සටන මරණයෙන් කෙළවර නොවේ !

history
ඉතිහාසයේ දිනක මෙසේ සිදු විය
January 10, 2018
saman piyasiri sis
අයියා ප්‍රාර්ථනය කළේ යහපත් ලෝකයක්…
January 10, 2018
Show all

සටන මරණයෙන් කෙළවර නොවේ !

upul kumara

නමුදු පවතින තත්ත්වය තුළ තව ගැටලු රාශියක් නිර්මාණය කෙරෙමින් පැවතිණි. කිසිවකුගේ ජිවිත අවතක්සේරුවට ලක් කළ නොහැක. ඉතින් සියල්ල ආරක්ෂා කළ යුතුව තිබිණි. මේ කාලයේම පක්ෂයේ හිතවතකුගේ නැගණියන් දෙදෙනෙකු ද එක්වත්ත ඇනෙක්සියේ නතර කර ගැනීමට සිදු විය. ඉඩකඩ ප්‍රශ්නය හා රහස්‍ය භාවය රැක ගැනීම සදහා ඔවුනට නිවසක් සොයා ගත යුතු විය. ඒ අනුව පක්ෂයේ උදවු ඇතිව උඩහමුල්ල ප්‍රදේශයේ නිවසක් කුලියට ගැනීමට හැකි විය.
1989 මුල් කාලය වන විට මර්දනය තීව්‍ර වී තිබුණු අතර, බොහෝ පක්ෂ සහෝදරවරුන් සහ ඔවුන්ගේ පවුල් ඉලක්ක කර ගනිමින් මර්දනය ක්‍රියාත්මක වී තිබිණි. එබැවින්, දේශපාලන සම්බන්ධයක් නොතිබුණු බොහෝ දෙනා ද පවුල් පිටින්ම ඝාතනය කිරීම අරඹා තිබිණි. 89 මුල් කාලයේ දී ගනේමුල්ලේ විසු වැඩිමහල් සොයුරියගේ පවුල ද අවදානමට ලක් වී තිබූ බැවින් ඔවුන් උඩහමුල්ල නිවසට කැඳවා ගැනීමට සිදුවිය.
කුඩා දරුවන් දෙදෙනා ද සමග ඔවුන්ගේ පාසල් ගමන් අත්හිටුවමින්, තම රැකියාවලට හා සියලු දේපළවලට සමු දී ඔවුන් උඩහමුල්ල නිවසට පැමිණියේය. වැඩි කාලයක් ගත වීමට මත්තෙන් ඔවුන් වේයන්ගොඩ කුලියට පදිංචිව සිටි නිවස ද ගිනිබත් කොට තිබිණි.
රට තුළ පැවති විරෝධය නිසාම ඒකාධිපති පාලනයක් ගෙනගිය ෙජ්.ආර්.ට වේදිකාවෙන් බැසයාමට සිදු විය. ඡන්ද 26%කින් බලයට පත් ජනාධිපති ප්‍රේමදාස ජනතාව තවදුරටත් රැවටීමේ විවිධ නව ප්‍රයෝග යොදමින් සිටියේය. (ප්‍රේමදාස මහතා බලයට පත් වූයේ ආණ්ඩු බලය නිර්ලජ්ජිතව යොදාගෙන ඡන්ද පෙට්ටි පිර වූ අන්ත දූෂිත ජනාධිපතිවරණයකිනි) මර්දනය නිල නොවන ‘ප්‍රා, ස්‍රා, කහ බළල්ලු’ ආදී විවිධ කල්ලි හරහා ක්‍රියාත්මක විය.
කෙතරම් මර්දනයක් පැවතිය ද, ජනතා උද්ඝෝෂණ නතර වූයේ නැත. 1989 ජුනි 06 වැනිදා නුගේගොඩ පැවති දැවැන්ත දේශප්‍රේමී රැළිය ඓතිහාසික එකක් විය. එම කාලයේම මතු වී රට පුරා ව්‍යාප්ත වූ ලංගම වැඩ වර්ජනයට ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානය නායකත්වය ලබා දුන් අතර, එය සියලු ඉල්ලීම් දිනා ගනිමින් ජයග්‍රහණය කළේය. ප්‍රේමදාස පාලනය විසින් තව තවත් මර්දනය උග්‍ර කරනු ලැබිණි. රට පුරා විශාල තරුණ සංහාරයක් දියත් වී තිබිණි.
1989 නොවැම්බර් මාසයේ තවත් දෛවෝපගත සිදුවීමක් සිදු විය. එදින
