අයියා ප්‍රාර්ථනය කළේ යහපත් ලෝකයක්…

upul kumara
සටන මරණයෙන් කෙළවර නොවේ !
January 10, 2018
diyagama
දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට දියගමින් ගොටුකොළ
January 10, 2018
Show all

අයියා ප්‍රාර්ථනය කළේ යහපත් ලෝකයක්…

saman piyasiri sis

සමන් පියසිරි ප්‍රනාන්දුගේ නැගණිය රංජනී ප්‍රනාන්දුය. ඔහු පිළිබඳව ඇය සමඟ සිදු කළ කතාබහේ සංක්ෂිප්ත සටහනක් පහත පළ කෙරේ.

ඔබ සමන් පියසිරි ප්‍රනාන්දුගේ බාල සහෝදරිය. අයියා පිළිබඳව ඔබගේ මතකය අවදි කළෝතින්?

අපේ පවුලේ ළමයි හතරදෙනයි. මම පවුලේ බාලයා. සමන් අයියා මට වැඩිමහල් කෙනා ඊට වැඩිමහල් අයියයි, අක්කයි. අයියායි මායි නිතරම එක්කෙනා පස්සේ එක්කෙනා වැටෙමින් පුංචි කාලේ ඉඳන්ම එකටමයි හැදුණේ. අයියා දේශපාලනය කරන්න ගත්තට පස්සේ අපි භෞතිකව ඈත් වුණත් අපේ ආධ්‍යාත්මික බැඳීම තව තවත් වැඩි වුණා.

ඔබේ සොහොයුරා දේශපාලනය තෝරා ගැනීම ගැන පවුලේ අය හිතුවෙ කොහොමද?

අපි හරිම අමාරුවෙන් ජීවත් වෙච්ච පවුලක්. හැබැයි 1978 වන කොට අපේ පවුලේ ස්වර්ණමය අවධිය කියන්න පුලුවන්. අපි යන්තම් ඔළුව උස්සන්න ගත්තා විතරයි. අක්කාට නර්සින් ජොබ් එකක් ලැබුණා. අයියා කැම්පස් එකට ඇතුළු වුණා. අපි ජීවිතය ගැන බලාපොරොත්තු සිහින දකින්න පටන් ගත්ත කාලයක්. කැම්පස් එකට ඇතුළු වෙද්දි අයියාගේ තිබ්බ ලොකුම බලාපොරොත්තුව තමා පවුල ගොඩ ගන්න එක. හැබැයි අයියා පූර්ණකාලීන දේශපාලනය තෝරා ගනිද්දි පවුල පැත්තෙන් ඊට විරුද්ධත්වයක් තිබුණේම නැහැ. මොකද? ඒ යුගය වෙනකොට සාධාරණව හිතන පතන අයට තෝරා ගන්න වෙන මාර්ගයක් තිබුණේ නැහැ. අයියා කොහොමටත් ඉතා වගකීමෙන් කටයුතු කරන කෙනෙක්. ඒක නිසා එයාගේ තීරණය නිවැරදි ඇති කියලා අපි හැමෝම එක විදියටම හිතුවා.

අයියා ගැන, අයියාගේ ස්වභාවය ගැන ටිකක් විස්තර කළොත්?

