දළදා මාළිගාව විකුණන දියවඩන නිලමේගේ කතා වස්තුව

කාටූන් 228
2018/01/21
January 23, 2018
nominationre
නාමයෝජනා වලින් අනාගැනීම
January 23, 2018
Show all

දළදා මාළිගාව විකුණන දියවඩන නිලමේගේ කතා වස්තුව

diyawadana nilame

මෙහි පල වන්නේ මහනුවර දළදා මාලිගාවේ පසුගිය කාලය පුරා සිදු වූ වංචා සහ දූෂණයන් පිළිබඳවත් වර්තමානයේ ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවීම පිළිබඳවත් සරත් කුමාර දූල්වල විසින් අප වෙත එවා තිබුණු ලිපියකි. මෙහි ඇති කරුණු සනාථ කිරීම සඳහා සියලු සාක්ෂි ද ඔහු විසින් අප වෙත ලබා දී තිබේ.
– සංස්කාරක

ලංකාවේ බෞද්ධ විහාරගම් දේවාලගම් පිළිබද 1931 අංක 19 දරන නීතිය ඒකාබද්ධ කිරීම හා සංස්කරණය පිණිස වූ ආඥා පනතේ පූර්විකාවේ මෙසේ සදහන් වේ.
‘බෞද්ධ විහාර දේවාලගම් පනතේ’ විධිවිධානයන්ගෙන් බෞද්ධ විහාර දේවාලගම් වලට සෑහෙන පමණ ආරක්ෂාව නොලැබී තිඛෙන බව පෙනී යන හෙයින්ද, එබඳු විහාර, දේවාලගම් වලට එසේ සෑහෙන පමණ ආරක්ෂාව ලැබෙන පරිදි ඒ පිළිබදව පාලන සංවිධාන ක්‍රමයක් සැලසීමට යෝග්‍ය බැවින් ද, ලංකාණ්ඩුකාර උතුමාණන් වහන්සේ විසින් නීතිදායක මන්ත්‍රණ සභාවේ අනුශාසනයෙන් හා අනුමානයෙන් පහත දැක්වන පරිද්දෙන් පනවනු ලැබේ. ලංකාණ්ඩුකාර උතුමාණන් වහන්සේ විසින් අනුමත කළේ වර්ෂ 1931 ජුනි මස 26 වන දින දීය’ එහෙත් අද එම පනත යටතේ පත්වන භාරකරුවන්ට දියවඩන නිළමේලාට සුද්දාට තිබූ ආකල්පයවත් තිබේ දැයි ප්‍රශ්නයකි. මක්නිසා ද සුද්දා සෑදු පනත උල්ලංඝනය කරමින් එයට විවිධ අර්ථකථනයන් දෙමින් විහාර දේවාලගම් වලින් හරිහම්බ කරගෙන සැපසේ වැජඹෙති. විහාරදේවාල භාරකරුවන් ඒවා තම නින්දගම් කරගෙන ඇති හෙයිනි. ඔවුහු එකී නින්දගම් වලින් හරිහම්බ කරගෙන කෙනෙක් වැජඹෙති.
1931 එම පනත වසර 86 කට පසුත් අප විහාර දේවාලගම් ආරක්ෂාව සදහා භාවිතා කරති. මෙම පනතින් ලංකාවේ සියලු විහාර දේවාල, දේපල ආවරණය වන අතර එම පනතේ විශේෂිත නාම කරණයෙන් ස්ථාන 03 ක් නම්කර තිබේ. එනම් මහනුවර දළදා මාළිගාව, ශ්‍රී පාදස්ථානය හා අටමස්ථාන සභාව එම ත්‍රිත්වයයි. ඒ අනුව දළදා මාළිගාව ඇතුළු එම පූජ්‍යස්ථාන සදහා වෙන වෙනම අණපනත් හා රෙගුලාසි ඒවායේ ආරක්ෂාව සදහා හඳුන්වා දී තිබේ.
එම පනතට අනුව මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වත්මන් ගිහි භාරකාරයා වන්නේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර දියවඩන නිලමේවරයායි. ඔහු පත්වූයේ 2005 ජුලි පළමුවෙනිදායි. එදා සිට අද දක්වා වසර 12 ක් එම ධුරය හොබවන්නේ ඔහු විසිනි.
