සමන්තාගේ අනාගතය ගණිකා වෘත්තියෙන් ඔබ්බට…

atigala
අාටිගල ජනතාවට ලැබුණු දෙසිය පනහේ වන්දිය
January 23, 2018
thissamaharama
තිස්සමහාරාමයේ ආදර්ශය
January 23, 2018
Show all

සමන්තාගේ අනාගතය ගණිකා වෘත්තියෙන් ඔබ්බට…

රොබෝ තාක්ෂණයෙන් නිපදවා ඇති ‘සොෆියා’ නමැති රොබෝ කාන්තාව ඔක්තෝබර් 11 වැනි දින එක්සත් ජාතීන්ගේ සම්මේලන සැසිවාරයක් ඇමතීමෙන් පසු ලොව පුරාම ප්‍රසිද්ධියට පත් විය. ඉන් පසු ඔක්තෝබර් 25 වැනි දින සවුදි අරාබියේ රියාද් නුවර දී පැවැත් වූ ‘අනාගත ආයෝජන පිළිබඳ සමුළුව’ අමතා කතා කළ ඇයට සවුදි රජය විසින් සවුදි අරාබියේ පුරවැසිකම පිරිනමා ඇත. රටක පුරවැසිභාවය ලබා ගත් ප්‍රථම රොබෝ කාන්තාව ලෙස ඇය ඉතිහාසගත වනු ඇත. මෙම පුරවැසිභාවයේ විශේෂත්වයක් නම් වෙනත් රටක පුරවැසියකුට හෝ වෙනත් රටවැසියෙකු සමඟ විවාහ වූ සවුදි පුරවැසියෙකුගේ දරුවෙකුට හෝ සවුදි පුරවැසි බව ලබා ගත නොහැකි වීමය. මෙම සිදුවීම නිසා අනාගතයේ දී රොබෝවරුන්ට මිනිසුන්ට හිමි සියලූම අයිතිවාසිකම් ලැබේ ද යන්න ගැන බොහෝ අය අතර සාකච්ඡා පවතී. යුරෝපා පාර්ලිමේන්තුව ද රොබෝවරුන්ගේ අනාගතය ගැන සාකච්ඡා කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කළ සොෆියා නිෂ්පාදනය කළ ‘හැන්සන් රොබොටික්ස්’ නමැති සමාගමේ ප්‍රධාන විද්‍යාඥයා වන ඛෙන් ගෝට්සල් (Ben Goertzel) ප්‍රකාශ කර ඇත්තේ සොෆියාගේ බුද්ධිය ගැන කරන ප්‍රකාශනවල ඇයට මනුෂ්‍යයෙකු තරම් බුද්ධියක් ඇතැයි සඳහන් වීම අතිශයෝක්තියක් බවත්, සිනහ වන රොබෝ මුහුණක් දැකීමෙන් බොහෝ අය එසේ සිතන බවත්ය. එහෙත්, අනාගතයේදී ඊට වඩා මනුෂ්‍ය හැකියාවන් ඇති රොබෝවරුන් ද, හැඟීම් ඇති රොබෝවරුන් ද නිපදවනු ඇතැයි සිතිය හැකිය.
දැනට නිපදවා ඇති රොබෝ යන්ත්‍ර සහ රොබෝවරුන් විවිධ කාර්යන් සඳහා බොහෝ රටවල භාවිත කරන අතර, සමහර සංකීර්ණ කාර්යයන් සඳහාත් යොදාගෙන ඇත. එවැනි සංකීර්ණ විශේෂ කාර්යයන් කීපයක් සඳහා භාවිත කරන රොබෝ යන්ත්‍ර මෙසේය:
1. බාබර් සාප්පුවල හිසට සත්කාර කරන රොබෝ යන්ත්‍රය
මෙම යන්ත්‍රයේ අඩංගු පුටුවෙහි වාඩි වූ විට මුලින් මෙම යන්ත්‍රය මගින් හිස පරීක‍ෂාවකට ලක් කර එහි නියම හැඩය සොයා ගනු ලැබේ. ඉන් අනතුරුව රොබෝ ඇඟිලි ෂැම්පු සහ ජලය එකතු කර රොබෝ ඇඟිලි 16 කින් හිස සම්බාහනය කර පිරිසිදු කෙරේ. ඊළඟට ජලයෙන් සෝදා නැවත සම්බාහනය කර වායු ධාරාවක් මගින් වියළීම සිදු කෙරේ. මෙම රොබෝ යන්ත්‍රය ජපානයේ භාවිත වේ.
