නිහඩවම වියැකෙන සද්දන්ත ජීවිත

ඉරෙණෙතිව් ජනතාව
උපන් බිමේ අයිතිය ඉල්ලන ඉරෙණෙතිව් ජනතාව
January 22, 2018
ප්‍රීebheuy
කුණු නම්, කුණු වී යනවාමය
January 23, 2018
Show all

නිහඩවම වියැකෙන සද්දන්ත ජීවිත

ගල්ගමුවේ දළ ඇතා හෙවත්, ‘දළ පූට්ටුවා’ යන නමින් හඳුන්වනු ලැබූ ඇතාගේ ඝාතනයෙන් පසු ලංකාවේ සිටින ඇතුන් ආරක්ෂා කර ගත යුතු බවට බොහෝ අයගේ අවධානය යොමු වී ඇත. එම ඇතාගේ ඝාතනයෙන් දින කීපයකට පසු තවත් ඇතෙකු ඝාතනය කර තිබීමෙන් ද පෙනෙන්නේ ඇතුන් ඝාතනය දැන් සුලභ වී ඇති බවයි. එහෙත්, ලංකාවේ ඉතිරිව සිටින දළ ඇතුන් ස්වල්ප දෙනා ද ආරක්ෂා කර ගැනීමට සාර්ථක වැඩපිළිවෙළක් තවමත් යෙදී නැති බව පෙනේ. දළ ඇතුන් පමණක් නොව අලින් ද වසරකට සිය දෙනෙකු පමණ ඝාතනය කරනු ලබයි. මේ අන්දමට අලි ඇතුන් ඝාතනය වුවහොත්, තව අවුරුදු දහයකින් පමණ අපේ අලි පරපුර වඳ වී යා හැකිය.
ලංකාව බ්‍රිතාන්‍යයේ යටත්විජිතයක් වීමට පෙර මුහුදුබඩ ප්‍රදේශයේ සිට කඳුකර ප්‍රදේශය තෙක්ම අලි ඇතුන් ජීවත්ව සිට ඇත. යටත්විජිත කාලයේ දී වර්ෂ 1505 සිට 1948 දක්වා බස්නාහිර තෙත් කලාපය වෙළෙදාම් සඳහා භාවිත කළ නිසා එම ප්‍රදේශයේ ජනතාවගේ පදිංචිය වැඩි විය. අලි ඇතුන් ඝාතනය කිරීමට රජයේ අනුග්‍රහය ලැබී ඇත. ඒ සඳහා ත්‍යාග ද පිරිනමා ඇත. මේ අතර තේ හා කෝපි වගා කිරීමට වනාන්තර එළි කිරීමත්, විනෝදය සඳහා බ්‍රිතාන්‍ය ජාතිකයන් අලි ඇතුන් මරා දැමීම නිසාත් එම ප්‍රදේශවල සිටි අලි ඇතුන් විනාශ විය. යුද හමුදාවේ උසස් නිලධරයකු වාර්තාවක් තබනු පිණිස අලි ඇතුන් 1,500කට වඩා වෙඩි තබා ඝාතනය කර ඇත. 1829 හා 1855 යන කාලය අතර පමණක් අලි ඇතුන් 6,500 කට වඩා ඝාතනයට ලක් වී ඇත.
විසි වැනි ශතවර්ෂය මුල දී ද ලංකාවේ බොහෝ ප්‍රදේශවල අලි ඇතුන් ජීවත් වී ඇත. එහෙත්, විසි වැනි ශතවර්ෂයේ දී කෘෂිකර්මය දියුණු කිරීම සඳහා වියළි කලාපයේ විශාල ජලාශ නිර්මාණය කිරීම නිසාත්, පැරණි වාරිමාර්ග ක්‍රම පුනරුත්ථාපනය කිරීම නිසාත්, ජනපද ඇති කිරීම නිසාත් එම ප්‍රදේශවල අලි ඇතුන් ක්‍රමයෙන් විනාශ විය. අලි ඇතුන් සිටි ප්‍රදේශ කැඩී බිඳී වෙන් විය. 1948 නිදහස ලැබීමෙන් පසු සංවර්ධන කි්‍රයා තවත් වේගවත් විය. 19 වැනි ශතවර්ෂයේ මුල් භාගයේ දී 12,000 සිට 14,000 ක් දක්වා පමණ සිටි අලි ඇතුන් සංඛ්‍යාව 2011 වන විට 5,800 කට පමණ අඩු වී තිබිණි.
