අරාජික දේශයක් කරා…

බෙsdvgDr
දෙබරයට ගල් ගැසූ සමීක්ෂණ ප්‍රතිඵල
January 9, 2018
ganadevi puja
ප්‍රශ්න පත්තර දෙවියන්ට බාර දෙන ගල් යුගයේ මන්තිරිලා…
January 10, 2018
Show all

අරාජික දේශයක් කරා…

බෙsfhbdrt

2015 ජනවාරි 08 වෙනිදා මේ රටේ හැට දෙලක්ෂයක බහුතර ජනතාවක් ශ්‍රීලනිපය හා එහි අපේක්ෂක මහින්ද රාජපක්ෂව පරාජය කොට, නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේනව ජයග්‍රහණය කරවීම දැන් අතීතයට එක් වී අවසන්. එම පොරොන්දුව කඩ කරමින් ශ්‍රීලනිපයේ සභාපති තනතුර බදා ගත් ජනපතිවරයා රනිල් අගමැති හා එක්ව එදා සිට විවිධ දහංගැට දමමින් වසර තුනක් පුරා යහපාලන ආණ්ඩුව ඇදගෙන යාමටත් සමත් වුණු බවත් ඇත්තක්. තාවකාලිකව පත් කළ දින 100 ආණ්ඩුවෙන් පසු පැවති මැතිවරණයෙන් පසු මේ යහපාලන ආණ්ඩුව මුහුණ දෙන පළමු මැතිවරණය වන පළාත් පාලන මැතිවරණය දැන් අත ළගටම ඇවිත්. ඒ නිසා මේ වෙද්දී ආණ්ඩුව ඇතුළේ ප්‍රධාන පක්ෂ දෙක අතර අර්බුද ඇති වෙන්න පටන් අරන්. මේ වෙද්දී එදා ජනතාව විසින් පරාජය කළ මහින්ද හා ඔහුගේ හෙංචයියන් සමග සන්ධාන ගත වී මැතිවරණය ජයග්‍රහණය කර ගැනීමට තරම් මේ වන විට ජනපතිවරයා දුර්වල වෙලා තිබෙන බව පෙනෙනවා.
එදා පොදු අපේක්ෂකයා ලෙස ජනපති මෛත්‍රී කෙරෙහි විශ්වාසය තැබූ කිසිවෙක් මේ වගේ මෛත්‍රී මහින්ද මිත්‍රත්වයක් හෝ සන්ධානයක් බලාපොරොත්තු වුණේ නැහැ. 2015 වන විට දූෂණයේ, භීෂණයේ, ඒකාධිපතිභාවයේ අන්තයටම යමින් තිබුණු මේ රටේ පාලනය වහාම වෙනස් කිරීමේ අවශ්‍යතාවය බොහෝ දෙනෙකුට තිබුණා. ජනපති මහින්දගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා දක්වා අසීමිත බලතල පාවිච්චි කරමින්, රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කරමින්, නීතිය නොතකා මහා පරිමාණ වංචා දූෂණ හා අපරාධවල යෙදෙමින් සිටි බව නොරහසක්. රටේ සියලුම ආයතන මේ හොරුන්ගේ හා දූෂිතයන්ගේ රාජධානි බවට පත් වී තිබුණා. ආර්ථීකය අන්තයට කඩා වැටෙමින් තිබෙද්දී රාජපක්ෂලා ඇතුළු අන්තේවාසිකයන් මහා පොහොසතුන් බවට පත් වී සිටියා. රටේ නීතිය අයාලේ ගොස්, ශ්‍රීලනිපයේ අයිතිකාරයන් වී සිටි රාජපක්ෂ රෙජීමය රට තමුන්ගේ බූදලයක් බවට පත් කරගෙන සිටියා. පොදු අපේක්ෂකයා ලෙස එදා මෛත්‍රී කීවේ මේ පොළොව නුහුලන ක්‍රියාදාමයන් ඉවසාගෙන වෙලාව එනතුරු නිහඩව සිටි බවයි. මේ අශිලාචාර තත්ත්වය කරා රට ඇදගෙන යාමට හේතු වූ ඒකාධිපති බලතල සහිත ජනපති ධුරය මුළුමනින් අහෝසි කිරීමට ඔහු රට ඉදිරියේ පොරොන්දු දුන්නා. තමා පරාජය වූවා නම් අඩි 6 ක් පොළොව යට සැතපෙන්නට ඉඩ තිබුණු බවත් ඔහු කීවා.
