ඡන්දය අතිශයින්ම වැදගත් දේශපාලන ක්‍රියාවලියක් (ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි)

Ranil-Mahinda-2
රනිල් – මහින්ද ඩීල් නිසා පාක්ෂිකයෝ කලකිරීමෙන්
January 22, 2018
3235285562
ආයුර්වේදය ලෙඩ කරන ගිවිසුමට එරෙහිව වෛද්‍යවරු සටනේ
January 22, 2018
Show all

ඡන්දය අතිශයින්ම වැදගත් දේශපාලන ක්‍රියාවලියක් (ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි)

ජේවීිාට

එළඹෙමින් තිඛෙන්නේ පළාත් පාලන මැතිවරණ සමයයි. ජනමාධ්‍යවලින් ප්‍රවෘත්ති මතු වෙන්නේ පිලෙන් පිලට පැනීම් පිළිබඳවය. එකිනෙකාට විරුද්ධව අවලාද හෝ මඩ ගැසීම් ගැනය. එසේත් නැතිනම් නොයෙකුත් පූච්චානම් කතාය. එවැනි ලාභ දේශපාලනයෙන් මිදී මේ දේශපාලන නොනගත කාලය තේරුම් ගත යුත්තේ කෙසේ ද යන්න විමසා බැලීමට මෙවර විද්වත් සංවාදය වෙන් කෙරේ. කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ කථීකාචාර්ය, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මේ සම්බන්ධයෙන් දැක් වූ අදහස් මෙසේය.

අපි මේ ගෙවමින් ඉන්න කාලය දේශපාලනික වශයෙන් ඔබ විග්‍රහ කරන්නේ කොහොමද කියන ප්‍රශ්නයෙන් සාකච්ඡාවට මුල පුරමු…

ඔය ප්‍රශ්නයට උත්තර දෙන එක විවිධ සාධක මත රඳාපවතින සංකීර්ණ එකක්. අපි දේශපාලනය කියලා අදහස් කරන්නේ මොකක් ද කියන ප්‍රශ්නය මූලික වශයෙන් මතු වෙනවා. සරල අර්ථයෙන් ගත්තොත්, රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ අතර සම්බන්ධතා සහ රාජ්‍ය බලය ලබා ගැනීම හෝ රාජ්‍ය බලය දරන අය ඒක රැක ගන්න දරන උත්සාහය වගේ කරුණු මත නිර්මාණය වෙලා තියෙන ක්‍රියාකාරකම් අවකාශය ගැන හිතමු. මේ පසුබිම තුළ බලන කොට කාලයක් තිස්සේ වර්ධනය වූ අර්බුදයක් තියෙනවා. රාජපක්ෂ පාලන කාලයේ දී සීමිත අර්ථයකින් සමනය වෙලා තිබුණා. නමුත් දැන් නැවත අර්බුදය වර්ධනය වීමක් දකින්නේ. මම මේ කියන්නේ හුදෙක් ආණ්ඩුවක අර්බුදයක් නෙවෙයි, දේශපාලන ක්‍රමයේ අර්බුදයක් ගැන. මේ මොහොතේ පවතින්නේ ඔය වගේ තත්ත්වයක් බව කෙටියෙන් කියන්න පුළුවන්.

මෙතනදී අර්බුදය කියලා ඔබ සඳහන් කරන්නේ මොකක්ද?

