කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ දූෂිතයන් බරටම වැඩ

ප්‍රිSRhg
මැතිවරණයෙන් පසු රනිල් ඉවතට
January 15, 2018
Untitled-3-22-640x400
දළ පූට්ටුවා ඝාතන පරීක්ෂණය සහ ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ගේ ඉරණම
January 22, 2018
Show all

කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ දූෂිතයන් බරටම වැඩ

tea-plantation-workers

අමාත්‍යාංශය, නවීන් දිසානයක යටතේ පවතින වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයයි. ආයතනය කුඩා තේ වතු සංවර්ධන අධිකාරියයි. අක්කර 50ට අඩු තේ වගා ඉඩම් මෙම ආයතනයේ කාර්යභාරය තුළට ගැනෙයි. මෙම තේ ඉඩම්වල එලදායීතාව ඉහළ නැංවීම සඳහා සංවර්ධන හා ව්‍යාප්ති මෙහෙවර සිදු කිරීම ප්‍රධාන කාර්යයි. දැනට තේ නිෂපාදනයෙන් 72% – 73% ක වපසරියකට අයිතිවාසිකම් කියනු ලබන්නේ කුඩා තේ වතු අංශයයි. රටේ ජාතික නිෂ්පාදිතයට 50%ක දායකත්වයක් ලබා දෙයි. 1975 අංක 35 දරන පනත මඟින් ව්‍යවස්ථාපිත කර ඇති මේ කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය අද වන විට දේශපාලන හෙංචයියන්ගේ තිප්පොලක් බවට පත් වී ඇති අතර ඒ නිසාම දැන් එහි සිදු වෙමින් පවතින්නේ තමන්ගේ විෂයට අදාළ වැඩ කටයුතු නොව ඇමති නවීන් දිසානායකගේ දේශපාලන වැඩකටයුතු සහ සිය හෙංචයියන්ගේ ඕනෑ එපාකම්ය.
මේ වසරේ මුල් කාලය පුරා පැවති නියං තත්ත්වය දැඩි ලෙස බලපාන ලද්දේ මාතර හා ගාල්ල කුඩා තේ වතු හිමියන්ටය. එහෙත් එයින් විනාශ වූ තේ ඉඩම් සංවර්ධනය සඳහා කළ රුපියල් මිලියන 653.51 කින් රුපියල් මිලියන 100ක් ගෙන නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජන්ද දායකයන්ට කෘෂි ආම්පන්න ඛෙදීමට කටයුතු යොදන්නේ ඒ නිසාය. මෙම වෙන් කරන ලද රුපියල් මිලියන 100ක මුදලින් ප්ලාස්ටික් ජල ටැංකි, ඉලෙක්ට්‍රික් වතුර පොම්ප, භූමිතෙල් වතුර පොම්ප, හෝස් බට ආදී කෘෂි උපකරණ ලබා දී ඇත. මෙම උපකරණ මගින් ජල සම්පාදනය සිදු කර තේ වගා කළ නොහැක. මේවා ඛෙදා ඇත්තේ ද තේ වගා කරුවන්ට නොවේ.
තේ නැවත වගාව වාර්ෂිකව 2%ක ඉලක්කයක් සපුරාලිය යුතුය. මෙය ජාතික ප්‍රතිපත්තියකි. සෙස් අරමුදල මගින් මෙම මුදල් ලබා දී ඇත. මෙම මුදල් වෙන කිසිදු කාර්යයක් සඳහා යෙදිය නොහැකිය. එහෙත් මෙම භාණ්ඩ බහුතරයක් ලබා දී ඇත්තේ එළවළු ගොවීන් වන නුවරඑළියේ ජන්දදායකයන් සඳහාය. කුඩා තේ වතු හිමියන් නොමැති ප්‍රදේශවල මෙම භාණ්ඩ බෙදා දීමෙන් මේ බව මනාව ඔප්පු වේ.
තවද පසුගිය කාලය තුළ ගාල්ල, මාතර, කළුතර හා රත්නපුර දිස්ත්‍රික්කවලට ඇදහැලූණු දැඩි වර්ෂාපතනය හා ගංවතුර හේතුවෙන් හානි වූ ඉඩම් හිමියන්ගේ ඉඩම් සඳහා වන්දි ලබා දීමේදී අර්ධ හානි ලෙස හඳුනා ගත් ඉඩම් අක්කරයකට ලබා දෙනු ලැබුවේ රුපියල් 10,000.00ක් වූ අතර නියඟය සඳහා ලබා දුන් වතුර ටැංකියක වටිනාකම පමණක් රුපියල් 10,000.00 සිට 50,000.00 දක්වා වේ. වතුර පොම්ප වටිනාකම රුපියල් 15,000.00 සිට 20,000.00 දක්වා මිලකි. රත්නපුර දිස්ත්‍රික්කයේ ගංවතුරෙන් හානි වූවන්ට රුපියල් දස දහසක් පමණක් ලබා දෙද්දී නුවරඑළියේ රුපියල් පනස් දහසේ වතුර ටැංකි බෙදා ඇත්තේ කාගේ උවමනාවටද යන්න ගැටළුවකි.
