ජෙරුසලම ගිනිි ගත් දින හයේ යුද්ධයෙන් පනස් වසරකට පසු

road show
ආදි ශිෂ්‍ය සංගම්වලට මුවාවීම
January 23, 2018
gunasena withana
හොරුන්, දූෂිතයන් නැති රටක්…
January 23, 2018
Show all

ජෙරුසලම ගිනිි ගත් දින හයේ යුද්ධයෙන් පනස් වසරකට පසු

palastheene

මීට අඩ සියවසකට පෙර ඊශ්‍රායලය සහ අසල්වාසී රාජ්‍යයන් අතර යුද්ධයක් ආරම්භ විය. යුද්ධය පැවතියේ දින හයකි. දින හයේ යුද්ධය හට ගත්තේ 1967 දී වුවද, ඊට මඟ විවර වීම ඊට දශක දෙකක් ඈතට විහිදෙයි.
1948 වසරේ ඊශ්‍රායලය වෙනම රාජ්‍යයක් බවට ප්‍රකාශයට පත් වීමත් සමග ජෙරුසලමේ අයිතිය සම්බන්ධ විවාදය නිර්මාණය විය. අදාළ මතභේදය පලස්තීනය සහ ඊශ්‍රායලය අතර ගැටුමේ මූලික කරුණු අතුරින් එකකි. ජෙරුසලමෙහි නැගෙනහිර කොටස, යුදෙව්, මුස්ලිම් සහ ක්‍රිස්තියානි ජනයාගේ ඉතා වැදගත් පූජනීය ස්ථාන පිහිටි ප්‍රදේශයකි. එහෙත්, ඊශ්‍රායලය බිහි වූ භූමියෙන් පලස්තීනුවන් 7,50,000 ක් පලා ගියහ. නැතහොත් පලවා හරිනු ලැබිණි. ඔවුන් කිසිවෙකුට නැවත එම භූමියේ පය තැබීමට හෝ අවසර ලැබුණේ නැත.
මෙසේ බිහි වූ ඊශ්‍රායලය උණුසුම් ලෙස හාද වන්නේ එක්සත් ජනපදය සමගය. නමුත්, ඊශ්‍රායල හමුදාවට සැපයුම් ලබා දෙන ප්‍රධාන රට බවට ඇමෙරිකාව එවකට පත්ව නොසිටියේය. 1960 දශකයේ දී ඊශ්‍රායලය ගුවන් යානා මිල දී ගත්තේ ප්‍රංශයෙනි. යුද ටැංකි මිල දී ගත්තේ බ්‍රිතාන්‍යයෙනි.
1948 යුද්ධයෙන් පසු ඊශ්‍රායලය තම පැවැත්ම ශක්තිමත් කර ගැනීම සඳහා නිමක් නැතිව වෙහෙසෙන්නට පටන් ගත්තේය. දශලක්ෂයකට අධික සංක්‍රමණිකයන් පිරිසකට දොරටු විවර කළේය. එසේ සංක්‍රමණිකයන් ඇතුළත් කර ගැනීමේ දී තිබූ එකම කොන්දේසිය වූයේ ඔවුන් ඊශ්‍රායල් හමුදාවට බැඳිය යුතු බවයි. හමුදාවට සේවය කිරීම තුළින් ඔවුන් ඊශ්‍රායල් ජාතියට එක් විය.
ඊශ්‍රායලය අතිශය ප්‍රබල හමුදාවක් කඩිනමින් ගොඩනගමින් සිටියේය. 1967 වන විට ඔවුන් තමන්ගේම න්‍යෂ්ටික අවි ආයුධවලින් සන්නද්ධ හමුදාවක් සහිත රාජ්‍යයක් බවට පත්වීමේ සන්ධිස්ථානයේ ආසන්නයටම පැමිණ සිටියේය.
