ආයුර්වේදය ලෙඩ කරන ගිවිසුමට එරෙහිව වෛද්‍යවරු සටනේ

ජේවීිාට
ඡන්දය අතිශයින්ම වැදගත් දේශපාලන ක්‍රියාවලියක් (ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි)
January 22, 2018
ඉරෙණෙතිව් ජනතාව
උපන් බිමේ අයිතිය ඉල්ලන ඉරෙණෙතිව් ජනතාව
January 22, 2018
Show all

ආයුර්වේදය ලෙඩ කරන ගිවිසුමට එරෙහිව වෛද්‍යවරු සටනේ

3235285562

අවම වශයෙන් සෞඛ්‍යය, අධ්‍යාපනය හා ප්‍රවාහනය වැනි කිසිදු වැදගත් ක්ෂේත්‍රයක් කෙරෙහි හෝ නිශ්චිත ජාතික ප්‍රතිපත්තියක් නොමැති අපේ වැනි රටක එකී ක්ෂේත්‍රයන්හි බරපතල කඩාවැටීමක් නිරන්තරයෙන්ම බලාපොරොත්තු විය හැකිය. අප කාගේවත් ප්‍රාර්ථනාව එය නොවුවද, අද වන විට අප මුහුණ දෙන වඩාත් බරපතළ හා ඛේදනීය සත්‍යය එයයි. විශේෂයෙන්ම අපේ රටේ සෞඛ්‍ය සේවාව තුළ ඇති කර තිබෙන මේ බරපතළ ව්‍යාකූලත්වයම උපයෝගී කොට ගනිමින් ඒ සඳහා අතපෙවීමටත්, අත තැබීමටත් විවිධ පාර්ශ්වයන් උත්සාහ කරමින් සිටී. අපේ රටේ මෙතෙක් කාලයක් තිස්සේ බලයට පත් වූවන් සේම අදත් බලය හොබවන පාලකයන් ද දතකෑවේ මේ අරමුණෙනි. පසුගිය
වසරේ මැද භාගයේ දී අත්සන් කිරීමට නියමිතව තිබූ ‘ඉන්දු – ලංකා ආර්ථීක හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම’ (ETCFA) යනු එවන් බරපතළ ඛේදවාචකයක තවත් මූලාරම්භයක් බවට පත් වීමට ඉඩ තිබිණි. ඇත්තෙන්ම මේ රටේ ප්‍රගතිශීලී ජනතාව, උගතුන්, බුද්ධිමතුන්, වෘත්තිකයන් මෙන්ම දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති ද එක්ව ඉතිහාසය පුරාම විටින්විට කළ අරගලයන්ගේ බලපෑම නොවන්නට මේ තරමින් හෝ මෙම ආයතන මහජනතාව වෙනුවෙන් රැකී තිබීම සිහිනයක්ම වන්නට තිබිණි.
කැලේ මාරු වුණාට කොටියාගේ පුල්ලි මාරු නොවන්නා සේම ගිවිසුමේ නම වෙනස් වුවද, නැවතත් වටයකින් එකී පෙර ගිවිසුමේ සඳහන් වූ එකඟතාවලට බොහෝ සෙයින් සමානත්වයක් දක්වමින් 2017 නොවැම්බර් 23 වන දින TRED – MED ප්‍රදර්ශනය හා සම්මන්ත්‍රණයට සමගාමීව මෙරට දේශීය ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය තුළ නව ගිවිසුමකට අත්සන් තැබීමට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා විසින් උත්සාහ කොට තිබිණි. ඒ ‘දේශීය වෛද්‍ය ක්‍රම සහ හෝමියෝපති වෛද්‍ය ක්‍රම පිළිබඳ ඉන්දු – ලංකා අවබෝධතා ගිවිසුම’ යනුවෙනි. එහෙත් මෙම අතිශය ප්‍රෝඩාකාරී හා කුමන්ත්‍රණකාරී ගිවිසුම අත්සන් තැබීමට එරෙහිව මෙරට ආයුර්වේද වෛද්‍යවරු සිය බලවත් විරෝධය දැක්වූහ. ඒ අනුව පසුගිය කාලය පුරාම විටින්විට අවස්ථා කිහිපයක ම ඉන්දියාව සමඟ දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මෙලෙස අවබෝධතා ගිවිසුම් ඇති කර ගැනීමට යෝජනා වුවද, ඒවායේ පැවති විනාශකාරී බව විවිධ පාර්ශ්වයන් විසින් පෙන්වා දීමෙන් අනතුරුව එම ගිවිසුම් අකුළා ගැනීමට සිදු විය. යම්හෙයකින් හෝ මෙම ගිවිසුම ක්‍රියාත්මක වූයේ නම් මෙරට දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය තුළට ඉන්දීය ආක්‍රමණයක් සිදුවීම කිසිසේත්ම වළක්වාලිය නොහැකි වන්නට තිබිණි. එහෙත් අනතුර තවමත් පෙනෙන මානයේය.
