ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පත්වීමේ සිට වසරක්

ganadevi puja
ප්‍රශ්න පත්තර දෙවියන්ට බාර දෙන ගල් යුගයේ මන්තිරිලා…
January 10, 2018
රෙක්ස් ටිලර්සන්
ඇමෙරිකාවේ ලේකම් – ජනාධිපති මත ගැටුම් උත්සන්න වෙයි
January 10, 2018
Show all

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පත්වීමේ සිට වසරක්

tump with politics

ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත් වී මේ වන විට වසරක් ඉක්ම ගොස් අවසන්ය. ආසන්න වශයෙන් මිලියන තුනකින් මහජන ඡන්දය පරාජය වීම නොතකා, ට්‍රම්ප් මැතිවරණ විද්‍යාලයේ දී ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලිටන් පරාජය කළේ මිචිගන්, විස්කොන්සින් හා පෙනිසිල්වේනියා යන කාර්මික ප්‍රාන්තවල පටු ජයග්‍රහණයන් මාර්ගයෙනි.
ඒ ජයග්‍රහණයෙන් වසරක් ඉක්ම යන්නටත් පෙර එක්සත් ජනපද ජනාධිපතිවරණය තුළ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ඇමෙරිකානු අර්බුදය ලෝකය ඉදිරියේ හෙළිදරවු කිරීමක් බව සාක්ෂි සහිතව ඔප්පු කර තිබේ. බිලියනපති කයිවාරුකාරයෙකු එරට ඉහළම තනතුරට උස්සා තිබීම පෙන්වූයේ ධනේශ්වර පාලනයේ පරිහානියේ තරමයි.
බලයට පත් වීමෙන් පසු ට්‍රම්ප් බිලියනපතියන්, ජනරාල්වරුන් හා අන්ත දක්ෂිණාංශිකයන්ගේ කැබිනට් මණ්ඩලයක් තෝරා ගත්තේය. දේශීය ප්‍රතිපත්තිය තුළ ඔහු ඔහුගේ ප්‍රධාන ඉලක්කය ලෙස තැබුවේ ඇමෙරිකාව වෙනුවෙන් නියාමනහරණය හා දැවන්ත බදු කප්පාදු ඇති කිරීම ඔස්සේ පොහොසත්ම පන්තියම පොහොසත් කිරීමයි. අධිපතිවාදී පාලනයකට පදනමක් නිර්මාණය කිරීමට ඔහු වැඩ කළේ පොලිසිය, හමුදාව, දේශ සීමා මුරකාවල් හා එක්සත් ජනපද සංක්‍රමණික හා රේගු බලගැන්වීම් මගින් මෙන්ම වර්ජීනියාවේ චලොටස්විලේහි කැරලි ගැසූවන් වැනි පුරෝගාමී ෆැසිස්ට්වාදීන්ට ආයාචනා කරමිනි. ඔහු ඇරඹුවේ මිලිටරිවාදය හා න්‍යෂ්ටික යුද තර්ජනය මත පාදක විදේශ ප්‍රතිපත්තියකි.
ට්‍රම්ප්ට හිතවත් මාධ්‍ය හා ඩිමොක්‍රටික් දේශපාලනඥයන් ට්‍රම්ප්ට සලකන්නේ ඔහු ධනේශ්වර දේශපාලන සම්මතයේ අපසරණයක් නියෝජනය කරන බව මවා පාමිනි. නමුත් අපසරණයක් නියෝජනය කරනවාට වඩා වෙනස්ව, ඔහුගේ ජනාධිපතිත්වය දශක ගණනාවක් තිස්සේ වර්ධනය වෙමින් තිබෙන ප්‍රවණතාවන්ගේ, විශේෂයෙන්ම සමාජ හා ආර්ථීක අසමානත්වයේ යෝධ වර්ධනය හා නිමක් නැති විසිපස් වසරක යුද්ධයේ නිර්මිතයකි. ඇමෙරිකානු ධනවාදයේ මෙම ප්‍රමාණකයන් දෙක හා ද්විපක්ෂ ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පවත්වා ගෙන යාම එකිනෙක ගැලපෙන්නේ නැත. එක්සත් ජනපදය සමස්ත ලෝක දේශපාලනයේ බල කේන්ද්‍රයක් වන අතර, එය තුළ සැබෑ දේශපාලන බලය පවත්වාගෙන යනු ලබන්නේ ඡන්දයෙන් තෝරා පත් කර නොගැණුණු බිලියනපතියන්, ඔත්තුසේවා ක්‍රියාකාරීන් හා ජනරාල්වරුන් විසිනි.
ඒවායේ ඉතාමත් විනාශකාරී හා විකෘති ප්‍රකාශනය වෝල් වීදිය හා වොෂින්ටනය තුළ සොයා ගත්ත ද, ඒ සිදුවීම් දෙකම වේගයෙන් වැඩෙන ආර්ථීක අසමානතාව මෙන්ම බහුලව පැතිරෙන මිලිටරිවාදය සමස්තයක් වශයෙන් ලෝක ධනවාදයේම ගති ලක්ෂණයක් බව පෙන්වනවා මිස එක්සත් ජනපදයට පමණක් සීමා වූවක් නොවේ.
ට්‍රම්ප්ද එම ජාත්‍යන්තර ක්‍රියාදාමයේ කොටසක් වන අතර, එය තුළ අන්ත දක්ෂිණාංශිකයන් දේශපාලනිකව වාසි ලබා ඇත්තේ, එක්දහස් නවසිය තිස් ගණන්වලින් පසු පැමිණි නරකම ආර්ථීක අර්බුදය බව පෙන්වා දෙමිනි. ජර්මනිය සඳහා විකල්පය, ප්‍රන්සයේ ල පෙන්, ඔස්ට්‍රියාව, නෙදර්ලන්තය, චෙක් සමූහාණ්ඩුව හා ඉතාලියේ අන්ත දක්ෂිණාංශික පක්ෂ හා බ්‍රිතාන්‍යයේ බ්‍රික්සිට් ඡන්දය තුළ එක්සත් රාජධානියේ නිදහස් පක්ෂයේ ප්‍රධාන කාර්යභාරය යන සියල්ල එවැනි එකම ස්වභාවයක ප්‍රකාශනයන්ය.
2016 එක්සත් ජනපද මැතිවරණය සටහන් කළේ ඩිමොක්‍රටික් හා රිපබ්ලිකානු යන පක්ෂ දෙක තුළම ‘කැරලිකාර’ අපේක්ෂකයන් මතුවීම තුළින් ප්‍රකාශ වුණු, සමස්ත දේශපාලන සංස්ථාපිතය සමඟ පවතින විශාල අසන්තෘප්තිය හා කෝපයයි. ප්‍රධාන වශයෙන් තරුණයන් හා කම්කරුවන් වූ, මිලියන 13ක් පමණ පුද්ගලයන් ඩිමොක්‍රටික් පක්ෂයේ මුල් වටයේ දී බර්නි සෑන්ඩර්ස්ට ඡන්දය දුන්නේ ‘බිලියනපති පන්තියට’ එරෙහිව දේශපාලන විප්ලවයක් මෙහෙයවනවා යැයි ප්‍රකාශ කළ බැවිනි. දැවන්න සමාජ අසන්තෘප්තිය විසින් ඉවතට හැරවූවන් යළි ඩිමොක්‍රටික් පක්ෂයේ අන්තයට ගෙන ඒම ඔහුගේ කාර්යභාරය වූ අතර, හිලිරි ක්ලින්ටන්ට අනුමැතිය දීම මගින් ඔහු තමා බාර ගත් දේ සම්පූර්ණ කළේය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ධනපති පන්තියේ බහුතරයකට බලයට ගෙන ඒමට අවශ්‍යව සිටි අපේක්ෂිකාව වූ ක්ලින්ටන්, ඔබාමාගේ අවිච්චින්නයා ලෙස තරග කළේ මහජන අසන්තෘප්තිය ගසා කෑමට ට්‍රම්ප්ට ඉඩ දෙමිනි.
