තෙල් ටැංකි විකිණීමට එරෙහි ජාතික සටන ඇරඹේ

cylon tea
සිලෝන් ටී බීට්ල් ටී වීම දක්වා…
January 23, 2018
atigala
අාටිගල ජනතාවට ලැබුණු දෙසිය පනහේ වන්දිය
January 23, 2018
Show all

තෙල් ටැංකි විකිණීමට එරෙහි ජාතික සටන ඇරඹේ

lanka IOC

තම වෘත්තීය ඉල්ලීම් වෙනුවෙන් මෙන්ම රටේ ජාතික අවශ්‍යතාවයන් වෙනුවෙන් ද පෙරට ආ අභිමානවත් කම්කරු ජනතාවගේ සටන් ඉතිහාසයක් අපට ඇත. ඒ ඉතිහාසය තුළ ජය ගත් දෑ බොහෝය. එසේම ඒ සෑම ජයග්‍රහණයක් පිටුපසම අපේ රටේ දහස් ගණනක් වැඩ කරන ජනයාගේ ලේ, දහදිය හා කඳුළු කප්පරක් ගොඩ ගැසී ඇතුවා මෙන්ම ඔවුන්ගේ නොමිනිය හැකි අධිෂ්ඨානය හා කැපවීම පිළිබඳව ද සටහන්ව ඇත. කොතෙකුත් සටන් ජය ගත්ත ද, නැවත නැවතත් සටන් කිරීමට ලාංකේය කම්කරුවාට සිදු වී ඇත. එදා අධිරාජ්‍යවාදීන්ගේ මැදිහත් වීමෙන් අංගවිකල පාලන ක්‍රමයකට යට කළ අපේ වැනි රටවල පවත්නා තත්ත්වය එබඳුය. රට ගැන, රටේ ජනතාව ගැන හෝ වැඩ කරන පන්තියේ ගැහැනුන් හා මිනිසුන් ගැන සිතීමට එහෙව් රටක පාලකයන්ට වුවමනාවක් නැත. ඒ නිසාවෙන්ම මිනිසුන් පීඩාවට පත් කරන, කම්කරුවන්ගේ අයිතීන් අහෝසි කර දමන හා රටේ ජාතික සම්පත් විකුණා විනාශ කරන හා කොල්ලකන ප්‍රතිපත්තිවල එල්ලී සිටීමට පාලකයෝ කටයුතු කරමින් සිටිති.
ඒ අනුව මෙවන් වටපිටාවක් යටතේ මේ දිනවල වඩාත් කතාබහට ලක් වී ඇති සටනක් බවට ත්‍රිකුණාමලය හා හම්බන්තොට තෙල් ටැංකි බේරා ගැනීමේ සටන පත් වී ඇත. ඇත්තෙන්ම එය තෙල් සංස්ථා සේවකයන්ගේ පමණක් ගැටලුවක් ලෙස සැලකීම කිසිසේත්ම කළ නොහැක. රටක බලශක්ති ක්ෂේත්‍රය යනු ජාතික වශයෙන් අතිශය වැදගත් දෙයකි. අපේ රටේ ආර්ථීකයට මෙන්ම දේශපාලනයට ද සෘජුව බලපෑම් කළ හැකි මේ බලශක්ති ක්ෂේත්‍රය තුළ මතුව ඇති ගැටලුවක් යනු කිසිසේත්ම හුදෙකලා කරුණක් නොවන්නේ එහෙයිනි. ඉදින් අද ‘වෙර’ තුළින් අප සටහන් තබන්නේ ත්‍රිකුණාමලයේ හා හම්බන්තොට තෙල් ටැංකි බේරා ගැනීමේ ජාතික සටන පිළිබඳවය.
මොහොතක් සිතන්න, අපේ රට ගිලී ඇති ණය උගුලෙන් බේරීමට ඇති වඩාත් වැදගත් එක් උපායමාර්ගයක් ලෙස නාවික ගමන් මග ආශ්‍රිත වෙළෙදාම හැඳින්විය හැකිය. ශ්‍රී ලංකාවේ පිහිිටීම අනුව ද එය කදිම උපායමාර්ගයක් බවට නිසැකවම පත් වී ඇත. නමුත්, අද වන විට මෙකී ණය උගුලෙන් ගැලවීමේ මුවාවෙන් රටේ ජාතික ආර්ථීකයේ මර්මස්ථානයක් බවට පත් කළ හැකි ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවටත්, හම්බන්තොට තෙල් ටැංකි පහසුකම් වරාය සමඟ චීනයටත් පැවරීමට සැලසුම් දියත් කොට ඇත. විශේෂයෙන්ම ත්‍රිකුණාමලය, චීන වරාය තුළ පවතින මෙම තෙල් ටැංකි සමූහය ගොඩනැඟ=වේ 1930 දී බ්‍රිතාන්‍යය විසිනි. ඒ අක්කර 750 ක් පුරා ටැංකි 101 කින් යුතුවය. ඒ අතුරින් ටැංකි 99 ක් දැනට ක්‍රියාත්මක තත්ත්වයේ පවතී. ඒවායෙහි ධාරිතාවය ඝන මීටර් 1250 x 99ක් හෙවත් මෙට්‍රික් ටොන් ලක්ෂ 10 කි. කෙසේ වුවද, 1964 දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) මඟින් බ්‍රිතාන්‍යයට පවුම් 