සිරියාවෙන් නික්ම ගිය රුසියාව

akila cartoon
ගරු ඇමතිතුමා වෙතටයි…
January 23, 2018
Anura-Kumara-Dissanayake-640x415
හොරුන්, දාමරිකයන් වෙනුවට සැබෑ ජනතා දූ පුතුන් පත්විය යුතුයි… (ජවිපෙ නායක අනුර දිසානායක)
January 23, 2018
Show all

සිරියාවෙන් නික්ම ගිය රුසියාව

1058086986

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සිරියාවෙන් සිය හමුදා ඉවත් කරගන්නා බව ප්‍රකාශ කිරීම පසුගිය දින වන විදෙස් මාධ්‍ය වල වැඩි අවධානයක් දිනා ගත් පුවතක් බවට පත් විය. මේ පිළිබඳ බටහිර මාධ්‍ය කතා කළේ විමතියෙනි. එහෙත් මුල් පෙළේ මාධ්‍ය ගණනාවක් වාර්තා කළ පරිදි රුසියාව සිය සිරියානු මෙහෙවර සපුරා ඇත. එසේම අවශ්‍යතාව මත ඕනෑම මොහොතක යළි සිය හමුදා එහි යැවීමට ඇති හැකියාව ගැන ද රුසියාව අවධාරණය කර තිබේ.
මේ වන විට සිරියාවේ මෙහෙයුම්වල නිරත භට පිරිස් ඉවත් කර ගැනීමට රුසියාව පියවරගෙන ඇත. කොපමණ සෙබළුන් සංඛ්‍යාවක් හා අවි ආයුධ ප්‍රමාණයක් ඉන් ඉවත් කරගනු ඇති දැයි තවමත් පැහැදිලි ලෙස වාර්තා නොවේ. සිය හමුදා ඉවත්කරගනු ලැබුවද අවි ආයුධ සහ මූල්‍යමය ආධාර අසාද් පාලනයට ලබාදීමට රුසියාව තවදුරටත් ක්‍රියාකරනු ඇත. අවශ්‍ය ඕනෑම මොහොතක ගුවන් ප්‍රහාර යළි ආරම්භ කිරීමේ හැකියාවද රුසියාව සතුය.
සිරියාවේ සාම සාකච්ඡා ආරම්භවීමත් සමඟ රුසියාව විසින් ගනු ලැබූ මෙම තීරණය ඊට දිරිදීමක් බව ඇතැම් විශ්ලේෂකයන්ගේ මතයයි. සිරියානු අර්බුදයට විසඳුමක් සෙවීම සඳහා ඇති කර ගත් සටන් විරාමයට දෙසතියක් ගතවෙද්දී සාකච්ඡාමය ක්‍රියාදාමයක් ඇරඹුණේ ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදීය. සිරියානු අර්බුදයට සම්බන්ධ සෑම පාර්ශ්වයක්ම ඊට සහභාගි වී සිටිති. මෙම සාකච්ඡා ආරම්භ වන විට ජනාධිපති බෂීර් අල් අසාද්ගේ පාලනය පෙරළා දැමීම සඳහා එක්සත් ජනපදයේ අනුග්‍රහය සහිතව අයි.එස්. ත්‍රස්තවාදීන් ඇතුළු සන්නද්ධ කණ්ඩායම් ගැටුම් අරඹා පස් වසරක් සම්පූර්ණ වී තිබේ.
මේ සාම ප්‍රයත්නයේ ප්‍රධාන කාරණයක් බවට පත් වී තිබෙන්නේ ත්‍රස්තවාදීන් සම්බන්ධ ගැටලුවයි. ත්‍රස්තවාදීන් කවුද? ත්‍රස්තවාදීන් නොවන්නේ කවුද? යන ප්‍රශ්නයක් වී තිබේ. ජබාත් අල් නුස්රා හා අයි. එස්. කණ්ඩායම් ත්‍රස්තවාදීන් ලෙස පිළිගැනෙන අතර ඔවුහු මේ සාකච්ඡාවල සහභාගි නොවෙති. එහෙත් අසාද් පාලනයට විපක්ෂ වෙනත් කණ්ඩායම් 100 කට ආසන්න සංඛ්‍යාවක් මෙම සාකච්ඡා නියෝජනය කරයි. මේ නිසා සාකච්ඡා වලදී එම ප්‍රතිවිරෝධයන් ප්‍රධාන ගැටලුවක් බවට පත් වී ඇත.