මෙම මහජන අසංතෘප්තිය තව දුරටත් ගිනි අවුළුවා ඇත්තේ පත්වීමේ සිට මේ දක්වා ට්‍රම්ප්ගේ වාර්තා මගිනි. ඔහුගේ පදවිප්‍රාප්තියෙන් පසු ඇමෙරිකානු ඉතිහාසයේ විශාලම විරෝධතාවන් පැනනැගුණේ, සෑම ප්‍රධාන නගරයකම ඒවා පිපිරෙමිනි. සංක්‍රමණිකයන් මත ඔහුගේ ප්‍රහාරය, පාරිසරික විද්‍යාඥයන් සම්බන්ධ ඔහුගේ මුඛවාඩම්, සෞඛ්‍ය රැකවරණය ඇතුළු සමාජ සුබසාධන වැඩසටහන්වලට එරෙහිව ඔහුගේ තර්ජන මෙන්ම වර්ගවාදය හා ෆැසිස්ට්වාදය සම්බන්ධ ඔහුගේ විවෘත දිරිමත් කිරීම්වලට සියදහස් ගණනක් විරුද්ධත්වය දක්වා ඇත. මත විමසුම්වල ට්‍රම්ප්ට හිමිවන තැන නූතන ඉතිහාසයේ ඕනෑම ජනාධිපතිවරයෙකු පළමු වසරේ දී ලබා ඇති පහළම තැන වන්නේය.
ක්‍රියාමාර්ගයේ සෑම අඩියකදීම ට්‍රම්ප්ට වන විරුද්ධත්වය දක්ෂිණාංශය හා යුදගැති මානසිකත්වය වර්ධනය කිරීම ඔස්සේ අතරමං කිරීමට ඩිමොක්‍රටිකයන් උත්සාහ ගෙන ඇත්තේ, 2016 මැතිවරණය තුළ රුසියානු මැදිහත්වීම පිළිබඳ ව්‍යාජ චෝදනාව පාවිච්චි කරමිනි. මොස්කව් වෙත වඩා යුදකාමී ප්‍රතිපත්තියක් ගැනීමට පාලනාධිකාරිය තල්ලු කිරීමට මෙන්ම දේශපාලනික අසංතෘප්තිය පිළිබඳ ඕනෑම ප්‍රකාශනයක් මැඩ පැවත්වීමට අන්තර්ජාල වාරණයක් ඉල්ලීමටත් ඒ සඳහා හොඳම උදාහරණයකි.
මැතිවරණයෙන් වසරකට පසු ඇමෙරිකාව තුළ විකල්ප දේශපාලන බලයක් බෙදා හදා ගන්නා ධනේශ්වර පක්ෂ දෙකම පවතින්නේ ගැඹුරු අර්බුදයකය. රිපබ්ලිකන් සෙනෙට් සභිකයන් ට්‍රම්ප් ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් ලෙස හෙළා දකින අතර, ස්ටීවන් ඛෙනන් ඇතුලු ෆැසිස්ට්වාදී ට්‍රම්ප් ගෝලයෝ පක්ෂ සංස්ථාපිතය ඉලක්ක කරයි. සුදු ස්වෝත්තමවාදීන් හා නව ෆැසිස්ට්වාදීන්ගේ වීදි ප්‍රචණ්ඩතා සමග පෙළ ගැසෙති. ක්ලින්ටන් හා සෑන්ඩර්ස් පාර්ශ්වයන් අතර ගැටුම්වලින් ඩිමොක්‍රටික් පක්ෂය දෙකඩ කෙරේ. සියල්ල තුළ ඇත්තේ එක පෙරමුණක් තුළ ඇති එකිනෙකට වෙනස් ප්‍රතිවිරෝධතාවයන්ය. මේ නිසා තව දුරටත් සමනය කළ නොහැකි අර්බුද රැසකට එක්සත් ජනපදය සහ ට්‍රම්ප් පාලනය ඇද වැටී ඇත.
මේ නිසා එළඹෙන දිනවල ඔහු මොන තරම් ශාන්ත ස්වරයෙන් ප්‍රකාශ නිකුත් කිරීමට ඉඩ තිබුනත් ජනාධිපති ට්‍රම්ප් මෙහෙයවනු ඇත්තේ යුද්ධය, ජාතික ස්වෝත්තමවාදය, මිලිටරිවාදය හා පොලිස් රාජ්‍ය ප්‍රචණ්ඩත්වයේ ආණ්ඩුවකි. ට්‍රම්ප් යටතේ ඇමෙරිකාව ඔහු පවසන ආකාරයේ ‘නැවතත් සහ ශ්‍රේෂ්ඨ’ තත්ත්වයකට පත් නොකෙරෙනු ඇත. ඔහු විසින් එය තල්ලු කෙරෙනු ඇත්තේ ඉතිහාසයේ කසළ ගොඩ දෙසටය.


ධනංජය සූරියබණ්ඩාර