2. ගොඩනැගිලි තනන රොබෝ ගුවන් යානා
ස්විට්සර්ලන්තයේ සාදා ඇති ක්වොඩ්රොකොප්ටර් (Qudrocopter) වර්ගයේ ගුවන් යානයට ගඩොල් ගෙනැවිත් ගොඩනැගිලි සෑදීමට ඒවා නිවැරදිව තැබිය හැකිය. යානා කීපයක් යොදන විට ද ඒවා එකිනෙක හා නොගැටී උපදෙස් දුන් පරිදි ගොඩනැගිල්ල තනනු ලැබේ.
3. රෝගීන් උස්සා වෙන තැනකට රැගෙන යන රොබෝ යන්ත්‍ර
මෙම යන්ත්‍රය සෙල්ලම් වලසකුගේ ස්වරූපයෙන් මෘදු මතුපිටකින් යුක්තව තනා ඇත. රෝගියෙකු බිම වැටී සිටින විට ද රොබෝට මෘදු අත්වලින් රෝගියා ඔසවා ගෙන ඇඳක හෝ රෝද පුටුවක තැබිය හැකිය.
4. නින්දේදී වන අපහසුතා වළක්වන රොබෝ කොට්ටය
මෙය සෙල්ලම් වළසකු සේ නිපදවා ඇත. එය මත හිස තබා නිඳන විට නින්දේ දී හුස්ම ගැනීමේ අපහසුතා හෝ නිඳන පුද්ගලයාගේ ඔක්සිජන් මට්ටම අඩු වීම හෝ සිදු වුවහොත්, මෙම රොබෝ කොට්ටයේ මෘදු අතකින් මුහුණට තට්ටු කර නිඳන අයගේ ඉරියව්ව වෙනස් කරවයි.
5. මිනිස් සිරුරට සමාන හැඩයෙන් යුක්ත ‘සොෆියා’ වැනි මුහුණෙන් හැඟීම් දැක්විය හැකි රොබෝ කාන්තාවන් ලිංගික කාර්යයන් සඳහා ද රටවල් කීපයක නිපදවා ඇත. ‘සමන්තා’ වශයෙන් නම් කරන ලද රොබෝ කාන්තාවක ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරයේ ආචාර්ය සර්ගි සන්තොස් (Dr. Sergi Santos) විසින් නිපදවා ඇත. මෙම රොබෝ කාන්තාවට පවුලේ අයකු සේ හැසිරීමට ද, විනෝදය සැපයීමට ද, යමක් විශ්ලේෂණය කිරීමට ද, නිදා ගැනීමට ද, ලිංගික සේවා සැපයීමට ද හැකිය. ඇමෙරිකානු ඩොලර් 3,300 කට මෙම රොබෝව මිල දී ගත හැකිය. ජපානය ද ලිංගික රොබෝ කාන්තාවන් නිපදවීම ආරම්භ කර ඇති අතර, දැනට වසරකට මෙම රොබෝ කාන්තාවන් දාහක් පමණ අලෙවි කරයි. මෙම කර්මාන්තය ගණිකා වෘත්තියට අභියෝගයක් වී ඇති අතර, ලිංගික රෝග වැළඳීම වැළැක්වෙන නිසා මෙය වඩා ව්‍යාප්තවේ යයි සැලකේ.
6. රිය ධාවනය කරන රොබෝවරුන්
දුම්රිය ධාවනය සඳහා රියදුරුට කිරීමට ඇත්තේ කාර්යයන් කීපයක් පමණි. එහෙත්, බොහෝ විට රියදුරු වැඩ වර්ජන නිසා මගීන් මහත් අපහසුතාවට පත් වන අවස්ථා ඇත. මේ නිසා දුම්රිය ධාවනයට රොබෝවරුන් යෙදවීම ගැන රටවල් කීපයකම අවධානය යොමු කර ඇත.
7. මෝටර් කාර් ධාවනය කිරීම සඳහා රොබෝ යන්ත්‍ර
මෙම මෝටර් රථ ස්වයං ධාවනය කළ හැකි සේ නිපදවා ඇත. ගූගල් සමාගම මගින් නිපදවා ඇති මේ මෝටර් රථ ඇමෙරිකාවේ ප්‍රාන්ත කීපයකම ධාවනය වේ.
