවලදී විශාල හඩක් නැගීය. මේ අතර ජවිපෙ නායකයින් දිස්ත්‍රික් මට්ටමින් පළාත් පාලන මැතිවරණය සඳහා සූදානම් කිරීමේ කටයුතු ආරම්භ කළේය. මැතිවරණ කොමිසම විසින් මුලින් ප්‍රකාශයට පත්කළ පළාත් පාලන ආයතන 93 සඳහා ඇප මුදල් තැන්පත් කිරීමේ කටයුතු ජවිපෙ විසින් පසුගිය සතිය තුළ ආරම්භ කළ අතර මේ වන විට වැඩි ප්‍රමාණයක ඇප මුදල් තැන්පත් කර අවසන්වී ඇත. මෙවර ජවිපෙ නාමයෝජනා ලැයිස්තු සඳහා විවිධ වෘත්තිකයන්, වෙළඳ සංගම් සාමාජිකයන්, ව්‍යාපාරිකයන් ඇතුළු විවිධ පිරිස් ඇතුළත්වී තිබීම විශේෂත්වයක්වී ඇත.
මේ අතර මඩකලපුව, අම්පාර, පොළොන්නරුව දිස්ත්‍රික්කවල මැතිවරණ සංවිධාන කටයුතු සඳහා සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාද, යාපනය, කිලිනොච්චි, වව්නියා දිස්ත්‍රික්කවල මැතිවරණ සංවිධාන කටයුතුවලට බිමල් රත්නායක මන්ත්‍රීවරයාද මැදිහත් විය. පසුගිය පස්වෙනිදා සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාගේ මැදිහත්වීමෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන පහක් සඳහා ඇප මුදල් තැන්පත් කළේය. හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුර් ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් පිරිසක් හමු වූ අතර ඔවුහු ජවිපෙ ක්‍රියාකලාපය පැසසුමට ලක්කරමින් කතා කළහ. ‘මන්ත්‍රීතුමා අපි ඔබතුමාලගේ නායකයාගේ කතා නිතර ෆේස්බුක් එකෙන් අහනවා. ගිංතොට සිදුවීම ගැන එතුමා හොඳ කතාවක් කරලා තිබුණා. ජාතික සමගිය ගැන වගේම ඕනෑම දෙයක් ගැන කෙලින් කතා කරන්නේ ජවිපෙ විතරයි. අපි මේ සැරේ ඔබතුමාලත් එක්කයි’ ව්‍යාපාරිකයෙක් කියා සිටියේය. මේ අතර මන්මුනෙයි පත්තු, කාත්තන්කුඩි, කෝරළේපත්තු ප්‍රදේශවල පූජකතුමන්ලාගෙන්ද වෛද්‍යවරුන් ඉංජිනේරුවන් ඇතුළු විද්වත් කණ්ඩායම්ද සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා සමඟ මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඉදිරිපත්වීම විශේෂත්වයක් විය.
ජවිපෙ ජාතික සංවිධායක බිමල් රත්නායක මන්ත්‍රීවරයා සහ යාපනය දිස්ත්‍රික් නායක රාමලිංගම් චන්ද්‍රසේකර් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ මැදිහත්වීමෙන් නාමයෝජනා සකස් කෙරෙමින් තිබේ. නල්ලුර්, චාවකච්චේරි, වලිකාමම් ප්‍රාදේශීය සභා සඳහා සහ යාපනය මහ නගර සභාව සඳහා ඇප මුදල් තැන්පත් කිරීම පිණිස මේ වනවිට සියලු කටයුතු අවසන් කර තිබේ. මේ අතර යාපනය විද්වත් පිරිස් දෙමළ ජාතික සන්ධානයේ දෙකඩවීම පිළිබඳවද ජවිපෙ සමඟ කතාබහ කරමින් සිටියි. ‘දෙමළ ජාතික සන්ධානය පළාත් සභාව අරගෙනත් ජනතාව වෙනුවෙන් වැඩක් කළේ නැහැ. දැන් එක එක පක්ෂ තමන්ගේ බලය වෙනුවෙන් සටනක්. විග්නේස්වරන් ඇමතිතුමා වෙනම ගමනක්. මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන කතා කරන්න කවුරුත් නැහැ. මෙහෙ තියෙන මාධ්‍යයත් පක්ෂ කැඩුන ඒවා තමයි උස්සන් යන්නේ. මිනිස්සු ප්‍රශ්න ගොඩක හිරවෙලා. ඒවා ගැන අවධානයක් නැහැ’ රාමලිංගම් චන්ද්‍රසේකර් සමඟ කතාබහක නිරත වූ නල්ලුර් ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් කියා සිටියේය.

