රනිල්ගෙන් මහින්දට ටොකු

උඳුවප් සීතල මාසය අවසන් වීමට ඇත්තේ තව සති දෙකක්ය. ගෙවෙමින් තිබෙන්නේ උඳුවප් මාසය පමණක් නොව වර්ෂයේ අවසාන දින කීපය ද වන්නේය. ප්‍රධාන යැයි කියා ගන්නා දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් මුහුණ දෙමින් සිටින්නේ මැතිවරණය නමැති ගිනි පෑගීමට වන්නේය. නියමින් හෝ අනියමින් හෝ මැතිවරණය කල් දමා ගැනීමට ක්‍රියා කළවුන් දැන් අසීරුම තත්ත්වයෙන් මැතිවරණයට හිත් හදාගෙන මුහුණ දෙනු මිස කළ හැකි අන් දෙයක් නොමැති වී සිටින්නේය.

මහින්ද සුළඟ

මේ හමුවේ නොසිතූ අන්ත අසරණ තත්ත්වයකට ඇදවැටී සිටින්නේ මහින්ද කණ්ඩායම බව ප්‍රකට වී හමාරය. ‘මහින්ද සුළං’ යනුවෙන් නම් කරගෙන කොළඹ වටලන්නට පා ගමන් පවත්වන බවට පාරම් බෑ කිසිවෙකුත් දැන් නැත්තේය. මහා ජන ගඟක් ගැලු බව කියමින්, නුගේගොඩ රැස්වීම් පැවැත් වූ, මැයි දින රැස්වීම් පැවැත් වූ, කිසිවෙකුත් අද කරළියේ නැත්තේය. ඩ්‍රෝන කැමරාවලින් ලබා ගන්නා වීඩියෝ දර්ශන කැමරා කෝණ හරහා මහජන සන්නිපාතයක් සේ මැවූ කිසිවෙකුත් අද නැත්තේය. මහින්ද අමන්දානන්දයට පත් කළ කිසිවෙකුත් අද වේදිකාවල නැත්තේය. අඩුම තරමින්, ඔටුන්න හිමි කුමාරයා වී සිටි නාමල් කුමරුවත් අද වේදිකාවල දකින්නට නැත්තේය.

රනිල්ට ටොක්කක් !

මහින්දට පමණක් නොව රනිල්ට මුහුණ දීමට සිදු වී තිබෙන්නේ ද එම යථාර්ථයට ම වන්නේය. මහින්දගේ හයිය ගෙන මෛත්‍රී සමඟ ගෙන ගිය බලය කේවෙල් කිරීමේ සටන තව දුරටත් ගෙන යාමට නොහැකි හිරවීමකට රනිල් මුහුණ දී සිටින්නේය. තමන්ගේ ඇත්ත ‘හයිය’ කොතරම් දැයි මැතිවරණයේදී හෙළි වන්නේය. මැතිවරණය මඟහැර සිටීමට අනියමින් හැකි තරම් දරන ලද උත්සාහයන් දැන් අවසන්ව ඇත්තේය. ජනතාව අතර තිඛෙන ඇත්ත පදනමට මුහුණ දීමට අකැමැත්තෙන් වුවද සිදුව තිබෙන්නේය. තත්ත්වය වඩාත් නරක අතට හැරී ඇත්තේ, මෛත්‍රීගේ ප්‍රහාරයන්ට ද ලක් වීමට සිදු වීමත් වන්නේය. කොළේ ඉරාගෙන, ඇෙඟ් හලාගෙන යන මෛත්‍රීගේ දැඩි ප්‍රහාරයෙන් පසුව දැන් ටොකු ද එල්ල කෙරෙමින් ඇත්තේය.