ඇත්තෙන්ම මේ ගෙන එන්නට උත්සාහ කරන්නේ ව්‍යර්ථ වූ ETCFA ගිවිසුමේ අන්තර්ගත ගිවිසුම් යෝජනාවන්මය. වචන වෙනස් වුවද, එහි ඇත්තේ එකම හරයකි. එකම වුවමනාවකි. රටේ ආර්ථීකය හා සෞඛ්‍යය ඉන්දියාවට උකස් කරමින් පාලකයන්ගේ බඩගෝස්තරය රැක ගැනීමට මේ නව ගිවිසුමෙන් එකඟතා පළ කොට තිබේ. ඒ අනුව සලකා බැලිය යුතු කරුණු ගණනාවකි.
රටවල් දෙකක් අතර ඇති වන කුමන ආකාරයේ ගිවිසුමක් සම්බන්ධයෙන් වුවද, ඒ පිළිබඳව අදාළ පාර්ශ්ව සමඟ පුළුල් සාකච්ඡාවකට එළඹිය යුතුය. නමුත්, මෙම ගිවිසුම සම්බන්ධයෙන් දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරන කිිසිදු ප්‍රවීණයෙකුගේ හෝ සංවිධානයක හෝ තාක්ෂණික සහාය ලබා දිය හැකි පාර්ශ්වයක හෝ අදහස් ලබා ගැනීමක් සිදු කොට නොමැත. එසේම මෙවැනි ගිවිසුම් ඇති කර ගැනීමේ දී සාමාන්‍යයෙන් දෙරටටම වාසිසහගත තත්ත්වයන් ඇති වන පරිදි ජාතික ආරක්ෂාව, ජාතික ආර්ථීකය මෙන්ම භෞතික හා මානව සම්පත්වල හැකියාව අනුව සුදුසු පරිදි ගිවිසුම් කොන්දේසි සකස් කොට ඒවා කෙටුම්පත් කළ යුතුය. එහෙත්, එවැනි කිසිදු අධ්‍යයනයක් එම ගිවිසුම සම්බන්ධයෙන් ක්‍රියාත්මක කොට නොමැති බව පෙනී යයි.
තවද, මෙම ගිවිසුමේ ප්‍රධාන කොන්දේසියක් ලෙස අදාළ රටවල නෛතික තත්ත්වයන් සහ ජාතික ප්‍රතිපත්තිවලට අනුකූලව ක්‍රියාවේ යොදවන බවට වන සඳහන බැලූ බැල්මටම ප්‍රගතිශීලී යෝජනාවක් සේ පෙනේ. එහෙත්, අපේ රටේ තත්ත්වය පිළිබඳව නැවත සිතාබැලිය යුත්තේ මෙහිදීය. මෙරට දේශීය වෛද්‍ය ක්‍රමය සඳහා වූ ජාතික ප්‍රතිපත්තිය කුමක්ද? මීට අමතරව එම ක්ෂේත්‍රය සඳහා පවතින නෛතික තත්ත්වය ද ඉතා කනගාටුදායකය. 1961 අංක 31 දරන ආයුර්වේද පනත ද යල්පැන ගිය පනතකි. එය සංශෝධනය කිරීමේ දැඩි වුවමනාවක් පැවතිය ද, මෙතෙක් ඒ සඳහා අවශ්‍ය ප්‍රගතිශීලී මැදිහත් වීම රජය පාර්ශ්වයෙන් ලබා දී නොමැත.
අනෙක් අතට මෙම ගිවිසුම් ප්‍රකාරව දෙරටෙහි සිදු කරනු ලබන පරීක්ෂණ ආදිය සඳහා මැදිහත් වීම සම්බන්ධයෙන් මෙන්ම ඒවායේ ප්‍රතිලාභ බෙදී යාමේ දී ද ඇත්තේ ඉතා දැඩි පක්ෂග්‍රාහී කොන්දේසිය. ඒ අනුව ගිවිසුම මගින් ශ්‍රී ලංකාව තුළ එම කටයුතු ඉන්දියාවට රිසි සේ ස්වාධීනව කරගෙන යාමට ඉඩකඩ විවර කර තිබුණ ද, ඉන්දියාව තුළ දී අපට ඒ සඳහා ස්වාධීනව කටයුතු කිරීමට අවසර ලබා දී නොමැත. එසේම ඒ සියලු පර්යේෂණ කටයුතු ආදියෙහි දී ලැබෙන ප්‍රතිලාභයන් ද බෙදී යන්නේ අපේ රටට අවාසිසහගත ලෙසය.
