උපන් බිමේ අයිතිය ඉල්ලන ඉරෙණෙතිව් ජනතාව

3235285562
ආයුර්වේදය ලෙඩ කරන ගිවිසුමට එරෙහිව වෛද්‍යවරු සටනේ
January 22, 2018
නිහඩවම වියැකෙන සද්දන්ත ජීවිත
January 22, 2018
Show all

උපන් බිමේ අයිතිය ඉල්ලන ඉරෙණෙතිව් ජනතාව

ඉරෙණෙතිව් ජනතාව

ලෝකයේ ඕනෑම රටක ජීවත් වන ඕනෑම සත්ත්වයෙකුට වඩාත්ම හොඳ වඩාත්ම කැමති ස්ථානයක් තිබේ. කුරා කුහුඹුවාගේ පටන් මෙලොව දියුණුතම සත්ත්වයා වශයෙන් හඳුන්වන මිනිසාට ද මෙම කරුණ පොදුය.
කොහේ ඇවිද ගිය ද, කොතැනක සංචාරය කළ ද, ලෝකයේ තමන්ට ඇති හොඳම ස්ථානයෙහි රැඳී සිටීම තරම් දෙයක් ඇත්තේ නැත. ඒ ඕනෑම සත්ත්වයකුගේ නිවහනයි.
කුමන හේතුවක් නිසා හෝ තම නිවහන අහිමි වීම තරම් අභාග්‍යසම්පන්න අවස්ථාවකට මුහුණ දීමට කිසිදු සත්ත්වයකු කැමැත්තක් දක්වන්නේ නැත. එය වඩාත්ම ඛේදවාචකයක් වනුයේ, තමන් කිසිසේත්ම වගකිව යුතු නොවන කරුණක් වෙනුවෙන් තම උපන් බිම, තමන්ගේ නිවහන තමනට අහිමි වීම යන සිදු වීමට මුහුණ පෑමට වූ විටදීය. මෙවර ‘සංචාරක සටහන’ උපන් බිම අහිමිව ළතැවෙන අපේ සහෝදර ජනතාවකගේ හඩ වෙනුවෙන්ය.
ඉරෙණෙතිවු අපේ රටට අයිති වර්ග කිලෝ මීටර් එකකට වඩා මඳක් වැඩි විශාලත්වයෙන් යුතු තවත් එක් දූපතක්. මුළුමනින්ම ජනාවාසව පැවති මෙම දූපතේ ජනතාවගේ ප්‍රධානම ජීවනෝපාය මාර්ගය වුණේ ධීවර කර්මාන්තය. උතුරේ යුද්ධය ආරම්භක අවධියේ සිට 1990 දශකය දක්වා කාලසීමාව තුළත් ඔවුන් ජීවත් වන්නේ තම උපන් බිම වූ එම දූපතේමයි. මුළු රටටම ව්‍යසනයක් වුණු නමුත්, පාලකයන්ගේත්, රටේ ඉහළම නිලධාරීන්ගේත් ආදායම් මාර්ගයක් බවට පත් වෙලා තිබුණු යුද්ධයේ බලපෑමෙන් ඔවුන්ටත් මිදෙන්න හැකියාවක් ලැඛෙන්නෙ නැහැ.
