දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට දියගමින් ගොටුකොළ

saman piyasiri sis
අයියා ප්‍රාර්ථනය කළේ යහපත් ලෝකයක්…
January 10, 2018
police
පොලිසිය පරණ පාරට 
January 15, 2018
Show all

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට දියගමින් ගොටුකොළ

diyagama

‘මීටර් 200 ධාවන පථයක පුහුණුවීම් කරලා මීටර් 400 ධාවන පථයක දුවන්න බැහැ. මේ දෙකේ දුවනකොට වෙනසක් තිබෙනවා. මීටර් 200 ධාවන පථයක පුහුණුවීම් කළාට ජාත්‍යන්තර තරගාවලියක දී දුවන්න වෙන්නේ මීටර් 400 ධාවන පථවලයි. මේ නිසා එතන දී අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ලොකු අපහසුතාවයකට පත් වෙනවා. ඒක නිසා අඩුම තරමින් සෑම දිස්ත්‍රික්කයකටම මීටර් 400 ක ධාවන පථයක් සහිත එක් ක්‍රීඩාංගණයක්වත් තියෙනවා නම් හොඳයි. හැමෝටම කොළඹ එන්න බැහැ. අනෙක් රටවල් ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් අහසේ ඉන්නකොට අපි තවමත් ඉන්නේ පොළොවේ. ජාත්‍යන්තරය දිනන්න නම් අපිත් එතෙන්ට යන්න ඕන.’
මෙය පසුගියදා පෞද්ගලික රූපවාහිනී නාළිකාවක පැවති සජීවි ක්‍රීඩා වැඩසටහනක දී ලංකාවේ හිටපු සුපිරි මීටර් 400 ධාවන සූරිය වූ දමයන්ති දර්ශා විසින් කරන ප්‍රකාශයකි. එම වැඩසටහනේදීම දකුණු පළාතෙන් බිහි වූ තවත් ක්‍රීඩිකාවක් පවසා සිටියේ මුළු දකුණු පළාතටම මීටර් 400 ධාවන පථයක් ඇත්තේ මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ පමණක් නිසා එම පළාතේ සෙසු දිස්ත්‍රික්කවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුවීම්වල දී දැඩි අසීරුතාවයකට පත්වන බවය. මෙහි වඩාත් හාස්‍යජනක සිදුවීමක් වන්නේ රාජපක්ෂවරුන් වසර ගණනාවක් බලයේ සිටියද ඔවුගේ නිජ භූමිය වන හම්බන්තොට දිස්ත්‍රික්කයේ හෝ මෙවැනි ක්‍රීඩා පිටියක් නොමැති වීමය. එහෙත් ඔවුන් 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වීමට සූදානම් වී සිටියේද හම්බන්තොටදීය. එමෙන්ම වත්මන් මුදල් ඇමති මංගල සමරවීර මහතාද මාතර නිල්වලා උයන උද්‍යානය සදහා මිලියන 2,500ක් වෙන් කරගෙන ඇත්තේ ද ක්‍රීඩාව මෙවැනි තත්ත්වයක තිබියදීය.
වෙනත් දිස්ත්‍රික්කවල පමණක් නොව ලංකාවේ අගනගරය පිහිටි කොළඹ දිස්ත්‍රික්කයේද මේ වන විට ක්‍රීඩා පුහුණුවීම සදහා හොද ක්‍රීඩා පිටියක් නැත. මේ වන විට සුගතදාස ක්‍රීඩා පිටියේ සහ දියගම ක්‍රීඩාංගණයේද ධාවන පථ පුහුණුවීම් සදහා සුදුසු මට්ටමක නොමැත. සුගතදාස ක්‍රීඩා පථය ඉදිකිරීමට නැවතවරක් පසුගියදා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් මුල්ගල් තැබුවද, කවදා එය නිම වී ක්‍රීඩා කිරීමට ලැබේවි දැයි කිව නොහැකිය. දියගම ක්‍රීඩාංගණයද නවීකරණය කිරීම සදහා මෙවර අය වැයෙන් මුදල් වෙන්කර ඇතත් තවමත් එහි වැඩ ආරම්භ වී නොමැත. එපමණක්ද නොව පසුගිය දිනක හිටපු සුපිරි මලල ක්‍රීඩකයකු වන සුගත් තිලකරත්න අප වෙත පවසා සිටියේ ටොරින්ටන් ක්‍රීඩාංගණයේද පුහුණුවීම් කටයුතු කිරීමට සුදුසු මට්ටමක නොමැති බවය. ඒ අනුව පෙනී යන්නේ අතීතයේද ‘කොළඹට කිරි ගමට කැකිරි’ යැයි පැවසුවද දැන් ගමට පමණක් නොව කොළඹටත් කැකිරි වී ඇති බවය.