කොහොම වුණත් ශ්‍රීලනිප ව්‍යවස්ථාවේ තිබුණු පරිදි ජනපති මෛත්‍රීට පක්ෂයේ සභාපතිකම මහින්ද භාර දුන්නා. නිර්පාක්ෂිකයකු ලෙස පක්ෂ කිහිපයක සහායෙන් ජනාධිපති වී සිටි මෛත්‍රී තම යටි හිතේ බල තණ්හාව නිසා බලපෑම් කරමින් ඒ සභාපතිකම එදා භාර ගත්තා. ඒ තුළින් තම බල පරාක්‍රමය ගොඩ නගන්නට පක්ෂය ප්‍රතිසංවිධානය ඇරඹුවා. ජනපතිවරයාගේ පාලනයේ නෝංජල් බව වටහා ගත් මහින්ද ‘මහින්ද සමග නැගිටිමු’ කියා යළි බලය ලබා ගැනීමට අරගල හා කුමන්ත්‍රණ දියත් කළා. දැන් එහි ප්‍රතිපලය ලැබෙන්නට ආසන්නයි. පළාත් පාලන ජය ශ්‍රීලනිපයට ලබා ගැනීමේ අරමුණින් මේ සන්ධානගත වීම සිදුවන්නේ නම් ජනපති මෛත්‍රීගේ දේශපාලන ගමනේ අවසන් සන්ධිස්ථානයක් වනු නොඅනුමානයි.
මේ වෙද්දී ශ්‍රීලනිපය හා මහින්දගේ පොහොට්ටු පාර්ශ්වය අතර සිදු කෙරුණු සාකච්ඡා අසාර්ථක බව වාර්තා වෙමින් තිබෙනවා. ඒත් යම් හෙයකින් මේ සාකච්ඡා සාර්ථක වෙලා ඒවායේදී පොරොන්දු වුණු විදිහට යහපාලන සන්ධානයෙන් ඉවත් වී, මහින්ද අගමැති කළොත් ඊළග මාසය වෙද්දී රටේ පාලනය මහින්ද අතට යන බවට සැකයක් නැහැ. පොදු පෙරමුණේ සභාපති ලෙස මහින්ද සිටිද්දී, ලේකම් ලෙස දි.මු. සිටිද්දී එම ලාංඡනය යටතේ තරග කළොත් මෛත්‍රීව බිත්තියට හේත්තු කර සියලුම පළාත් පාලන ආයතන මහින්දගේ පාලනයට යටත් කරගන්නත්, ඊළගට තමුන්ගේ පක්ෂය ශක්තිමත් කර ගන්න එක දිගටම කරන්නත් පටන් ගනීවි. එදා මැතිවරණයේ දී අගමැති වෙන්න බැරි වුණු නිසා මෙදා මිත්‍රත්වය හා කොන්දේසි හරහා කරගන්නයි මේ සූදානම.
