සිලෝන් ටී බීට්ල් ටී වීම දක්වා…

මෙරට තේ වගාව ව්‍යාප්ත වීම ආරම්භ වනුයේ, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට යටත් වීමත් සමගය. එතැන් සිට ඔවුන් විසින් එම වගාව රට තුළ ව්‍යාප්ත කිරීම වෙනුවෙන් සියලු මැදිහත් වීම් කරන ලද අතර, මහා මාර්ග හා දුම්රිය මාර්ග ආදී යටිතල පහසුකම් මෙරට තුළ සංවර්ධනය කරනු ලැබුවේ ද තේ නිෂ්පාදන ප්‍රවාහනය ඉලක්ක කර ගනිමින්ය.
එයින් අනතුරුව 1948 දී ලද නිදහසින් පසුව ද මෙරට ප්‍රධාන ආර්ථීක භෝග වශයෙන් හැඳින්වුණු තේ, රබර්, පොල් යන ආර්ථීක භෝග අතුරින් ලාංකීය තේ සඳහා ලෝක වෙළෙඳපොළෙහි හිමිව තිබෙන ස්ථානය ප්‍රමුඛ ස්ථානයක් ගනු ලැබීය.
යුරෝපය හා මැදපෙරදිග ඇතුළු ලෝකයේ රටවල් ගණනාවකම ‘සිලෝන් ටී’ නාමය ඉමහත් කීර්තියක් උසුලනුයේ, මෙයට වසර 150 කට ඉහත කාලයක සිටය.
බ්‍රිතාන්‍ය යටත්විජිතවාදීන් විසින් මෙරට මධ්‍ය කඳුකරය තේ වගාව සඳහා යොදා ගනු ලැබුව ද, පසුකාලීනව එය මැද රට එනම්, රත්නපුර, කලවාන ආදී ප්‍රදේශ දක්වා ද, එයින් අනතුරුව පහත රට වශයෙන් හඳුන්වනු ලබන දෙනියාය, ගාල්ල, මාතර දක්වා ද ව්‍යාප්ත විණි.
වර්තමානය වන විට උඩරට මහා පරිමාණ තේ වතු අභිබවමින්, ලාංකීය තේ නිෂ්පාදනයෙහි වැඩි කොටසක් නියෝජනයක් කරනුයේ, මැද රට සහ පහත රට කුඩා පරිමාණ තේ වතු හිමියන් විසින් වන අතර, එය සමස්ත ලාංකීය තේ නිෂ්පාදනයෙන් සියයට 70 ක ප්‍රතිශතයක් අත් කර ගනු ලබන්නේය.
එසේ වුවද, කර්මාන්තයක් වශයෙන් මෙරට තේ කර්මාන්තය මේ වන විට අර්බුද රැසකට මුහුණ දෙමින් සිටින අතර, ඇතැම් කුඩා තේ වතු හිමියන් සිය වගා කටයුතු අත්හැර දමන තත්ත්වයට පත් වන තරමට ඔවුන් මුහුණ දෙන අර්බුදය තීව්‍ර වෙමින් තිබේ. එහිදී කර්මාන්තයක් වශයෙන් පවත්වාගෙන යාම සඳහා තේ වගාකරුවනට ලැඛෙන රාජ්‍ය අනුග්‍රහය ප්‍රමාණවත් නොවීමත්, සහනාධාර නොලැබීම හා නිෂ්පාදන සඳහා පවතින වෙළෙඳපොළ තත්ත්වයන් ද මෙයට හේතු වී තිබේ.
අර්බුදකාරී තත්ත්වයන් යටතේ වුවද, මෙරට තේ සඳහා වන විදේශයන්හි පිළිගැනීම යම්තාක් දුරකට රැක ගැනීමට හැකි වී ඇතත්, විටින් විට ඇති වන තත්ත්වයන් එයට බලපෑම් ඇති නොකරනවා ද නොවේ.
