ටී.එන්.ඒ. එක ජනතාවට කරපු දෙයක් නැහැ… (ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී)

ප්‍රිSRhg
රනිල් සගවන ණය කන්ද
January 22, 2018
විවෘත ආර්ථීකය
ඔබේ ගෙල මිරිකන හැටි ඔබ දන්නේද?
January 22, 2018
Show all

ටී.එන්.ඒ. එක ජනතාවට කරපු දෙයක් නැහැ… (ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී)

ආනන්ද සංගරී

පසුගිය වසර කීපය පුරාම ටී.එන්.ඒ. සංවිධානයට උතුරේ ජනතාව දේශපාලන බලය පැවරුවා. වත්මන් ආණ්ඩුවේ විපක්ෂ නායක භූමිකාවත් ඔවුන් සතුයි. ජනතා අයිතිවාසිකම් ලබා දෙන්න ඔවුන් ඒ බලය යොදාගෙන තිබෙන ආකාරය ගැන ඔබ සෑහීමකට පත් වෙනවාද?

ඔවුන් මොනවාවත් කරලා නැහැ. මම ඒ කාලේ ඉඳලාත් කියනවා අමිර්තලිංගම් මහත්තයා, මගේ වචනය, මගේ මතය පිළිගත්තේ නැහැ. ටී.එන්.ඒ. කට්ටිය හොරෙන් ඡන්ද දා ගත්තා. මෙහෙ කවුරුවත් ඒ ගොල්ලන්ට ඡන්දය දුන්නෙත් නැහැ. නමුත්, ඒ අය එල්.ටී.ටී.ඊ. කොටි සංවිධානයේ උදව්වෙන් ඒ කාලයේ බලහත්කාරයෙන් ඡන්දය ගත්තා. ඇත්තෙන්ම මාව පක්ෂයෙන් එළියට දැම්මා. ඒක කොහොම කළා ද කියලා මම දන්නේ නැහැ. ඒ ස්ථානයට සේනාධිරාජා ගෙනාවා. ඉතින්, පක්ෂයට මොකද වුණේ ? චෙල්වනායගම් මහත්තයා මැරුණාට පස්සේ ඒ පක්ෂයට කට්ටිය නැති වුණා. එයා පක්ෂය වහලා තමයි ගියේ. එයාගේ මරණයෙන් අවුරුදු විසිඅටකට පස්සේ සේනාධිරාජා ආවා. එයා අලුතෙන් පක්ෂය පටන් ගත්තා කියලා කීවා. එහෙම කීවේ බොරුවටයි. ඇත්ත කතාව ඒ ගොල්ලන්ගේ නම සීමා වෙලා තියෙන්නේ, කොළේට විතරයි. අපි නියෝජිතයෝ දැම්මා. ටී.එන්.ඒ. එක නියෝජිතයෝ දැම්මේ මට විරුද්ධව.

ටී.එන්.ඒ. එකට ජනතාව ඡන්දය දුන්නේ නැත්නම්, මන්ත්‍රීවරුන් විසිදෙකක් දිනුවේ කොහොමද?

ඒ කාලේ ටී.එන්.ඒ. එකෙන් විසිදෙදෙනෙක් ඡන්දය ඉල්ලුවා. විසි දෙදෙනාම දිනුවා. එහෙම දිනුවේ අනෙක් පක්ෂ ඔක්කෝටම වැඩ කරන්න ඉඩ දුන්නේ නැතිවයි. ඒ අයට ඇප බඳින්න අත්සන් කරන්න ඉඩ දුන්නේ නැහැ. ගෙවල්වලට ගිහින් ඡන්දය ඉල්ලන්න ඉඩ දුන්නේ නැහැ. ඉතින්, නියෝජිතයෝ දාන්න බැරි වුණා. සේනාධිරාජා ඡන්දය දවසේ උදේ පරාදයි. හැන්දෑව වෙද්දී දිනුම්. ඒක තමයි, ඇත්ත. ඡන්ද එක්ලක්ෂ විසිදාහක් එක මිනිහෙකුට ලැබුණෙ කොහොමද? අපේ පළාතේ කොහේ ද ඒ තරම් මිනිස්සු. ඒ අය හොර ඡන්දයෙන් තමයි, ආවේ. ඒ ඔක්කොම තමන්ම දා ගත්තු ඡන්ද නේ.

හොර ඡන්ද දැම්මා නම්, ඊට විරුද්ධව ඔබලා කිසිම පියවරක් ගත්තේ නැද්ද?