හෙණ්ඩුව පමණයි

මෛත්‍රීගේ ටොකු ඇනීමේ ප්‍රධාන අවස්ථාවක් පාර්ලිමේන්තුවේදී සිදු වූයේය. විවාදයෙන් පසු අය-වැය සම්මත කර ගැනිණ. එයින් දින තුනක් ඉක්ම යන තුරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන සාකච්ඡාවට පාර්ලිමේන්තුව රැස් විය යුතුව තිබුණේය. රනිල් සැලසුම් කරගෙන තිබුණේ පළාත් පාලන ඡන්දයේ දී විකිණීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමේ ක්‍රියාවලිය මතු කර ගැනීමට බව පැහැදිලි වී තිබුණේය. නමුත්, සැලසුම් කළ පරිදි මන්ත්‍රීවරු පාර්ලිමේන්තු නොගියෝය. ගණපූරණයවත් නොවූයේය. කරගෙන යාමට නොහැකිම වූ තැන කතානායකවරයාට සිදු වූයේ ජනවාරි 23 වැනි දින දක්වා පාර්ලිමේන්තුව කල් තැබීමටය. ව්‍යවස්ථාව ගැන රනිල්ට තිබූ සැලසුම ලොප් කිරීම මෛත්‍රීගේ අනුදැනුම මත සිදු කරන ලද දෙයක් බව පසුව හෙළි වූයේය. රනිල්ට සිදු වී තිබුණේ හෙණ්ඩුව ගෙන පාර්ලිමේන්තුවේ තනිවී සිටින්නටය.

කරත්ත රෝදය හබක් !

මහින්ද සුළෙඟ් ආශ්වාදය විඳිමින් සිටි බොහෝ දෙනාට සිදු වී තිබෙන්නේ දෙපා යටින් පුපුරා වැටෙන බියකරු තත්ත්වයන්ට මුහුණ දීමටය. තමන් ගැන කිසිදු සැකසංකාවක් නොවූ අයට මේ බියකරු අත්දැකීමට මුහුණ දීමේ අවස්ථාව එළඹී තිබෙන්නේය. මේ අතුරින් දරා ගැනීමට නොහැකි දේ සිදු වී ඇත්තේ, දිනේෂ් ගුණවර්ධනට වන්නේ ය. ‘ඒකාබද්ධ විපක්ෂයේ නායක’ යන කොස් කොළ ඔටුන්න පැළඳ චණ්ඩියකු වී සිටි දිනේෂ්ගේ කරත්ත රෝදය දැන් දෙපළු වී ඇත්තේය. කාටත් නොකියාම දිගාමඩුල්ලේ ශ්‍රියානි දැන් මෛත්‍රීගේ දෑත් ශක්තිමත් කරන්නීය. දිනේෂ්ට කාගෙන ඉන්නා බැරි වී ඇත්තේ, ශ්‍රියානිගේ හැර යාමට වඩා විමලවීරගේ ප්‍රහාරයන්ය.

විමලවීරගේ සෙයියාව

ශ්‍රියානිගේ හැර යාමට හේතුව දිගාමඩුල්ලේ මන්ත්‍රී, විමලවීර දිසානායකගේ ක්‍රියාකලාපය බවට දිනේෂ් බොරලුගොඩ සිංහ සෙයියාවෙන් චෝදනා කර තිබුණේය. දිගාමඩුල්ල දිස්ත්‍රීක්කය සඳහා පොහොට්ටුවේ නාමයෝජනා සකස් කිරීමේදී පක්ෂ නායක රැස්වීම්වලට හෝ සහභාගී නොවූ විමලවීර අවසන් මොහොතේ ශ්‍රියානි ලබා දුන් ලිපි ගොනුව කපාහැරීමෙන් ඇති වූ පීඩනය නිසා ශි්‍රයානි ගිය බව දිනේෂ් චෝදනා නැගීය. විමලවීර ද ඇරියේ නැත. බොරලුගොඩ සිංහ සෙයියාවට වඩා තමන්ගේ සිංහ සෙයියාව බලවත් බව ප්‍රකට කරමින්, අම්පාරේදීම මාධ්‍ය හමුවක් පවත්වා උත්තර දුන්නේය. ‘ගිය එක්කෙනා හොඳයි, ඉන්න එක්කෙනා නරකයි කියන එක නේ ඔය කියන්නේ…’ යනුවෙන් ප්‍රකාශ කර නොදන්නා දේ නොකියන ලෙසට දිනේෂ්ට තරවටු කිරීමට විමලවීර සෙයියාව යොදාගෙන තිබුණේය.