යම් කිසි පද්ධතියක් නිසි පරිදි පවත්වාගෙන යාම සඳහා, තවත් විදිහකින් කියනවා නම් අඛණ්ඩත්වය පවත්වාගෙන යාම සඳහා නිර්මාණය කරගෙන තියෙන යම් යම් යාන්ත්‍රණවල ක්‍රියාකාරීත්වය, ගැටීම් සහ හැලහැප්පීම් නිසා ඉදිරියට නොයාමයි. මම මේ කියන්නේ යාන්ත්‍රණ ඇතුළේ හැමෝම පොදු එකඟතාවයෙන් ගලාගෙන යාම ගැන නොවෙයි. ප්‍රතිවිරෝධතා අතර ක්‍රියාවලියට බාධාවක් නොවී ඉදිරියට ගලාගෙන යාම. පවතින පද්ධතිය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා නිර්මාණය කර ගත් ක්‍රම අර්බුදයට පත්වීමයි මම කියන්නේ. උදාහරණයක් විදිහට ලංකාවේ දේශපාලන ධාරාව පවත්වාගෙන යාමට බලපාපු ප්‍රධාන ක්‍රමයක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර තිබුණු තුලනය. 1950 ගණන්වල අග මේ පක්ෂ දෙක අතර තුලනය හැදුණා. අපි කියන සම්භාව්‍ය ද්විපක්ෂ ක්‍රමය හරියට දකින්න ලැබෙන්නේ 1960න් පස්සේ. එංගලන්තය, ඇමෙරිකාව, ප්‍රංශය වගේ රටවල පක්ෂ දෙකක් අතර රාජ්‍ය බලය හුවමාරු වෙනවා. මේ වගේ තත්ත්වයක් ලංකාවේ 1960 විතර ඉඳලා එන්නේ. ඊට කලින් වාමාංශික පක්ෂ ටිකක් ශක්තිමත්ව තිබුණා. නමුත්, ඒ පක්ෂවල හැකියාව ක්‍රමානුකූලව අඩු වෙනවා. ද්විපක්ෂ ක්‍රමයට බලතුලනය යනවා. 1960 දී වාමාංශික පක්ෂ එක්ව ආණ්ඩුවක් පිහිටු වීමට දැරූ උත්සාහය අසාර්ථක වුණා. ඊට පස්සේ දිගටම සභාග ක්‍රමය ඉස්සරහට ආවා. පිලිප් ගුණවර්ධන වගේ අය එක්සත් ජාතික පක්ෂයට ගියා. සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක පෙරමුණු ආණ්ඩුවලට එකතු වුණා. සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ දෙකට තිබුණු ඡන්ද ක්‍රමානුකූලව අර පක්ෂ දෙකට ගියා. එක්සත් ජාතික පක්ෂය තනිකරම ප්‍රභූන් මුල් කරගෙන තිබුණේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සමසමාජ, කොමියුනිස්ට් බලපෑම නිසා ප්‍රභූත්වයෙන් මිදුණා. මෙහෙම ගොඩනැගුණු ද්විපක්ෂ ක්‍රමය මත ගොඩනැගී තිබුණු රාජ්‍ය යාන්ත්‍රණය තමයි අර්බුදයට ලක් වෙලා තියෙන්නේ.

මේ දේශපාලන අර්බුදයට මුල ප්‍රභූ දේශපාලනය අභියෝගයට ලක්වීමද?

මම කියන්නේ ද්විපක්ෂ ක්‍රමය අර්බුදයට ලක්වීම ගැනයි. සමාජ, ආර්ථීක, දේශපාලනික සමස්තයේ අර්බුදය ගැන නොවෙයි. ෙජ්. ආර්. ජයවර්ධන මහත්තයා යටතේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභූ දේශපාලනය යම් සංශෝධනවලට ලක් වුණා. පහළ යැයි කියන කුලවල අයවත් ග්‍රහණයට ගත්තා. 1977 වෙනකොට වාමාංශික පක්ෂවල පදනම අහෝසි වුණේ මේ නිසයි. ඊට සාපේක්ෂව අර පක්ෂ දෙක වෙන වෙනම වර්ධනය වුණා. 1952 න්් පස්සේ 1977 දක්වා තිිබුණු හැම මැතිවරණයකදීම තිබුණු ආණ්ඩුව පැරදුණා. 1977 න් පස්සේ පක්ෂ දෙකේ සමතුලිතභාවය බිඳවැටුණා. එය බිඳවැටී ඇති බව තාමත් බැලු බැල්මට පේන්නේ නෑ. දේශපාලන පක්ෂවලට සමාජයේ ආකර්ෂණය අඩුයි. ගම්වල පවා බෙදී තිබූ තත්ත්වය අද අඩුයි. පක්ෂයේ සාමාජික කාඩ් එකක් තිබුණා. ඒකට හරිම වැදගත්කමක් තිබුණා. දැන් එහෙම එකක් නැහැ. මිනිස්සු සංවිධානය වෙලා ඉන්නේ පක්ෂගතව නෙවෙයි, යම් යම් පුද්ගලයන් වටේ. මම ඒකට කියන්නේ නව වැඩවසම් ක්‍රමයක් කියලා. යම්කිසි බලවත් පුද්ගලයෙක් ඉන්නවා. එයාගේ පක්ෂපාතීත්වය තියෙන්නේ පක්ෂයටමත් නෙවෙයි. ඊට වඩා බලවත් පුද්ගලයෙකුට.

එතකොට පසුගිය ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා පැමිණීමේ සිට තේරුම් ගන්නේ කොහොමද?