ශ්‍රී ලංකාව වැනි රටක දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය පවතින්නේ ඉතා ප්‍රාථමික මට්ටමකය. එනම් පවතින දුර්වල නීතිරීති පද්ධතිය හා ආයතන පද්ධතිය හමුවේ මෙවැනි ගිවිසුමකින් අපට ලබා ගත හැකි වාසිසහගත කිසිවක් ඇත්තේම නැත. එබැවින්, රටක් ලෙස මෙවැනි ක්ෂේත්‍රයන්හි අත්පත් කර ගත යුතු අවම සාධනීය මට්ටමට හෝ පියවරක් නොතබාම මෙලෙස විදේශීය ආයෝජනයන් සඳහා අපේ රටේ ආර්ථීකයත්, සෞඛ්‍ය ක්ෂේත්‍රයත් නිරාවරණය කිරීම සියදිවි නසා ගැනීමක් වැන්න. ඉදින් මෙවැනි ගිවිසුමක් අත්සන් කිරීමෙන් අනතුරුව ලබා ගැනීමට බලාපොරොත්තු වන ප්‍රතිලාභ මොනවා ද යන්න ගැන හෝ අදාළ බලධාරීන්ට පැහැදිලි අදහසක් නොමැති බව නම් සහතිකය.
සමස්ත ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරී සංගමයේ මැදිහත් වීමෙන් මේ පිළිබඳව ජනාධිපතිවරයාගේ පටන් විෂයය භාර අමාත්‍යවරයාට හා අමාත්‍යාංශයේ වගකිව යුතු නිලධාරීන්ටත්, ජනමාධ්‍ය වෙතත් ඕනෑවටත් වඩා කරුණු දක්වා තිබේ. ඉන් නොනැවතී ආයුර්වේද වෛද්‍යවරුන් විසින් පසුගිය මාසයේ දී පැවති අන්තර්ජාතික TRED – MED ප්‍රදර්ශනය හා සම්මන්ත්‍රණය ද වර්ජනය කිරීමට කටයුතු කළේය. ඒ ඊට සමගාමීව රාජිත සේනාරත්න අමාත්‍යවරයා විසින් මෙම ප්‍රෝඩාකාරී ගිවිසුම අත්සන් කිරීමේ උත්සාහයට විරුද්ධත්වය පාමිනි. කෙසේ වුවද, අවසන වෛද්‍යවරුන්ගේ මෙම ක්‍රියාමාර්ගය හේතුවෙන් ගිවිසුම අත්සන් කිරීම කල් දැමිණි. එහෙත්, ගිවිසුම අත්සන් කිරීම තාවකාලිකව නතර කළ ද, නැවත සාකච්ඡාවට බඳුන් කොට මෙම ගිවිසුම අත්සන් කිරීමට කටයුතු කරන බවට විෂයය භාර අමාත්‍යවරයා වහසි බස් දොඩා ඇත.
එහෙයින්, සමස්ත ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරී සංගමය පාර්ශ්වයෙන් මේ සඳහා ගත යුතු පියවර කිහිපයක් රජය වෙත යෝජනා කොට ඇත. ඉන් පළමු වැන්න නම්, අවම වශයෙන් මේ තිබෙන සම්පත් භාවිත කොට හෝ ළඟා කර ගත හැකි අවම දියුණුව වත් ඇති කර ගැනීමට නිසි සැලසුමක් හා ප්‍රතිපත්තියක් සහිතව ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය මෙහෙයවීමයි. එසේ නොකොට විදේශීය ආයෝජකයන් සඳහා මෙම ක්ෂේත්‍ර විවර කිරීම යනු සියතින්ම දිවිනසා ගැනීමකි. අනෙක් අතට එවැනි ගිවිසුමකට එළඹෙන්නේ නම්, ඒ සඳහා අවශ්‍ය ඉදිරි සැලසුම් පිළිබඳව ද පුළුල් අවබෝධයකින් කටයුතු කිරීමට රජය සමත් විය යුතුය. ඒ සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ මත විමසීම ද අත්‍යවශ්‍ය කරුණක් සේ සැලකේ. අනෙක් අතට ආයුර්වේද වෛද්‍යවරුන් ප්‍රකාශ කර සිටින්නේ සෑම දෙපාර්තමේන්තුවකම පාහේ මූලිකයා වන්නේ අදාළ විෂයයේ ප්‍රවීණයෙකු වුවත්, ආයුර්වේදය තුළ ප්‍රධාන නිලතල හොබවන්නේ පරිපාලන සේවයේ නිලධාරීන් වීමද මෙම ගැටලු උග්‍ර කරවීමට හේතු වී ඇති බවයි.
එබැවින්, මෙම සියලු තත්ත්වයන් පිළිබඳව අවංක වුවමනාවකින් යුතුව නැවත සිතා බැලීමට රජය කටයුතු නොකරන්නේ නම්, ඕනෑම තත්ත්වයක් යටතේ වුව මේ සටනට නායකත්වය දීමටත්, ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය රෝගී කරවන මෙම ගිවිසුම ස්ථීර ලෙසම පරාජය කිරීමටත් දේශීය වෛද්‍යවරු සූදානම්ව සිටිති.


නිපුණා සාරංගි