ලොකු උන්නාන්සේ හිටගෙන කරන විට පොඩි උන්නාන්සේලා දුව දුව කරනවා යන කියමන සනාථ කරමින් ආයතනයේ ඇතැම් දේශපාලන හිතවත් කම මත බලයේ සිටින්නන් තමන්ගේ සාක්කු පුරවා ගැනීමද ජයටම කරගෙන යමින් සිටියි. සාවද්‍ය චෝදනා ඉදිරිපත් කරමින් විගණන අංශය වසා දමා සුදුසුකම් නොමැති සභාපතිවරයාගේ හිතවතියක වන කෑගල්ල ප්‍රාදේශීය කාර්යාලයේ ගිණුම් නිලධාරිනිය පත් කර ගනිමින් අවශ්‍ය මූල්‍ය කටයුතු සිදු කර ගනිමින් සිටීම ඒ සඳහා හොඳම උදාහරණයකි.
2017-03-01 දින සිට වර්තමානය දක්වා මෙම අංශය අකර්මණ්‍ය කර ඇති අතර, මෙම නිලධාරින් වැටුප් සහිතව ගෙදර යවා මාසික වේතනය ගෙවනු ලබයි. මේ වන විට මාස 10කට ආසන්න කාලයක් ගත වී ඇති අතර, ආයතනයේ මුදල් රුපියල් මිලියන 1.3 ක් වැටුප් හා දීමනා ලෙස ගෙවා ඇත.
මේ ආකාරයටම සහකාර සාමාන්‍යාධිකාරිවරයෙකු ද වැටුප් සහිතව ගෙදර යවා ඇත. මේ සඳහා මේ වන විට මාස 10ක කාලයක් ඉකුත්ව ඇති අතර ආයතනය විසින් වියදම් කර ඇති මුදල රුපියල් 5,50,000.00 කි.
මේ ආකාරයට මූල්‍ය විනාශයක් සිදු කරන සභාපති ඇතුළු ඉහළ කළමනාකරණය මේ වන තෙක් 2016 වසරට අදාළ පොහොර මුදල් ගෙවා අවසන් කර නොමැති අතර, 2017 වසර සඳහා කටයුතු කිරීමට කිසිදු සූදානමක් නැත. 2016 වසරට අදාළව රුපියල් මිලියන 400ක් ගෙවීමට තිබේ. මෙයින් රුපියල් මිලියන 200ක් රත්නපුර ගොවි ජනතාවට දිය යුතුය.
ආයතනික නිලධාරීන්ගේ සුබසාධන කටයුතු උදෙසා ඩයලොග් සමාගමෙන් ලබා දුන් මුදල් වංචා කිරීම මේ දේශපාලන බලය අතට ගත් පිරිස විසින් සිදු කළ තවත් දූෂණයකි. ආයතනය තුළ හා පෞද්ගලිකව නිලධාරීන් භාවිත කරන ඩයලොග් දුරකථන වෙනුවෙන් වාර්ෂික ප්‍රසාද දීමනාවක් ලෙස එම ආයතනය විසින් ලබා දුන් රුපියල් ලක‍ෂ 06ක මුදල තම පෞද්ගලික ගිණුමට බැර කර ඛෙදා ගැනීමට කටයුතු කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් සියලු තොරතුරු යට ගසමිනි. වැඩ බලන මානව සම්පත් කළමනාකරු හර්ෂාන් ද සිල්වා මෙම කටයුත්ත මෙහෙයවා ඇත.
වාහන අවභාවිතයද අධිකාරියේ ජයටම සිදු වන බව හෙළි වී තිබෙන අතර සභාපතිවරයා තම බිරිඳගේ නමට ඇති CAU – 1419 අංක දරන හොන්ඩා මෝටර් කාරය ප්‍රසම්පාදන ක්‍රියාවලීන්ද උල්ලංඝනය කරමින් භාවිත කර මසකට ලක්ෂ 2 බැගින් මාස 4ක කාලයක් මුදල් ලබාගෙන ඇත්තේ කාගේත් ඇස් වසමිනි. මෙහි ප්‍රසම්පාදනය ලබා දී ඇත්තේ Export Quality Garments Colors (PVT) Ltd යන ආයතනයටයි.