අපිට ඒකට කෙටියෙන්ම කියන්න පුළුවන් පශ්චාත් පක්ෂ දේශපාලනය කියලා. ලංකාවේ දේශපාලන අර්බුදය මෙතැන තියෙන්නේ. රාජපක්ෂ පාලන කාලයේ මේ අර්බුදය සමනය කළේ තමන්ගේ පවුල වටා හදා ගන්න සිංහල ජාතිවාදය තුළින්. සමාජය සංවිධානය කළේ සිංහල ජාතිකවාදී හැඩයෙන් පවුල වටා කේන්ද්‍රගත කරගෙන. යුද්ධය තියෙන කල් ඕක ගැටලුවක් වුණේ නැහැ. එල්.ටී.ටී.ඊ. එක හතුරෙක් විදිහට නැති වී ටික කාලයක් ඡන්ද දිනුවා. නමුත් 2013 විතර පළාත් සභා ඡන්දවල දී මේක වෙනස් වෙන්න පටන් ගත්තා. ක්‍රමානුකූලව කඩාවැටෙන්න පටන් ගත්තා. රාජපක්ෂ කඳවුර ඇතුළෙම ‘ඉන්ටර්නැෂනල් ෆ්‍රැක්ස්’ ඇති වුණා. ඒවා ටික ටික මෝරලා ගියා. ඒ අය සහ සමාජය අතර ගැටුමක් ඇති වෙන්න පටන් ගත්තා. යුද්ධය නිසා සිංහල බෞද්ධයා එකතු කරපු එක අර්බුදයට ගියා. ඒක කඩාගෙන වැටීමේ ආරම්භය තමයි මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා හැටියට ඉදිරිපත් වීම. 2015 ජනවාරි 08 කියන්නේ රාජපක්ෂ ක්‍රමය කඩාගෙන වැටීම. හැබැයි එතන ඉඳලා තිබුණු එක වෙනුවට අලුත් එකක් හැදුණේ නැහැ. ඉස්සර මේ තිබුණු පක්ෂයක පාලනයක් බිඳවැටුණාම හරිම සුමට විදිහට වෙනත් බලයක් ගොඩනැගෙනවා.
2015 දී බලය මාරු වුණා වගේ පෙනුණට ඇත්ත වශයෙන්ම මාරු වුණේ නෑ. ඒ පැත්තේ අය මේ පැත්තට එනවා. පැරදුණු අය පාර්ලිමේන්තුවට එනවා. එන සැණින්ම ඇමතිවරුන් වෙනවා. කවුරු විපක්ෂයේ ඉන්නවාද? කවුරු ආණ්ඩු පක්ෂයේ ඉන්නවාද? ඇමතිලා කවුද? ඇමතිලා නොවන්නේ කවුද? දන්නේ නෑ. ඇමතිලා කැබිනට් එක විවේචනය කරනවා. හරිම විකාරසහගත තත්ත්වයක්. කැබිනට් සාමුහිකත්වය කියන එක විහිළුවක් බවට පත් වෙලා තියෙන්නේ. ජනාධිපතිගේ පක්ෂයේ මන්ත්‍රීලා තමයි විපක්ෂයේ ඉන්නේ. මේ වෙන දේවල් ටික එකතු කරලා ගත්තොත් මහාමාරිය වගේ. මීයන් මැරිලා ඉන්නවා දකිනවා. ටිකක් වෙලා යනකොට හැම තැනම මීයෝ මැරිලා ඉන්නා බව පේනවා. අන්න ඒ වගේ. මේක ලොකු වසංගතයක්. දේශපාලන අර්බුදය කියන්නේ අන්න ඒකටයි. හැබැයි අපට ඒ බව තවම පේන්නේ නෑ. ගමනාගමනය, ආර්ථීකය, සමාජය හැම පැත්තේම තියෙන්නේ මේ වගේ තත්ත්වයක්. මේක සිස්ටම් එකේ අර්බුදයක් බව හිතන්නේ නෑ. අපේ දේශපාලනය අද පිට දාන්නේ ‘සිස්ටම් ක්‍රයිසිස්’ එකක් නැත්නම් ක්‍රමයේ අර්බුදයක්.

මේ තත්ත්වය තුළ එළඹෙන පළාත් පාලන මැතිවරණ ඡන්දය ගැන දකින්නේ කොහොමද?