ඒ වකවානුවේ ඊජිප්තුව සහ ඊශ්‍රායලය අතර දේශසීමාව තරමක් නිස්කලංකව පැවතිණි. නමුත්, සිරියානු දේශසීමාව අවට නිරන්තර අරගල සිදු විය. ඊශ්‍රායලය දෙසට ගලන ජෝර්දාන ගංගාව වෙනතකට හැරවීමට සිරියාව යත්න දැරීම ඊට ප්‍රධානම හේතුවයි. ඊශ්‍රායලයට ජලය සැපයෙන්නේ ජෝර්දාන ගංගාවෙනි.
1967 වන විට ඊශ්‍රායල් හමුදාව කිසිදා නොවූ විරූ තරමින් යුද්ධයකට සුදානම් විය. සුවිශේෂී හේතුවක් නොතිබුණත්, කල් මරමින් නොසිට ක්ෂණික ප්‍රහාරයකට යා යුතු බව පවසමින් ඊශ්‍රායල් හමුදා ප්‍රධානීන්ට විශාල බලපෑමක් කරන ලද්දේ ඊශ්‍රායලයේ හමුදා ප්‍රධානියෙකු වූ මෝෂේ දයාන් විසිනි.
දේශසීමා ආරක්ෂාව තර කෙරිණි. ඊජිප්තු හමුදාව ද වහාම යුද්ධයකට පෙළගස්වන ලෙස ඊජිප්තුවේ ත්‍රිවිධ හමුදාවටම අණදෙන ෆීල්ඩ් මාෂල් අමර් නියෝග කළේය. නමුත් මේ වන විට ඊජිප්තු හමුදාවේ අඩක් පමණ යේමනයේ සටනට එක් වී ඇති බැවින්, මෙය තවත් යුද්ධයකට සුදුසු කාලය නොවන බව හමුදා ප්‍රධානීහු ෆීල්ඩ් මාෂල්ට දැනුම් දුන්හ. ෆීල්ඩ් මාෂල් අමර්ගේ පිළිතුර වූයේ යුද්ධයකට අවතීර්ණ වීම තම අභිප්‍රාය නොවන අතර, මෙය ඊශ්‍රායලයේ තර්ජනය හමුවේ වෙනත් විසඳුමක් නොමැති බවත්ය.
මේ අතරතුර ඊශ්‍රායලයේ සෑම පුරුෂයෙකුටම හමුදා සේවය අනිවාර්යය කෙරිණි. ගත වූයේ දෙදිනකි. වයස අවුරුදු පනහට අඩු සෑම පිරිමියෙකුම පාහේ හමුදා ඇඳුමින් සැරසී සිටිනු දක්නට හැකි විය. මේ අතරතුර ඊශ්‍රායලය මිනී පෙට්ටි තොග වශයෙන් සුදානම් කළේය. යුදෙව් ආගමික උද්‍යාන ‘හදිසි සුසාන භූමි’ වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි. ලක්ෂ ගණන් ඊශ්‍රායල් ජනතාව රුධිරය දන් දීම සඳහා පෙළගස්වනු ලැබීය.
ඊශ්‍රායලය යුද්ධය ආරම්භ කිරීමට තීරණය කළේය. ඊට කැබිනට් අනුමැතිය ලැබිණි. යුද්ධයේ ‘පළමු උණ්ඩය’ පිට කිරීමට ඊශ්‍රායලය තීරණය කළේය. ඔවුන්ගේ සැලසුම හිටිහැටියේ අනපේක්ෂිත ප්‍රහාරයක් එල්ල කිරීමය. පළමු ප්‍රහාරය ඊජිප්තු ගුවන් හමුදාවට එල්ල කිරීමට තීරණය විය.