ආයතනය සතුව පවතින PL-3496, 65-5810,  32-2665, 52-2605 අංක දරන වාහන ආයතනයෙන් පිටත කොත්මලේ ප්‍රදේශයේ පුද්ගලයන්ට ලබා දීමට කටයුතු යොදා ඇත. 52-2605 දරන වෑන් රථය අලුත්වැඩියාවට යැයි පවසා වසරකට අධික කාලයක් නාවලපිටිය ප්‍රදේශයේ ගරාජයක ගාල් කර තිබේ.
අනෙකුත් ප්‍රාදේශීය කාර්යාල වල ප්‍රවාහණ ගැටළු රැසක් මතුව තිබියදී කුඩා තේ වතු හිමියන් අඩුම බලප්‍රදේශයක් වන නුවරඑළිය ප්‍රාදේශීය කාර්යාලයට වාහන 3ක් අනුයුක්ත කර ඇත්තේ කාර්යාලයේ වැඩ වලටනම් නොවේ. PC -3478, GE -6968, 59-3299 අංක දරන වාහන මෙසේ නුවරඑළිය කාර්යාලයට අනුයුක්ත කර ඇත.
මේ සියල්ල මැද කුඩා තේ වතු හිමියාගේ මූල්‍ය ශක්තියෙන් ගොඩනඟන ලද ‘තේ ශක්ති’ ව්‍යාපාරය නැත්තටම නැති කරන ලදී. මෙම ආයතනය සතු වාහන 13ක් රාජ්‍ය මූල්‍ය චක්‍රලේඛ අංක 02/2015 උල්ලංඝනය කරමින් ප්‍රසම්පාදන පත්‍රිකා සකස් කර තම හිතවතුන්ට ලබා දීමට කටයුතු සැලසුම් කරමින් සිටින්නේ ඒ විනාශයේ තවත් දිගුවක් වශයෙනි.
ආයතනයේ බඳවා ගැනීම් හා උසස්වීම් සිදු වන්නේ ද එක්තරා පිරිසකගේ ඕනෑ එපාකම් අනුවය. තේ පරීක්ෂක සහ ව්‍යාප්ති නිලධාරීන් බඳවා ගැනීම තරග විභාගයක් හරහා සිදු කරනවා වෙනුවට හිතවතුන් බඳවා ගැනීමට කටයුතු කර තිබේ. ඒ නියමිත සුදුසුකම් පිළිබඳ නීති රීති ද උල්ලංඝනය කරමිනි. එම තනතුර සඳහා දෑ අවුරුදු කෘෂිකර්ම ඩිප්ලෝමාධාරීන් බඳවා ගත යුතු වුවද එසේ නොවන පුද්ගලයන් මේ සඳහා බඳවාගෙන තිබේ.
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (සංවර්ධන) තනතුර සඳහා අධිකාරියට කිසිදු සේවාවක් නොකළ ‘ප්‍රජා සංවර්ධන නිලධාරි’ තනතුර දරන ලද ගාමිණි ජයසිංහ 2016-05-02 දිනැතිව පත් කරනු ලබන්නේ කිසිවෙකුටත් සිතා ගැනීමටවත් නොහැකි අයුරිනි. මොහු රෝගී පුද්ගලයෙකු වන අතර විශ්‍රාම ගැන්විය යුතු අයෙකි. දැනට වසර 1 1/2 ක පමණ කාලයක සිට ආයතනයේ සංවර්ධන අංශයට කිසිදු සේවාවක් මොහු මගින් සිදුවී නොමැත.