අයියා තරමක් මිටියි. හැබැයි ගොඩාක්ම නොවෙයි. සාමාන්‍ය මහතකුත් තිබුණා. අන්තිම කාලය වෙනකොට නම් බඩ පොඩ්ඩක් තිබුණා. එයා නිතරම මේස් බැනියමක් ඇඳලා, ෂර්ට් එකක් ඇදලා තමයි හිටියේ. මොකද අයියාගේ වම් අතේ කළු ලපයක් තිබුණා. දකුණු කනේ පිටිපස්සේ ඒ විදියටම ලපයක් තිබුණා. අපට තියෙනවා පරම්පරාවෙන් ආපු කීලොයිඩ් කියන ලෙඩේ. ඉතිං පොඩි තුවාලයක් වුණත්, ලොකු කැළලක් ඉතුරු කරනවා. අන්තිම කාලය වෙද්දී එය මාරාන්තික එකක් වුණා. මොකද ඒක සී.අයි.ඩී. එකේ අය දැනගෙන හිටියා. අවසාන මොහොතේ අයියට ඒ ගැටලුව තදට බලපෑවා. මෙහෙම කියනවා මිසක් අයියාගේ ෆොටෝ එකක් වත් අපි ළග නැහැ. අපේ අයියා හරිම නිහඩ කෙනෙක්. කතාබහක් නැති තරම්. එයාගේ යහළුවෝ හිටියෙත් ඉතාම අඩුවෙන්. හැබැයි එයා නිතරම සින්දුවක් කිය කියා විනෝදෙන් තමා හිටියේ ඒයා හරිම සංවේදියි. හැම කෙනෙකුටම සාධාරණයක් වෙන විදියට වැඩ කරන්න උත්සාහ කළා. අවසාන මොහොත දක්වා එයා ඒ විදියටම තමා වැඩ කළේ.

අයියා ගැන වඩාත්ම දැනෙන දෙයක් කියන්න පුළුවන්ද?

අයියා දවසක් මට මෙහෙම කතාවක් කිව්වා. මම කියන්න යන දේ අහලා කලබල වෙන්න එපා කියලා එයා කිව්වා එයාට ගෑනු ළමයෙක් ගැන අදහස් තියෙනවා කියලා. ඒ වේලාවේ මට සෑහෙන්න දුක හිතුණා. ඒ වගේම දරා ගන්න බැරි සතුටක් දැනුණා. මගේ ජීවිතයට ඒ වගේ හැගීමක් වෙන දෙයක් වෙනුවෙන් තවමත් එහෙම දැනිලා නැහැ. මොකද එතකොට තිබුණේ ඉතාමත් පීඩාකාරී තත්ත්වයක්. අයියාගේ වයස 32ක්. හැබැයි මේ වෙනකම් අයියා එයා ගැන, එයාගේ ජීවිතය ගැන පෞද්ගලිකව හිතපු කිසිම අවස්ථාවක් මට මුණ ගැහිලා නැහැ. හැබැයි මේ තරම් භාරදූර වගකීමක් දරන කෙනෙක් තුළ කොතරම් සරල මිනිස් හැඟීම් පිරිලා තියෙනවා ද කියලා මට හිතුණා. තත්ත්වය මොකක් වුණත් එයා ඉතාම සරල විදියට හැමදේටම මුහුණ දුන්නා. නංගී වුණත් බොහොම කෙටි කාලයක ඒ මතකයේ උණුසුම ජීවිත කාලය පුරාවටම තබා ගෙන ඉන්න කෙනෙක්.

ඔහුගෙ අවසාන දින කීපය ගෙවුණෙ කොහොමද?