ඒක එහෙම වුණොත් මේ රටට හා ජනතාවට මොනවා වෙයිද? එදා මහින්දලාව පරාජය කරන්න දායක වුණු හැම කෙනෙකුගෙන්ම පළි ගන්න පටන් ගනීවි. තමුන්ගේ මන්ත්‍රීවරුන්ගේ හයිය පාවිච්චි කරමින් ජනාධිපතිවරයාව පාලනය කරන්න පටන් ගනීවි. ආයෙත් මන්ත්‍රීවරු සල්ලිවලට අරගෙන, බලය වැඩි කර ගනීවි. ඉන් පස්සේ තමුන්ට එරෙහිව තිබෙන පරීක්ෂණ සියල්ල යටපත් කරගෙන ආයෙමත් එදා වගේම වැඩ පටන් ගනීවි. ඔහු වටේ ඉන්න කමල් ගුණරත්න වැනි ජාතිවාදීන් රට ලේ විලක් කරාවි. 2020 ජනාධිපති වෙන්න සිහින මවන ගෝඨාභය තමුන්ගේ ඉලක්කය වෙත යන්න පටන් ගනීවි. අද නීතියට පවා සරදම් කරමින් මෛත්‍රී විසින් බේරා ගන්නා ගෝඨාභය ඊට පස්සේ මොනවා කරයිද කියලා හිතන්නත් අමාරුයි.
අපි එහෙම උපකල්පනය කළත් ඇත්තටම මේ සමගිය සදහා ඇති ඉඩකඩ අඩුයි. එදා ඒ අවිචාර සමය බිද දැමීමට තිරයෙන් පිටුපස සිට වැඩ කොටසක් කළ චන්ද්‍රිකා වැනි අය දැඩි ජීවිත අවදානමකට මුහුණ පාන නිසා මෙයට විරුද්ධව වෙනත් විකල්ප කරා යන්න ඉඩ තිඛෙනවා. ඒ වගේම මහින්දගේ පාර්ශ්වයේ අය මෛත්‍රීව කිසිසේත් විශ්වාස කරන්නේ නැහැ. දැනටමත් අර්බුදයක් වෙලා තිඛෙන ඔවුන්ගේ පාර්ශ්වයේ නාමයෝජනා දීමට ඇති තරගය එහෙම සන්ධානයක් ඇති වුණොත් දැඩි ලෙස උග්‍ර වෙනවා. මහින්දගේ වගේම මෛත්‍රීගේ පාර්ශ්වයෙත් විශාල පිරිසක් ඔවුන්ගෙන් ඉවත් වෙලා යන්න ඒක හේතු වේවි.
මහින්දගේ ප්‍රාර්ථනය වන්නේ ශ්‍රීලනිපය පරදා ජනපති මෛත්‍රී අතරමං කිරීමය. එදා ජනපති මෛත්‍රී ගත් අදූරදර්ශී තීරණවල ප්‍රතිඵල පෙබරවාරියේ පැවැත්වෙන පුංචි ඡන්දයේදී දැකගත හැකිවනු ඇත. අද ජනපති වටා ඉන්නේ රනිල් විරෝධී පිරිස්ය. ශිරාල් ලක්තිලක, මෛත්‍රී ගුණරත්න වැන්නන්ගේ අරමුණ රනිල්ව දේශපාලනය තුළ අසරණ කිරීමය. තවද දැඩි රනිල් විරෝධි ප්‍රතිපත්තියක හිදින මහාරාජා වැන්නවුන් ළගට එන්නේ යටින් දිවෙන දේශපාලන න්‍යාය පත්‍ර ඇතිවය. එදා ජනතාව බලාපොරොත්තු වූ ජනපතිවරයාගේ දර්ශනය දන්නා අය කී දෙනෙක් අද ඔහු වටා සිටීද? අද ලේක්හවුස් ආයතනය රනිල්ගේ හා මහින්දගේ හෙංචයියන්ගේ තිත්පොළකි.
පසුගිය කාලයේ ඉවක් බවක් නැතිව පත් කළ ශ්‍රීලනිප සංවිධායකයන්ට මිනිසුන් දෙතුන් සියයක් රැස්කර ගන්නවත් බැහැ. අපේක්ෂකයෝ හොයා ගන්න බැහැ. බිම් මට්ටමේ ඡන්ද දායකයෝ ඔවුන් සමඟ නැහැ. ඉතින් මේ තත්ත්වය ඇතුළෙ ජයග්‍රහණයක් අපේක්ෂා කරන්න අපහසුයි.