සියල්ල අවසන් වී සාමකාමී තත්ත්වයක් නිර්මාණය වී නොමැති නිසා රුසියානු හමුදා සිරියාවෙන් ඉවත්කරගනු ලැබුණද ටාටුස්හි පිහිටි නාවික කඳවුරද කමෙයිවිව්හි පිහිටි ගුවන් කඳවුරද ඉවත්කර නොගන්නා බව ජනාධිපති පුටින් පවසා තිබිණි. විශේෂයෙන් සිරියාව ගුවනින් හා මුහුදෙන් ආරක්ෂා කිරීම සඳහා ඒවා එහි තිබිය යුතු බව රුසියාවේ මතයයි.
රුසියාව සිරියාවේ අයි.එස්. ඉලක්කවලට ගුවන් ප්‍රහාර එල්ල කිරීම ඇරඹුවේ අයි. එස්. ත්‍රස්තවාදීන්ගේ තර්ජනය ඉතා බිහිසුණු ලෙස දැනෙමින් තිබියදීය. අයි.එස්. සංවිධානය දුබල කිරීමට තරම් එම ගුවන් ප්‍රහාර හේතු වූ බව පෙනෙන්නට තිබිණි. රුසියානු විරෝධී කොටස් එම ගුවන් ප්‍රහාර ඉලක්කවලට පතිත නොවන බව සහ ඒවායින් සිවිල් වැසියන් මියයන බව කියා සිටියද රුසියාව දැඩිව කියා සිටියේ තම ප්‍රහාර මුළුමනින්ම සාර්ථක වූ බවය. සිරියාවේ සිදුකළ මෙහෙයුම්වලදී ත්‍රස්තවාදීන් 2,000 කට අධික පිරිසක් මරා දැමීමටද රුසියාවට හැකිවිය. ඒ අතර ත්‍රස්ත නායකයන් දොළොස් දෙනකුද සිටින බව පැවසේ.
කෙසේ වෙතත් රුසියාව සිරියාවේ ගැටුම් වලට මැදිහත් වීම සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය සිටියේ ප්‍රතිවිරුද්ධ අදහසකය. ඒ නිසාම මතුපිටින් සිරියානු යුද්ධයේදී අයි.එස්. ත්‍රස්තවාදීන්ට විරුද්ධව කටයුතු කරන බව පෙන්වුවද හොර රහසේ ඔවුන්ට උදව් කළ බවටද තොරතුරු තිබේ. සිරියාවේ මිලිටරි ක්‍රියාන්විතයන් මුල්කරගෙන එක්සත් ජනපදය හා රුසියාව අතර හුවමාරු වන චෝදනා හා ප්‍රති චෝදනා මධ්‍යයේ, පසුගිය මාසයේදී තුර්කියට එකතු වූ සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී හමුදාවේ හිටපු නිල ප්‍රකාශක ටලාල් සිලෝ රොයිටර් ප්‍රවෘත්ති සේවය වෙත පැවසුවේ, ඔක්තෝබරයේ දී වටලන ලද ‘රකා’හි කොටුවී සිටි දහස් ගණනක් අයි.එස්. භටයන් ඉවත්කර ගැනීමට ඇමෙරිකාව එකඟ වූ බවය. 4,000 ක් පමණ බස් රථ වලට පටවා නගරයෙන් ඉවත් කළ අතර ඉන් 500 ක් අයි.එස්. ත්‍රස්තවාදීන් බව ඔහු පැවසීය.
මෙම ඉවත් කිරීමට සහභාගී වූ අයෙකුගෙන් ලැබුණු තොරතුරු ගෙනහැර දක්වමින් ඔහු කියා සිටියේ, අවි ආයුධ විශාල ප්‍රමාණයක් ද සහිතව අයි.එස් සාමාජිකයන් ප්‍රවාහනය කළ ට්‍රක් රථ 50, බස් 13, හා අයි.එස්. රථ 100 සැතපුම් හතරක් දුරට පැතිර තිබුණ බවයි. රකාහි දරුණු සටන් පවතින බවට පෙන්ටගනය හා එහි කුලී හමුදාවන් කළ ප්‍රකාශ, අයි.එස් ත්‍රස්තවාදීන් ඉවත්ව යන කාලය තුළ නගරයට මාධ්‍යවේදීන් ඇතුලුවීම වැලැක්වීමට යොදාගත් රඟපෑම් පමණක් බව සිලෝ විසින් මාධ්‍ය වෙත පැවසීය.