හොරා තමන් බව

දිනේෂ් සහ විමලවීර අතර සංග්‍රාමය මේ පටන් ගත්තා පමණය. ඉදිරියේ මහින්ද සුළඟින් එය ඇවිළී ලැව්ගින්නක් වේ ද, ලත් තැන නිවී යා දැයි දැක ගත හැකි වන්නේය. කෙසේ වෙතත්, මෙයින් එළියට පැන්න හොරකමක් තිබෙන්නේය. ඇතුළේ මෙපමණ කල් තිබුණු අපේක්ෂක ලැයිස්තු හැදීමේ යුද්ධය එළියට පැනීමය. දැන් පොහොට්ටුවේ පෙති ගැල වී මෛත්‍රීගේ සරමට වැටෙමින් තිබෙන්නේය. පොහොට්ටුව පිපීමටත් පෙර පෙති ගැල වී යන්නේය. මේ අතර මහින්දගේ කටින්ම නොකිව යුතු බොහෝ දේ දැන් දැන් කියවෙන්නේය. ‘හොරා’ යනු හොඳම රාජ්‍ය නායකයා බව කියා ගත් මහින්ද පසුගියදා මාධ්‍ය හමුවේ කියුවේ වෙන කතාවක්ය. ‘අපේ පැත්තේ හිටිය හොරු දැන් ඉන්නේ එහා පැත්තෙ නේ…’ කියාය. හොඳම රාජ්‍ය නායකයා නොව ‘හොරා’ බව මහින්දගේ දිව පිළිගෙන තිබුණේ එසේය.

රනිල්ගෙන් මහින්දට ටොකු

මහින්ද ඉන්දියාවේ පැවති මහායාන බෞද්ධ ජාත්‍යන්තර සමුළුවක ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ බව රටට හෙළි කළේ ‘ලංකා’ය. ඉන් පසු මහින්දගේ නිල බලා ටොකු ඇනීමට පටන්ගෙන තිඛෙන්නේ රනිල්ය. මේ දක්වා තමන්ගෙන් වැඩගෙන දැන් තමන්ව හැර දා යමින් සිටින මහින්දට පහර දීමට රනිල් මහායානයේ අනික් පැත්ත අල්ලාගෙන තිබුණේය. මේ දක්වා බුද්ධාගම ගැන කතා කළ රනිල් දැන් කතා කරන්නේ ‘ථෙරවාදී බුදු දහම’ ගැනය. මහින්දගේ අඩි පාරේ යමින්, පන්සල්වලට සල්ලි ඛෙදන ‘සසුනෝදය’ ඡන්ද ප්‍රචාරක වැඩවලදී රනිල් කෙළින්ම හඩ නගන්නේ ‘ථෙරවාදී බුදු දහම නගාසිටුවනවා’ යනුවෙන්ය.
බැසිල්ගේ කාර් එකේ අමුත්තෙක් රාජපක්ෂවරුන් බලයේ සිටි කාලයේ කුලියට ගත් මාධ්‍යවේදීන් දුසිම් ගණනක් සිටියේය. යන එන සියලු තැන්වල තම තමන්ගේ වාහන තුළ ද කෙනෙක් දෙන්නෙක් දමාගෙන ගියෝය. තවමත් එය ඒ ආකාරයෙන්ම බව පසුගියදාක එළියට පැන තිබුණේ අහම්බයෙන්ය. මෛත්‍රී ගොස් මැදගොඩ අභයතිස්ස හිමි හමු වී කතා කර තිබේ. අභයතිස්ස හිමි මෛත්‍රී ඉදිරියේ බැසිල්ට තම දුරකථනයෙන් කතා කර තිබේ. අනතුරුව එය මෛත්‍රීට දී දෙදෙනා අතර පැය භාගයක් පමණ සුහද රහසිගත දේශපාලන කතාබහක් ඇතිව තිබුණේය. බැසිල් කතා කර තිබුණේ මෝටර් රථයේ ගමන් කරන අතරය. මාධ්‍යකාරයෙක් එහි සිටින බව බැසිල්ට අමතක වී තිබුණේය. ඒ බව මතක් වන විට කියන්නට ඕනෑ හරිය කියා අවසන් වී තිබුණේය. මාධ්‍යකාරයාට බැසිල් කියා තිබුණේ මේ ගැන කිසිවෙකුට නොකියන ලෙසය. ඩීල් පිට දුවන මේ මාධ්‍යකාරයා කටේ කෙළ බිඳුවක් ඒ ගැන නොහෙළුව ද, සියල්ල හෙළි වී තිබුණේය.