දියගම ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ඉදිකිරීම් ආරම්භයේ සිටම මහ අවුල් ජාලාවකි. අපද මීට පෙර අවස්ථා දෙකක දී ඔබ වෙත තොරතුරු ඉදිරිපත් කළෙමු. ඒ 2016 ජූලි 31 වනදා සහ 2016 අගෝසතු 07 වනදාය. එවකට හෝමාගම ප්‍රාදේශීය ලේකම්වරයා අප වෙත පැවසූ පරිදි එම ක්‍රීඩාංගණයේ ඉදිකර ඇති භූමියෙන් කොටසක් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට අයත් වූ අතර කොටසක් ප්‍රාදේශීය ලේකම් වරයාටය. එහෙත් මෙහි පුදුමයට කාරණයක් වන්නේ ඔහුට අයත් ඉඩමේ ඉදිකර ඇති ක්‍රීඩාංගණය පිළිබඳ ලියවිලි ඔහුගේ ආයතනය හරහා සිදුවී නොමැති වීමය. එදා ඔහු අපට ඒ පිළිබඳ පැවසූයේ මෙසේය. ‘ක්‍රීඩාංගණයක් හදලා තියෙනවා කියලා නම් මමත් දන්නවා. ඒකට අපිට අයත් ඉඩමක් භාවිතා කරල තියෙනවා. හැබැයි මේකට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සම්බන්ධයක් නැහැ. මේකේ ලියවිලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා සිදුවුණු ඒවා නොවෙයි. ඒක නිසා මේකට වගකියන්න බැහැ.’ මෙම ක්‍රීඩාංගණය
අයත්ව තිබුණේ ‘මහින්ද රාජපක්ෂ පදනම’ නම් වූ පදනමකටය. අප විසින් මීට පෙර මෙම ක්‍රීඩාංගණය පිළිබඳව තොරතුරු ලබා ගැනීම සඳහා ගිය අවස්ථාවේදී එහි ස්ථාන භාරව සිටි හමුදා නිලධාරීවරිය අපට ක්‍රීඩාංගණයට ඇතුළු වීම සදහා අවසර ලබා නොදීම හේතුව ලෙස සඳහන් කළේද මෙම වාක්‍යමය. ‘මේක අයිති රජයට නෙවෙයි. මේක අයිති මහින්ද රාජපක්ෂ පදනමටයි. ඒක නිසා මේකට ඇතුළු වෙන්න අවසර දෙන්න බැහැ’ යනුවෙනි. සිදු වී ඇති දෙය දැන් පැහැදිලිය. මහින්ද රාජපක්ෂ පදනම යනු හිටපු ජනාධිපතිවරයාගේ නමින් පිහිටුවාගත් පදනමකි. එම යුගයේ දී තම ඒකාධිපති බලය යොදවා රාජ්‍ය සේවකයන් තමන්ගේ වහලුන් ලෙස යොදාගත් බව මුලු රටම දන්නා කරුණකි. මෙයද එහි තවත් දිගුවක් බව ප්‍රාදේශීය ලේකම්වරයාගේ ප්‍රකාශයෙන් පැහැදිලි වේ. තවද මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීමට තමාගෙන් රු. මිලියන 1000ක් ලබාගත් බව සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති ලලිත් කොතලාවල මහතා මීට මාස කිහිපයකට පෙර රාජ්‍ය විද්‍යුත් මාධ්‍යක පැවති සජීවී වැඩසටහනකදී ප්‍රසිද්ධියේ පැවසීය. එපමණක්ද නොව මෙම ක්‍රීඩංගණය පිළිබඳව අප එදා වත්මන් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් රොෂාන් සෙනවිරත්න මහතාගෙන් විමසූ විට මෙම ක්‍රීඩාංගණය පිළිබඳ පොලිසිය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් පරීක්ෂණයක් සිදු කරන බවත්, එම නිසා මෙය ක්‍රීඩා අමාත්‍යාංශයට භාර දිය නොහැකි බවත්ය.