ඉහත කී පනතට පිටින් දළදා මාළිගාවේ දියවඩන නිලමේ තනතුර ලැබීමත් සමග ඔහුට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයෙන් හිමිවන විවිධ වරප්‍රසාද උපයෝගී කරගෙන අකටයුතුකම් දූෂණ, සොරකම් හා මුදල් අවභාවිතයන් කර ඇති බවට චෝදනා එල්ල වෙමින් පවතී. ඊට අමතරව මෑත කාලයේ දී ශ්‍රී දළදා මාළිගාව දේශපාලන කටයුතු සදහා අනියම් ලෙස භාවිතා කිරීමට ඉඩ ප්‍රස්ථාව සලසා දීම ගැනද ඔහුට චෝදනා එල්ල වී තිබේ. මෑත ඉතිහාසයේ මහනුවර විවිධ පුරවැසියන් හා ජන මාධ්‍ය මගින් වැඩිපුරම චෝදනා එල්ල වූ දියවඩන නිලමේවරයා ඔහුය. ඔහුගේ අකටයුතුකම් නිසා ඔහුට වරප්‍රසාදයක් ලෙස ලබා දී තිබූ රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය අවලංගු කර රාජ්‍ය නිල ගමන් බලපත්‍රයක් ලබා දී ඔහුගේ ඇතැම් දූෂණ පාලනය කිරීමට රජය උත්සහ දරා ඇති බව ද වාර්තා වේ.
ඔහුට එරෙහිව කොතෙක් චෝදනා නැගුනත්, එම චෝදනා වලට පදනම් වන බොහෝ ප්‍රබල සාක්ෂි තිබුණත් ඔහුට එරෙහිව පූර්වෝක්ත පනතට අනුව කටයුතු කිරීමක් දක්නට නොලැබේ. එලෙසින්ම මෑතක සිට ඔහුගේ ආරක්ෂාවට තවත් පාර්ශ්වයක් ද ඉදිරිපත් වී සිටී. ඒ මහාචාර්ය ඛෙල්ලන්විල විමලරතන හිමියන් ඇතුළු භික්ෂු සංඝයා වහන්සේලා පිරිසකි. ඛෙල්ලන්විල විමලරතන හිමියන් ලක්වැසි කාගේත් ගෞරවයට පාත්‍ර වූ හිමි නමකි. එහෙත් දියවඩන නිලමේවරයාගේ නිර්දෝශී භාවය වෙනුවෙන් පෙනී සිටින ස්වරූපය හා ඊට දක්වන හේතු උන්වහන්සේගෙන් මීට ප්‍රථම අපට කිසි දිනක අසන්නට දකින්නට නොහැකි වූ, අදහාගත නොහැකි වූ, කිසිම ගැඹුරක් නොමැති ප්‍රකාශ වේ. එසේ පවසන්නේ හේතු සහිතවයි.
පළමුවැන්න විහාර දේවාලගම් පනතට අනුව මෙන්ම සම්ප්‍රදායන්ට අනුව දියවඩන නිලමේවරයාට වඩාත් ආසන්නව උපදෙස් ලබා දෙමින් කටයුතු කරන්නේ අස්ගිරි හා මල්වතු පාර්ශ්වයේ මහ නාහිමිවරු විසිනි. ඒ නිසා ඔහුට එරෙහිව ජනමාධ්‍යයෙන් හෝ වෙනත් ප්‍රභවයකින් චෝදනාවක් එල්ල වූ විට එය නිවැරදි කිරීම පහසුවෙන් කළ හැක්කේ අස්ගිරි මල්වතු දෙපාර්ශ්වයේ නායක හිමිපාණන් වහන්සේලාටයි. නමුත් උන්වහන්සේලා මේ වන විටත් ඔහු නිර්දෝශි කර කිසිදු නිල ප්‍රකාශයක් කර නැත.
එසේ වී තිබියදී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් දියවඩන නිලමේ වෙනුවෙන් ඉදිරිපත් වීම අතීතයේ කිසිදා සිදු නොවූ වර්තමානයේ පමණක් සිදු වෙමින් තිඛෙන අපූරු සිදුවීමකි. උන් වහන්සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අතුරු වාර්තාවට විරුද්ධ වීමත් හදිසියේම දියවඩන නිලමේගේ නිර්දෝශීභාවය වෙනුවෙන් පෙනී සිටීමත් තුළ දළදා මාළිගාව කේන්ද්‍රස්ථානයක් කරගත් දේශපාලන ක්‍රියාදාමයක් සිදුවන්නේ දැයි හුදී ජනයාට විචිකිච්චාවක් ඇති වී තිබේ.