බොරලැස්ගමුව ප්‍රදේශයේ පක්ෂ හිතවතකුගේ නිවසේ රාත්‍රිය ගත කරමින් සිටි සමන් පාන්දර 4.00ට පමණ ශාරීරික අවශ්‍යතාවයක් සදහා නිවසින් බැහැරට පැමිණියේය. ඔහු දුටුවේ ආරක්ෂක අංශවල හදිසි වැටලීමකි. වහා ක්‍රියාත්මක ඔහු අසල වු කපා දමා තිබූ අමු කොස් අතු ගොඩක් තුළට රිංගා ගත්තේය. සවස් වරුවේ කපා දමා තිබු ගසෙහි දිමිගොටු ඇවිස්සීමෙන් දිමියන් සියොලඟ පුරාවටම නලියන්නටත්, විදින්නටත් විය. නමුුදු එකදු කෙඳිරියක් හෝ සෙලවීමක් සිදු කළ නොහැක. උදෑසන වන විට වැටලීම අවසන් විය. එහෙත් ආලෝකය දසත පැතිරෙත්ම තමා කිසිවකු දකීවිය යන අවදානම තව තවත් තීව්‍ර විය. නමුදු සිදුවීම් පෙළගැසී තිබුණේ වාසිසහගත අන්දමටය. වහා ක්‍රියාත්මක වූ සමන් නිවස තුළට ඇතුළු විය. නිවැසියන්ගේ භිරාන්ත වීම සුසුමකින් සැහැල්ලු කරලූයේ ඒ මොහොතේය. අනතුරුව සාමාන්‍ය රැකියාවකට යන අයකු සේ සමන් එම නිවසින් පිටත්ව ගියේය.
නොවැම්බර් 11, 12, 13 දේශපාලන මණ්ඩල රැස්වීම ගලහ දී යොදාගෙන තිබිණි. රෝහණ විජේවීර, ගමනායක, ශාන්ත බණ්ඩාර, පියදාස රණසිංහ, එච්. බී. හේරත්, ලලිත් විජේරත්න සමඟ සමන් පියසිරි මෙයට සහභාගී වූහ. අනතුරක ඉව වැටී තිබූ නිසාවෙන් එය 12දා දවල් නතර කරනු ලැබිණි. තත්ත්වය පරීක්ෂා කර ගත යුතු නිසා සමන් පියසිරි සහ සෝමවංශ අමරසිංහ දෙදෙනා ගලහ සිට උලපනේට ගොස් යළි ගලහට පැමිණියහ. ඉන්පසු රෝහණ විජේවීර ඇරලවීමට ද ඔවුන් දෙදෙනාම යළි උලපනේට ගියහ. පිරිස විසිර ගිය ද, එතැන් සිට ගත වූ පැය කිහිපයේ බොහෝ දේ සිදු විය. 13දා අලුයම ගලහට කඩා වැදුණු ආරක්ෂක අංශ එහි සිටි පියදාස රණසිංහ හා හේරත් දෙදෙනා අත්අඩංගුවට ගත්හ. එදිනම සවස උලපනේ දී රෝහණ විජේවීර ද අත්අඩංගුවට ගනු ලැබිණි. ගමනායක ද පසු දා අත්අඩංගුවට ගෙන තිබේ. ඩී. එම්. ආනන්ද, ගුණරත්න වනසිංහ දින කිහිපයකට පෙර අත්අඩංගුවට ගෙන තිබිණි. මෙම නායකයන් සියලු දෙනා මේ දින කිහිපය තුළ රාජ්‍ය හමුදා විසින් අමානුෂික ලෙස ඝාතනය කරන ලද අතර ඒ පිළිබඳ ව්‍යාජ පුවත් රජයේ මාධ්‍ය විසින් ප්‍රචාරය කරන ලදී.
දේශපාලන මණ්ඩලයේ ඉතිරි වූ අයගෙන් ශාන්ත බණ්ඩාර, සමන් පියසිරි ප්‍රනාන්දු, ලලිත් විජේරත්න ඇතුළු පිරිස යළි පක්ෂය ඒකරාශී කොට සංවිධානය කිරීමට රහසිගතව කටයුතු කළහ. සෝමවංශ අමරසිංහ ද පසුව මෙම වැඩපිළිවෙළ සමඟ සම්බන්ධ විය. නව මධ්‍යම කාරක සභාවක් පිහිටුවනු ලැබූ අතර, එමගින් දේශපාලන මණ්ඩලය පත් කර ගනු ලැබිණි. ඒ අනුව පක්ෂ නායකත්වය සඳහා තෝරා ගනු ලැබුවේ සමන් පියසිරිය.
ඒ වන විට ඉතාමත් රහසිගත තත්ත්වයන් යටතේ කටයුතු සිදුවෙමින් පැවතිණි. සියලු ස්ථාන හා පුද්ගලයන් අනාවරණය වෙමින් තිබිණි. විජේවීර ගේ මරණයත් සමග සියල්ල අවසන් වනු ඇතැයි සිතූ ඇතැම් ක්‍රියාකාරිකයෝ් අන්තයටම කඩාවැටී සිටියහ. නමුදු, එවැනි තත්ත්වයක් තුළ ද පක්ෂය ශක්තිමත් කිරීමේ කාර්යය අත්නොහැර දිගින් දිගටම කෙරෙමින් තිබිණ. එවකට පිලිපීනයේ සිට විකාශනය වූ ‘වෙරිටාස්’ ගුවන්විදුලි සේවය මගින් නව පක්ෂ නායකයා ශාන්ත පියසිරි ලෙස නම වෙනස් කර ප්‍රකාශයට පත් කර තිබිණි.