සමහරුන්ට අවබෝධයෙන් හෝ අනවබෝධයෙන්, අකමැත්තෙන් හෝ කැමැත්තෙන් මේ නිරර්ථක යුද්ධයේම කොටස්කරුවන් බවට පත් වෙන්නත් සිදු වෙලා තිබුණා. 1990 දශකයේ දී එවකට ආණ්ඩුව මෙම දූපතට නාවික හමුදාව යොදවනවා. එහි ප්‍රතිඵලයක් විදියට එතෙක් මේ දූපතේම ඉපදිලා ජීවත් වුණු පවුල් 187 ක ජනතාවක් කිලිනොච්චිය දිස්ත්‍රික්කයට අයත් මුලන්කාවිල් දක්වා පිටමං කිරීම සිදු වෙනවා. කෙදිනක හෝ තම උපන් බිමට යාමට බලාපොරොත්තුවෙන් ඔවුන් තමන්ගේ නව භූමිය ඉරෙණෙයි මාදා නගර් ලෙස නම් තබා ගැනීම සිදු කරනවා.
ඉතිහාසයේ සඳහන් වන විදියට ඒ කාලේ නීතිය බවට පත් වෙලා තිබුණේ පාලකයාගේ කැමැත්ත. මිනිස්සු ශතවර්ෂ ගණනාවක් පාලකයන් එක්ක අරගල කරලා, වර්තමානයේ දී ප්‍රජාතන්ත්‍රවාදය කියලා අපි විසින්ම හඳුන්වන පාලන ක්‍රමයක් නිර්මාණය කරගෙන තියෙනවා. එදා පාලකයාගේ කැමැත්ත එළිපිට ප්‍රකාශ වුණා. අද වෙනස ඒක එළිපිට ප්‍රකාශ නොකර, ප්‍රජාතන්ත්‍රවාදයෙන් ආවරණය කරගෙන සිටීම විතරයි. ඒ නිසාම ඉරෙණෙතිවු ජනතාවට තමන්ගේ උපන් බිම් කඩ ඉල්ලලා පාලකයන්ට බලපෑම් කරන්න සිද්ධ වෙලා තියෙනවා. තමන්ගේ ජීවන මාර්ග අහිමි වෙලා, තමන් ගොඩනගා ගත් තමන්ගේ නිවහන, ගහකොළ, සතා සීපාවා මේ සියල්ල වෙනුවෙන් අරගල කරන්න ඔවුන්ට සිද්ධ වෙලා.
තාමත් ක්‍රියාත්මක වෙන්නේ පාලකයන්ගේ කැමැත්ත. ඉරෙණෙතිවු ජනතාව ග්‍රාම නිලධාරියාගේ සිට ඉහළම පරිපාලන නිලධාරියා දක්වාත්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීගේ සිට විධායක ජනාධිපති දක්වාත් තම අයිතිය වෙනුවෙන් ඉල්ලීම් කරනවා, අද දක්වාම. නාවික හමුදාව අදත් ඉරෙණෙතිවුහි කඳවුරු බැඳගෙන.
ඉරෙණෙතිවු උතුරට අයිති වුණාට සශ්‍රීක භූමියක්. ජල සම්පත, ගහකොළ පවා වියළි කලාපයට අයත් නැති ගාණයි. එම දූපත තුළ ඔවුන් වී ගොවිතැනෙහි පවා යෙදීමෙන් දූපතෙහි ඇති සුවිශේෂී බව පැහැදිලි වෙනවා.
එවැනි බිමකට පෙම් නොකරන්නේ කවුරුන්ද? ඒ බව ඔවුන් අප හා පළ කළ අදහස්වල තියෙනවා. අපි ඔවුන්ව කියවමු.