වැඩ බලන මානව සම්පත් කළමනාකරු ලෙස පත් කර ඇත්තේ හර්ෂාන් ද සිල්වා නමැති අයෙකි. මොහුට දැඩි වංචා සහ දූෂණ චෝදනා එල්ල වී ඇති අතර අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් වී ඇත්තේ අවස්ථා 03කදීය. හොර සහතික ඉදිරිපත් කරමින් සිය පත්වීම ලබාගෙන ඇති අතර කළමනාකරණ සේවා දෙපාර්තමෙන්තුවේ නිර්දේශය ලබා දී ඇත්තේ ‘සහකාර ව්‍යාපෘති කළමනාකරු’ ලෙස විශ්‍රාම යන තෙක් කටයුතු කිරීමටය. එම සහකාර මානව සම්පත් කළමනාකරු තනතුර සඳහා බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයේදී උපාධියක් හදාරන බව ඇතුළත් කිරීමෙන් ඉහළ ලකුණු ප්‍රමාණයක් ලබා ගෙන ඇත. රජයේ විගණන අංශය, අභ්‍යන්තර විගණන අංශය කෝප් කමිටුව මෙම තනතුර ලබා දීම වැරදි සහගත බව නිර්දේශ කර තිබේ. මෙම තනතුරුවල සිටිමින් ලබා ගන්නා ලද මුදල් රුපියල් ලක්ෂ දහයක් පමණ නැවත ආයතනයට අය කර ගැනීමට නිර්දේශ ලබා දී ඇත.
ප්‍රසම්පාදන ක්‍රියාවලීන් සිදු කරන අවධියේ දැඩි වංචනික ක්‍රියාවකට හසු වී ඇති අතර ඒ නිසා ඔහුගෙන් ඉවත් කරන ලද මෙම ක්‍රියාවලිය නැවත 2017-03-21 දින අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා අංක 5112 යටතේ ඔහු විසින්ම පත්‍රිකාවක් ඉදිරිපත් කර වර්තමානය වන විට ඔහු අතට සැපයුම් රාජකාරි ලබාගෙන ඇත.
මොහු සහකාර කළමනාකරු තනතුරක් සඳහා 2014-08-05 දින පත් වූ අතර පත්වීම් ලිපියට අනුව වසර 03ක් ගතවීමට ප්‍රථම I වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය සමත් විය යුතුය. නමුත් එම අවශ්‍යතාව මෙතෙක් සපුරා නොමැති බැවින් සේවය අවසන් කළ යුතු අයෙකි.
අධිකාරියේ ප්‍රමාණවත් නිලධාරීන් පිරිසක් සිටියදී එම නිලධාරීන්ගේ රාජකාරි කටයුතු ආවරණය වන පරිදි මෙම පත් කිරීම සිදු කර ඇති අතර මොහු සඳහා සියළු දීමනා සහිතව මේ වන විට රුපියල් මිලියන 1.1 ක මුදලක් ආයතනය වැය කර ඇත. මෙම පුද්ගලයා සොරකම් සම්බන්ධ නඩුවකට 2017 වසරේ සැප්තැම්බර් මස වැලිකඩ බන්ධනාගාරයේ සිරගතව සිටි මොහු එම මස ද වැටුප ලබා ගෙන තිබේ. මොහුගේ නඩු අංකය-27241 සිරකරු අංක 5679 සිර මැදිරිය – H වාට්ටුවයි. අලූත්කඩේ අංක 01 උසාවියේ පවතින මෙම නඩුව පවරා ඇත්තේ 2017-09-28 වන දිනය.
මෙවැනි දහසකුත් එකක් අක්‍රමිකතා වෙනුවෙන් ආයතනයේ මුදල් මිලියන ගණන් වියදම් කරද්දී ආයතනයේ සංවර්ධන කටයුතු එකින් එක අකර්මණ්‍ය වෙමින් තිබේ. තේ පරීක්ෂණ සහ ව්‍යාප්ති නිලධාරීන්ගේ වියට්නාම පුහුණු සංචාරය එම සේවකයන්ට අහිමි වන්නේ ප්‍රසම්පාදන ක්‍රම වල දීද තෝරා ගැනීමේදීද සිදු කරන ලද ක්‍රමිකතා නිසාය.
සේවකයන්ගේ පාර්ශ්වයෙන් සහ ආයතනයේ පැත්තෙන් මෙහි නිර්මාණය වී ඇති ගැටළු රැසකි. එහෙත් ඒවා වෙනුවෙන් පෙනී සිටන සේවකයන් සහ වෘත්තීය සමිති නායකයන් සේවයෙන් ඉවත් කිරීමට සහ ස්ථාන මාරු ලබා දීමට ඇමතිවරයාගේ ආශිර්වාදය ලබන පාලකයන් කටයුතු කරමිනි සිටිති.
මෙම ආකාරයට කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය දැඩි දූෂිත පාලනයක් වෙත රැගෙන යාමට එහි සභාපති විජය රත්න දේවගෙදර සාමාන්‍යධිකාරි ඩී.ජි. මහීපාල. වැඩ බලන මානව සම්පත් කළමනාකරු හර්ෂාන්ද සිල්වා ඇතුළු පිරිස සෘජුවම වගකිව යුතුය.


චතුර දිසානායක