කලාකරුවෝ වැඩට බසිති…

පසුගිය 12 වෙනිදා කලාකරුවන් පිරිසක් පැලවත්ත ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ දී ජවිපෙ නායක අනුර දිසානායක හමු වී සුහද සාකච්ඡාවක් කළේය. මෙම අවස්ථාවට අනුරුද්ධ ජයසිංහ, නදීක ගුරුගේ, දීපානි සිල්වා, නාමල් ජයසිංහ, සෙනේස් බණ්ඩාර, සුරංග ලක්මාල් ඇතුළු චිත්‍රපට අධ්‍යක්ෂවරු, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරු, රංගන ශිල්පීහු, සංගීත ක්ෂේත්‍රයේ කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ. මෙහිදී වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව අනුර දිසානායක විසින් දීර්ඝ පැහැදිලි කිරීමක් කළ අතර මතු වී ඇති තත්ත්වයන් පිළිබඳව කලාකරුවන් සමඟ සුහද දේශපාලන කතාබහක් ඇති විය. ‘මේ මැතිවරණයේදී කලාකරුවන් ලෙස ජනතාවට අලුත් පණිවිඩයක් ගෙනියන්න ඕනෑ. ඒ නිසා ඔබතුමාලාට විශාල වගකීමක් පැවරිලා තියෙනවා. අපි ස්තූතිවන්ත වෙනවා, මේ වෙලාවේ අපි මුණ ගැහිලා කතාබහ කරන්න ආපු එක ගැන’ අනුර දිසානායක කලාකරුවන්ට ස්තූති කරමින් කියා සිටියේය. ‘අපි හැම දෙනාම වාගේ විශ්වාස කරනවා ගමේ බලය දෙන්න ඕනෑ ජනතා විමුක්ති පෙරමුණට කියලා. මොකද ගමේ වැඩක් කරගන්න අවංක පිරිසක් ඉන්න ඕනෑ. මෙච්චර කාලයක් විවිධ අය ප්‍රාදේශීය සභා, නගර සභා පාලනය කළා. නමුත් ගමටවත් නගරෙටවත් වැඩක් වුණේ නැහැ. අඩුම තරමේ කුණු ප්‍රශ්නෙටවත් විසඳුමක් නැහැ.’ කලාකරුවෙක් අදහස් දක්වමින් කියා සිටියේය. ‘අපි ඔබතුමාලත් එක්ක වැඩ කරන්න කැමතියි. අපිට වැඩපිළිවෙළක් හදලා දෙන්න. ගමට ගිහින් ගමේ ජනතාව දැනුම්වත් කරන්න අපි සූදානම් වෙලා ඉන්නේ. අද මෙතෙන්ට එන්න හිටපු ලොකු පිරිසක් අත්‍යවශ්‍ය වැඩ නිසා එන්න බැරි වුණා. නමුත් එළියේ විශාල පිරිසක් ඉන්නවා, ජවිපෙ එක්ක වැඩ කරන්න කැමති. අපි ගමට ගිහින් වැඩ කරන්න සූදානම්’ තවත් කලාකරුවෙක් කියා සිටියේය.

ජවිපෙ අපේක්ෂකයන්ට ආචාරධර්ම

මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ පළමු වටයේ නාමයෝජනා භාරදීම් සියල්ල අවසන් කොට තිඛෙන අතර දෙවන වටයේ නාමයෝජනා භාරදීමද විසිඑක්වනදා වනවිට අවසන් කිරීමට කටයුතු යොදා තිබේ. මෙවර ජනතා විමුක්ති පෙරමුණ සිය නාමයෝජනාවල වෙනසක් කිරීමට කටයුතු කළේය. ඒ ජවිපෙට සෘජුව සම්බන්ධ නොවූ පිරිසකට නාමයෝජනා ලැයිස්තුවේ ඉඩ වෙන්කිරීමෙනි. ජවිපෙ පුවත්පත් දැන්වීම අනුව අපේක්ෂකත්වය ඉල්ලු තෝරාගත් පිරිසකට මෙවර ජවිපෙ අපේක්ෂකත්වය හිමිව තිබේ. ඒ අතර වෘත්තිකයන්, ව්‍යාපාරිකයන්, වෙළඳ සංගම් නියෝජිතයන්, විශ්‍රාමලත් ගුරුවරුන් ඇතුළු විද්වත් පිරිස් මෙන්ම අනෙකුත් පක්ෂ අත්හළ ගම් මට්ටමේ ස්වේච්ඡා ක්‍රියාකාරීහු පිරිසක් වෙති.
මේ අතර ජවිපෙ පළාත් පාලන අපේක්ෂකයන්ගේ ජාතික මහ සමුළුවක් පැවැත්වීමටද තීරණය කර තිබේ. එම සමුළුව දෙසැම්බර් 17 වැනි දින පෙරවරුවේදී කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එම අවස්ථාවට ජවිපෙ පළාත් පාලන අපේක්ෂකයන් සහ ආරාධිතයන් විශාල පිරිසක් සහභාගි වීමට නියමිතය. මෙහිදී පළාත් පාලන අපේක්ෂකයන්ගෙන් කරුණු දොළහකින් යුත් ආචාරධර්ම පද්ධතියක් වෙනුවෙන් ප්‍රතිඥාවක් ලබාගැනීමටද ජනතා විමුක්ති පෙරමුණ විසින් කටයුතු යොදා තිබේ.

