තුන්කල් දුටු මහගම සේකර

ඔහු කවිය, නවකතාව, කෙටිකතාව, තිර රචනය, ගීතය, චිත්‍ර කලාව, මේ ආදි වූ සෑම කලා මාධ්‍යයකින්ම විශිෂ්ටත්වයට පත් වූවෙකි. තුන්කල් දුටු නිර්මාණකරුවා මහගමසේකරය. අයුක්තිය, අධර්මය පිරුණු පන්ති විෂමතා සහිත සමාජය විවේචනාත්මක යථාර්ථවාදී දෘෂ්ටියෙන් සේකර විවරණය කළේය. ඔහුගේ සියුම් නිරීක්ෂණයට හසුවු සමහර යථාර්ථයන් වර්තමානයේ පවා අපි අත් විඳින්නෙමු. මහගමසේකරගේ මුල්කාලීන කාව්‍යය තුළ සෞන්දර්යාත්මක බවත් දැකිය හැකි වුවද පසුකාලීන කාව්‍යය තුළ සමාජ යථාර්ථය පිළිබිඹු විය. ඔහුගේ මුල්ම කාව්‍ය කෘතිය කේ. ජයතිලක සමග පළ කළ ව්‍යංගා, කෘතියයි. ඉන්පසුව සක්වාළිහිණි (1962), හෙට ඉරක් පායයි (1963), මක් නිසාද යත් (1964), රාජතිලක ලයනල් සහ පි්‍රයන්ත (1967), බෝඩිම (1970) නොමියෙමි (1973), ප්‍රබුද්ධ (1977), යන කාව්‍ය ග්‍රන්ථ පළ කළේය.
සමාජ යථාර්ථය නිරූපණයෙහිලා සේකර දැක්වු සමත්කම විශිෂ්ටය, ඔහු සමාජයේ අහුමුලූ පවා පරීක්ෂා කරයි. අද්‍යතන සමාජයේ මිනිසා මුහුණපාන අර්බුදකාරී තත්ත්වයන් සියල්ල සේකරගේ කවියේ ගැබ්ව ඇති බව ඔහුගේ කවිය සියුම්ව නිරීක්ෂණය කිරීමෙන් පෙනීයයි.
කාර්මික නව ධනවාදී එළඹුම සේකරගේ කාව්‍ය නිර්මාණය සඳහා හේතුපාදක විය. කාර්මික ධනවාදය සේකර දකින්නේ ගංඟාවක් ගලා බසිනා ආකාරයෙනි. ගංඟාවක් ගලායන විට එය හරස් කර බාධක ඇති කළද ගඟ නතර නොවේ. එය බාධකය බිඳ දමා හෝ වෙන මාර්ගයකින් ගලා යයි. සමාජයද එසේමය. සංවර්ධනය වන සමාජයට අතීත කාමය බාධාවකි. එමෙන්ම කාර්මීකරණය ඉතා සීඝ්‍රයෙන් ඈත ගම්මානවලට පවා පැමිණෙමින් තිබේ. එය නැවැත්විය නොහැකිය.
අපට බැහැ ගලන ගඟ
ඉවුරු බැඳ නවතන්න

මොටද සොමී කොළඹ යන්නෙ
වල් බිහිකොට පැරණි නගර
හෙටවන විට අලූත් ගෙඟ්
ඉවුරු උඩින්
අලූත් නගර පහළ වේවි…
(හෙට ඉරක් පායයි)
කාර්මීකරණය නොනැවතී දවසින් දවස ගම කරා එන ආකාරය සේකර දුටුවේ එලෙසය.
පවතින සමාජ සත්තාව හෙළි කරමින් යථාර්ථය ප්‍රත්‍යක්ෂ කරන කවියා මක්නිසාද යත් රාජතිලක ලයනල් හා පි්‍රයන්ත කාව්‍ය ග්‍රන්ථ රචනා කළේය. මෙම කාව්‍යයන්ට මුල් වී ඇත්තේ සමකාලීන ජීවිතය විසින් මතු කරනු ලැබු අත්දැකීම්ය.