පසුගිය දිනක අප මෙම ක්‍රීඩාංගණය පිළිබඳ කළ සොයා බැලීමකදී අපට තවත් කරුණු රැසක් සොයා ගැනීමට හැකි විය. වර්තමානය වන විට මෙම ක්‍රීඩාංගණය පවතින්නේ ක්‍රීඩා අමාත්‍යාංශය යටතේය. එහෙත් මේ වන තෙක් කිසිදු සේවකයෙකු මේ සඳහා යොදවා නොමැත. මේ නිසා ක්‍රීඩාංගණයේ ඉදිකර ඇති සියලූම ගොඩනැගිලි මෙන්ම ඉදිකරමින් පැවති පිහිනුම් තටාකය, ගෘහස්ත ක්‍රීඩාංගණය, ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ නේවාසිකාගාරය වල් බිහිවී ක්‍රමයෙන් අභාවයට යමින් පවතී. එපමණක්ද නොව මෙම ව්‍යාපෘතියට අයත් සෙසු ඉදිකිරීම් වන වෙඩිතලාව ගෝල්ෆ් පිටිය, යුද කෞතුකාගාරය, වී.අයි.පි. සංචාරක නිවාසය, බේස් බෝල් ක්‍රීඩාංගණය යන ඉදිකිරීම් කිසිවක් මේ වන තුරුත් ආරම්භ කර නොමැත. එපමණක්ද නොව මෙම ක්‍රීඩාංගණයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි හමුදා නිලධාරීන් ප්‍රමාණයද 10 කට සීමා වී ඇත. එම ප්‍රමාණය මෙහි ආරක්ෂාවට කිසිසේත්ම ප්‍රමාණවත් නොමැත.
මෙම විමර්ශනයේදී මෙතෙක් අප්‍රකටව පැවති කරුණක් පිළිබඳවද තොරතුරු වාර්තා විය. එනම් 2011 වසරේ සිට මෙම භූමිය සංවර්ධනය සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයද සම්බන්ධ වී ඇති බවය. ඔවුන් මේ සඳහා මැදිහත් වීමට හේතුව වී ඇත්තේ විශාල ජනකායක් එක් රැස්වන මෙම ස්ථානය පරිසර හිතකාමී අයුරින් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකිරීමටය. මේ සදහා 2012 වසරේ දී කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් රු. මිලියන 25ක මුදලක් වෙන් කර දී ඇත. එම ව්‍යාපෘතිය යටතේ පහත සඳහන් ක්‍රියාකාරකම් සිදු කිරීමට යෝජනා වී තිබිණි. භූමි අලංකරණය, කුළු බඩු බෝග ස්ථාපනය, ඖෂධීය වටිනාකමකින් යුතු බහුවාර්ෂික බෝග ස්ථාපනය, ක්‍රීඩා පහසුකම් හැර ඉතිරි භූමි සංවර්ධන, වැසි ජලය සංරක්ෂණය හා බෙදා දීමේ පද්ධතියක් ස්ථාපනය කිරීම, සූර්ය කෝෂ සවිකිරීම, කොම්පෝස්ට් සහ අපද්‍රව්‍ය කළමනාකරණය, කාලගුණ ඒකකයක් පිහිටුවීම, ඒ අතර වේ. මෙහි ඇතැම් ව්‍යාපෘති මේ වන විට ක්‍රියාත්මක වන අතර ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.
කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍යාංශයට මෙම භූමිය පවරා ගැනීමෙන් පසුව මෙහි සිදුකරමින් පැවති සියලුම ඉදිකිරීම් සහ නඩත්තු කිරීම් ඇන හිට ඇත. මේ වන විට කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් පාලනය වන පරිසර හිතකාමී කෘෂි උයන පමණක් එහි නිලධාරීන්ගේ හා සේවකයන්ගේ මැදිහත් වීමෙන් පවත්වාගෙන යනු ලබන අතර එම භූමි ප්‍රමාණය වන අක්කර 15 ක භූමි ප්‍රමාණයද මෙතෙක් කෘෂිකර්ම අමාත්‍යාංශයට පවරා දී නොමැත.