ඊළගට උන්වහන්සේ කියන්නේ දියවඩන නිලමේවරයාගේ චරිතය කෙලෙසීමට දේශපාලන වශයෙන් කුමන්ත්‍රණයක් ඇති බවයි. නමුත් උන්වහන්සේ පවසන කුමන්ත්‍රණකරුවන් කවුද? කුමන්ත්‍රණයක් ඇති බවට සාක්ෂි මොනවාද? කියා ප්‍රකාශ නොකරති.
කෙසේ වෙතත් මේ ලිපිය ලියන මා නිරංජන් විෙජ්රත්න දියවඩන නිලමේවරයාගේ අවධියේ ‘දළදා සරණ’ පුවත්පත ශ්‍රී දළදා මාළිගාව වෙනුවෙන් සංස්කරණය කළ පුද්ගලයා ලෙසටත්, ‘මහනුවර පුරවැසි හවුලේ’ සාමාජිකයෙකු ලෙසත්, ‘සුරකිමු ශ්‍රී දළදා සංවිධානයේ’ ක්‍රියාකාරිකයෙකු ලෙසත්, දළදා මාළිගයේ කටයුතු ගැන කිට්ටු නිරීක්ෂණයකින් සිටින්නෙකු ලෙසත් පහත කරුණු පෙන්වා දීමට කැමැත්තෙමි.
කවුරුත් දන්නා පරිදි මහනුවර දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර ධුරයෙන් ඉවත් කිරීමට හෝ ඔහුගේ චරිතය ඝාතනය කිරීමට දේශපාලන කුමන්ත්‍රණයක් නැත. එම ප්‍රකාශය නැති බිල්ලෙක් මවා පෑමකි. නමුත් මහනුවර පුරවැසියන් විසිනුත්, ජනමාධ්‍ය මගිනුන් දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයාගෙන් සිදුවන අකටයුතුකම් ගැන නිතර වාර්තා වීම මත ඒවා ගැන විධිමත් පරීක්ෂණයක් කර ඔහු ධුරයෙන් පහකළ යුතු බවට මතයක් ගොඩනැගෙමින් පවතී.
තවද දේශපාලන කුමන්ත්‍රණයක් පටන් ගන්නේ හෝ එවැන්නකට අනුබල දී නොදන්නා සේ පිටරට ගොස් සිටියේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර දියවඩන නිලමේවරයාම බවත් ප්‍රකට කරුණකි.
මක්නිසා ද පසුගියදා ජනමාධ්‍ය විසින් ප්‍රචාරය කෙරුණු අස්ගිරි මල්වතු දෙපාර්ශ්වයේ ලේඛකාධිකාරී හිමිවරුන් ඇතුලු භික්ෂුන් වහන්සේ කීපනමක් දළදා මාළිගාවේ රන් ආයුධ මණ්ඩපයේ රැස් වී යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවට විරෝධය පෑමට දළදා මාළිගාව භාවිතා කිරීම එම සිද්ධියයි. කවුරුත් දන්නා පරිදි දළදා මාළිගාව මෙවැනි දේශපාලන කුමන්ත්‍රණයකට භාවිතා කළ පළමු අවස්ථාව මෙයයි. සම්ප්‍රදායානුකූලව අස්ගිරි මල්වතු උභය පාර්ශ්වීය සංඝයා, කාරක සංඝ සභා ඇතුලු බොහෝ සංඝසභාවන් පවත්වන්නේ එම දෙපාර්ශ්වයේ විහාරවල තිඛෙන ‘පොහොය ගෙය’ නමින් හදුන්වන ගොඩනැගිල්ලකය.
නමුත් මතු සදහන් කළ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා විරෝධි භික්ෂු රැස්වීම දළදා මාළිගාවේ රන් ආයුධ මණ්ඩපයේ පැවැත්වූයේ දියවඩන නිලමේවරයා නොදැනුවත්ව විය නොහැක. තවද එම රැස්වීම පැවැත්වූයේ ආගමික කාරණාවක් මුල් කරගෙනද නොවේ. එම සාකච්ඡාව පිටුපස ඒකාබද්ධ විපක්ෂයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධි හස්තය තිබු බව මුළු මහත් රටම දන්නා කරුණකි.