මේ යන විදිහට ශ්‍රීලනිපය කවදාවත් හැදෙන පක්ෂයක් බව පෙනෙන්නට නැත. මේ රට හැම අතින්ම විනාශ කිරීමේ පූර්වාදර්ශ සැපයූවේ ශ්‍රීලනිප ආණ්ඩු විසින්. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ සමයේ පක්ෂය තුළ මුල් බැස ගත් ජාතිවාදී, ආගම්වාදී ගෝත්‍රික අදහස් තවමත් ඒ තුළ පැලපදියම් වී තිබෙනවා. දූෂණය, වංචාව, හොරකම අරටුවට කිදා බැහැලා. නීතියට ඉහළින් කටයුතු කිරීම තවමත් දකින්නට පුළුවන්. දැන් එජාපයත් ඒ පාරේම යමින් සිටියත්, වසර ගණනාවකට පෙර මේ ජරාජීර්ණ දේශපාලන ක්‍රමය බිහි කිරීමට දායක වුණේ ඔවුන් විසින් බවත් අමතක කළ යුතු නැහැ. එකකට එකක් නොපරදින තරම් දූෂිතයන් හා අවස්ථාවාදීන්ගෙන් පිරුණු මේ පක්ෂ දෙක සන්ධානගත වීම තුළ මේ අවගුණ අඩු වීම වෙනුවට ඒවා තවත් ඉස්මතු වුණා පමණයි. යහපාලනය යැයි කියමින් උඩින් සමගිය පෙන්වාගෙන යටින් එකිනෙකාට එරෙහිව කුමන්ත්‍රණ කරමින් මේ කටයුතු කරන්නේ බලයට හා දේපළ වස්තුවලට ඇති තණ්හාව නිසාමයි.
කොහොම වුණත් එ.ජා.පයත්, ශ්‍රීලනිපයත් අතර මතවාදී වශයෙන් වෙනස්කම් ඇතත් ක්‍රියාවන්ගෙන් නම් කිසිදු වෙනසක් ඇත්තේ නැහැ. මේ පක්ෂ දෙකේම සිටින්නේත් වරින් වර දෙපැත්තට පැන්න අය. ඒ නිසා ඔවුන්ට මේ පක්ෂ දෙක අතර එතරම් වෙනසක් නැහැ. බලය වෙනුවෙන් කා කොටා ගත්තාට තමුන්ගේ වාසිය වෙනුවෙන් මේ අය හරිම එකමුතුයි. සමහර විට මැතිවරණය කිට්ටුව මේ ඇණකොටා ගන්නවා වගේ පෙන්නන්නේ තමුන්ගේ ඡන්ද ගොඩ වැඩි කරගන්න වෙන්න පුළුවනි. මොකද අනික් පැත්තට බණින තරමට තමුන්ට ඡන්ද ලැඛෙන බව මේ අය දන්නවා. එකට එක් වෙලා ඡන්දෙ ඉල්ලන්න මේ තියෙන ක්‍රමය අනුව එජාපයට හා ශ්‍රීලනිපයට හැකියාවක් නැහැ. ඉතින් සමහර විට ඡන්දෙන් පස්සේ ආයෙමත් දෙපැත්ත එකතු වෙලා ප්‍රාදේශීය සභාවලත් බලය බෙදාගෙන වැඩ කරන්නත් ඉඩක් තිබෙනවා. ඒ වගේම මේ ගැටුම්කාරී තත්ත්වය දුරදිග ගිහින් ආණ්ඩුව ඇතුළේ අර්බුදයක් හටගන්නත් ඉඩ තිබෙනවා.