ඉන්දියන් ට්‍රෝලර් ඇවිල්ලා අපේ මාළු අල්ලනවා…
දුරෙයිසිංගම් අන්තෝනි
– මුලංගාවිල්

අනූවේ තමයි, ඉරෙණෙයි මාදා නගර්වලට මේ අය ආවේ. මම මේ අය හොඳින් අඳුනනවා. ඒ දවස්වල පවුල් 187 ක් මෙහාට ආවා. දැන් ඒක දෙගුණ තෙගුණ වෙලා. ඔවුන්ට ජීවත් වෙන්න විදියක් නැහැ. මාළු අල්ලන්න ඉරෙණෙතිවු යන්න ඕනෑ. කිලෝ මීටර් විසිහතරක් මුහුදේ නිකම් යන එන එක පාඩුයි.
නාවික හමුදාව අපට මාළු අල්ලන්න දෙන්නෙත් නැහැ. ඒත් ඉන්දියන් ට්‍රෝලර් එක්දහස් පන්සියයක් විතර අපේ මුහුදු සීමාවට ඇවිල්ලා මාළු අල්ලනවා. අවුරුද්දකට කෝටි අටසීයකට වැඩියෙන් මාළු අල්ලාගෙන යනවා.
එහෙ ඉන්නකොට කාන්තාවන්ට ධීවර රස්සාවට අදාළවම වැඩ තිබුණා. කරවල සකස් කරන ඒවා වාගේ වැඩ කළේ ඒ ගොල්ලෝ. දැන් ඒ අයට ඒ ආදායම් මාර්ග නැති වෙලා. ගොඩක් දෙනෙකුගේ ස්වාමි පුරුෂයෝ යුද්ධයෙන් මිය ගිහිල්ලා. දරුවන්ගේ නඩත්තුව කාන්තාවන් පිට පැටවිලා තියෙනවා.
පවුල් සංඛ්‍යාව වැඩි වුණාට ඔවුන්ට ඉඩම් නැහැ. දූපතේ ඉන්න කොට සත්ත්ව පාලනයත් කළා. වී ගොවිතැනත් කළා. දැන් එළුවො ඔක්කොම මරාගෙන කාලා. නේවි එකේ අය බුද්ධාගමේ නිසා හරක් මස් කන්නෙ නෑ කියනවා. ඒ නිසා උන් ඉතිරි වෙලා ඉන්නවා.

සටන පටන්ගත්තේ අපේ කාන්තාවෝ…
සන්ධ්‍යා වේදනායගම්
– ඉරෙණෙ මාදා නගර්

අපි දැන් මාස හතක් අටක් තිස්සේ අරගල කරන්නේ ආණ්ඩුවට විරුද්ධව නෙමෙයි. මේ දූපතේ අපේ ඉතිහාසය අවුරුදු හාරසියයක් විතර වෙනවා. ඒවාට සාධක තියෙනවා. අපි පරම්පරා ගණනාවක් ජීවත් වුණු භූමිය අපට අහිමි කරලා තියෙනවා. දැන් යුද්ධය ඉවරයි. අපිට අපේ ඉඩම් ආපහු දෙන්න කියලා තමයි, අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ.
ඇත්තෙන්ම මේ සටන මුලින්ම ආරම්භ කළේ අපේ කාන්තාවෝ. ඔවුන්ට තමන්ගේ ආදායම අහිමි වීම තදින්ම බලපානවා. අපි පූනගර්වල, මුලංගාවිල්වල අරගල කළා. මෙහෙ මහ ඇමති, ආරක්ෂක ඇමති, නාවික හමුදාපති ඇතුළු සියලු දෙනාම ඉඩම් ලබා දෙනවා කිව්වා. තවමත් ඒක වුණේ නැහැ.

ජනතා ගැටලු තවමත් එහෙමමයි…
රොබට් කෙනඩි
– විදුහල්පති, ඉරෙණෙතිවු රෝමානු කතෝලික විදුහල, ඉරෙණෙ මාදා නගර්