ලංකාවේ අලි ඇතුන් සංඛ්‍යාව වේගයෙන් අඩු වීම නිසා 1986දී ‘ස්වභාව ධර්මය සංරක්ෂණය කිරීමේ අන්තර්ජාතික සංගමය’ විසින් ලංකාවේ අලි ඇතුන් වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා ඇති සතුන් ලෙස ප්‍රකාශ කර ඇත. අද අලි ඇතුන් උතුරු, නැගෙනහිර හා දකුණු නැගෙනහිර වියළි කලාපයට බොහෝ සෙයින් සීමා වී ඇත. ඊට අතිරේකව යාල වනෝද්‍යානය ද, ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය ද, විල්පත්තු ජාතික වනෝද්‍යානය ද, මින්නේරිය ජාතික වනෝද්‍යානය ද අලි ඇතුන්ගේ වාසස්ථාන වේ. මෙම ආරක්ෂක ස්ථානවලින් පිට ද අලි ඇතුන් සිටින නිසා බොහෝ විට ඝාතනයට ලක් වේ. අලි ඇතුන්ගේ වාසය සඳහා විශාල වන ප්‍රදේශ අවශ්‍ය වන නමුත්, විල්පත්තුව සහ රුහුණු ජාතික වනෝද්‍යාන හැර අනෙක් ආරක්ෂිත වනෝද්‍යාන වර්ග කිලෝ මීටර දාහකට වඩා කුඩාය. සමහර ඒවා වර්ග කිලෝ මීටර පනහකට වඩා කුඩාය. මෙයට ප්‍රතිකර්මයක් ලෙස මහවැලි සංවර්ධන කලාපයේ වස්ගමුව වනෝද්‍යානය, සෝමාවතී වනෝද්‍යානය සහ ති්‍රකෝණමඩු වනෝද්‍යානය ආදී එකිනෙකට සම්බන්ධ කර අලි ඇතුන්ට වාසය සඳහා උචිත වන වර්ග කිලෝ මීටර් 1,172 ක් පමණ භූමියක් සකස් කර ඇත. එහෙත්, තවම අලි ඇතුන්ගෙන් සියයට 65 ක් පමණ මෙම ආරක්ෂිත ප්‍රදේශවලින් බැහැර ප්‍රදේශවල ජීවත් වෙති.
අලි ඇතුන්ට අද මුහුණ පෑමට සිදුව ඇති ප්‍රධාන තර්ජනය මිනිස් වාසස්ථාන ව්‍යාප්ත වීමත් සමඟ කෘෂිකාර්මික කටයුතු සඳහා අලි ඇතුන්ගේ ස්වාභාවික භූමි භාවිත කිරීමත්ය. මේ නිසා මිනිසුන් සහ අලි ඇතුන් අතර ගැටුමක් නිර්මාණය වී ඇත. වගාවන් විනාශ කිරීමට පැමිණෙන අලි ඇතුන් ඝාතනයට ලක් වේ. ගොවීන්ගේ වෙඩි පහරවලට ලක් වීම නිසා 1999 සහ 2006 අතර වසරකට අලි ඇතුන් සියයක් පමණ බැගින් ඝාතනය වී ඇත.
ඇතුන්ට ඇති තර්ජනය නම්, ඇත් දළ ලබා ගැනීම සඳහා ඝාතනයට ලක් වීමයි. මෙම තර්ජනය මෙකල හිස ඔසවා ඇති බව අලි පූට්ටුවා ඝාතනයෙන් පෙනේ. ඇත් දළ වෙළෙදාම බොහෝ රටවල තහනම් කර ඇතත්, නීති විරෝධී ලෙස එම ව්‍යාපාරයෙහි යෙදෙන අය වැඩි වී ඇත. මහනුවර ඇත් දළ ජාවාරමෙහි මධ්‍යස්ථානයක් බව හෙළි වී ඇත. ලංකාවේ අද ජීවත් වන අලි ඇතුන් සංඛ්‍යාවෙන් ඇතුන්ගේ ප්‍රමාණය සියයට දෙකක පමණ සුළු සංඛ්‍යාවකට සීමා වී ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් 2011 දී කරන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇත.