ලයනල් බස්රියෙන් යද්දි
කොළඹ දෙසට
වේගයෙන් ඔහු පසුකර ආයේය
පාලම්, කඩසාප්පු, විදුලි කම්බි
හංදි නගර…
(රාජතිලක ලයනල් හා ප්‍රියන්ත)
මින් කියැවෙන්නේද ‘හෙට ඉරක් පායයි’ කාව්‍යයේ කියවුණ පරිද්දෙන්ම ගම කරා පැමිණෙන නාගරීකරණයයි. අප කොළඹයායුතු නැත. කොළඹ අප සොයා එන බව සේකර පවසයි. සැබවින්ම වර්තමානයේ අප දකින්නේ අර්ධ නාගරීකරණය වූ ගම් ය. සේකර කිසිම අවස්ථාවක එය වැරදි දෘෂ්ටියකින් නුදුටුවේය.
මිනිසා මුදලට කෑදරය. එය කවර කාලයටත් අදාළය. මුදල් ඉපයීම වෙනුවෙන් ඔහු ඕනෑම දෙයක් සිදු කිරීමට පසුබට නොවේ. මුදල් පසුපස හඹායෑමේ ප්‍රතිඵලය වන්නේ ආධ්‍යාත්මිකව මිනිසා පිරිහීමට පත්වීමයි. එය සේකර එදා දුටුවෙ මෙසේය.
ඉස ගිනි ගත්තකු එගිනි නිවන ලෙස
දුවගෙන යන්නේ මුදල් සොයන්නයි
දුවපන් බලා නොයිද
දෙවියෝ කාසි තමයි
විකුණපන් ඒ ශිල්ප
කැබලි කර
වටිනාකම බහින්න පෙර
වෙන්දේසියේ දමා
පර්චස් විස්සට තිහට හතළිහට
විකුණපන් සත්‍යය
විකුණපන් යුක්තිය
දයාව විශ්වාස මිනිසන් බව
(මක්නිසාදයත්)
මෙය එදා සමාජයට මෙන්ම වර්තමාන සමාජයටද එකසේ ගැළපේ. අධ්‍යතන සමාජයේද සියල්ල තීරණය වී ඇත්තේ මුදල මතය. එම නිසාම වාණිජ සමාජ ක්‍රමයට හැඩගැසුණු මිනිසා මුදල් හඹායාමෙන් සිදුවන්නේ ලබාගන්නා භෞතික සම්පත්වලට වඩා අහිමි වී යන දේ වැඩිවීමයි. සේකර කුන්කල් දුටු කවියෙක් ලෙස හැඳින්වූයේ ඒ බැවිනි.
පුබුද්ධ කෘතිය බිහිවන්නේ 1977 දීය. එය ඔහුගේ කාව්‍යත්වයේ ප්‍රඥා මහිමයේ කූට ප්‍රාප්තිය වන්නේය. තත්කාලීන සමාජයේ ජුගුප්සා ජනක පැතිකඩ ප්‍රබුද්ධ මගින් හඳුනාගත හැකිය.
ධනපති පන්තියට නැඟ ගන්නා වු චරිතවල පවතින හිස් හරසුන් බව සේකර දුටුවේය. ඔවුන්ගේ බාහිරින් පෙනෙන ආටෝප සාටෝප ජීවිතයට වඩා ඇතුළන පවතින ශ=න්‍ය ජීවන පැවැත්ම ඔහු ප්‍රබුද්ධ තුළින් හෙළි කළේය. ප්‍රබුද්ධ කාව්‍යයේ එන යසෝදාගේ මන්දිරයේ උඩු මහලට නඟින ප්‍රබුද්ධගේ දෑසට හසුවන්නේ මෙබඳු දසුනකි.