ශ්‍රී ලංකාව වාණිජ තේ කර්මාන්තයේ වසර 150 ක කාලයක් නියැළීමේ සංවත්සරය ආණ්ඩුව විසින් පසුගිය දිනෙක උත්සවාකාරයෙන් සැමරීමට කටයුතු කර කෙටි කලකින්ම වසර 150 ක් පුරා මෙරට ප්‍රධාන තේ ගැනුම්කරුවා වන රුසියාව විසින් මෙරට තේ මිල දී ගැනීම ප්‍රතික්ෂේප කරනු ලැබීය. ලෝකයේ ප්‍රධානතම කළු තේ නිෂ්පාදකයා වශයෙන් ‘සිලෝන් ටී’ නම ප්‍රචලිත වීමට හේතු වී ඇත්තේ, මෙරට තුළ පවතින දේශගුණික විවිධත්වය මෙන්ම පසෙහි ඇති පී.එච්. අගය, වාතයේ ආර්ද්‍රතාවය, සුළඟ වැනි කාරණාවන් හේතුවෙන්ය. ඉහත කාරණාවන් තේ වගාවෙහි ගුණාත්මක භාවය සහ රස කෙරෙහි දැඩි බලපෑමක් කරනු ලබන අතර, මෙරට පවතින පාරිසරික විවිධත්වය අනුව රසයෙන් එකිනෙකට වෙනස් තේ නිෂ්පාදන 14ක් වැනි ප්‍රමාණයක් වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමේ හැකියාව මේ අනුව අපට හිමිව තිබේ.
ඒ හේතුවෙන්ම ලොව පුරා රටවල් 144 ක් වැනි විශාල සංඛ්‍යාවකට මෙරට තේ නිෂ්පාදන අලෙවි කිරීමේ හැකියාවක් අප හමුවෙහි නිර්මාණය වී තිබේ. එයින් ලාංකීය සමස්ත තේ නිෂ්පාදනයෙන් සියයට 23 ක ප්‍රතිශතයක් එනම්, හතරෙන් තුනකට ආසන්න ප්‍රමාණයක් මිල දී ගනු ලැබුවේ මෙරට කළු තේවලට ඉමහත් කැමැත්තක් දක්වනු ලබන රුසියානුවන් විසිනි.
එවන් තත්ත්වයක් යටතේ දී පසුගිය දිනෙක රුසියාව විසින් ‘සිලෝන් බ්ලැක් ටී’ තහනම් කිරීමත් සමඟ ලක්ෂ පහක් වැනි කුඩා තේවතු හිමියන්ගේ ආර්ථීකයටත්, තේ කර්මාන්තයටත් එල්ල වන බලපෑම සුළු කොට තැකිය නොහැකිය. එමෙන්ම තේ කර්මාන්තය ආශ්‍රයෙන් සෘජු හා වක්‍ර රැකියා මත යැපෙන පිරිස ලක්ෂ 25 ත් 30 ත් අතර ප්‍රමාණයක් වන අතර, ඔවුන්ගේ ආර්ථීකයට මෙම තහනම මගින් ඇති කරනු ලබන බලපෑම නොතකා හැරිය නොහැකිය.
වර්තමානය වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තේ පානය ආහාරයක් වශයෙන් ද නම් කර ඇති අතර, ඒ සඳහා එච්.එස්.සී.සී.පී. (H.H.C.C.P.) ප්‍රමිතියට තේ සකස් කළ යුතු වුවද, මෙරට තුළ එම ප්‍රමිතිය ඇත්තේ, පෞද්ගලික තේ කර්මාන්ත ශාලා කීපයක පමණි. එහිදී රාජ්‍ය මැදිහත් වීම පවතිනුයේ ඉතාමත් දුර්වල හා අවම මට්ටමකය.
රුසියාව විසින් මෙරට තේ නිෂ්පාදන ප්‍රතික්ෂේප කිරීමට මූලික හේතුව වී ඇත්තේ, මෙරටින් යවන ලද තේ ඇසුරුමක ‘කප්රා බීට්ල්’ නම් කුරුමිණි කීටයකු හමු වීමය. මේ එවැනි සිදුවීමක් සිදු වූ පළමු අවස්ථාව ද නොවේ. මෙයට පෙර ද රුසියාවට අපනයනය කරන ලද තේ ඇසුරුම්වල සිට කැරපොත්තකු මෙන්ම කාන්තාවකගේ කරාබු කොටසක් හා මාලයක කොටසක් හමු වී ඇත ද, එහිදී රුසියාව විසින් ඒ පිළිබඳව කටයුතු කර ඇත්තේ ද දැඩි පිළිවෙතක සිට නොවේ. එමෙන්ම රුසියාවට යවන ලද තේ තොග වශයෙන් පුස් බැඳී තිබුණු අවස්ථා පිළිබඳව ද මේ අතර වාර්තා වේ.
මෙවැනි තත්ත්වයනට ප්‍රධාන වශයෙන්ම වගකිව යුතු වන්නේ ශ්‍රී ලංකා තේ මණ්ඩලයය. තේ සඳහා වෙළෙඳපොළ සොයා ගැනීම මෙන් ම මෙරට තේ නිෂ්පාදනයන්හි ප්‍රමිතිය පිළිබඳව සැලකිලිමත් වීම තේ කර්මාන්තයට අදාළව නිර්මාණය වන නීති විරෝධී තත්ත්වයන් පිළිබඳව කරුණු සෙවීම ආදී වගකීම් රැසක් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට අයත් වන ශ්‍රී ලංකා තේ මණ්ඩලයට පැවරී තිබේ.