යුද්ධය ඉවර වුණාට මෙහෙ ජනතාවගේ ගැටලු තවමත් එහෙමමයි. මේ අයගේ ආර්ථීකය වැටිලා. මේ අයට සුපුරුදු විදියට ධීවර කටයුතු කරන්න අවසර දෙයි කියලා තවම බලාගෙන ඉන්නවා. එහෙම වුණොත්, මේ අයගේ ආර්ථීකය සතුටුදායක වෙයි.
පාසලේ ළමයින්ගේ පහසුකම් අවමයි. භෞතික සම්පත් හිඟය බරපතළයි. පන්ති කාමර ප්‍රමාණවත් තරම් නැහැ. විද්‍යාගාර, පුස්තකාල පහසුකම් නැහැ. නමුත්, ස්මාට් ක්ලාස් ගැන කතා වෙනවා ඇහෙනවා. අපි බලාගෙන ඉන්නේ මොනවද වෙන්නේ කියලා.
කිසිවෙකුට අත නොපා මහ මුහුද මත පමණක් විශ්වාසය තියලා ජීවත් වුණ ජාතියකට අද මුහුණ දෙන්න වෙලා තියෙන තත්ත්වය ඔය වගේ එකක්. මේ රටේ සංවර්ධන ව්‍යාපෘතීන් කීයක් නම් ක්‍රියාත්මක වෙලා තියෙනවාද? ඒ හැම එකෙන්ම තමන් උපන්, හැදුණු වැඩුණු තමන්ගේ නිවහන අහිමි වීමෙන් කී දෙනෙක් අවතැන්ව ජීවත් වෙනවාද? මේ ජනතාව මුහුණ දෙමින් සිටින්නේ ඒ වාගේම තත්ත්වයකට.
ඇත්තටම රටක් විදියට, ජාතියක් විදියට අපි ගමන් කරමින් ඉන්නේ කොහාට ද කියන ප්‍රශ්නයට අපි හැමෝම සැලකිල්ලක් දක්වන්න ඕනෑ නැද්ද? වන බිම් අහිමි වෙලා, සතුන්ට නිවහන් අහිමි වෙලා. උල්පත්, ගංගා, ඇළ දොළ විනාශ වෙලා. ඒවායේ ජීවත් වුණු ජීවීන්ට තම නිවහන් අහිමි වෙලා. කුරුල්ලන්ට කූඩු අහිමි වෙලා. කුරාකුහුඹුවන්ට පවා තම වාසභූමි අහිමි වෙමින් තියෙනවා.
මේ අහිමි කරන භූමිය දිහා බලාගෙන ඉන්න තවත් පිරිසක් ඉන්නවා. මෑතක දී නාවික හමුදාව සමඟ කොළඹින් පැමිණි පිරිසක් මෙම දූපතෙහි මිනුම් කටයුතු සිදු කරලා. සුන්දර දූපතක් වශයෙන් හැඳින්වෙන ඉරෙණෙතිවු ධනකුවේරයන්ට මුදල් උපයන ආදායම් මාර්ගයක් බවට පත් කරන්න පාලකයන් විසින් කටයුතු සැලසුම් කරමින් ඉන්නවා කියලා අදහසක් ඉරෙණෙතිවු වැසියන්ට තියෙනවා. සංචාරක කර්මාන්තය උදෙසා මේ භූමිය කාට හරි විකුණලා දාන්න පාලකයන් උත්සාහ කරනවා කියන අදහසක් ඔවුන් තුළ ඇති වෙමින් තියෙනවා.
දවසින් දවස අපිට අපේ උරුමයන් නැති වෙලා යනවා, නැති කරමින් තියෙනවා. වෙනදාට ඉරෙණෙතිවු වෙරළෙහි බිත්තර දාන්න එන කැස්බෑවුන් ඉදිරියේ දී දකින්න නැතිවෙයි. විල්පත්තු වන සංහාරය, උමාඔය විනාශකාරී ව්‍යාපෘතිය, බ්‍රෝඩ්ලන්ඩ් ජලාශය ඉදි කිරීමේ දී අවතැන් වූ ජනතාව, අධිවේගී මාර්ග ඉදි කිරීමේ දී තම නිවාස, ඉඩම් අහිමි වන ජනතාව මේ සියල්ල අහිමි කරලීමේ ගොදුරු බවට පත් වෙමින් සිටිනවා. මේ අහිමි කරවීම් අතරේ තව ගොඩක් දේවල් තියෙනවා, අපට බත සපයන වී ටික, වතුර ටික. හෙට උපදින පරපුරට අපි ඉතිරි කරන්නේ මොනවාද? හිරු අවරට යමින් තිබිණි. හෙට නැවතත් හිරු පායනු ඇතත්, ඒ දවස නැවුම් දිනයක් විය යුතු නොවේද? සටන අත්නොහැරිය යුතු වනුයේ එබැවිනි.