මැතිවරණ බිමෙත් උමාඔය සටන ගෙනයනවා (බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභා ස්වාධීන කණ්ඩායම් නායක උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා ව්‍යාපාරයේ සම ලේකම් වසන්ත සංජීව සෝමසිරි)

ranil with sajith
රනිල් – සජිත් එක් කිරීමේ කපුකමක්
January 23, 2018
poor people in sri lanka
සිඟමන් යදින්නේ තිරිසන් සතුන් නොවේ !
January 23, 2018
Show all

මැතිවරණ බිමෙත් උමාඔය සටන ගෙනයනවා (බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභා ස්වාධීන කණ්ඩායම් නායක උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා ව්‍යාපාරයේ සම ලේකම් වසන්ත සංජීව සෝමසිරි)

sanj eewa somasiri

උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා ව්‍යාපාරය විදියට ස්වාධීන කණ්ඩායමක් වශයෙන් ඔබලා මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමේ අරමුණ පැහැදිලි කරන්න…

මෙම ව්‍යාපෘතිය බහු විනාශකාරී ව්‍යාපෘතියක් විදියට 2008 ආරම්භක කාලසීමාවේ දී ජවිපෙ විසින් හඳුනා ගත්තා. නමුත්, අද විපතට පත් වෙලා ඉන්න ජනතාවත්, පොදුවේ රටේ ජනතාවත් මේ ව්‍යාපෘතිය පිළිබඳ ඒ අර්ථයෙන් දකින්න එදා සමත් වුණේ නැහැ.
ඒ නිසාම මේ පිළිබඳව ජනතාව දැනුම්වත් කරන්න, සමාජ මතයක් ගොඩනගන්න අපට දිගින් දිගටම සටන් කරන්න, අරගල කරන්න සිදු වුණා. 2014 දෙසැම්බර් මාසෙ 26 වැනිදා බණ්ඩාරවෙල, මකුල්ඇල්ල ප්‍රදේශයේ දී උමාඔය පළමු ජල කාන්දුව සිද්ධ වෙනවා. එතැන් සිට ප්‍රදේශයේ ජනතාවගේ ගේ – දොර ඉරිතළලා, ළිං හිඳිලා, වගා බිම් අහිමි වෙලා දිගින් දිගටම ව්‍යසනකාරී තත්ත්වයන් නිර්මාණය වෙන්න පටන් ගත්තා. පොදු ජනතාව මේ සටන හා එක් වෙන්නෙ පටන් ගන්නේ විනාශය ආරම්භ වුණාට පස්සේ. ඒ අනුව දේශපාලන පක්ෂ භේදයකින් තොරව උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි මෙම ව්‍යාපාරය වටා ජනතාව එකතු වෙන්න පටන් ගත්තා.
ඒ නිසාම අපට ගම් මට්ටමින් සංවිධාන ගොඩනගමින්, පුළුල් පෙරමුණක් විදියට කි්‍රයාත්මක වෙන්න හැකියාව ලැබුණා.
ඒ අනුව ගෞරවනීය මහා සංඝරත්නය, ප්‍රදේශයේ විද්වතුන්, සමාජ ක්‍රියාකාරීන් කේන්ද්‍රය බවට පත් කර ගත්ත සංවිධානයක් විදියට අප මේ වන විට ක්‍රියාත්මක වෙමින් සිටිනවා. පසුගිය කාලය පුරාවට අප විසින් සංවිධානාත්මක අයුරින් මෙහෙය වූ හර්තාල්, විරෝධතා පෙළපාළි, රථ පෙළපාළි ආදිය සඳහා එක් වූ ජනතාව සමඟ ඒ ජන බලයම තව දුරටත් ඒකරාශී කරමින්, අපි මෙවර පළාත් පාලන මැතිවරණයේ දී බණ්ඩාරවෙල නගර සභාව සහ ප්‍රාදේශීය සභාව සඳහා ස්වාධීන කණ්ඩායමක් විදියට ‘කරාමය’ ලකුණින් තරග කරනවා.

උමාඔය ව්‍යපෘතියේ ජනතා ව්‍යාපාරය තුළ මෙතෙක් විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කළ ජනතාවක් ඒකරාශී වී සිටිනවා. ඔවුන්ගේ සාම්ප්‍රදායික දේශපාලන මත මේ නව එකතුවට බාධාකාරී ලෙස බලපාන්නේ නැද්ද?

මෙතෙක් මේ පොදු අරමුණ වෙනුවෙන් ඉදිරිගාමීව කටයුතු කළ සෑම කෙනෙක්ම මේ මොහොතේ දී අප සමඟ සිටිනවා. නමුත්, එසේ නොවන කීප දෙනෙක් ප්‍රධාන දේශපාලන පක්ෂ සමඟ එක් වී සිටින බවකුත් පෙනෙනවා. නමුත්, බහුතරය අප සමඟ සිටිනවා.
ප්‍රදේශයේ ජනතාව තුළ පොදුවේ තිඛෙන අවබෝධය තමයි. මෙතෙක් ඔවුනට ලැබුණු යමක් වේ නම්, ඒ සියල්ල මෙම ව්‍යාපාරය හා එක්ව අරගල කිරීමෙන් දිනා ගත් දේ මිස ආණ්ඩුවෙන් ලබා දුන් දේවල් නොවෙයි කියන කාරණාව.
ඒ අනුව මෙම ව්‍යාපාරය ප්‍රදේශයේ ජනතාව තුළ විශ්වාසය ගොඩනගා ගැනීමට සමත් වෙලා තියෙනවා. නමුත්, ප්‍රධාන දේශපාලන පක්ෂවල නියෝජිතයන් මේ විශ්වාසය බිඳින්න, ජනතාව භේදභින්න කරන්න, මේ එකමුතුව බිඳින්න විවිධ කුමන්ත්‍රණ කරමින් ඉන්නවා.