මහින්ද විසින් මෙතුවක් කල් දැරූ හොර රංචුවට නායකත්වය දීමේ හා ඔවුන්ව ආරක්ෂා කිරීමේ වගකීම මෛත්‍රී ජනපති අතට අරන් තිබෙනවා. රණවිරුවන්ය කියමින් අපරාධකරුවන් රකින, විවිධ ඩීල් දමමින් දූෂිතයන්, හොරුන් රකින ජනපතිවරයා මේ යන ආකාරයට ගියොත් මහින්දටත් වඩා අන්ත පාලකයෙකු වන හැටි ඉක්මනින් බලාගන්න ලැබේවි. ඒක ඔහුට වගේම රටටත් හානි කර වෙන බව නිසැකයි. මහින්ද ඇතුළු පක්ෂය ඇතුළෙන්ම හතුරු පිරිසක්ද, ඔහුට ජනාධිපති වීමට උපකාර කළ එජාපය තුළින් තවත් හතුරු පිරිසක් ද ආදී වශයෙන් දෙපැත්තකින් ආරක්ෂා වන්නට අද ඔහුට සිදුවී තිබෙනවා. ඒ තුළ ජනතාව අපේක්ෂා කරන පරිදි විධායක බලතල අහෝසි කිරීමකට ඔහු එකග වනු ඇතැයි සිතන්න අමාරුයි. එම නිසා ව්‍යවස්ථා සංශෝධනය තවත් කල් යාමට ඉඩ තිබෙනවා.
මේ අතර මේ තාක් කාලයක් හැංගි හැංගී වෙස් බදිමින් සිටින ගෝඨාභය රාජපක්ෂට සතුටු දායක පුවතක් අහන්නට ලැබුණා. මහින්ද බලයේ සිටිද්දී බොදු බල සේනාව වැනි ජාතිවාදී කල්ලි මගින් සිංහල ජනතාවගේ ගැලවුම්කරුවා තමාය යන මතවාදය ජනතාව අතර පතුරවා හැරීමට ක්‍රියා කළ ඔහු යුද ජයග්‍රහණය තනිකරම තමුන්ගේ නමට ලියා ගත්තේ ගෝඨාස් වෝ නමින් පොතක්ද ලියවා ගනිමිනුයි. හමුදාව ක්‍රමයෙන් තමුන්ට හිතවත් අයගෙන් පුරවා ගනිමින්, වරින් වර දේශපාලනයට පැමිණීම ගැන මුට්ටි දමා බලමින් මහින්දගෙන් පසුව බලයට ඒම සදහා සකස් කළ මේ ක්‍රියාදාමය ජනවාරි 8 පරාජයත් සමග යටපත් වුණා. බලයේ සිටි කාලයේ සුදු වෑන් යවමින්, හමුදා සෙබළුන් ලවා අපරාධ රැසක් සිදු කළ බවටත්, ආයුධ ගනුදෙනු සහ කුප්‍රකට ඇවෙන්ට්ගාඩ් ව්‍යාපෘතිය ආදිය සම්බන්ධයෙන් චෝදනාවට ලක් වූ මේ පුද්ගලයා පුදුමයකට මෙන් පරාජයෙන් පසුවත් කිසිදු ආකාරයේ බලපෑමකට ලක්වුණේ නැහැ. කිසියම් චෝදනාවකට ඔහු ලක් වී අධිකරණයට පැමිණෙන්නට සිදු වුණොත්, විජයදාස රාජපක්ෂ වැනි ඇමතිවරු ඔහුව ආරක්ෂා කරන බව ප්‍රසිද්ධියේ කීමත්, භික්ෂුන් කිහිප දෙනෙක් විරෝධතා පෑමත්, ඔහු අධිකරණයට පැමිණි වහාම ඇප ලැබීමත්, සුපුරුදු සිද්ධීන් වුණා. මහා අපරාධයක් ලෙස සැලකිය හැකි වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ සමූල ඝාතනයට වගකිව යුත්තා ලෙස ඔහුගේ නම සදහන් විය යුතු වාර්තාව තවමත් යටපත් කරමින් තිබෙනවා. රතුපස්වල ඝාතන, ලසන්ත, එක්නැලිගොඩ, ආදීන්ගේ ඝාතන ආණ්ඩුවට වාසි වෙලාවට පමණක් එළියට එනවා. මේ සේරම ගෝඨාභයව ආරක්ෂා කරන්න බව පැහැදිලියි. අදෘෂ්‍යමාන හස්තයක් විසින් ඔහුව ආරක්ෂා කරනවා. පසුගියදා
ඔහුව අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබුණත් ජනාධිපතිවරයාගේ බලපෑම නිසා එසේ නොවුනු බව පැවසුණා.