මේ කියන දේශපාලන අර්බුදය ඡන්දෙ දී හොඳට පෙනෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විතරක් නෙවෙයි, එක්සත් ජාතික පක්ෂයත් කොහොම තරග කරනවා ද කියලා මේ කතා කරන දෙසැම්බර් 12 වෙනිදා වෙනකොටත් අවසාන තීරණවලට ඇවිත් නැහැ. කවුරු කොයි පැත්තට යනවා ද කියලා නිශ්චිත නෑ. අපි ශ්‍රී ලංකා එකේ මෛත්‍රී කණ්ඩායම ගැන ගත්තොත්, කොයි තරම් හරි ඡන්ද ප්‍රමාණයක් ගන්නවා නේ. ඒ ගන්න ප්‍රමාණය කොයිතරම් වුණත්, දැන් මේ සිස්ටම් එකේ තියෙන මොකක් හරි සමතුලිතභාවයට අභියෝගයක් වෙන්න පුළුවන්. එතකොට ආපහු ප්‍රශ්නයක්. අනික් පැත්තෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන එක තියෙනවා නේ. ඒකත් ස්ථීර පක්ෂයක් නෙවෙයි. හරියට 1982 දී ශ්‍රී ලංකා මහජන පක්ෂය පිහිටෙව්වා වගේ. විජය කුමාරතුංග කියන ජනප්‍රිය චරිතයක් හිටියා, ශ්‍රී ලංකා එකේ අභ්‍යන්තර අර්බුද පුපුරලා ශ්‍රී ලංකා මහජන පක්ෂය පිහිටෙව්වා වගේ පේන්නේ. ඒ වෙලාවේ තියෙන යම් කිසි අර්බුදයක් ඇතුළේ බිහි වෙන්නේ. හැබැයි ස්ථාවර වෙන්න තියෙන හැකියාව හරිම දුර්වලයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන එක තියෙන්නේ කිසිම ශක්තිමත් පදනමක් උඩ නෙවෙයි. දැනටමත් ඒකේ අභ්‍යන්තර ගැටුම් තියෙනවා නේ. බැසිල් ගැන විවේචන තියෙනවා. ශ්‍රියානි විජේවික්‍රම අයින් වුණා. වීරකුමාර දිසානායක වගේ අය අයින් වුණා. බොහොම පුංචි පෞද්ගලික ප්‍රශ්නවලට මේවා කැඩෙන්න පුළුවන්. ශ්‍රියානි වගේ අය අයින් වෙලා තියෙන්නේ ඒ ගොල්ලන්ගේ අයට අපේක්ෂකත්වයක් නොලැබුණු නිසා. දැන් එක පක්ෂයකින් අනිත් පක්ෂයට යන එක එච්චර අමාරු නෑ. ඉස්සර එහෙම නෙවෙයි. හැට ගණන්වල පක්ෂය මාරු කරනවා කියන්නේ ලොකු ‘ඉවෙන්ට්’ එකක්. සී. පී. ද සිල්වා පක්ෂය මාරු කිරීම උදාහරණයක්. දැන් එහෙම ඉවෙන්ට් නෑ. ‘අරයා කොයි පක්ෂයේද ඉන්නේ ?’ කියලා අපි දන්නෙත් නෑ. උදාහරණයක් විදිහට දයාසිරි ජයසේකර වගේ අය කොයි පැත්තේ ඉන්නවා ද කියලා මතක් වෙන්නේ නෑ. ඕනෑ වෙලාවක ඕනෑ පැත්තක ඉන්න පුළුවන්. ක්‍රමයේ අර්බුදයට ගිය තරම ප්‍රකාශ වෙන්නේ මේවාගෙන්.

එතකොට ආර්ථීක අර්බුදය ගැන දකින්නේ කොහොමද?

අන්න ඒකයි මම කියන්නේ. එක එක කරුණු ගත්තොත්, ඒ ඔක්කොම අර්බුදවල තියෙන්නේ. හැම එකකම අර්බුද තියෙනවා. මේ තුළ තමයි අපි ජීවත් වෙන්නේ. පුද්ගලයන් හැටියට තේරුම් නොගන්නා සමස්ත අර්බුදය තමයි මේ.

මේ කියන අර්බුදය එක්කම එන මැතිවරණය ගැන පුරෝකතන මොනවාද?