එනිසා ශ්‍රී දළදා මාළිගාවේ දේශපාලන කුමන්ත්‍රණයක් සදහා අනුබලදීමක් කර ඇත්තේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර දියවඩන නිලමේ වරයායි. ඒ අනුව දියවඩන නිලමේවරයාට එරෙහිව දේශපාලන කුමන්ත්‍රණයක් ඇති බව ප්‍රකාශ කිරීම බොරු බිල්ලෙකු මවා පෑමකි. ඛෙල්ලන්විල විමලරතන හිමියන් එවැනි බිල්ලෙකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ‘රට බෙදනවා රට බෙදනවා’ යැයි කියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අතුරු කමිටු යෝජනාව ගැන ද මැවූ බව රටම දන්නා කරුණකි.
නිලංග දෑල දියවඩන නිලමේ වරයා පත් වූ දින සිට දළදා මාළිගාවේ සිදුවන අකටයුතුකම්, වංචා, දූෂණ ගැන බෞද්ධ කටයුතු කොමසාරිස් වරයාටත් අධිකරණයටත් හිටපු බස්නායක නිලමේවරයෙකු වූ ආර්.එස්.පී.බී. සේනානායක විසින් පැමිණිල්ලක් කර තිබේ. එපමණක් නොව මාධ්‍ය සාකච්ඡා පවත්වා රටටම එම කරුණු හෙළි කළේය. එසේම ඔහුට නඩු පැවරීමක් ද සිදු කර ඇත. අභියාචනාධිකරණයේ විභාග වෙමින් පවතින එම නඩු අංක නම් CA(RHC) 21/2013, 48/ 2013, 49/ 2013, 50/2013 වේ. ඒ නිසා කුමන්ත්‍රණකරුවෙකු නැත. සෘජු චෝදනාකරුවෙකු සිටී. ඔහු ආර්.එස්.පී.බී. සේනානායක හිටපු බස්නායක නිලමේවරයායි. එනිසා සැගවුණු න්‍යාය පත්‍රයෙක්ද නැත. අවශ්‍යවන්නේ නිසි පරික්ෂණයක් පමණි.
එම පැමිණිලි පිළිබද මහනුවර බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා 2017.11.10 දිනැතිව සිය නිරීක්ෂණ මල්වතු අස්ගිරි පාර්ශ්වයේ මහා නාහිමිවරුන්ටත් දියවඩන නිළමේවරයාටත් පිටපත් සහිතව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට ලිඛිතව දැනුම් දෙමින් දියවඩන නිලමේවරයාට එරෙහිව නිත්‍යානුකූලව කටයුතු කළ යුතු බව නිර්දේශ කරයි.
ඇතැම් විට මීට පසුබිම වූ තත්ත්වයන් මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් නොදැනුවත්ව සිටියා විය හැකිය. නැතිනම් දැනගෙනත් නොදන්නා සේ ඔහු බේරා ගැනීමට ඉදිරිපත් වුණාදැයි කෙනෙකුට සිතිය හැකිය.
නිලංග දෑල බණ්ඩාර මහතා 2005 දී ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ තනතුරට පත්වන විට මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ බැංකු ගිණුම් ශේෂයන් පහත පරිදි වූ බව සදහන් වේ.
මහනුවර කොමර්ෂල් බැංකුවේ ඇසල පෙරහැර භාරයේ රුපියල් දස ලක්ෂ 102.8 ක් තිබුණි. දළදා මාළිගාවේ නඩත්තු හා සංවර්ධන අරමුදලේ කොමර්ෂල් බැංකු ගිණුමේ රුපියල් දස ලක්ෂ 61.3 ක් විය. මුළුතැන්ගේ බුද්ධ පුජා භාරයේ ලංකා බැංකු දෙවන නගර ශාඛාවේ ගිණුමේ මිලියන 19.35 ක් විය. බෞද්ධ සුභ සාධක අරමුදලේ මහජන බැංකුවේ සෙංකඩගල ශාඛාවේ දස ලක්ෂ 27.1 ක් විය. වන්දනාකරුවන්ගේ විශ්‍රාම ශාලා අරමුදලේ ලංකා බැංකු දෙවන ශාඛාවේ ගිණුමේ දස ලක්ෂ 4.9 කි. විශේෂ සංවර්ධන අරමුදලේ මහනුවර සෙංකඩගල මහජන බැංකුවේ දස ලක්ෂ 44 ක් සහ දහම් පාසල් භාර අරමුදලේ මහනුවර කොමර්ෂල් බැංකුවේ දස ලක්ෂ 2.1 ක්ද ඊට ඇතුළත්ය.