විරුද්ධ පාක්ෂිකයන් විසිනුත්, මේ හා සමානම ක්‍රමවේදයක් අනුගමනය කරමින් ඉන්නවා නේද?

මුළු රටේම බෙදිලා වෙන් වෙලා ඡන්දය ඉල්ලන ඒකාබද්ධ විපක්ෂයයි, මෛත්‍රී පාර්ශ්වයයි බණ්ඩාරවෙල නගර සභාවේ දී අපේ කණ්ඩායමට අභියෝග කරන්න සූදානම් වෙලා ඉන්නවා. එතන දී රටට පේන්න බොරුවට බැණ ගන්න, චෝදනා කර ගන්න මහින්ද – මෛත්‍රී දෙපිල ස්වාධීන කණ්ඩායම් බෝඩ් ලෑල්ලක් දාගෙන ඉදිරිපත් වෙලා ඉන්නවා. ඔය කණ්ඩායම කොහොමද ස්වාධීන වෙන්නේ? මේක බලලෝභය වෙනුවෙන්ම හිටපු තක්කඩින් ටික ආපහු එකට එකතු වෙලා හදා ගත්ත කල්ලියක් විතරයි. මේ කල්ලි කණ්ඩායම් අපට අභියෝගයක් නොවෙයි.

ඔබ මුලින් සඳහන් කළ ආකාරයට උමාඔය සටනේ දී ජවිපෙ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළා. නමුත්, බණ්ඩාරවෙලට ස්වාධීන කණ්ඩායමක් විදියට උමා ඔය ජනතා ව්‍යාපාරය විදියට මැතිවරණයට ඉදිරිපත් වෙනවා. මේක තව ටිකක් පැහැදිලි කරන්න…

ජවිපෙ කියන්නේ ලංකාවේ දේශපාලනයට අත්හදා බැලීම් වාගේම දේශපාලන සදාචාරයන් හඳුන්වා දුන් පක්ෂයක්. වැටුප් නොගෙන සේවය කරන මහජන නියෝජිතයන් හැදුවේ ජවිපෙන්. මේ වෙලාවේ දී මේ මැතිවරණ ඝෝෂාව හමුවේ උමාඔය සටන යට යන්න දෙන්න බැහැ කියන තීරණය මත අපි ස්වාධීන කණ්ඩායමක් විදියට එකතු වෙලා කටයුතු කරනවා. අපේ නාමයෝජනා ලැයිස්තුවල මෙතෙක් විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කළ දමිළ, සිංහල, මුස්ලිම් හැමෝම ඉන්නවා.
ඡන්දයට කලින් අපි මේ පණිවුඩය අරගෙන ජනතාව දැනුම්වත් කරන්න ගම් මට්ටමින් රැස්වීම් සංවිධානය කළා. එහිදී මෙම තීරණය සම්බන්ධව ලැබුණු ප්‍රතිචාර ඉතාම ඉහළයි¦ ඉතාම උණුසුම්. ඒ වාගේම හෘදයාංගමයි.
දේශපාලන භේදයකින් තොරව ජාති, ආගම් භේදයකින් තොරව දෑතම ඔසවලා ජනතාව එම තීරණය අනුමත කළා. ඒ විතරක් නෙමෙයි, මේ තීරණය පිළිබඳව මේ රටේ විද්වතුන්, බුද්ධිමතුන්, පූජ්‍ය පක්ෂය, කලාකරුවෝ ආදී විශාල පිරිසක් ඉතාම ඉහළ අගය කිරීමක් කළා. මෙවැනි ඒකරාශී වීමක් පිළිබඳව ඔවුන් මහත් ආශ්වාදයකින් යුතුව කතා කළා. ඒ අනුව ලාංකීය දේශපාලන ඉතිහාසයට නැවත වරක් නවමු දේශපාලන ආදර්ශයක් එක් කරන්න අපට හැකි වුණා.

මේ සියලු කාරණා සමගම මැතිවරණය සම්බන්ධව ඔබලාගේ සූදානම කොහොමද?

අපි මේ වන විට ඉතාමත් හොඳ කණ්ඩායමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒක ම අප ලැබූ එක් ජයග්‍රහණයක්. මේ වන විටත් අපි බණ්ඩාරවෙල සංවර්ධනය වෙනුවෙන් නගර සභාවට සහ ප්‍රාදේශීය සභාවට සංවර්ධන සැලසුම් පවා සකස් කරමින් සිටිනවා.
අපි මැතිවරණයට එන්නේ එම සැලසුම් සමගමයි. මේ ජනතාව එකට ඒකරාශී කළෙත්, මේ ව්‍යසනය විසින්. අපි ඒ විනාශය ආශීර්වාදයක් කරගෙන මේ එකමුතුව මේ ප්‍රදේශය ගොඩනගන්න භාවිත කරනවා. අපි ස්වේච්ඡාවෙන් සටන් කළා වාගේම ඉදිරි කටයුතුත් ඒ ආකාරයෙන්ම කටයුතු කරගෙන යනවා.
අපි මේ ව්‍යසනයම ආශීර්වාදයක් බවට පත් කරගෙන කටයුතු කරනවා වුණත්, කුමන්ත්‍රණ නැතිවාම නොවෙයි. නමුත්, ඒවා පරාජය කරන්න, අභියෝග ජය ගන්න අපට හැකියාව තියෙනවා. ඒ අනුව මෙම මැතිවරණය ජයග්‍රහණය කිරීමේ සම්පූර්ණ හැකියාව අපට තියෙනවා.


සංවාදය සහ සටහන
කිත්සිරි කොඩිතුවක්කු