කෙසේ වෙතත් වර්තමානයේ රුසියාව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ද බටහිර රාජ්‍ය තාන්ත්‍රික අංශ බලන්නේ සැක මුසුවය. එය අනපේක්ෂිතව මතු වූ අස්ථාවර පියවරක් වියහැකි බව ඔවුන්ගේ මතයයි. එහෙත් රුසියානු ජනාධිපතිවරයා සිය රාජ්‍යතාන්ත්‍රික අංශ වෙත නියෝග කර ඇත්තේ සිරියාවේ සිවිල් යුද ගැටුමට විසඳුමක් සෙවීම සඳහා ප්‍රයත්න දරන ලෙසය.
මේ වන විට වසර 5 ක් තිස්සේ ඇදෙමින් ගිය ගැටුම් හේතුවෙන් 250,000 කට වැඩි ජීවිත සංඛ්‍යාවක් අහිමි විය. එරට ජනගහනයෙන් හරි අඩක් පමණ අවතැන්වූවන් බවට පත්වූහ. අමෙරිකාව සහ බටහිර රටවලද, අයි. එස්. ත්‍රස්තවාදීන්ගේද ප්‍රයත්නය සිරියාවේ අසාද් පාලනය නිමා කිරීමය. මේ ප්‍රශ්නයේ ආරම්භයද එතනයි. එහෙත් රුසියාව ඊට ඉඩ ලබාදීමට සූදානම් නැත. අසාද් විරෝධී කණ්ඩායම් රුසියානු ජනාධිපතිවරයා විසින් ගෙන ඇති මේ තීරණය දෙස බලන්නේද එම දෘෂ්ටි කෝණයෙනි. ඔවුන්ගේ වුවමනාව අසාද් පාලනය අවසන් කිරීමය. සිරියානු රජයේ ස්ථාවරය වී ඇත්තේ ජනාධිපතිධුරය පිළිබඳ කිසිදු පාර්ශවයක් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් නැති බවය. එහිදී ජනාධිපති අසාද් රතු ඉර ඇඳ ඇති බව සිරියානු විදේශ ඇමැති වලීඩ් මුආලෙම් පවසා තිබිණි.
විපක්ෂ කණ්ඩායම්වලට අවශ්‍ය වී ඇත්තේ ජනාධිපති අසාද්ගෙන් තොර දේශපාලන පරිවර්තනයකි. රුසියානු ජනාධිපතිවරයාගේ තීරණයත් සමඟ සිරියානු ජනාධිපති අසාද්ට බලය අත්හැරීම සඳහා පෙළඹවීමක් සිදුකරනු ඇතැයි ඇතැම් බටහිර තානාපති අංශ විශ්වාසය පළකරයි. සාකච්ඡාමය ක්‍රියාවලිය අතරතුර ගාඩියන් පුවත්පතට අදහස් දැක්වු ජ්‍යෙෂ්ඨ තානාපති නිලධාරියකු පවසා සිටියේ ජනාධිපති අසාද්ට අනාගත ව්‍යවස්ථාව කෙසේවේ දැයි මැදිහත් විය හැකි වුවද ඉවත්වීම හැර විකල්පයක් ඔහුට නැති බවයි. එසේ නොවුණහොත් මෙය ජය පැරදුමෙන් තොර සටනක් වනු ඇතැයිද ඔහු පෙන්වා දී තිබිණි. මේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ සිරියාවේ දේශපාලනය පිළිබඳ බටහිර වුවමනාවය. සිරියානු අර්බුදයේ දී රුසියාවේ මැදිහත්වීම විසින් රුසියාව යළිත් ලෝක බලවතකුගේ භූමිකාවට පණපොවමින් ඇති බව පැහැදිලිව ලොවට ප්‍රකාශ කරමින් සිටින මොහොතක එය එලෙසම සිදුවීමට රුසියාව ඉඩහරිනු ඇතැයි සිතීම ප්‍රායෝගික නැත.


ධනංජය සූරියබණ්ඩාර