ජාත්‍යන්තර නායකයොයි, අපියි ඔක්කොම ඒ ගැන ආණ්ඩුවට කිව්වා. එතකොට මොකද ආණ්ඩුව කරන්න ඕනෑ. ඔයාලා හොර ඡන්දෙන් ආව නිසා ආසන දෙන්න බෑ කියලා මැතිවරණය කැන්සල් කරලා යළි මැතිවරණයක් තියන එකයි. ආණ්ඩුව එහෙම කළෙත් නෑ. කිව්වෙත් නෑ. අපි මැතිවරණ කොමසාරිස්ට කිව්වා, මේ මැතිවරණය කැන්සල් කරලා අලුත් මැතිවරණයක් තියන්න කියලා. උසාවියෙන් ඉල්ලුවා. එතකොට කිව්වේ, එහෙම කරන්න අපේ රටේ නීති හදලා නැහැ කියලයි. ඒ අය ඇවිත් හොඳ මිනිස්සු වගේ හිටියා. පඩි ගත්තා. සුඛෝපභෝගී වාහන ගත්තා. ඔක්කොම වරප්‍රසාද භුක්ති වින්දා. ඒ වාගේ අවුරුදු හයක් හිටියා. ජනතාවට, මේ ප්‍රදේශයට කිසිම වැඩක් කළේ නැහැ. අපි ඒ අය වගේ දේශපාලනය කළේ නැහැ.

උතුරු පළාත් සභාවේ විග්නේශ්වරන් මහ ඇමතිවරයාගේ වැඩපිළිවෙළ ගැන ඔබ මොකද කියන්නේ ?

මම එයාගේ වැරදි මොකුත් කියන්නේ නැහැ. එයා මගේ පන්තියේ. අපි එකට ඉගෙන ගත්තේ. නීති විද්‍යාලයේ අපි එකටයි හිටියේ. වාසුදේව නානායක්කාර මහත්තයයි, එයාගේ බිරිඳයි විග්නේශ්වරනුයි, එයාගේ බිරිඳයි, රාජගුරුයි, මමයි අපි ඔක්කොම නීති විද්‍යාලයේ එකට හිටියේ. ඒ වාගේ අපි බොහොම දෙනෙක් එදා එකම පන්තියේ හිටිය ළමයි. විග්නේශ්වරන් ජනතා විශ්වාසය දිනා ගත්ත නිසා තමයි, උතුරේ ජනතාව එයා මහ ඇමති ලෙස පත් කළේ. ඒ කාලේ මට ඡන්දේ ඉල්ලන්න දුන්නේ නැහැ නේ. ඒ ගොල්ලන් හින්දා තමයි, මගේ ආසනය නැති වුණේ. මට ඉල්ලුම් පත්‍ර දාන්න ඉඩ දුන්නෙත් නැහැ. ඡන්දෙ දාන්න ඉඩ දුන්නෙත් නැහැ. විග්නේශ්වරන්ට දුන්නේ එදා ඒ ලිස්ට් එකෙන් මගේ නම කපන්නයි.

ඔබ නව දේශපාලන ගමනක් යන්න සූදානම් වෙනවා නේද? එහි අරමුණ කුමක්ද?

මම තවම අලුතෙන් වැඩ පටන් ගත්තේ නැහැ. මේ රටේ දැන් පවතින ආණ්ඩුවට උතුරේ ඔක්කොම අය මුල දී උදවු කළේ නැහැ. මම උදවු කරන්න ඉදිරිපත් වුණා. මගේ උදවු ආණ්ඩුව පිළිගත්තේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා දිනලා, අගමැතිවරයා ලෙස වැඩ භාර ගත්තා. ඒ ජනවාරි 26 වැනිදා ඉන්දියන් තානාපති කාර්යාලයේ සාදයක දී මට ඔහු මුණගැහුණා. මම අතට අත දුන්නා. ඔහු අත දුන්නේ නැහැ. අහක බලාගෙන ඈතට දුවලා ගියා. සම්බන්ධන්ට උත්තර දෙන්න වෙයි, ආනන්ද සංගරීට කත් අදිනවා වගේ තත්ත්වයක් කියලා හිතලා වෙන්න ඇති. ඒක තමයි, ඇත්ත. දැන් අවුරුදු දෙකකුත් ගත වුණා. අගමැතිවරයා අද වන තුරු මාත් එක්ක කතා කරන්නේ නැහැ.

ඔබ කුඩා පක්ෂ එකතු කරගෙන ඉදිරියට යන්න හදනවාද?