මෙවැනි යුද්ධයකට ඊශ්‍රායලය වසර ගණනාවක් තිස්සේ පුහුණු වෙමින් සහ සුදානම් වෙමින් සිටියේය. තම සතුරන්ගේ හමුදා කඳවුරු තිබෙන ස්ථාන මැනවින් හඳුනාගෙන තිබිණි. ඒ සඳහා ඔවුන් ගුවනේ සිට තොරතුරු රැස් කරමින් සිටියේ බොහෝ කල් සිටය. දැන් ඔවුන් සතුරු ඉලක්ක හොඳින් හඳුනාගෙන තිබේ. ඊට අමතරව අරාබි හමුදාවල ඉහළ නිලධාරීන්ගේ කතාබහට රහසේ සවන් දෙමින් ඔවුන් වෙන් වෙන්ව හඳුනාගෙන හඩ පට රැස් කර ගැනීමට ඊශ්‍රායල් ඔත්තු සේවාව සමත් විය. ඊජිප්තුවේ ෆීල්ඩ් මාෂල්ගේ හඩ ද දැන් ඔවුන් හොඳින් හඳුනයි.
තත්ත්වය උණුසුම් වූ හෙයින් ෆීල්ඩ් මාෂල් අමර්, ඊජිප්තු හමුදාවේ ඉහළම තරු පළඳින ප්‍රධානීන් හදිසි රැස්වීමකට කැඳවීය. ඔවුහු ඊජිප්තු ගුවන් හමුදා කඳවුරකට රහසිගතව රැස්වීමට කතිකා කර ගත්හ. සාකච්ඡා මේසය වටා අසුන් ගන්නා මොහොතේ දීම ඊශ්‍රායලය සිය ප්‍රථම බෝම්බ ප්‍රහාරය දියත් කළේය. 1967 ජුනි 05 වැනිදා යුද්ධයේ ආරම්භය එසේ සනිටුහන් විය.
ඊජිප්තුවේ සියලුම ගුවන් කඳවුරුවලට බෝම්බ පතිත වෙමින් තිබුණි ඊජිප්තු හමුදා ප්‍රධානීන් රැස් වූ ගුවන් හමුදා කඳවුරට බෝම්බ පතිත වන්නට විය. ෆීල්ඩ් මාෂල් අමර්ගේ යානය ගුවන්ගත කර ගැනීමට හැකි වූ නමුත් එය ගොඩ බෑමට තැනක් සොයා ගැනීමට අසීරු වූයේ ඒ වන විට ඊජිප්තුවේ සියලුම ගුවන් කඳවුරුවලට බෝම්බ පතිත වෙමින් තිබුණු බැවිනි.
දවස අවසානයේ ජෝර්දානයේ සහ සිරියාවේ ද ගුවන් කඳවුරු බොහෝ ප්‍රමාණයක් විනාශ කර දැමීමට ඊශ්‍රායලයට හැකි විය. දැන් ගුවන් කලාපය සම්පූර්ණයෙන්ම පවතින්නේ ඊශ්‍රායල් පාලනය යටතේය. මේ සියල්ලට එක්සත් ජනපදයේ සහයෝගය නොඅඩුව ලැබිණි. ඊශ්‍රායලයේ සැලසුම පරිදි තමන්ගේ ප්‍රහාරය, සතුරාට අනපේක්ෂිත ප්‍රහාරයක්ම විය. දැන් ඔවුන්ට ඉතිරි වී ඇත්තේ ආරම්භ කළ රාජකාරිය නිම කිරීම පමණි.
ගුවනින් යුද්ධය ආරම්භ කළ ඊශ්‍රායලය තම පාබල හමුදා ඉදිරියට යැවීමට පියවර ගත්තේය. ඊජිප්තුවේ ගාසා තීරයත් ‘සිනායි’ කතරත් ඊශ්‍රායලය අතට පත් විය. සිරියාවේ ගෝලාන් කඳුවැටියත් ඔවුහු අත්පත් කර ගත්හ. ජෝර්දානයේ බටහිර ඉවුර සහ නැගෙනහිර ජෙරුසලම ද ඊශ්‍රායලයේ පාලනයට නතු විය. පලස්තීනුවෝ පලා ගියහ. නැතහොත්, පලවා හරින ලදී. තවත් පිරිසක් ඝාතනයට ලක් වුහ.
