ඡන්ද භීතිකාව

ඡන්දය කල් දැමීමට විපක්ෂයේ පිරිසක් කුරුමානම් අල්ලන බවට මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් චෝදනා කර තිබේ. ක්ෂේත්‍ර නිලධාරීන් හා සමෘද්ධි නිලධාරීන් ලෙස කටයුතු කරන පිරිසක් තමන්ට පළාත් පාලන ඡන්දයට ඉදිරිපත් වීමට ඇති අයිතිය අහිමි කර ඇති බව කියමින් අධිකරණයට ගොස් ඇත්තේ විපක්ෂයේ කණ්ඩායමක අවශ්‍යතාවයකට බව ඔවුහු පවසා ඇත. මෙම විපක්ෂයේ කණ්ඩායම අන් කිසිවෙකුත් නොව බැසිල් රාජපක්ෂ මූලිකත්වයෙන් පවතින පොහොට්ටු පක්ෂය බව සැඟවීමට නොහැකිය.
ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වැළැක්වීමට බොහෝ දේශපාලන කණ්ඩායම් උත්සාහ කළ බව ප්‍රසිද්ධ රහසකි. මනාප ක්‍රමය ඉවත් කර, කොට්ඨාසයට මන්ත්‍රීවරයෙකු හිමිවන, සමානුපාතික ක්‍රමයද රැකෙන නව මැතිවරණ ක්‍රමය පාර්ලිමේන්තුවේ සම්මත වන අවස්ථාවේද ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම එයට විරුද්ධ විය. ඔවුන් එහිදී විරෝධය පළ කළ ලද කරුණු අතර, ඉහත ක්ෂේත්‍ර හා සමෘද්ධි නිලධාරීන්ට මැතිවරණයට ඉදිරිපත් වීමේ සීමා පැනවීම යන්නද විය. මැතිවරණයට නාම යෝජනාද ලබා ගනිමින් තිබෙන මේ දින කිහිපයේ හෝ එය කල් දමා ගැනීමේ උත්සාහයක නිරත වීමෙන් බොහෝ කරුණු හෙළි වෙයි.
එහි ප්‍රධානම කරුණ මෙම මැතිවරණයට ඔවුන්ගේ ඇති අකමැත්තයි. එය දැන් දේශපාලන බිමේ සිදුවෙමින් පවතින මහා ගාලගෝට්ටියෙන් පෙනී යයි. ඒකාබද්ධ විපක්ෂයේ නායක මට්ටමේ සිට බොහෝ පිරිස් ඉන් ඉවත් වෙමින් සිටින බව පැහැදිලිව දකින්නට ලැබුණි. ඇතැම් අය ජනාධිපති මෛත්‍රී හමු වී ආණ්ඩුවේ වරදාන ලබා ගන්නා බව පෙනුනි.
මීට ඉහතින් පළාත් පාලන අමාත්‍යවරයාම සෘජුවම මැදිහත් වී මැතිවරණය කල් දැමීමට සිදු කළ ලැජ්ජා සහගත කුමන්ත්‍රණය මුළු රටටම හෙළිදරවු විය. එයට එරෙහිව නැගි විරෝධතා නිසාවෙන්ම එම අධිකරණ ක්‍රියාමාර්ගය ඉල්ලා අස් කර ගැනීමට ඇමතිවරයා ප්‍රමුඛ මෛත්‍රී පාර්ශ්වයට සිදුවිය. එසේ එළිපිට කුමන්ත්‍රණයකට එළඹීමට ඔවුන්ට සිදු වූයේ මැතිවරණයකට ඇති විශාල බිය නිසා බවට කිසිදු සැකයක් නැත. සැබැවින්ම ලක්ෂ 62ක් ඡන්දය ලබා ගත් වත්මන් ජනාධිපතිවරයාගේ සැබෑ ජන පදනම මෙම පළාත් පාලන මැතිවරණය අවසානයේ හෙළි වන්නේය. එහි සැබෑ තරම දන්නා ජනාධිපතිවරයා ඊට බිය වීම පුදුම සහගත වන්නේ නැත.