ඕනෑම අර්බුදයක තියෙන මැතිවරණයකින් තීරණය වෙන ප්‍රතිඵලය ගැන අපි කියන්නේ අර ‘ලෙඩේ පිට දානවා’ කියලා. අර්බුදයේ ප්‍රකාශනයක් විතරයි. ඊට අමතරව දෙයක් වෙන්නේ නෑ. මේ වගේ අර්බුදයක් විසඳන එක ලේසි නෑ. අර්බුදයේ ප්‍රකාශනයක් හැටියට ඉස්සර තරුණ කැරලිකාරීත්වයක් ඇති වුණා. දකුණේ ජේවීපී එකත්, උතුරේ එල්.ටී.ටී.ඊ. එක ඇතුළු සංවිධානයන් තුළින් පුපුරා ගියේ ඒක. දැන් ඒ කාලය ඉවරයි. ආයේ කැරලි එන්නේ නෑ. ජේවීපී එකට ආරම්භයේ තිබුණේ ග්‍රාමීය තරුණ ආකර්ෂණයක්. හැබැයි පහුගිය කාලේ හොයලා බැලුවාම පේන්නේ නාගරික මධ්‍යම පාන්තික තරුණ ආකර්ෂණයක්. පහුගිය කාලේ ඡන්ද පදනම වෙනස් වූ හැටි බැලුවාමත් ඒක තේරුම් ගන්න පුළුවන්. කාලීන ලක්ෂණ කියන්නේ මේකට. ඒ වගේ ලංකාවේ පක්ෂ ක්‍රමයත් එක කාලයකට අයිති දෙයක්. පැරණි වාමාංශික පක්ෂ කියන්නෙත් කාලයකට අයිති දෙයක්. මෙන්න මේ වගේ අද ප්‍රශ්නයත් තියෙන්නේ වර්තමානයට අවශ්‍ය දේශපාලන තුලිතභාවය මොකක්ද? කියන එක. කවුරුත් මේක දන්නේ නැහැ. කාටත් විසඳුමක් නෑ. ඊළඟ මැතිවරණයේ දී වෙන්නේ මේක ප්‍රකාශයට පත්වෙන එක. මම කියන්නේ 2015 ජනාධිපතිවරණයේ දී වුණෙත් මේක. පළාත් පාලන මැතිවරණයේ දී වෙන්නෙත් මේ දේමයි. පැපොල හැදුණාම ගෙඩි දානවා වගේ ඊළඟ එකේ ප්‍රතිඵලය අර්බුදයේ ප්‍රකාශන මාධ්‍යයක්. අපි විවේචකයෝ විතරක් නෙවෙයිනේ. මැදිහත් වෙන අයත් වෙනවා නේ.

සාකච්ඡාව අවසානයට හොඳ තැනකට ආවා. මැදිහත් වෙන අයගේ කාර්යභාරය මොන වගේද?

එක එක අය එක එක න්‍යාය පත්‍රවලින් අර්බුදයෙන් එළියට එන්න උත්සාහ කරනවා. උදාහරණයක් විදිහට මම පිළිගන්න යම් කිසි දේශපාලන න්‍යාය පත්‍රයක් ඇතුළේ මම වැඩ කරනවා. ප්‍රසිද්ධියේම මම කියන්නේ ජේවීපී එකට සපෝට් කරනවා. මම ඒක කරන්නේ ඉන්න තැනින් එළියට යාමක් විදිහට. දැන් ඡන්ද ගොනු දෙකක් ඇතුළෙ නේ ඉන්නේ. ඒ ගොනු දෙකම දැන් කල් ඉකුත් වෙලා. මේ දෙක නැතුව වෙන පැත්තකට ඡන්දදායකයව හරවන්න ඕනේ. ගොඩක් අය කියන්නේ ‘ඡන්දෙ වැඩක් නෑ’ කියලා. මම ඒවා පිළිගන්නේ නෑ. ඒවා නිකං පරණ කාලෙට අයිති කතා. දැන් ඡන්දය කියන්නේ අතිශයින් වැදගත් දේශපාලන ක්‍රියාවක්. කවුරු හරි ප්‍රතික්ෂේප කරනවා නම් අන්තිම අපරිණත වැඩක්. අද මැතිවරණය තරම් වැදගත් දේශපාලන ක්‍රියාවක් නෑ. උද්ඝෝෂණ අරවා මේවා තියෙන්න පුළුවන්. නමුත්, මේක තමයි මිනිස්සු ස්ථීරවම දේශපාලන අදහස් ප්‍රකාශයට පත් කරන මාධ්‍යය. ඡන්දය කියන වැදගත් දේශපාලන ක්‍රියාව සඳහා ඡන්දදායකයාව අලුත් පැත්තකට යොමු කරවන්න අපි සමත් වෙන්න ඕනෑ. මේ මැතිවරණය යොදා ගන්න ඕනෑ ඒකට.


සංවාදය හා සටහන
ප්‍රියදර්ශන දයාරත්න