මේ සියල්ල සිදු වූයේ දින හයක් ඇතුළතය. 1967 සිදු කළ ‘දින හයේ යුද්ධයෙන්’ ඊශ්‍රායලය අත්පත් කර ගත් පලස්තීන ප්‍රදේශවල ජනාවාස තැනීම, අඩසියවසකට පසු අදත් සිදුවෙමින් පවතී. යුද්ධයෙන් පසු එවක සිටි පරම්පරාවේ දරුවන්ටවත්, දරුවන්ගේ දරුවන්ටවත් මේ වනතුරු නිදහසේ ජීවත් වීමේ අයිතියක් ලැබී නැත.
1970 දී පලස්තීන ගරිල්ලන්ට එරෙහිව ඊශ්‍රායලය තවත් දරුණු මෙහෙයුමක් දියත් කරනු ලැබීය. එය වීදි සටන් දක්වා පැතිරිණි. ඊශ්‍රායලයට සොල්දාදුවන් තිස්දෙනෙක් පමණ අහිමි විය. නමුත් පලස්තීනුවන්ට සිදු වූ හානිය අති මහත්ය. ෆාටා සාමාජිකයෝ සියයක් පමණ ජීවිතක්ෂයට පත් වූහ. ඔවුන් ජාතික වීරයන් සේ සලකමින් මිහිදන් කෙරිණි. එම සිද්ධියත් සමගම යසර් අර්ෆත් ජාත්‍යන්තර චරිතයක් බවට පත් වූයේ පලස්තීන විමුක්ති සංවිධානයේ නායකයා බවට පත්වෙමිනි. පලස්තීනුවන්ගේ විමුක්ති අරගලයේ සංකේතය බවට පත් වූ යසර් අර්ෆත්, ඊශ්‍රායලයට ‘ලොව දරුණුම ත්‍රස්තවාදියා’ විය.
1993 දී එක්සත් ජනපද ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ ආශීර්වාදය යටතේ ධවල මන්දිරය ඉදිරිපිට තෘණ භූමිය මත දී අගමැති ජෙනරාල් යිට්ස්හාක් රබින්, සිය පැරණි සතුරා වූ යසර් අර්ෆත්ට අතට අත දුන්නේ ලෝකය ඉදිරියේ තවත් සිය බලය තහවුරු කර ගැනීමේ සැලැස්මක කොටසක් වශයෙනි. ‘දින හයේ යුද්ධය’ මෙහෙය වූ එවක ඊශ්‍රායල් හමුදාපති ජෙනරාල් යිට්ස්හාක් රබින් ඒ වන විට රටේ අගමැතිවරයාය. පළමු ධුර කාලයෙන් පසු ඔහු නැවතත් 1992 දී ඊශ්‍රායලයේ අගමැති ධුරයට තේරී පත්විණි. කෙසේ නමුත්, පලස්තීනුවන් සමඟ ඇති කර ගත් ලෝක ප්‍රකට ‘ඔස්ලෝ සාම ගිවිසුමට’ අත්සන් තැබූ අගමැති රබින් නොඛෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබීය. මේ සියලු ක්‍රියාකාරකම් හරහා ඊශ්‍රායලය නිල වශයෙන් පිළිගැනීමට අවශ්‍ය තත්ත්වය සකස් කර දුන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය මූලික වීමෙනි.
1967 දී සිදු වූ දින හයේ යුද්ධයෙන් පසු පනස් වසරක් ගත වී ඇති මේ මොහොතේ ද එක්සත් ජනපදයේ මැදිහත්වීම එළිපිටම පෙනෙන්නට තිබේ. ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර වශයෙන් ප්‍රකාශයට පත් කිරීමත් සමග ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හැසිරීම එහි එක් ප්‍රකාශනයකි. එක්සත් ජනපදයට මැදපෙරදිග කලාපය තුළ තමන් විසින් සිදු කරමින් තිබෙන මැදිහත් වීම් සාර්ථක කර ගැනීමට නම් ප්‍රසිද්ධියේම ඒ වෙනුවෙන් පෙනී සිටීම හැර වෙනත් විකල්පයක් අර්බුදය විසින් ඔවුන්ට ඉතිරි කර නොමැත.


ධනංජය සූරියබණ්ඩාර