89 දෙසැම්බර් වෙන කොට තත්ත්වය ඉතා නරක අතට හැරිලා තිබුණේ. ආරක්ෂිත තැන් තිබුණේ සීමිත ප්‍රමාණයයි. අපි ආරක්ෂාව වෙනුවෙන් නිතරම තැන් මාරු කළා. අයියා කාගේ ජීවිත ගැනත් හරි සැලකිලිමත්. ඉතිං කිහිප දෙනෙක් අපේ ගෙදර ආරක්ෂාවට නතර වෙලා හිටියා. අවසානයේ මම අයියාට කිව්වා ‘මම ඔයාව ආරක්ෂා කරන්නේ අපේ නිසාම නෙවෙයි.’ කියලා. නමුත්, අපි මුහුණ දීල හිටපු අවදානම එයාට දැනිලා තිබුණත්, ඒ මොහොතේ වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. නායකයා විදියට එයාට හැම කෙනෙකුගේම ජීවිත ගැන වගකීමක් තිබුණා. එයා අවසාන මොහොත වෙද්දී උත්සාහ කළේ හැමෝගෙම ජීවිත ආරක්ෂා කරන්න. මට මතකයි අපි අන්තිමට හිටපු උඩහමුල්ලේ ගෙදර එතකොට පවුල් තුනක් විතර හිටියා. ආරක්ෂක තත්ත්වය හොඳ නැති නිසා එහෙට එන්න එපා කියලා අයියාට පණිවිඩයක් යැව්වා. ඉක්මනින්ම අලුත් තැන් හැමෝටම හොයා ගන්න වුවමනාව තිබුණා. නමුත් නිදහසේ එළියේ බැහැල යන්න පුලුවන්කම තිබුණේ රාජාට විතරයි. ඉතිං එයා දිනපතා අලුත් ගෙවල් හොයන්න පටන් ගත්තා. අපේ අක්කලාට ගෙයක් හොයා ගත්තා. අපිටත් ගෙයක් හම්බ වුණා. හැබැයි පැවතුණ තත්ත්වය ඇතුළේ තව දුරටත් උඩහමුල්ලේ ගෙදර ඉන්න එක ඉතාමත් අවදානම් වුණා. ඒක නිසා අපි 25 වනදා අලුත් ගෙදරට ගියා. හැබැයි 26 වනදා වන විට අපේ පවුල හැර අනිත් හැමෝම අත්අඩංගුවට පත්වෙලා හිටියා.

අයියා ගැන අවසාන මතකය කොහොමද?

25 රෑ අයියා අපේ අලූත් නිවසට ආවා. රෑ කෑම මේසේ දී ඉතා තීරණාත්මක සාකච්ඡාවක් සිදු වුණා. අයියා බදින්න හිටිය නංගිට කිව්වා ‘තත්ත්වය ඉතා බරපතළයි ඔයා කැමති නම් අක්කලත් එක්ක මෙහෙ ඉන්න නැත්නම් අම්මලා ගාවට යන්න’ කියලා. ඊට පස්සෙ අපිට කිව්වා ‘තව මාසයක්වත් මේ ගෙදර ඉන්න එපා කියලා. ගෙයක් කුලියට හොයා ගන්න මම කීයක් හරි දෙන්නම්’ කිව්වා. රාජාගෙන් ඇහුවා ‘මාස 03කට මට ඩ්‍රයිවර් වෙන්න පුලුවන් ද’ කියලා. අයියා කීයටවත් රාජාට අඩගහන්නේ නැහැ තත්ත්වය ඒ තරම්ම අමාරු අතට හැරිලා තිබුණා. රහස්‍යභාවය හා ආරක්ෂාව ඉතාම අත්‍යවශ්‍ය වෙලා තිබුණා. ඒකයි අපි කාටත් පිහිටට හිටපු රාජාට අඩගහන්න ඇත්තේ. ඊට පස්සේ අපි නිදාගත්තා. සාලේ බිම මෙට්ටයක් දාලා අපි නිදාගෙන හිටියේ. එළි වෙනකම් මට නින්ද ගියේ නැහැ. උදයේ අයියා බාත් රූම් ඒකේ බටයක් කැඩිලා වතුර අහක යන නිසා වතුර අපරාදේ කියලා නෑවා. නාලා සරම ඇදගෙන සාලයට ආවා විතරයි හිතාගන්න බැහැ, හැම පැත්තෙන්ම ගේ ඇතුළට පිරුණා. ආපු අය අයියාගේ ඉන අතගාලා බැලුවා. බලෙන් ගෙනියන්න හදද්දී අයියා ෂර්ට් එකක් දාගත්තා. පස්සේ අයියාගේ අත්දෙක පිටිපස්සට තියලා අල්ල ගත්තා. ඊට පස්සෙ වාහනයට නැග්ගා. අයියා විතරක් නෙවෙයි බඳින්න හිටපු නංගිගේ මල්ලිවත් අරන් ගියා. ඒ වෙලාවේ නම් මම හයියෙන් කෑගැහුවා. මොකද එයා පොඩි ළමයෙක්. මම අයියාට කියලා තිබුණා ඔයාව අහුවෙයි. හැබැයි ඒක මගේ ඉස්සරහා නම් වෙන්න ඉඩ තියන්න එපා කියලා. හැබැයි කරුණු ඒ විදියට සිද්ද වුණා. අවසාන වතාවට අයියාගෙයි, මගෙයි ඇස් මුණ ගැහුණා. වචන දහස් ගාණකින් කියලා ඉවර කරන්න බැරි කතාවක් ඒ ඇස්වල තිබුණා. ඒ වේලාවේ අම්මා හරිම දුර්වල වුණා. එතකොට එයාගේ වයස 72ක් විතර එයාගේ ඇස් උඩ ගියා. මං හරි අමාරුවෙන් එයාව සැනසුවා. අයියාව අරන් ගියේ කටඋත්තරයක් අරන් ආපහු ගෙනත් දෙන්න කියලා. හැබැයි මම දැනගෙන හිටියා ආයේ කවදාවත් අයියා නේන බව.