ඒ අතර එජාපයේ ජෝන් අමරතුංග ඇමතිවරයා පවසා ඇත්තේ ‘මේ සැරේ රජයත් අපේ, පොලිසියත් අපේ, ඒ නිසා බයක් හැකක් තියා ගන්න එපා. අපිට ඕනෑ කරන්නේ තමුන්නාන්සේලාගේ කතිරය පමණයි’ යනුවෙනි. ඒ අතරම ඊට පෙර අවස්ථාවක ජනහමුවකදී හාල් ගණන්දැයි විමසන ඔහු හාල් රටින් ගෙන්වා ප්‍රශ්න විසඳන බව කියයි. එසේම ඉන්පසු එළවළු ගණන් දැයි විමසන ඔහු එළවළුද රටින් ගෙන්වා ප්‍රශ්නය විසඳන බව කියයි.
යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන බව කියමින් බලයට පත් වත්මන් හවුල් ආණ්ඩුවේ වැඩි බලය හොබවන්නේ එජාපයයි. බැඳුම්කර මංකොල්ලය ඇතුළු දූෂණ අක්‍රමිකතා රැසක චෝදනා එල්ල වී ඇත්තේද එජාප පාර්ශ්වයටයි. එසේම රටේ සම්පත් විකුණා දැමීම සම්බන්ධ චෝදනාවද එල්ල වී ඇත්තේ ඔවුන්ටය. ඒ නිසා රාජ්‍ය බලයේද, පොලිස් බලයේද පිහිටෙන් ඡන්දය කිරීමට එජාප නායකයන් කල්පනා කිරීම පුදුම වීමට කාරණයක් නොවේ. ජෝන් ඇමතිවරයා එළිපිට කියා ඇත්තේ මේ ඇත්ත කතාවයි.
ඒ අතර කුඩා කුඩා දේශපාලන පක්ෂ හා කණ්ඩායම් එජාප අලියාගේ නැට්ටේද, ශ්‍රීලනිප අතේ හෝ බුලත් කොළයේද එල්ලීමට දඟලන දැඟලිල්ල විසින්ම මොවුන්ගේ දේශපාලන කෙරුවාවන් හෙළිදරවු වෙමින් තිබේ. මේ අයද තනිවම ඡන්දයට මුහුණ දීමට බිය වී සිටියි.
ඒ අතර ඇතැම් කයිවාරුකාර අති වාමාංශික කණ්ඩායම් ඡන්දය වර්ජනය කර ඇත්තේ මැතිවරණය යනු බොරු ප්‍රෝඩාවල් යයි කියමිනි. එහෙත් එහි සැබෑ අරුත මැතිවරණයට මුහුණ දීමට ඇති නොහැකියාව විසින් ඇති කරන බිය බව සැඟවිය නොහැකිය.
ජනතාව හමුවට යාමට බිය විය යුත්තේ ජනතාවට පිටු පෑ අයය. ජනතාවට පස්ස හැරවූ අයය. ජනතාවට ද්‍රෝහී වූ අයය. ඒ අය කවුදැයි අද දේශපාලන බිමේ මැතිවරණ භීතිකාව විසින් පෙන්නුම් කර තිබේ.
ජනතාව වෙනුවෙන් සැබෑ ලෙස පෙනී සිටි, සැබෑ ප්‍රගතිශීලීන් පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ සියලු කුමන්ත්‍රණවලට එරෙහිව පෙරට පැමිණියෝය. ඒ නිසාම ඒ කුමන්ත්‍රණ අසාර්ථක වී තිබේ. ජනතාවට ඡන්ද අයිතිය හිමි වී තිබේ. එයම ජනතාව ලද ජයග්‍රහණයකි.
එය වඩාත් අර්ථවත් වන්නේ ඡන්දයද බුද්ධිමත්ව හා නිවැරදිව භාවිතා කළ හොත් පමණි. පටු පෞද්ගලික අරමුණු පසෙකට දමා ගම වෙනුවෙන්, රට වෙනුවෙන්, ජනතා අයිතීන් වෙනුවෙන් සැබෑ ලෙසම සටන් වදින ජනතා දූ පුතුන් වෙත ගමේ බලය හිමි කර දීමට ජනතාව විමර්ෂනශීලී වන්නේ නම් එය එහි පළමු පියවර වනු ඇත.