එනිසා ඔහුට මහනුවර දළදා මාලිගාවේ කටයුතු පවත්වාගෙන යෑමට අතිරේක සම්මාදම් එකතු කිරීමට හෝ දළදා මාලිගාව සතු දේපළ විකිණීමට හෝ අවශ්‍ය නැතිබව ඕනෑම කෙනෙකුට වැටහෙන සත්‍යකි. නමුත් පසුගිය කාලයේ පෙරහැර සදහා ඔහු එලෙස සම්මාදම් එකතු කළ බව නොරහසකි. අනෙක මෙවන් මුදල් සම්භාරයක් පවත්නා ස්ථානයක වාර්ෂික ගිණුම් වාර්තා සකස් කර විගණනය කිරීම අනිවාර්ය තත්ත්වයක් බවද ඕනෑම කෙනෙකුට වටහා ගත හැකිය. නමුත් 2011-06-26 දාතමින් ලිඛිත පැමිණිල්ලක් කරමින් හිටපු බස්නායක නිලමේ ආර්.එස්.පී.බී. සේනානායක මහනුවර බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට 2005 වසරේ සිට වසර හතහමාරක් දළදා මාළිගාවේ අදාළ අයවැය වාර්තා සපයා නැනි බවට පැමිණිලි කරන තෙක්ම මහනුවර බෞද්ධ කොමසාරිස්වරයා නිහඩය. ඒ කාගේ අනුහසින්ද?
නමුත් විහාර දේවාලගම් පනතේ 15 (1) වගන්තියට අනුව යමෙක් පැමිණිල්ලක් කළත් නොකළත් කොමසාරිස්වරයා විසින්ම දළදා මාළිගාවේ ගනුදෙනු වාර්ෂිකව ඉල්ලා පරීක්ෂා කළ යුතු බව පැහැදිලිව සදහන් වේ. එසේම එම වගන්තියට අනුව යම් අකටයුත්තක්, විශ්වාසය කඩ කිරීමක්, කටයුතු පැහැරහැරීමක් ගැන බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට පරීක්ෂණයක් කළ හැකිය. වරදකරුවන්ට අධිකරණය මගින් දඩුවම් පැමිණවිය හැකිය. ඒ අනුව අදාළ කොමසාරිස්වරයා තම බලය නිසිලෙස භාවිතා නොකර දියවඩන නිලමේවරයාට අනියම් අනුග්‍රහයක් දක්වා ඇති බවද පැහැදිලිය.
එවකට මහනුවර බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාව සිටි කේ.එල්.එම්.බී. කැකුලන්දර මහතා විසින් එම පැමිණිල්ල ගැන ඒකපාර්ශ්වික පරීක්ෂණයක් කර බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වරයාට 2011.12.07 වාර්තාවක් යවා ඇත. එම වාර්තාවේ සදහන් වන්නේ ඒකපාර්ශ්වික පරීක්ෂණයක් සිදුකළේ පරීක්ෂණයට පැමිණිලිකරු පැමිණිය හොත් ගැටුමක් ඇති වෙතැයි උපකල්පනය කළ නිසා බවයි. කෙතරම් අපූරු හේතූ දැක්වීමක්ද? පැමිණිලිකරු හා විත්තිකරු අතර ගැටලුවක් ඇති වෙතැයි උපකල්පනය කර පැමිණිල්ල නැතිව විත්තියෙන් කරුණු විමසා තීන්දු ප්‍රකාශ කිරීම හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් නොවේද?
තවද එම වාර්තාවෙන් දක්වා ඇති කොමසාරිස්වරයා නිර්දේශයේ දී එල්.එම්.බී. කැකුලන්දර බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා දියවඩන නිලමේවරයා විසින් වර්ෂ 7 1/2 ගිණුම් වාර්තා ලබා දී නැති බව සනාථ කරයි. නමුත් ඒ පිළිබද විනය පරීක්ෂණයක් අදටත් නැත. මහනුවර වත්මන් බෞද්ධ කටයුතු කොමසාරිස් ඩී.එම්. පරාක්‍රම ජයවර්ධන මහතා 2017.11.10 ලිපියෙන් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වරයාට එම තත්ත්වය ද දන්වන්නේ මෙසේය.