මම කියන්නේ ටී.එන්.ඒ. එක එක්ක උතුරේ ජනතාව ගොඩක් තරහෙන් ඉන්නවා කියලයි. ඒ අයට චාන්ස් එකක් දෙන්න අපි කුඩා පක්ෂ එකතු කරනවා. එහෙම පොඩි පක්ෂ එකතු වෙලා මේ මැතිවරණයට තරග කරනවා.

යුද්ධය පවතින කාලයේ ඔබ කොටි සංවිධානයෙන් මරණ වරෙන්තු ලබපු කෙනෙක්. ඔබ ඒ අන්තවාදය විවේචනය කළා. නමුත්, දැන් ඔබ එකතු වීමට උත්සාහ කරන්නේ එවැනි පිරිසක් සමඟ නේද?

මම කවදාවත් එල්.ටී.ටී.ඊ.යට උදවු කළේ නැහැ. මම ඔවුන්ට හිතවාදීව හිටියේ නැහැ. නමුත්, ටී.එන්.ඒ. අය මං ගැන වැරදි තොරතුරු කියා එල්.ටී.ටී.ඊ,ය නොමග යවා ඔවුන් මාව මරන්න වරෙන්තු නිකුත් කළා. දැන් මම කරන්නේ ටී.එන්.ඒ. එකට විරුද්ධ කුඩා පක්ෂ එකතු කරන එකයි. සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් වැනි අය කොමියුනිස්ට් අදහස් දරන අයයි. මගේ ප්‍රධාන අරමුණ මහජනතාව නොමඟ යවමින්, ඔවුන්ට කිසි වරප්‍රසාදයක් ලබා නොදී තනිවම වරප්‍රසාද භුක්ති විඳින ටී.එන්.ඒ. එක පරාජය කිරීමයි.

උතුරේ මැතිවරණය පිළිබඳව මොක ද හිතන්නේ? එහිදී මොන වාගේ ප්‍රතිවිරෝධතා මතු වෙයිද?

ජනතා අප්‍රසාදය එහිදී හොඳට පෙනෙයි. වැඩ නොකර බොරුවට පඩි අරගෙන වරප්‍රසාද භුක්ති විඳින අයගේ නියෝජිතයන් පරාජයට පත් වෙයි. හරියට මැතිවරණයක් තිබ්බොත්, ජනතාව කාට ද කියා ඔප්පු වෙයි. දුප්පත් ජනතාව ඉහළට ඔසොවා තබන වැඩපිළිවෙළකට යා යුතුයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන ඔබේ අදහස මොකක්ද?

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවශ්‍ය නැහැ කියලා මම මේ ආණ්ඩුවට කීවා. ලංකාවට ගැලපෙන්නේ ඉන්දියානු මොඩලයයි. මම හිතන්නේ ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදීම රට ඉන්දියාව කියලයි. එහේ ජනගහනයෙන් වැඩි පිරිසක් හින්දු භක්තිකයනුයි. එහෙත්. ඒ රටේ ජනාධිපතිවරයා වීමට මුස්ලිම් පුද්ගලයකුටත් පුළුවන් වුණා. හෙළ උරුමයේ නායකයාව සිටි ඕමල්පේ සෝභිත හාමුදුරුවන්ට මම මේ ගැන කිව්වා. ඒ කාලේ ඉන්දියා ජනාධිපතිවරයා මුස්ලිම් භක්තිකයෙක්. ඉන්දියාවේ ක්‍රමය හොඳ බව මම ඕමල්පේ සෝභිත හාමුදුරුවන්ට කිව්වා. උන් වහන්සේ ඒකට එකඟ වුණා. මට ජාති, ආගම්, කුලභේද නැහැ. පසුගියදා අපවත් වූ අස්ගිරි මහා නායක හාමුදුරුවෝ ඉන්න කාලේ මම නිතරම උන් වහන්සේ මුණගැහෙනවා. කතාබහ කරනවා. නව ව්‍යවස්ථාව කියන්නේ, ඉඩම්, පොලිස් බලතල ගැන නේ. ඒවා වෙනස් කිරීම නොවෙයි රටට අවශ්‍ය වෙන්නේ. ජනතා අවශ්‍යතා, ප්‍රශ්න හඳුනාගෙන කටයුතු කිරීමයි. මහජනතාව පීඩාවට පත් නොවන පරිදි ආණ්ඩුවක් ඉදිරියට ගෙන යාමයි. ජනතා ප්‍රශ්නවලට නිසියාකාර විසඳුම් ලබා දීමයි. තිඛෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හොඳයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අනුව ඡන්දෙකට ගියොත්, මේ ආණ්ඩුව පරාද වෙනවාමයි.


පද්මා වේරගොඩආරච්චි