ඉන්පසු ඔබ මුහුණ දුන්නෙ මොන වගේ අත්දැකීම්වලටද?

එදාම මාවයි, අම්මවයි, නංගිවයි අරන් ගියා. අපෙන් අහපු එකම දේ සමන් පියසිරි ප්‍රනාන්දු අයියා ද කියන වග. මොකද අයියා නම පිළිඅරගෙන තිබුණේ නැහැ. එයා කියලා තිබුණ එකම වචන ටික ‘මට අගකුත් නැහැ. මුලකුත් නැහැ. ඔයාලට පුලුවන් දෙයක් කරන්න’ කියලා. ඊට පස්සේ දවසක් පොලිස් නිලධාරියෙක් අම්මාට බැන්නා ‘බල්ලෙක් හැදුව නම් ඌට වැඩිය හොදයි කියලා’ අම්මාට හොඳටම කේන්ති ගිහිල්ලා ඒ නිලධාරියාට හොඳටම බැන්නා. මං හිතුවේ අම්මාට ගහයි කියලා. ‘මං හැදුවේ බල්ලෙක් නෙවෙයි. අසාධාරණය පෙනි පෙනී මගේ පුතා වැඩ කළා. උඹලා මගේ පුතාව මැරුව නම් මොළය වේළලා තියාගෙන ටික ටික වක්කරලා බීපල්ලා’ කියලා. අපිව 25 දා අත්අඩංගුවට ගත්තට පොත්වල ලිව්වේ ගොඩක් කල් ගිහිල්ලා. අම්මාව අක්කලාට භාර දුන්නා. නංගියි, මමයි පුනරුත්ථාපනයේ ඉඳලා සැහෙන කලකට පස්සේ නිදහස් වුණා.

අයියා මිය ගියා කියලා ස්ථීරවම දැන ගත්තේ කොහොමද?

අත්අඩංගුවට අරගෙන හිටපු පක්ෂයේ සහෝදරියන් පිරිසකට අයියාගෙ මිනිය පොල් අත්තක් උඩ දාලා තියෙනවා පෙන්නලා තිබුණා.

අයියා ගැන, අයියා දරපු අදහස් ගැන අද ඔබට මොකද හිතෙන්නෙ?

අයියලගේ ජීවිත නැති වුණාට එයාල හැමදාම ජීවමානයි. එයාගේ අදහස්, අරමුණු ඒ විදියටම අදත් ක්‍රියාත්මක වෙනවා. එයා බලාපොරොත්තු වුණේ, එයා දැක්කේ හැමෝම එක්ක එකට ජයග්‍රහණය ලබන හොඳ ලෝකයක් ගැන. ඇත්තෙන්ම එය යථාර්ථයක් වූ දවසේ අපේ අයියාගේ බලාපොරොත්තුව ඉටුවෙච්ච දවස කියන්න පුලුවන්.