මෙරටින් අපනයනය කරනු ලබන සෑම තේ කිලෝවකිින්ම අය කරනු ලබන සියයට 13.5 ක සෙස් බද්දෙන් මෙම ආයතන නඩත්තු කිරීමට මුල දී කටයුතු සලස්වා තිබූ නමුදු, මේ වන විට එම තත්ත්වය මුළුමනින්ම වෙනස් වී තිබේ.
එයට අමතරව මෙරට තේ නිෂ්පාදන සමඟ කසළ තේ මිශ්‍ර කිරීමේ ජාවාරම් බහුල වශයෙන් ක්‍රියාත්මක වන බවට මෙයට පෙර අවස්ථා ගණනාවක දී තොරතුරු හෙළිදරවු වී තිබේ. ලෝකය පුරා ‘සිලෝන් ටී’ නම් සන්නාමයට ඇති පිළිගැනීම සහ විශ්වාසය මෙන්ම ලෝක වෙළෙඳපොළෙහි ඇති ඉල්ලු හේතුවෙන් ඇති වී තිබෙන ඉහළ මිල මෙම ජාවාරම්කරුවන්ට ‘සිලෝන් ටී’ නාමය භාවිත කිරීමට පෙළඹවීමක් ඇති කරන්නක් වී තිබේ. ඒ අනුව වෙනත් රටවලින් ගෙන්වනු ලබන බාල තේ වර්ග මෙරට තේ හා මිශ්‍ර කර ප්‍රතිඅපනයනය කිරීමේ මධ්‍යස්ථානයක් වශයෙන් ශ්‍රී ලංකාව භාවිත කිරීමට මෙරට සහ පිටරට ජාවාරම්කරුවන් ක්‍රියාත්මක වනු දැකිය හැකිය.
එමෙන්ම මෙරට රාජ්‍ය නායකයන් ද ඒ සඳහා පූර්ණ අනුග්‍රහය සහ අනුමැතිය ලබා දුන් අවස්ථා ඉතිහාසය පිරික්සීමේ දී සොයා ගත හැකිය.
ඒ අනුව අප රට තේ නිෂ්පාදනය කරන රටක් ලෙස නොව වෙනත් රටවලින් ආනයනය කරන ලද තේ අගය එකතු කර ප්‍රතිඅපනයනය කරනු ලබන හුවමාරු මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට කටයුතු කර ඇති අවස්ථා ද හමු වේ. රජය මැදිහත් විය යුත්තේ, මෙරට තේ නිෂ්පාදන සඳහා අගය එකතු කර රසයෙන් හා ගුණාත්මක භාවයෙන් වැඩිදියුණු කර අපනයනය කිරීම වෙනුවෙන් වුවද, සිදු වෙමින් පවතිනුයේ, එය නොවේ.
දැනට මෙරට එම කාර්යයෙහි නිරත වනුයේ, මෙරට තේ කර්මාන්තයේ නියැළෙන පෞද්ගලික සමාගම් කීපයක් පමණි. මෙම ආයතන නියාමනය කිරීමට හෝ රජය ප්‍රමාණවත් පරිදි මැදිහත් වනවා ද යන්න සැකසහිතය. ඒ අනුව අපගේ තේ කර්මාන්තය මේ වන විට රැඳී පවතින්නේ පෞද්ගලික සමාගම්, වෙන්දේසිකරුවන් වැනි බාහිර පුද්ගලයන් අත වන අතර, තේ කර්මාන්තය මෙවැනි අනතුරුදායක තත්ත්වයන්වලට පත් කිරීමේ වගකීම රජය විසින් භාර ගත යුතු වනුයේ, එබැවිනි.
වසර 150 ක් ඉක්ම වී අප තවමත් ගත කරමින් සිටිනුයේ, තේ කර්මාන්තයේ ප්‍රාථමික අවධියේය. මේ වන විට ද, අප විසින් අපනයනය කරනුයේ, අමුද්‍රව්‍යයක් වශයෙන් තේ නිෂ්පාදන පමණකි. අගය එකතු කළ නිෂ්පාදන වශයෙන් විවිධ රසයන්, හැඩයන් එකතු කිරීම මෙන්ම තේ ආශ්‍රයෙන් නිෂ්පාදනය කළ හැකි බිස්කට්, යෝගට් වැනි නිෂ්පාදන සඳහා රජයේ අවධානය යොමු වී ඇත්තේම නැති තරම්ය. අවම වශයෙන් අප එවැනි ඉසවු වෙත අත පොවා හෝ නැති තරම්ය.