‘2013 වර්ෂයේ සිට මේ දක්වා නියමිත දින වකවානු වලදී අදාළ අයවැය වාර්තාවේ ඒවා ඇති බව සනාථ කරමි. දියවඩන නිලමේ ධුරයේ පෙර ධුර කාල වලට අදාළ අයවැය වාර්තා නොලැබීම පිළිබද සුදුසු නෛතික ප්‍රතිපාදන මත විමර්ශනයක් කිරීම සදහා ඉදිරි කටයුතු පිණිස යොමු කරමි යනුවෙනි.’
ඒ අනුව අවුරුදු හතහමාරක ගිණුම් දියවඩන නිලමේවරයා තවමත් ලබා දී නැතිවා පමණක් නොව ඒ පිළිබද විමර්ශනයක් ද තවමත් ආරම්භ කර නැත. ඉදින් දියවඩන නිලමේවරයා ශ+ද්ධ වන්තයෙකු වන්නේ රාජපක්ෂ පාලන යුගයේ මහනුවර ශ=ද්ධ නගරය මත්පැනින් නහවා රාජපක්ෂ පුතුනට කාර් රේස් පැද විනෝද වීමට අනුග්‍රහය දැක් වූ නිසාද?
එපමණක් නොව පේරාදෙණිය උඩවත්ත හා මල්නයිදුගේ හේන නැමැති අක්කර 9 ක වපසරිය ඇති ඉඩම් දෙක පෞද්ගලික දේපල විකුණුම් සමාගමකට රුපියල් නවකෝටි විසි අට ලක්ෂ හත්තෑ දහකට විකුණා ඇත. නමුත් ඉන් දළදා මාළිගාවට ලැබී ඇත්තේ රුපියල් හත් ලක්ෂ තිස්දහසක් පමණි. ඔප්පුවට නිලමේවරයා අත්සන් තබා ඇත. විහාර දේවාලගම් අඥාපනතේ 27 වන වගන්තියට අනුව දළදා මාළිගාවේ රාජකාරී ඉඩම් වෙනත් අයෙකුට පැවරිය හැකිය. එසේ වුවත් එම පැවරීම සිදුකළ වහාම, ඉඩමේ නව හිමිකරු ඒ බව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට ප්‍රකාශ කළ යුතුය. මෙම ඉඩම එවැනි පැවරීමක් නැතිව, සින්නක්කරව විකුණා ඇති හෙයින් එවන් ලියකියවිලි ගැණුම්කරුවන් ඉදිරිපත් කර නැත. ඒ අනුව දළදා මාළිගාවේ දේපල විකුණා ගැනුම්කරුවන් ද නොමග යවා විහාර දේවාලගම් පනත ද උල්ලංඝනය කර අතයට ගනුදෙනුවක් කර ඇති බව පැහැදිලිය.
මෙම සිද්ධිය ගැන වත්මන් මහනුවර බෞද්ධ කටයුතු කොමසාරිස් වරයා 2017.11.10 ලිපියෙන් කරණු දක්වන්නේ ‘රාජකාරි ඉඩම් විකිණීම පිළිබද පැමිණිල්ල, මේ පිළිබද පොලිසිය මගින් සහ අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් කෙරෙන පරීක්ෂණ කටයුතු වලට අදාළ සියලු තොරතුරු හා සාක්ෂි මා විසින් ලබා දී ඇති බවත් මෙකී කරුණු පිළිබද සුදුසු නෛතික ප්‍රතිපාදන මත විමර්ශනයක් කිරීම සදහා ඉදිරි කටයුතු පිණිස යොමු කරමි’ යනුවෙනි.
මේ අනුව මහනුවර බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා කල් පසුවී හෝ දියවඩන නිලමේ වරයාට එරෙහිව නෛතික පියවර ගත යුතු බවට නිර්දේශ කරයි. නිලමේවරයා බැලු බැල්මට නිවැරදි වේ නම් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විමර්ශනයක් කළ යුතු බවට නිර්දේශ කරන්නේ නැත. එසේම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම යම් නිමිත්තක් නැත්තම් විමර්ශනයක් ආරම්භ කරන්නේ ද නැත. එනිසා බෙල්ලන්විල විමලරතන හිමියන් දියවඩන නිලමේවරයා රැකගැනීමට ඉදිරිපත් විම කවර නම් අප්‍රසන්න තත්ත්වයක් ද?