ප්‍රශ්න විජිතට කියන්න

පසුගිය 06වෙනිදා අයවැය විවාදය යෙදී තිබුණේ ස්වදේශ කටයුතු, රාජ්‍ය පරිපාලන, පළාත් පාලන අමාත්‍යාංශ පිළිබඳවය. එදින ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් විවාදයට එක් වුණේ විජිත හේරත් මන්ත්‍රීවරයාය. විජිත හේරත් මන්ත්‍රීවරයා සිය කතාව අතරතුර පළාත් පාලන මැතිවරණය කල්යෑම පිළිබඳවද විවේචනය කළ අතර ෆයිසර් ඇමතිවරයා සමඟ උණුසුම් විවාදයක්ද ඇතිවිය. අනතුරුව කෑම පැයේදී විජිත හේරත් මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන් පිරිසක් සමඟ එදින විවාදය පිළිබඳවත් ඇතිවූ උණුසුම් තත්වය පිළිබඳවත් කතාබහකරමින් සිටියේය. ඒ මොහොතේදී විවාදයට පැමිණ සිටි දිස්ත්‍රික් ලේකම්වරුන් පිරිසක් සමඟ වජිර අබේවර්ධන ඇමතිවරයාද නිල කාමරයෙන් පිටතට පැමිණෙන අතර විජිත හේරත් මන්ත්‍රීවරයා දැක ‘ඔබතුමාලගේ තියෙන ඕනෑම ප්‍රශ්නයක් විජිත හේරත් මන්ත්‍රීතුමාට කියන්න. එතුමා මැදිහත්වෙලා විසඳලා දෙයි.’ වජිර අබේවර්ධන ඇමතිවරයා දිස්ත්‍රික් ලේකම්වරුන්ට කියා සිටියේය. විජිත හේරත් මන්ත්‍රීවරයා සිනාමුසු මුහුණින් එයට ප්‍රතිචාර දැක්වීය. ‘ඇමතිවරු හිටියට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තමයි ප්‍රශ්න විසඳන්න වෙලා තියෙන්නේ.’ මාධ්‍යවේදියෙක් කියා සිටියේය.

කේපීගේ වත්කම් කෝ

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් විසින් පසුගිය 2015 ජනවාරි මාසයේදී කේපීට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළේ ඔහු අත්අඩංගුවට ගෙන පරීක්ෂණ සිදුකරන ලෙස ඉල්ලා සිටිමිනි. එයට පාදක වූයේ කේපී එල්ටීටීඊ සංවිධානයේ ප්‍රබල නායකයෙකු වූ අතර ඔහු සතුව විශාල වත්කම් ප්‍රමාණයක් තිබෙන බවට විශාල සංවාදයක් රට තුළ ඇතිවීම මෙන්ම ඔහු රාජපක්ෂ ආණ්ඩුව සමඟ සමීප ගනුදෙනුවක් පැවැත්වූ බවට එවකට විපක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂයද චෝදනා එල්ල කර තිබීමයි. මේ කරුණු හේතුවෙන් කේපී අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සිදුකරන ලෙස මන්ත්‍රීවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. කෙසේ වෙතත් එවකට විපක්ෂයේ සිට කේපී විවේචනය කළද වත්මන් ආණ්ඩුවේ කොටස්කරුවෙකු වන එක්සත් ජාතික පක්ෂය කේපීට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා තත්වයක් මත ජවිපෙ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළේය. පෙත්සම අධිකරණයෙන් පිළිනොගැනීමත් සමඟ නැවත මෙය සංවාදයට ලක්විය. ‘කේපී ගැන ලොකු සංවාදයක් තිබුණා. නමුත් ඔහු අත්අඩංගුවට ගන්න බැහැ කියලා අධිකරණයම කියනවා.’ මාධ්‍යවේදියෙක් විජිත හේරත් මන්ත්‍රීවරයාගෙන් විමසීය. ‘පහුගිය කාලේ කේපී ගැන ලොකු විවේචනයක් තිබුණා. කේපී ළඟ තිබුණ නැව්වලට, ෂෙඩ්වලට, මුදල්වලට මොකද වුණේ කියලා. ඒ දවස්වල යූඑන්පීය කිව්වේ රාජපක්ෂ ආණ්ඩුව ඩීල් දාලා වත්කම් ඛෙදාගත්තා කියලා. නමුත් ආණ්ඩුව ගත්තට පස්සේ නීතිමය කටයුතු මොකුත් කළේ නැහැ. ලංකාවට ගෙන්නුවට පොලිසියේ පැමිණිල්ලක් ලියලා නැහැ. නීතිපති දෙපාර්තමේන්තුව මොකුත් කරලා නැහැ. අපි තමයි පක්ෂයක් විදියට මේ ගැන නීතිමය පියවරක් ගන්න උත්සහ කළේ. මේ ආණ්ඩුවත් කේපී එක්ක ඩීල් දාලා කියලයි අපිට පේන්න තියෙන්නේ.’ විජිත හේරත් කියා සිටියේය.