ජවිපෙට ජනතාවගෙන් චෝදනා නෑ

සමීක්ෂණ වාර්තාවක් උපයෝගි කරගෙන පසුගිය සතියේ ප්‍රවෘත්තියක් පළවී තිබුණ අතර එහි ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව අසත්‍ය තොරතුරු වාර්තා කර තිබිණි. මේ සම්බන්ධයෙන් විවිධ පිරිස් ජවිපෙ නායකයන්ට දුරකථන ඇමතුම් ලබාදෙමින් විමසන්නට පටන් ගත්තේය. මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් විසින් එම සමීක්ෂණ වාර්තා සොයාගෙන කරුණු අධ්‍යනය කර බැලීය. එම සමීක්ෂණ සිදුකර තිබුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අජන්තා හපුආරච්චි සහ කොළඹ විශ්වවිද්‍යාලයේ අවසාන වසර, විශේෂ උපාධි අපේක්ෂකයෙකු විසිනි. මෙයට පදනම් කාල සීමාව වූයේ 2017 සැප්තැම්බර් – නොවැම්බර් කාලසීමාවයි.
මාධ්‍යවේදියෙක් ප්‍රචාරක ලේකම් විජිත හේරත්ගෙන් කරුණු විමසා සිටියේය. ‘මන්ත්‍රීතුමා අලුත් සමීක්ෂණයක් කරලා තියෙනවා, එකේ ප්‍රවෘත්තිය තියෙන්නේ, ජනතා විමුක්ති පෙරමුණ ජනතාවගෙන් ඈත් වෙන පක්ෂයක් කියලා. මොකද මේ ගැන කියන්න තියෙන්නේ’ ‘ඒක වැරදි වාර්තාකරණයක්. ඒ නිසාම මමත් සමීක්ෂණ වාර්තාව හොයාගෙන බැලුවා. ඒකේ නිරීක්ෂණවල තියෙන්නේ 1989 යේ සිදුවීම් සම්බන්ධයෙන් ජවිපෙට ජනතාවගේ විවේචනය පූර්ණ වශයෙන් ඉවත්වෙලා කියලා. ඒ වගේම ඒකේ තියෙනවා විශ්වවිද්‍යාල ප්‍රජාවේ කැමැත්ත වැඩිවෙලා සහ සහ සාමාන්‍ය වැඩකරන ජනතාව අතර වැඩි ජනප්‍රියත්වයක් ඇතිවෙලා කියලා. කනගාටුවට කරුණ වෙන්නේ ඇත්ත දේවල් ප්‍රචාරය වෙන්නේ නැති එක.’ විජිත හේරත් පිළිතුරු දුන්නේය.

චීන නියෝජිතයෙක් ජවිපෙ හමුවට

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික සමුළුවේදී ගන්නා ලද තීරණ පිළිබඳව විදේශීය දේශපාලන පක්ෂ, රාජ්‍ය නියෝජිතයන් දැනුම්වත් කිරීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ සහකාර අමාත්‍ය වැන්ග් යජුන් ඇතුළු දූත පිරිසක් මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්ව සිටී. පසුගිය බදාදා දින කොළඹ බණ්ඩාරනායක සමරු ශාලාවේදී චීන තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද එක් සම්මන්ත්‍රණයක් පවත්වන ලද අතර ඒ සඳහා ජවිපෙ නියෝජිතයන්ටද ඇරයුම් ලැබී තිබිණි. එසේම චීන කොමියුනිස්ට් පක්ෂයේ සහකාර අමාත්‍ය වැන්ග් යජුන් ඇතුළු පිරිස විසින් පසුගිය දාහතරවැනිදා කොළඹ හිල්ටන් හෝටයේදී පක්ෂ නායකයන් වෙනුවෙන් පවත්වන හමුවක් සඳහාද ජවිපෙට ආරාධනා කර තිබූ අතර ජවිපෙ නායක අනුර දිසානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස ඊට එක්වී සිටියහ.