දිගු සැලසුම් ප්‍රමාණයක් වෙනුවෙන් මැදිහත් වීමට අදිටන් කර ගනිමින් නැගණිය ඇතුළු පිරිසෙන් ටික කලකට සමු ගැනීමට ඔහු තීරණය කර තිබිණි. දෙසැම්බර් 25 රාත්‍රී ඔහු නාවල නිවසට පැමිණියේය. නමුදු සිදුවීම් පෙළගැසී තිබුණේ යහපත් අන්දමට නොවේ. කිසියම් ආකාරයක වරදක් සිදුව තිබිණි. එනම් දෙසැම්බර් 26 වනදා හිමිදිරියේ හිරු එළියෙන් දසත උණුසුම්ව යාමටත් ප්‍රථම ආරක්ෂක අංශ නිලධාරින්ගෙන්
නාවල නිවස පිරි ගියේය. දැන් සියල්ල සිදුවී අවසන්ය. සියලු දෙනා අත්අඩංගුවට ගනු ලැබිණි.
ඔවුන් කොළඹ ආරක්ෂක මූලස්ථානයකට ගෙනගොස් තිබේ. පසුව මත්තේගොඩ පවත්වාගෙන ගිය රැඳවුම් කඳවුර වෙත සමන් පියසිරිව රැගෙන ගිය බව පැවසෙයි. රාජ්‍ය මර්දනයේ කෘෘර වධබන්ධනවලට ලක් කරමින් අත්අඩංගුවට ගත් රාජා ද, තරුණ සොයුරා ද ඝාතනය කල බව පැවසේ. ඒ අතර සමන් පියසිරි නම් ඒ අසහාය මිනිසා රාජ්‍ය මැර හමුදාවේ අනේක විධ වධ වේදනාවන් හමුවේ නොසැලී හිඳිමින් කිසිදු තොරතුරක් හෙළිදරවු කිරීම ප්‍රතික්ෂේප කරමින් සිය විප්ලවීය ජීව ගුණය ප්‍රදර්ශනය කළේය. අඩුම තරමින් ඔහු සිය නමවත් පිළිගත්තේ නැත. අවසානයේ ඒ වන විට පාවා දෙන්නන් බවට පත්ව සිටි අය පවා ඔහු හමුවට ගෙන ආව ද ඒ කිසිවෙක් සමන් පියසිරි නම් වූ ඒ සුවිශේෂී මිනිසා සසල කිරීමට සමත් වූයේ නැත.
තම දිවි බේරා ගැනීමට යයි සිතා යම් යම් තොරතුරු හෙළි කළ අය ද සමන් හමුවට ගෙන එනු ලැබූ අතර, ඔවුන්ගෙන් ඇතැම් අය සමන්ට පවසා ඇත්තේ රෝහණ විජේවීර ඇතුළු සියලු දෙනා මියගොස් ඇති තත්ත්වයක් තුළ තවත් ආරක්ෂා කිරීමට දෙයක් නොමැති බවය. ඒ නිසා දන්න දෙයක් කියලා ජීවිත බේරා ගන්න බලමු වැනි අදහස්ය. එහෙත් එසේ කී අයගෙන් සමන් පියසිරි අසා ඇත්තේ ‘නැහැ ඒක වැරදියි සහෝදරයා, හෙළිවෙන්න තවත් දේවල් නැත්නම් ඔවුන් අපට මෙතරම් වධ දෙමින් මේ තොරතුරු හෙළි කර ගැනීමට දතකන්නේ ඇයි?’ යනුවෙනි. සැබැවින්ම අවසාන මොහොතේත් ඔහු තදින්ම විශ්වාස කළේ කවුරුන් විසින් හෝ පක්ෂය යළි ගොඩනගන බවයි. ඒ සඳහා ආරක්ෂා විය යුතු තම සගයන් ආරක්ෂා කිරීම ඔහුගේ ප්‍රධාන වගකීම බව ඔහු සිතූ බවට සැකයක් ඇත්තේ නැත. අවසානයේ ඒ ශ්‍රේෂ්ඨ මිනිසා, සැබෑ මානවප්‍රේමියකු, විප්ලවවාදියකු හා කොමියුනිස්ට්වාදියකු ලෙස මරණය වැළඳ ගත්තේය.
එවකට වයස 32ක් වූ මේ එඩිතර මිනිසාගේ එකම ප්‍රකාශය වී තිබුණේ ‘මට අගකුත් නැත, මුලකුත් නැත, ඔහේලට පුලුවන් දෙයක් කරන්න’ යන්නයි.


ජී. උපුල් කුමාරි