සිටියෝ විසිත්ත කාමරයෙහි
කල් කබා, මහත ටයි, තරබාරු ප්‍රභූවරු,
ගරුතර මැති ඇමතිවරු,
පිටිකර රැලි වැටුණු
කඳ බඩ හොඳින් ආරපු සංස්ථා ලොක්කො
සහ පෙරකදෝරුවෝ

ව්‍යාපාර හිමිකරුවෝ
ජාතික බැනියම් අඳින
ජන්දයට සල්ලිත් දෙන
(ප්‍රබුද්ධ)
යසෝදා ඔහුව සමාජ මතු මහල් තලයට රැගෙන ගියාය. එහි ධනය, කීර්තිය, පී්‍රතිය කාමය, සියල්ල ඇත. මැති ඇමතිවරු, මුදලාලියා සිටිති. පරිසම්භාෂණ පවතී, එහෙත් උතුම් මිනිස් ගුණධර්ම නැත. සැබැවින්ම එහි ඇත්තේ කුහකකම, අමනකමය, ප්‍රබුද්ධ සැලකු සංගීතය, කලාව එහි නැත. එහි ඇති දෑ ඕලාරිකය සේකර තත්කාලීන සමාජ යථාර්ථය පිළිබිඹු කරමින් ඉහළ පැලැන්තිය හා පහළ පැලැන්තිය පිළිබඳ සියුම් නිරීක්ෂණයක යෙදෙයි. අනුකාරකවාදී ධනේශ්වර සමාජයේ ග්‍රහණයට හසු වී නිස්සාර ජීවිත ගත කරන ඇතුළතින් හිස් ජීවිත පිළිබඳ සේකරගේ කියවීම අද්‍යතන සමාජයටද ගැළපේ. වර්තමානයේ අප දකින සමාජ යථාර්ථයත් මෙය නොවේද? සාවද්‍ය වූ මෙම සමාජක්‍රමය කඩා බිඳ දමා යහපත් ලෝකයක් ගොඩ නඟා ගැනීම කළයුතු වන්නේ ද සමාජයේ ගැටෙන, තැලෙන, පොඩිවෙන සාමාන්‍ය මිනිසා විසින්ම වග සේකර පවසයි. මානව සමාජය වඩා යහපත් තැනක් බවට පත්කර ගැනීමෙහිලා සිය බුද්ධ මහිමය හා නිර්මාණාත්මක බව යෙදවූ කවියකු ලෙස සේකර අගය කළ යුතුමය.
සමාජ යථාර්ථය ප්‍රතිනිර්මාණය කරමින් තුන්කල් දක්නා ලෙස සේකර ලියු කවිවලින් අද අපි අපේ සමාජයේ ජීවිතය කියවන්නෙමු. වර්තමානයේ මිනිසා ගෙවන්නේ මඳ ඉසිබුවක්වත් නොමැති ජීවිතයකි. ජීවත්වනවා යැයි නොදැනෙන තරමට අවිවේකීය ඔවුහු හැල්මේ දුවති. එය සේකර දකියි.
දුවන පනින කපන කොටන
ළිප මොලවන වතුර පැසෙන
කඩිමුඩියෙම වැසිකිළි යන
රැවුල කපන මුහුණ දොවන
ඇඳ බැඳගෙන දුව පැනගෙන
බස් නවතන තැනට පැමිණ
ගැහැනු පිරිමි දහසක් දෙන
දහසක් බුදුවරු උපදින මේ උදැහැන
පටන් ගනිති මහා සටන
විහිළුවෙන් තහළුවෙන්
ඩක ඩකං ඩක ඩකං
දුම්රියෙන් කොළඹ යන්
(ප්‍රබුද්ධ)
උදෑසන නැගිට මිනිසා පටන්ගන්නා ජීවිත සටන ප්‍රබුද්ධ බලාහිදී. උදේ හවස කොළඹට එන යන දුම්රිය තුළ සමස්ත සමාජය ඔහු දකී. ගීත ගයා මුදල් යදින දරුවන්, මහලූ යාචකයන්, රැකියා විරහිත උගත් තරුණ තරුණියන්. උන් ළගම සිටින ඇල් මැරුණ බලාපොරොත්තු සිදුණු තරුණයන්, වීදුරු කටු ගිලින මිනිසුන්, මේ ආදී වශයෙනි. සියල්ලෝම දුක් විඳිති. සැබැවින්ම ඔවුහු කුසගිනි නිවා ගැනීමේ අරගලයේ නිමග්නව සිටිති. ඔවුන් සුවපත් කරන්නට මගක් සෙවිය යුතු නොවේද? සේකර අප ඉදිරියේ තබන ප්‍රශ්නය එයයි. වර්තමානයේත් සංකීර්ණවු අර්බුදකාරී වූ වාණිජ සමාජ ක්‍රමයක එලෙස රුපියල් සත නොසොයා විවේකී සුවයෙන් ජීවත්වීම අපහසුය. ඒ හේතුවෙන් මිනිසා අවිවෙකී දිවියකට හුරු වී සිටියි. දහසක් බුදුවරුන් බුදුවන හිමිදිරියේ ඔවුහු ජීවන සටන පටන් ගන්නේ එබැවිනි.