එක්තරා පුවත්පතක් කියන පරිදි කොළඹ විශ්ව විද්‍යාලය විසින් සිදුකළ සමීක්ෂණයක ප්‍රතිඵල ලෙස 2020 ජනාධිපති වන්නට ජනතාව අතර වැඩිම කැමැත්ත ලැබී ඇත්තේ මෙන්න මේ ආකාරයේ පුද්ගලයෙකුටයි. ඔවුන් කියන පරිදි ජනතාවගෙන් වැඩි ප්‍රතිශතයක් කැමත්ත පළ කරන්නේ බුද්ධිමත්, ඒකාධිපති ලක්ෂණ ඇති, හමුදා පාලකයෙකුටය. තමුන්ම බුද්ධිමතුන් යැයි කියා ගන්නා පිරිසක් සමග එළිය අල්ලාගෙන ජනපති සිහිනය පසුපස යන ගෝඨාභයට මහින්දගේ පොහොට්ටු පක්ෂයේ පිරිසක් කැමති නැති බවද පැවසේ. මහින්ද හා බැසිල් යන ගමනට වඩා ගෝඨාභය තනිවම වෙනත් ගමනක් යන බවද පෙනෙන්නට තිබේ. ඔහුගේ අරමුණ පැහැදිලිය. මහින්ද කොතෙක් දැගළුවත් ඔහුට නැවත ජනපතිවරණයකට ඉදිරිපත් විය නොහැකිය. බැසිල්ද එවැන්නකට සුදුසු නැත. ඉතින් මහින්ද පසුපස යන අයගේ ජනාධිපති අපේක්ෂකයා ලෙස යුද්ධය ජයගත්, කොළඹ සංවර්ධනය කළ, සිංහල ජනයා අතර කැමැත්තත් ලැබී ඇති ගෝඨාට වඩා සුදුස්සෙක් සිටියිද? ශ්‍රීලනිපය දෙකඩ වීම හා ජනතාව විසින් අවිශ්වාස කරන ජනපති මෛත්‍රීත්, මේ වන විට ගෙන යන පාලන ක්‍රියාවලිය තුළ ජනතාව අතර අප්‍රසාදයට පත් වෙමින් සිටින රනිල් වික්‍රමසිංහත්, ඔහුත් අතර සටනින් දිනන්නේ කවුද? ජනතා කැමැත්ත ඇති ගෝඨාභය 2020 ජනපති වන්නේ අන්න එහෙමය.
ජනතාව තමුන්ගේ ජීවිත පවා පරදුවට තබමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරලීම වෙනුවෙන් මහින්දව පරාජය කළේ නැවත හමුදා පාලකයකු පත් කර ගන්නට නොවේ. මේ යන අදූරදර්ශි ක්‍රියාවලිය තුළ අනාගතයේ එවැන්නක් සිදු වුවහොත් එයට ඍජුව වගකිව යුත්තේ ජනපති මෛත්‍රී හා අගමැති රනිල්ය. මේ තත්ත්වය තුළ අවස්ථාවාදී ලෙස ක්‍රියා කරමින් සිටින මේ පක්ෂ අතහැර විශ්වාස දායක විකල්පයක් කරා යාමට ජනතාව මේ ඉදිරි මැතිවරණයේදීවත් කටයුතු කළ යුතුව තිබේ.


ඩී. බී. ඇල්කඩුව