එපමණක් ද නොව පසුගිය දිනවල පුවත්පත් රැසකින් හෙළිදරවු කළ මාළිගාවේ ඇත් පන්තියට අයත් ‘මියන් රජා’ හා ‘බුරුම රාජා’ යන අලින් දෙදෙනා මහනුවර දළදා මාළිගාවට මියන්මාරයෙන් ලැබූ පරිත්‍යාගයකි. ඒ නමුත් මෙම අලින් දෙදෙනා වෙනුවෙන් රුපියල් විසි හයකෝටි පහලොස් ලක්ෂ අනුදෙදහස් පන්සීයක තක්සේරු වටිනාකමක් පෙන්වා එම මුදල් රටින් පිටකර තිබේ. සාමාන්‍යයෙන් අලියෙකුගේ වටිනාකම රුපියල් ලක්ෂ 10 ක් හෝ 15 ක් බව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා පවසයි.
මේ පිළිබද මහනුවර බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා 2017.11.10 දරන සිය ලිපියෙන් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට නිර්දේශ කරන්නේ කඩිනම් විමර්ශනයක් කළ යුතු බවයි. මියන්මාර් අලියෙකුගේ වටිනාකම දහතුන් කෝටිය ඉක්මවීම අස්වාභාවික තක්සේරුවක් බව කුඩා දරුවෙකුට වුව නොවැටහේද? එය විශාල විදේශ විනිමය කන්දරාවකි. පරිත්‍යාග කළ අලි පැටවු දෙදෙනෙකුට මෙවන් විශාල මුදලක් ගෙවන්නට වීම වංචාවක් නොවන්නේ කෙසේද?
එම මුදල ඇත් පැටවුන් ලබා දුන් මියන්මාර් රජයේ ආයතනයක් වූ ටින්බර් එන්ටප්‍රයිසස් ආයතනයට හෝ අලින් දෙදෙනා නැව්ගත කිරීමට සහය වු මියන්මාර් රජයට හිමිවීද? දියවඩන නිලමේවරයා නොදැනුවත්වම දළදා මාලිගයට ලැබුණු පරිත්‍යාගයකට ඒසා විශාල මුදලක් රටින් පිට කිරීමට පුළුවන් වූයේ කෙසේද? රේගු කුවිතාන්සි අංක 97382 යටතේ රටින් බැහැර කළ මෙම මුදල රටින් බැහැර කරවූයේ කවුරුන්ද? ඔවුන්ට අනුබල දුන්නෝ කවරහුද? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගත යුතුව ඇති බවද බෞද්ධ කොමසාරිස්වරයාගේ ලිපියට අනුව ප්‍රශ්න ලෙස ඉස්මතුව පෙනේ.
තවද මෙම තත්ත්වය තුළ 2005 සිට මේ දක්වා මහනුවර දළදා මාළිගාවේ කටයුතු සොයා බැලීමට විශේෂ ජනාධිපති කොමිසමක් පත්කරන ලෙස මහනුවර පුරවැසියන් වර්තමාන ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත. නොඑසේ නම් 2005 සිට මේ දක්වා මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ගිණුම් කටයුතු විහාර දේවාලගම් පනතින් ඉඩ සලස්වා ඇති පරිදි රජයේ විගණකාධිපති ලවා විගණනය කරවන ලෙස ඔවුහු ඉල්ලා තිබේ.
කෙසේ වෙතත් මේ චෝදනා නිසා කලබලයට පත් වූ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර කලබලයට පත් වී ඇති බවත් ඔහුට යම් හෙයකින් තනතුර අහිමි වුවහොත් මහනුවර සතර දේවාලයේ බස්නායක නිලමේවරුන් අතරින් රාජපක්ෂ ආණ්ඩුවේ මහනුවර දේශපාලකයෙකුව සිටි බස්නායක නිලමේවරයකු ඊට පත් කිරීමට සුදුස්සෙකු ලෙස මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ට නිර්දේශ කළ බවට දළදා මාළිගාවේ අභ්‍යන්තරයෙන් විශ්වාස කටයුතු ලෙස දැන ගන්නට ලැබී ඇත. ඒ අනුව තනතුර නැතිවුණත් සහ සිදු කළ අකටයුතුකම් වලට දඩුවම් නියම වුවහොත් ඒවායින් බේරීමට හෝ යට ගැසීමට කුමන්ත්‍රණයක් ද ක්‍රියාත්මක වන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.


සරත් කුමාර දූල්වල