2,50,000 ක් ගෙවා මෙම ටැංකි සංකීර්ණය ලබා ගත්ත ද, රජය තවමත් මෙය සංස්ථාවට පැවරීමට කටයුතු කොට නොමැත. අනතුරුව 1970 දී අවසානය තෙක්ම තෙල් සංස්ථාව මේ හරහා දුම්රියෙන් පවා තෙල් බෙදා හැරි අතර, 1980 දශකයේ මුල සිට යුධමය ගැටලුව හේතුවෙන් තව දුරටත් පරිහරණය කිරීම අපහසු විය. පසුව 1987 දී ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් මෙම තෙල් ටැංකි සංකීර්ණය ඇමෙරිකාවට බදු දීමට උත්සාහ කළ හෙයින්, 1987 දී ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර එළඹි සාම ගිවිසුමේ ප්‍රධාන කොන්දේසියක් ලෙස ද මේ පිළිබඳව කරුණු ඇතුළත් විය. සාම ගිවිසුමේ තුන්වැනි කොන්දේසිය ලෙස මෙම ටැංකි ඉන්දියාව හා ලංකාව එකතුව පරිහරණය කළ යුතු බව දක්වා තිබිණි. නමුත්, අදාළ ගිවිසුමේ අනෙකුත් කොන්දේසි ඉන්දියාව විසින් කඩ කිරීම නිසා එය අහෝසි විය. පසුව 2002 දී සිංගප්පූරුවේ සමාගමක් වෙත තෙල් ගබඩා කිරීමට ටැංකි 10 ක් ලබා දීමට වූ සූදානම අත්හිටුවා 2003 පෙබරවාරියේ දී ලංකා ඉන්දියන් තෙල් සමාගම (LIOC) හා ලංකා රජය එළඹි තාවකාලික බදු ගිවිසුමට අනුව එක් ටැංකියක් සඳහා මෙරටට ලැබිය යුතු බදු කුලිය වසරකට ඇමෙරිකන් ඩොලර් 1,000 ක් පමණි. එනම් රුපියල් එක් ලක්ෂ පනස් දහසකි. එහෙත්, මෙම තාවකාලික ගිවිසුමේ 1.2 කොන්දේසියට අනුව මාස හයක් තුළ විධිමත් බදු ගිවිසුමකට එළඹිය යුතු වුවද, මෙතෙක් එවැනි ගිවිසුමකට එළඹ නොමැති බැවින්, 2002 අගෝස්තු මස සිට LIOCය නීති විරෝධී ලෙස රජයට මුදල් දෙමින් සිටියි.
ඒ අනුව මෙම තෙල් ටැංකි සංකීර්ණය සතුව පවත්නා වැදගත්කම සිතා ගත හැකිය. දීර්ඝ කාලීනව විවිධ ආර්ථීක මෙන්ම දේශපාලනික බලපෑම්වලින් ද පීඩා විඳිමින් තිඛෙන මෙම අගනා ජාතික සම්පත රට වෙනුවෙන් ප්‍රයෝජනයට ගැනීමට කාලය එළඹ ඇත. ඉන්දියාවට පුද දීමට ආණ්ඩුව දත මැද බලා සිටින මෙම තෙල් ටැංකි සංකීර්ණය අපේ රටේ ජාතික අවශ්‍යතාවයක් බවට පත්ව ඇත. මේ වන විටත් ලංකාවේ තෙල් ඉල්ලුම විශාල වශයෙන් වර්ධනය වී තිබේ. 2011 සිට 2014 දක්වා පමණක් නැව් 11 කින් මෙම ප්‍රමාණය වැඩි වී තිබේ. ඒ අනුව 2014 දී මෙරටට තෙල් නැව් 67 ක් පැමිණි අතර, 2017 දී එය නැව් 88 ක් දක්වා වර්ධනය වී තිබිණි. එහෙත්, මෙම ඉල්ලුමට සාපේක්ෂව තෙල් ගබඩා කිරීම සඳහා අවශ්‍ය පහසුකම් දියුණු වී නැත. 2003 දී ඉදි කළ පසු මේ වන තෙක්ම ටැංකි ඉදිකොට නොමැත. එසේම තෙල් ගොඩබෑමේ පහසුකම් පවා ක්‍රමයෙන් අඩු වී ඇත. නළ මාර්ග පද්ධති විනාශ වී ගොසින්ය. මේ සියලු තත්ත්වයන්ට යටත්ව අවම වශයෙන් මසක් සඳහා අවශ්‍ය තෙල් තොග තබා ගන්නටත් තව ටැංකි 21 ක් අනිවාර්ය ලෙසම හැදිය යුතුය. ඊටද අමතරව ගොඩබෑමේ පහසුකම් පවා ඇති කළ යුතුය. පවතින තත්ත්වයට අනුව මේවායෙහි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් පවා කළ නොහැකිව ඇත. ඒ අනුව ගත්තහම මේ සියලු දේ වෙනුවෙන් අවම වශයෙන් ඩොලර් මිලියන 170 ත් 180 ත් අතර මුදලක් වියදම් වේ. ඒ මසකට අවශ්‍ය තෙල් තොග ගැනීම වෙනුවෙනි. එහෙත් ඇත්තෙන්ම දැනට අපට ඇත්තේ දින 14 කට අවශ්‍ය තෙල් සංචිත පමණි. දින 14 ක් අතරතුර තෙල් නැවක් නොපැමිණේ නම්, රටම අර්බුදයකට යා හැකිය. අප පසුගිය කාලය තුළ අත්දකින ලද්දේ එවැනි තත්ත්වයකි.
ඒ නිසාවෙන් අපේ රටට පවතින හොඳම විකල්පය වන්නේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයයි. ඒ තුළින් වසරක දී රටට ඉතිරි කළ හැකි මුදල රුපියල් මිලියන 1,500 ක් පමණ වෙනවා. ඒ වාගේම ඊටත් අමතරව මෙම තෙල් ටැංකි සංකීර්ණය ජාත්‍යන්තර තෙල් ගබඩාවක් හැටියට භාවිතා කිරීමෙන් ද විශාල ජාතික ආදායමක් උපයා ගත හැකිය. ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව ප්‍රකාශ කර සිටින්නේ ඒ සඳහා අවශ්‍ය සම්පූර්ණ හැකියාවත්, තාක්ෂණික දැනුමත් අප රට සතුව පවතින බවයි.
නමුත් මෙවන් තත්ත්වයක් යටතේත් මෙම තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට දීමට අපේ රටේ පාලකයෝ උත්සාහ කරමින් සිටිති. ඒ අනුව රටේ තෙල් වෙළෙඳාම සම්පූර්ණයෙන්ම ගිල ගැනීමට ඉන්දියාවට ඉඩකඩ විවර වේ. එසේ වුවහොත්, ඉන්දියාවේ පදයට නැටීමට මෙරට සමස්ත දේශපාලන හා ආර්ථීක ව්‍යුහයටම සිදු වනු ඇත. අනෙක් අතට තෙල් සංස්ථාවට මෙන් අපේ රටේ ජාතික වැදගත්කම සලකා කටයුතු කිරීමේ වුවමනාවක් ඉන්දියාවට නොමැත. එහෙයින් ලංකා විදුලිබල මණ්ඩලයට, ආරක්ෂක අංශවලට හා දුම්රිය දෙපාර්තමේන්තුවට ආදියට තව දුරටත් ණයට තෙල් ලබා ගැනීමට නොහැකි වනු ඇත. ඒ නිසා 2003 දී අත්සන් කරපු නමුත්, දැන් වලංගු නොවන ගිවිසුම නැවත නීත්‍යනුකූල කර ගත් සැණින් මෙරට තෙල් වෙළෙඳ ඒකාධිකාරය ඉන්දියාවට නතු වීම වැළැක්විය නොහැකිය. අනෙක් පැත්තෙන් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පවරද්දී, හම්බන්තොට තෙල් පහසුකම් චීනයට පැවරීමට උත්සාහ කරමින් සිටියි. නමුත් ඉදිරියේ දී තායිලන්තය හරහා ඉදි වන ‘ක්‍රා’ ඇළ මාර්ගය නිසා ශ්‍රී ලංකාව ආශ්‍රිතව සිදුවන නාවික ගමනාගමනයේ විශාල වර්ධනයක් සිදු වීම වැළැක්විය නොහැක. එහෙත්, මෙම සම්පත චීනයට වසර 198 කට ලබා දුනහොත් අපේ රටට ලැඛෙන සියලු ප්‍රතිලාභ චීනය විසින් අත්පත් කර ගතු ඇත. එහෙත්, එසේ නොකොට නැව් තෙල් වෙළෙදාමට පිවිසීමෙන් ලැබෙන අධික ලාභයෙන් ඉතා කෙටිකලකින්ම හම්බන්තොට වරාය ඉදි කිරීමට වැය වූ සමස්ත ණය මුදලම පියවීමේ හැකියාවක් ඇත.
එනිසා වරක් නොව සිය වරක් සංවාද කළ ද, මේ අනතුර නොසලකා කටයුතු කළ නොහැක. අපේ රට ලබා ගත් ණය පවා පියවමින් අපටම පවත්වාගෙන යාමේ හැකියාවක් පවතින මේ ජාතික සම්පත තුළින් අපේ රටේ අනාගතය ගොඩනැගීම ඉතා පහසු වනු ඇත. එසේම මෙම ආර්ථීක මර්මස්ථාන අහිමි වුවහොත්, අපේ රට පරම්පරා ගණනකට මේ වැටී ඇති ආර්ථීක ආගාධයෙන් ගොඩ නො එනු ඇත. එබැවින් එසේ වන තෙක් බලා නොසිට ත්‍රිකුණාමලය හා හම්බන්තොට තෙල් ටැංකි බේරා ගැනීමේ ජාතික සටනට උර දීමට ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව මූලිකත්වය ගෙන කටයුතු කරමින් සිටියි.