8. හෙදි කාර්යයන් කරන රොබෝවරුන්
ඇමෙරිකාවේ ආරෝග්‍ය ශාලාවල රෝගීන්ගේ කෑම ගෙන යාමට ද, ලිපි ද්‍රව්‍ය ගෙන යාමට ද, ඇඳ ඇතිරිලි ආදිය ඛෙදා දීමට ද, අපද්‍රව්‍ය, ඖෂධ වැනි දේ ගෙන යාමට ද අවුරුදු ගණනක සිටම රොබෝවරුන් යොදාගෙන ඇත. මෙය ආර්ථීක වශයෙන් වාසිදායක වන්නේ ඉහළ වැටුප් ගෙවන රටවලය.
9. අභ්‍යවකාශ ගවේෂණය සඳහා රොබෝවරුන් යෙදීම
අභ්‍යවකාශ තරණය සඳහා මනුෂ්‍යයන්ගේ බර වැඩි වීම නිසාත්, ඒ සමගම ගෙන යා යුතු ආහාර සහ ඔක්සිජන් ප්‍රමාණය විශාල වන නිසාත් චන්ද්‍රයාගෙන් ඈතට කෙරෙන අභ්‍යාවකාශ ගවේෂණ සඳහා දැනටමත් රොබෝ යන්ත්‍ර භාවිත වේ.
10. ගුරුවරුන් සහ කථීකාචාර්යවරුන් ලෙස රොබෝවරුන් යෙදීම
ප්‍රාථමික පාසල්වලට ගොස් සමහර විෂයයන් ඉගැන්වීමට බ්‍රිතාන්‍යය රොබෝවරුන් යොදා ඇත.
11. ඖෂධවේදීන් ලෙස කි්‍රයා කරන රොබෝ යන්ත්‍ර
බ්‍රිතානයේ විවිධ ස්ථානවලින් ඖෂධ පැකට් තෝරා ගෙන ඖෂධවේදියෙකු වෙත පටියක් මගින් යවන රොබෝ යන්ත්‍ර භාවිත වේ.
12. ආරක්ෂක නිලධාරීන් ලෙස කි්‍රයා කරන රොබෝවරුන්
ගබඩා සහ කර්මාන්ත ශාලාවල ආරක්ෂකයන් අනතුරුවලට මුහුණ පෑමට ඇති ඉඩකඩ නිසා ආරක්ෂක රොබෝවරුන් මෙම ස්ථානවල යොදා ඇත.
13. ගුවන් නියමුවන් ලෙස රොබෝ යන්ත්‍ර යෙදීම
දැන් ලොව නිපදවන මගී ගුවන් යානා දැන් බොහෝ දුරට කාර්මික දෝෂවලින් තොරය. දැනට සිදු වන ගුවන් අනතුරු සිදු වන්නේ මිනිසුන් අතින් සිදු වන වැරදි නිසාය. එහෙත්, දැනට සම්පූර්ණ ගුවන් යානා පාලනය රොබෝවරුන්ට සහ පරිගණකවලට දීම ගැන මගීන් අකමැති වේ. එහෙත්, තව අවුරුදු දහයකින් පමණ ගුවන් යානා මුළුමනින්ම රොබෝ යන්ත්‍ර මගින් කෙරෙනු ඇත. එවිට ද ගුවන් යානයේ නියමුවකු වාඩි කෙරෙනු ඇත.
14. ශල්‍යකර්ම සඳහා රොබෝවරුන් යොදා ගැනීම.
සමහර ඉතා සූක්ෂ්ම ශල්‍යකර්ම සඳහා දැනටමත් බොහෝ රටවල රොබෝවරු යොදා ගැනේ. අනාගතයේ දී මනුෂ්‍ය හැඟීම් ඇති රොබෝවරුන් ද චිත්තවේගී බුද්ධිය (Emotional Intelligence) ඇති රොබෝවරුන් ද නිපදවනු ඇත. මිනිසාට බොහෝ ප්‍රයෝජනවත් සහායකයකු ලෙස රොබෝවරුන් ක්‍රියා කරනු ඇත. එහෙත් දරුණු පාලකයන්ගේ අතට රොබෝ තාක්ෂණය ලැබුණහොත්, මිනිස් පරපුර විනාශ කරන රොබෝ යුද්ධ භටයන් නිර්මාණය වීමට ද පුළුවන.


ඒ. ඩී. ගුණසේකර
හිටපු අධ්‍යක්ෂ
පශ්චාත් උපාධි ගුරු අධ්‍යාපන
දෙපාර්තමේන්තුව
ජාතික අධ්‍යාපන ආයතනය