අප විසින් ප්‍රථම වරට 2016 ජූලි 31 වනදා මෙම ක්‍රීඩාංගණය පිළිබඳ තොරතුරු අප පුවත්පතේ පළ කළ පසු ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රීඩාංගණය නිරීක්ෂණ චාරිකාවක යෙදුණු අතර එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ අදහස් ඇතිව හැකි ඉක්මනින් මෙම ක්‍රීඩාංගණය ක්‍රීඩා අමාත්‍යාංශයට පවරාගෙන එහි සංවර්ධන කටයුතු අරඹන බවය. තවද අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව පාසල් මට්ටමින් එන දක්ෂතා ඇති දරුවන්ට ඔලිම්පික් මට්ටම දක්වා පුහුණු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද ඔහු වැඩි දුරටත් පැවසීය.
එදා ඔහු එසේ පැවසුවද මෙම ක්‍රීඩා සංකීර්ණයට අයත් මුළු භූමි ප්‍රමාණය වන අක්කර 126 ප්‍රමාණයම ක්‍රීඩා අමාත්‍යාංශයට පවරා දී මාස 06 පමණ කාලයක් ගතවී ඇතත් ඔහු සඳහන් කළ කිසිම දෙයක් ක්‍රියාත්මක වන බවක් නම් පෙනෙන්නට නැත. නව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම කෙසේ වෙතත් එතෙක් කරගෙන ආ ව්‍යාපෘති දිගටම කරගෙන යාමක් හෝ ඉදිකළ ගොඩනැගිලි ඇතුළු අනෙකුත් ස්ථාන ක්‍රමවත්ව නඩත්තු කිරීමක් හෝ සිදුවන්නේ නැත. ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ කිසිදු නිලධාරියෙකු හෝ සේවකයෙකු මේ සඳහා යොමුකර නැත. මේ නිසා මේ වන විට ඒවා විනාශ වෙමින් පවතී. මෙය මහා ජාතික අපරාධයකි. කවුරුන් කාගේ නම් මේවාට යොදා ගත්තද කුමන පම්පෝරි ගැසුවද මේ විනාශ කරනු ලබන්නේ මේ රටේ ජනතාවගේ මුදල්ය. මේවා විනාශ වුවහොත් යළිත් ගොඩනැගීම සඳහා වියදම් කරන්නේ ජනතාවගේ මුදල්ය. මේ සියලුම බර දැරීමට සිදුවන්නේද ඔවුන්ටමය. තවද 2020 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වීමට නියමිතව ඇත්තේද මෙහිදීය. මේ නිසා මෙහි ඉදිකිරීම් සහ සංවර්ධනය කිරීම් දැන් සිටම ආරම්භ කර ක්‍රමවත්ව සිදු කළ යුතුව ඇත. අය – වැයෙන් මුදල් වෙන් කළ පලියට සියල්ල සිදු වන්නේ නැත. ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් අවශ්‍යය. එසේ නොමැතිව අපගේ ගම්බද භාෂාවෙන් ඇති ‘මොකක්දෝ හැදුණු විට පිට්ටනිය හොයන්නාක් මෙන්’ තරගාවලිය අත ළඟටම පැමිණෙන තුරු බලා සිට කඩිකුලප්පුවේ වැඩ කරන්නට ගිය හොත් සිදුවන්නේ මිලියන ගණන් ජනතාවගේ මුදල් විනාශ වීමය.
මේ නිසා ජනතාවගේ මුදල් සහ දේපළ විනාශ නොවන පරිදි කටයුතු කිරීම මෙරට පාලකයන්ගේ මෙන්ම බලධාරීන්ගේ ද වගකීම වේ. ඔවුන් කෙසේ මේ පිළිබඳව කටයුතු කරන්නේද යන්න පිළිබඳව වගකිය යුතු මාධ්‍යයක් ලෙස අතීතයේදී, වර්තමානයේදී මෙන්ම අනාගතයේදී ද අපි නිරන්තරයෙන් අවධානයෙන් සිටිමු.


සමන් රණවක ආරච්චි