අපි්‍රකාවේ ඇතුන්ට ද දළ නිසාම මරණ තර්ජනයට මුහුණ පෑමට සිදුව ඇත. අපි්‍රකාවේ රජය ද ඇත් දළ වෙළෙදාම තහනම් කර ඇතුන් ඝාතනය වැළැක්වීමට පියවර ගෙන සිටින නිසා චීනය, වියට්නාමය, මැලේසියාව සහ තායිලන්තය යන රටවල පවතින ඇත් දත් කර්මාන්ත ශාලාවල ඉල්ලුම වැඩි වී ඇත. මේ නිසා අපරාධකරුවන් සහ ව්‍යාපාරිකයන් එක්ව ඇත් දත් වෙළෙදාම හොර ජාවාරමක් බවට පත් කර ඇත. මෙය වහාම මර්දනය නොකළොත්, දළ ඇතුන් කිසිවෙකු ඉතිරි නොවනු ඇත. දළ පූට්ටුවාගේ ඝාතනයට රජයේ නිලධාරීන් ද, භික්ෂුවක් ද සම්බන්ධ වී ඇති බවට පුවත් පළ වී ඇති නිසා මෙම ව්‍යාපාරයේ ප්‍රබල බව පෙනේ.
අපේ අලි ඇතුන්ට මුහුණ පෑමට සිදුව ඇති තුන්වැනි තර්ජනය නම්, කුඩා කලදීම මවගෙන් වෙන් කරගෙන අවුත්, විහාරස්ථානවල හෝ පෞද්ගලික ස්ථානවල සිරකරුවන් සේ ජීවත් වීමට සිදු වීමය. ලංකාවේ ප්‍රධාන පෙළේ පන්සලක් වන ගංගාරාමයේ දම්වැල්වලින් බැඳ දුක් විඳින ගංගා නම් ඇත් පැටවා ගැන ඉතා සංවේගජනක වීඩියෝ පටයක් අන්තර්ජාලයේ ඇත. කන්දේ විහාරයේ ද, ඛෙල්ලන්විල විහාරය ද ඇතුළු බෞද්ධ විහාරස්ථානවල මෙසේ දම්වැල්වලින් බැඳ ගමන සීමා කර මනුෂ්‍ය කෘෘරත්වයට ලක් වූ ඇත් පැටවුන්ට අතිරේකව පෞද්ගලික වාසස්ථානවල ද සිරකරුවන් සේ ජීවත් වන අලි ඇතුන් සංඛ්‍යාව 127 ක් බව වාර්තා වී ඇත. දෙහිවල සත්ත්වෝද්‍යානය ද අලි ඇතුන්ගේ සිරකඳවුරකි.
ලංකාවේ අලි ඇතුන්ට සිදු වන කෘෘරත්වය නිසා ලෝක සත්ත්ව ආරක්ෂක සංගමය සංචාරක සමාගම් සියයකටත් වඩා වැඩි සංඛ්‍යාවක් අලින් පිට උඩ විනෝදයට යාම වර්ජනය කර ඇත. ට්‍රැවල් කෝපරේෂන්, තෝමස් කුක් වැනි සමාගම් ද අලි ඇතුන්ගේ ප්‍රදර්ශන ක්‍රිඩා යනාදිය ඇති කිසිම රටකට සංචාරකයන් නොයවන බව දන්වා ඇත. මේ නිසා අප රටේ වනජීවී දෙපාර්තමේන්තුව සහ සංචාරක කටයුතු භාර ඇමතිවරුන් ද ඇතුළු රජයම දැන ගත යුතු වන්නේ සත්ත්ව හිංසාව, ආගමේ හෝ චාරිත්‍රවල හෝ අංගයක් ලෙස සලකා කටයුතු කිරීම ශිෂ්ට සමාජය ප්‍රතික්ෂේප කරන බවය.


ඒ. ඩී. ගුණසේකර
හිටපු අධ්‍යක්ෂ
පශ්චාත් උපාධි ගුරු අධ්‍යාපන
දෙපාර්තමේන්තුව
ජාතික අධ්‍යාපන ආයතනය