සේකර සෑම විටම කාව්‍ය අත්හදා බැලීම් කළේය. 1970 දී ඔහු ලියු බෝඩිම කාව්‍ය සංග්‍රහය කවියෙන් ලියූ ප්‍රහසන නාටකයක හැඩය ගනී. එහි ඇත්තේ සංකීර්ණ, යැයි පැවසෙන වර්තමාන සමාජයේ සිදුවීම්ය. රාජතිලක ලයනල් පි්‍රයන්ත කෘතියේදී සමස්ත සමාජයම පුද්ගලයන් තිදෙනෙකුගෙන් නිරූපණය කරන සේකර, බෝඩිම කාව්‍ය සංග්‍රහයේදී බෝඩිමක ජීවත්වන නොයෙක් ආකාරයේ පුද්ගලයන්ගේ මුවට නැංවෙන වචන මගින් සමස්ත සමාජය නිරූපණය කළේය. එහිදී සිරිමාන්න, සොයිසා, චිත්‍රසේන, හෙලේනා ඥානවතී, මංගලිකා, ගීතසාර, නීල් ආම්ස්ට්‍රෝං ඔස්කාර් වයිල්ඩ්, රණස්ගල්ලේ හිමි, ශී්‍ර රාහුල හිමි යනාදි වශයෙන් සාමාන්‍ය පුද්ගල චරිත මෙන්ම ඓතිහාසිකව අපට හමුවන චරිත එකම පසුබිමක තබා නිරූපරණය කරයි.
ගුරුළුගෝමීලා සත් දහසයි
කාලි දාසලා සත් දහසයි
දොස්තොයෙව්ස්කිලා සත්දහසයි
ශේක්ෂ්පියර්ලා සත්දහසයි
කාටත් නෑ රස්සාවක්
සාක්කු ඉරිලා කාගෙත්
(බෝඩිම)
ලෝක ප්‍රසිද්ධ චරිතවල නම් හුදෙක් සංකේත සේ යොදාගෙන සමාජ යථාර්තය නිරූපණය කිරීමෙහිලා සේකර සමත් වී ඇති බව හඳුනාගත හැකිය. වාණිජ සමාජ ක්‍රමයට අනුව විදග්ධ සාහිත්‍යධරයන්ට මෙන්ම විශිෂ්ට දැනුමින් යුත් පුද්ගලයන්ට හිමිවන ස්ථානය වර්තමානයේ පවා ඛේදජනකය. කොතරම් දැනුමෙන් අත්දැකීමෙන් නිර්මාණාත්මක බවින්, නෛපුණ්‍යතාවෙන් ශක්‍යතා දැක්වුවද එයට නිසි වටිනාකමක් අද්‍යතන සමාජයෙන් හිමි නොවේ.
මහගම සේකර තත්කාලීන සමාජ යථාර්ථය ගවේෂණය කළේය. එකී යථාර්ථයද වර්තමානයේ අප දකින යථාර්ථයමය. ඔහු එදා ලියු කවියෙන් වර්තමානයේ ලාංකේය සමාජය ද කියවිය හැකිය. සේකර තුන්කල් දක්නා කවියෙකු වන්නේ එබැවිනි. අද මෙන්ම හෙටත් ඔහුගේ කවිය අමරණීය වනු ඇත. මේ ලියමන හමාර කිරීමට සේකරගේ කවක් උපුටා දක්වමි. සහෘදයිනි, ඔබ මහගමසේකර නැවත කියවියයුතු කාලයයි මේ.
මා ලියූ කවි
රසයි කියමින්
නිබඳ ඔබ මට
පසසනා මුත්
ඒ කවි හැම
මා හද මත
මුලින් ලියුවේ ඔබමයි.
ආශා රැළපනාව


ආශා රැළපනාව