ඉහතින් සඳහන් කළ පරිදි අපනයනයේ දී අය කරනු ලබන සෙස් බද්ද ශ්‍රී ලංකා තේ මණ්ඩලය හා තේ පර්යේෂණ ආයතනය වැනි ආයතන වෙත ලබා දෙන අවධියෙහි එම ආයතන මනා ක්‍රියාකාරීත්වයකින් යුතුව කටයුතු කළ ද, එම මුදල එම ආයතනවලට අහිමි කිරීම හේතුවෙන් එහි සේවයේ නියුතු නිලධාරීන්ට වැටුප් ගෙවා ගැනීමට හෝ නොහැකි තත්ත්වයක් ද නිර්මාණය වී තිබේ. ඒ හේතුවෙන් මෙම කර්මාන්තය සඳහා ආයතනික වශයෙන් සිදු කළ හැකි මැදිහත් වීම්, පර්යේෂණ ආදී කටයුතු මේ වන විට මුළුමනින්ම අකර්මණ්‍ය වී තිබේ. එම ආයතනයන්හි සේවයේ නියුතුව සිටි විද්‍යාඥයන්, පර්යේෂකයන් මෙන්ම කර්මාන්තය පිළිබඳ ප්‍රාමාණික දැනුම ඇත්තන් බොහෝ දෙනෙකු මේ වන විට එම ආයතන හැර ගොස් හමාරය.
කුඩා තේ වතු සංවර්ධන මණ්ඩලයට ද අත් වී ඇති ඉරණම එයට කිසිසේත්ම වෙනස් නොවේ. තේ වගාවන් වෙත ගමන් කරන මාර්ග සකස් කිරීමේ සිට කල්පසු වූ තේ පඳුරු ගලවා නැවත තේ වගාවන් ස්ථාපිත කිරීමත්, තේ ගොවීන්ට අවශ්‍ය තාක්ෂණික දැනුම හා උපදෙස් ලබා දීමත් ආදී කාර්යයන් රැසක නිරත වූ කුඩා තේ වතු සංවර්ධන මණ්ඩලය මේ වන විට පවතිනුයේ, අකර්මණ්‍ය තත්ත්වයකිනි.
තේ මණ්ඩලයට අත් වී ඇති ඉරණම හේතුවෙන් මෙතෙක් ලොව පුරා පැවති තේ ප්‍රවර්ධන මධ්‍යස්ථාන බොහොමයක් මේ වන විට අකර්මණ්‍යව වසා දමා තිබේ. වර්තමානය වන විට ලාංකීය තේ කර්මාන්තය පවතිනුයේ, එවැනි තත්ත්වයන් තුළය. පවතින වටාපිටාව තුළ රුසියාව විසින් අනුගමනය කරන ලද පිළිවෙතට සමාන පිළිවෙතක් අපගේ තේ අපනයනය කරන අනෙකුත් රටවල් විසින් ද අනුගමනය කරන ලද හොත්, ලාංකීය තේ කර්මාන්තයට අත් වන ඉරණම පිළිබඳව විශේෂ පැහැදිලි කිරීමක් අවශ්‍ය වන්නේ නැත. ඒ අනුව එම රටවල් ද අපගේ නිෂ්පාදන ප්‍රතික්ෂේප කිරීමේ තත්ත්වයක් නිර්මාණය වීමේ අවකාශය මේ වන තෙක් ඇහිරී ඇත්තේ ද නැත. නුදුරෙහි රුසියාව විසින් සිය තහනම ඉවත් කර ගැනීමට කටයුතු කළ ද, නැවත නැවත ද මෙවැනි තත්ත්වයන් අප රට තුළ නිර්මාණය වීමේ අනතුර පමණක් නිරුපද්‍රිතව පවතින බව අවසාන වශයෙන් සඳහන් කළ හැකිය. ඒ අනුව මෙම කර්මාන්තය රැක ගැනීම වෙනුවෙන් තේ වගාකරුවන්ගේ මෙන්ම රජයෙහි පූර්ණ වගකීම්සහගත මැදිහත් වීමක අවශ්‍යතාවය අනිවාර්යය වී තිබේ.


ලාල් ප්‍රේමනාත්
සමස්ත ලංකා කුඩා තේවතු හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක