මුදියන්සේ මහත්මයයි, මමයි ගෝණි බිල්ලාගෙන් බේරුණු හැටි

economy
ආර්ථීක අර්බුදය හා අය-වැය
January 23, 2018
sri lanka cricket
හුරේ… අපි දිනුවා…
January 23, 2018
Show all

මුදියන්සේ මහත්මයයි, මමයි ගෝණි බිල්ලාගෙන් බේරුණු හැටි

tirimadura

මේක අසූ අට අසූ නවය භීෂණය කාලෙ මට සිද්ධ වෙච්ච කතාවක්. මේ වෙනකොට භීෂණය දරුණුවටම සිද්ධ වුණා. ඒ වෙනකොට මා මිත්‍ර මහින්ද අබේසුන්දරගේ පුත් සජිත් අබේසුන්දර අත්අඩංගුවට පත් වී තිබුණා. රෝහිත සහ සුදේශ් එකළ කියන විදියට කළු කොටි ප්‍රහාරයකින් මිය ගොස් සිටි බවට ආරංචි වුණා.
මේ විදියට දිගින් දිගටම භීෂණය උත්සන්න වුණා. මේ තත්ත්වය යටතේ මටත් දැන් මොරටුව සොයිසාපුර රැදී සිටීමට නොහැකි වාතාවරණයක් උදා වී තිබුණා. මම මීට පෙර ඔබට ලිව්වා වගේ මම මගේ යාළුවා බොබීගෙ කඩේ වැඩ කළා. ඒ මගේ ජීවිතාරක්ෂාව සදහා. (මම ඒ ගැන මීට පෙර ලිපියකදි විස්තර කළා ඔබට මතක ඇති.)
ඔය දවස්වලම මට ජයලාල් රෝහණගෙ ‘ලෝකා’ වේදිකා නාට්‍යයේ රගපාන්න අවස්ථාවක් හම්බවුණා. ඒ වෙනකොට සේපාල ඒකනායකගෙ ‘පෝලිම’ නාට්‍යයත් වේදිකා ගත වෙමින් තිබුණා. මේ වේදිකා නාට්‍යයේ කාලය හරියටම පැයයි. ඉතුරු විනාඩි හතලිස් පහට රොජර් සෙනෙවිරත්නගෙ නාට්‍යයක් තමයි වේදිකා ගත වුණේ. ඒක තමයි ඇන්ටන් චෙකොෆ්ගෙ ‘ලිපිකරුවාගේ මරණය’ කියන වේදිකා නාට්‍යය. ඒකෙ ජයලාල් රෝහණ, නිල්මිණි බුවනෙක, රොජර්, ප්‍රදීප් ජයතිලක වගේ අය රගපෑවා. ඉතින් මේ නාට්‍යයට නිෂ්පාදන කළමනාකරුවෙක් අවශ්‍ය වෙලා තිබුණා. ජයලාල් රෝහණ මාව පෙන්වලා ‘මේ ඉන්නෙ කුමාරයව ගමු කියලා කිව්වා. ඒ අනුව මට සේපාල ඒකනායකවත් හදුනා ගන්න ලැබුණා.
දර්ශන වාර දෙක තුනක් යනකොට සේපාල ඒකනායකගෙ නාට්‍යයෙ නිෂ්පාදන කළමනාකරුවාගේ කාර්යභාරයත් පැවරුණේ මට. මම කරන්නෙ සංවිධායකගෙන් සල්ලි අරගෙන නාට්‍ය කණ්ඩායමේ අයට ඛෙදලා දෙන එක. ඒක තමයි මගේ වැඩේ. ඉතින් මං ගැන දැඩි විශ්වාසයක් තිබුණා සේපාලට. සේපාල ගොඩක් වෙලාවට රගපාන්න වේදිකාවට යද්දි ඔහුගෙ පර්ස් එක පවා දීලා ගියෙ මට. එවැනි විශ්වාසයක් තිබුණා ඔහුට මා ගැන. ඉතින් අර මා පෙර කියූ භීෂණ වකවානුවෙ සේපාල රැදිලා හිටියෙ ගොඩගෙදර සරණතිස්ස හාමුදුරුවන් යටතේ. උන්වහන්සේගෙ පංසල තමයි පුංචි බොරැල්ලෙ ශ්‍රී සුමංගලාරාමය. ඉතින් සේපාල ඒකනායක ගොඩක් වෙලාවට ඒ පංසලේ ඉන්නවා. මමත් ඔහුගේ නාට්‍යයට සම්බන්ධ නිසා බොහෝ වෙලාවට මම එයාව හම්බවෙන්න යනවා. මම යන්නෙ ඇත්තටම මගේ පණ බේරගන්න. මොකද සේපාල ඒ වෙලාවෙ සිරගෙදරින් නිදහස් වෙලා ආපු නිසා ආරක්ෂක හමුදාව සහ පොලිසිය අතර ඔහු ඉතාම ජනප්‍රිය චරිතයක්.
කොහොම හරි ඔහු රැදිලා හිටියෙ පංසලේ එක්තරා කාමරයක. නමුත් ඔහු කාමරයක හිරවෙලා නිදාගන්න කැමති කෙනෙක් නෙමෙයි. ඔහු හරි කැමතියි ධර්මශාලාවට ඇවිල්ලා ධර්ම ශාලාවෙ තිබෙන ලොකු ඩෙස්ක් දෙකක් විතර දාගෙන ඒක උඩින් පොඩි පැදුරක් දාලා කොට්ටයක් දාලා නිදා ගන්න. ඉතින් මමත් ඔහු සමග ධර්ම ශාලාවෙ තමයි නිදා ගන්නෙ. මේ පංසලේ කොළඹ රැකියාවලට ආපු අය, ඉගෙන ගන්න අය ආදී විවිධ අය නවාතැන්ගෙන හිටපු තැනක්. මහාචාර්ය මුදියන්සේ දිසානායක මහත්තයත් එකළ මේ පංසලේ නේවාසිකව හිටියා. එතුමා ඒ වෙනකොට විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් ලෙස පත්වීම ලබපු අලූත. සේපාල ඒකනායක සහ මුදියන්සේ දිසානායක මහත්මයයි අතර දැඩි මිත්‍රත්වයක් තිබුණා. මට මතකයි ඒ දවස් වල රාත්‍රියේදී සේපාල ඒකනායක සහ මුදියන්සේ දිසානායක මහත්මයා දේශපාලනය, කලාව, සමාජ කාරණා සහ විවිධ මතවාදයන් ගැන කතා කරමින් ඉන්නවා. ඒ වෙනකොට මම අවුරුදු දා හතක විතර පොඩි කොල්ලෙක්. අනේ ඉතින් මේ දෙන්නා කතා කරන දේවල් මට වැඩිය තේරෙන්නෙ නෑ. හැබැයි මම ඒ දෙන්නාගෙ කටවල් දිහා රෑ නිදිවරාගෙන බලා හිටපු හැටි මට හොදට මතකයි. නමුත් ඔවුන් දෙදෙනාගේ කතාබස් වලට ඇහුම්කම් දීමෙන් මා බොහෝ දේවල් ඉගෙනගත්තා.
ඉතින් ඔහොම ටික දවසක් ගියාට පස්සෙ, එක දවසක් රාත්‍රියේදී කව්දෝ මාව කීද්දුවා. මම ඇහැරලා බලනකොට හමුදාවෙන්. මම ටිකක් සළිත වුණා. බලනකොට මාව විතරක් නෙමෙයි පංසලේ නේවාසිකව හිටපු සියලූ දෙනාවම හමුදාවෙන් ඇහැරවලා තිබුණා. මම හිටියෙ සේපාල ඒකනායක ත් එක්ක නිසා හමුදාවෙ අය සේපාලගෙන් ඇහුවා මේ කව්ද කියලා. සේපාල කිව්වා. මේ මගේ මැනේජර් කියලා. හමුදාවෙන් කිව්වා එයාව දාමුද චෙකප් එකට කියලා. සේපාල කිව්වා. ඕන නැහැ මෙයාව දාන්න එපා එයා මම දන්න කෙනෙක් . ඒ වුණාට කමක් නැහැ මිස්ටර් සේපාල. අපි එයාවත් යොමු කරමු.
ඒ අනුව පංසලේ තිබුණු ගෝණිි බිල්ලාගේ හදුනා ගැනීමේ පෙරෙට්ටුවට මටත් මුහුණ දෙන්න සිද්ධ වුණා. රෝහිත සහ සුදේශ් මුහුණ දුන් ඉරණමට මටත් මුහුණ දෙන්න වෙනවා කියන සැකය මා තුළ ඒ මොහොතේ ජනිත වුණා. හමුදාවෙන් මාවත් පෝලිම් ගැස්සුවා. දැන් මගේ හදවත වේගයෙන් ගැහෙනවා. මම වටපිට බැලූවා. මම හිටපු පෝලිමේ හතර පස් දෙනෙකුට පිටුපසින් මුදියන්සේ මහත්මයත් ගෝණි බිල්ලා පෙරෙට්ටුවට පෝලිම් ගැසී සිටින අයුරු මම දැක්කා. හැබැයි සේපාල ඒකනායකව මේ හදුනාගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කළේ නැහැ. මොකද ඔහුව හැමෝම හදුනනවා.
ගෝණි බිල්ලා උඩට පහළට ඔළුව වැණුවොත් හබක්. දෙපැත්තට ඔළුව වැණුවොත් ෂේප්. සිරස් අතට ඔළුව වැණූ තරුණයන්ව එක පැත්තකටත්, තිරස් අතට ඔළුව වැණූ තරුණයන්ව තව පැත්තකටත් වෙන් කරමින් තිබුණා. මම දැන් ටිකෙන් ටික ගෝණි බිල්ලාට ලංවුණා. තමා ඉදිරියට එන පුද්ගලයා දෙස විමසිල්ලෙන් බලන ගෝණි බිල්ලා ඇතැමුන්ට උඩට පහළටත්, ඇතැමුන්ට හරහටත් ඔළුව වනයි.
ඊළගට මගේ වාරය උදා වුණා. ගෝණි බිල්ලා මා දෙස බැලූවා. ටික වේලාවක් බලා සිටි ගෝණි බිල්ලා ඔළුව තිරස් අතට වැනුවා. එයින් කියවුණේ මා ජ.වි.පෙ.ට සම්බන්ධ නොවන ප්‍රගතීශීලී නොවන තරුණයකු බව. ගෝණි බිල්ලාගේ වැරැදි නිගමනයෙන් මා අනූ නවයෙන් පණ බේරා ගත්තා. මගේ පණ බේරී ටික වෙලාවකින් මුදියන්සේ මහත්මයත් පණ බේරාගෙන එන හැටි මම දුටුවා. වැරදිලා හරි ගෝණිබිල්ලා සිරස් අතට ඔළුව වැනුවා නම් මහා දැනුම් පද්ධතියක් හිමි මහාචාර්යවරයෙක්, විද්වතෙක් මේ රටට අහිමි වෙනවා වගේම ‘මගේ ජීවිතය’ ගැන ලියන්නට කුමාර තිරිමාදුර කෙනෙකුත් අද ජීවතුන් අතර නොසිටින්නට තිබුණා.


කුමාර තිරිමාදුර