මේක අපේ බලශක්තිි සුරක්ෂිතතාවය සම්බන්ධ ගැටලුවක්
ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු
ඩී.ජේ. රාජකරුණා

‘ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය හා හම්බන්තොට තෙල් සැපයුම් සමඟ වරාය ඉන්දියාවටත්, චීනයටත් පැවරීම රටේ ජාතික ආර්ථීකයට මෙන්ම ජාතික ආරක්ෂාවටත් තර්ජනයක් ලෙස අපි දකිනවා. එසේ වුවහොත්, විශේෂයෙන්ම LIOC එක හරහා ලංකාවේ තෙල් වෙළෙදාමේ ඒකාධිකාරය ඉන්දියාවට නතු වීමට ඉඩ තිබෙනවා. ඒ නිසයි අපි කියන්නේ දැන් මේ ගැටලුව ජාතික ගැටලුවක් ලෙස සලකා අපි ඔක්කොම එකතු වී පරාජය කළ යුතුයි කියලා. ඒ නිසා ඉදිරියේ දී අපි විදුලිය, වරාය, දුම්රිය, ජලය හා GMOA එක වැනි සියලුම වෘත්තීය සමිති සමඟ මේ පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වාගේම කිසිදු පක්ෂ භේදයකින් තොරව දේශපාලන පක්ෂ සමඟත් මේ පිළිබඳව සාකච්ඡා කොට ඔවුන්වත් මේ සටනේ කොටස්කරුවන් බවට පත් කොට ගැනීමට අපි සූදානම්. මොකද මේක තෙල් සංස්ථා සේවකයන්ට පමණක් බලපාන ගැටලුවක් නොවෙයි. මේක අපේ රටේ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ ගැටලුවක්. ඛනිජ තෙල් පාලනය වෙනත් පාර්ශ්වයක් අතට පත් වුවහොත්, සිදුවන්නේ විනාශයක්. දැනට IOC එක සතුව 17%ක තෙල් වෙළෙඳපොළ හිමිකාරීත්වයක් තියාගෙනත් පසුගිය කාලය තුළ රටම හොල්ලන්න ඔවුන්ට හැකි වුණා. ඒ නිසා බලශක්ති පාලනය කරන අයගේ් වුවමනාව මත දවසෙන් දෙකෙන් රටම ඇනහිටීමට සලස්වන්න පුළුවන් වෙනවා. ඒ නිසා නැවතත් මතක් කරන්නේ මේ අර්බුදය ජාතික ගැටලුවක් සේ සලකා එකට එක් වීමට අපි මේ රටේ සිියලු ප්‍රගතිශීලී බලවේගවලට අපි ආරාධනා කර සිටිනවා.’


නිපුණා සාරංගි