හුරේ… අපි දිනුවා…

tirimadura
මුදියන්සේ මහත්මයයි, මමයි ගෝණි බිල්ලාගෙන් බේරුණු හැටි
January 23, 2018
කාටූන් 220
2018/01/07
January 23, 2018
Show all

හුරේ… අපි දිනුවා…

sri lanka cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක්දින ජාත්‍යන්තර පිටියේ දී ලැබූ අඛණ්ඩ තරග පරාජයන්ට තිත තබමින්, පසුගිය දා ඉන්දියාව සමඟ ඉන්දියාවේ ධර්මසාලාහිදී පැවැති ප්‍රථම එක්දින තරගය ජය ගැනීමට සමත් විය. ඒ අඛණ්ඩ තරග 12ක පරාජයකින් පසුවය. මෙවර ශ්‍රී ලංකාව සමඟ පවත්වන එක්දින තරගාවලියේදී ඉන්දියානු කණ්ඩායමේ නායක විරාට් කෝලිව විවේකගන්වා රෝහිත් ෂර්මාගේ නායකත්වය එක්දින පිලට ලබා දී ඇත. එමෙන්ම නවක ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ද කණ්ඩායමට කැඳවා ඇත. ඒ අනුව ඉන්දියාවේ අරමුණ පැහැදිලිය. ශ්‍රී ලංකාව සමඟ පවතින තරගාවලිය පහසුවෙන් ජය ගත හැකි යැයි ඔවුන් තුළ තිබූ අධි තක්සේරුව නිසා මෙම තරගාවලිය නව අත්හදා බැලීම් සඳහා යොදා ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබේ. ශ්‍රී ලංකාව මෙම තරගාවලියට පෙර ඉන්දියාව සමඟ තම මව්බිමේ දී 0-5 ක පරාජයක් ලැබූ අතර, පාකිස්තානය සමඟ පැවති තරගාවලිය ද 0-5ක පරාජයක් ලැබීය.
මේ නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය අත්‍යවශ්‍ය විය. ඔවුන් තරගාවලියට පිවිසියේ මෙවැනි පසුබිමක් තුළය. ශ්‍රී ලංකාව ද තරග බිමට පිවිසියේ නව නායකත්වයක් යටතේය. ඒ තිසර පෙරේරාගේ නායකත්වය යටතේය. මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දියා කණ්ඩායමට ලබා ගත හැකි වූයේ ලකුණු 112 ක් පමණි. වරක් ලකුණු 29 කට ඔවුන්ගේ කඩුලු හතක් බිඳ වැටී තිබිණි. එහිදී සුරංග ලක්මාල් කඩුලු හතරක්, නුවන් ප්‍රදීප් කඩුලු දෙකක් බිඳහෙළීමට සමත් විය. ජයග්‍රාහී ඉලක්කය පන්දු වාර 20.4ක දී කඩුලු තුනක් පමණක් දැවී පසු කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
තරග පරාජය වන විට පෙනෙන්නටවත් නැති ක්‍රිකට් බලධාරීන් සුපුරුදු පරිදි ජයග්‍රහණය කරන විට ඒවායින් එළිය බැලීම සහ අයිතිවාසිකම් කීම මෙවර ද ආරම්භ කර ඇත. මෙසේ අනුන්ගේ පහනින් එළිය බැලීමට ගොස් හොඳටම ඇන ගත් අවස්ථාවක් ද පසුගිය දිනවල දැකගන්නට ලැබිණි. ඒ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති තෙවැනි ටෙස් තරගය නිමා වූයේ ජය පරාජයෙන් තොරවය. එහිදී නායක දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා ශතක වාර්තා කළ අතර, නවක ක්‍රීඩක, රොෂේන් සිල්වා ද අවශ්‍යම මොහොතේ දී අර්ධ ශතකයක් ලැබීය. එය අගය කළ යුත්තකි. මෙම තරගයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ සඳහන් කරුණු බොහොමයක් අසත්‍ය ඒවාය.
එහි සඳහන් පරිදි සුරංග ලක්මාල් ටෙස්ට් කඩුලලු ත්‍රිත්වයක් ලබාගෙන ඇත. එහෙත්, අප දන්නා පරිදි නම්, ටෙස්ට් කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් ක්‍රීඩකයන් ලංකාවේ සිටින්නේ දෙදෙනෙකු පමණි. ඒ රංගන හේරත් සහ නුවන් සොයිසා පමණි. මුලින් නිකුත් කළ සිංහල මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාව මේ වන විට ටෙස්ට් වර්ගීකරණයේ ප්‍රසාද ලකුණු 96 ක් ලබා එංගලන්තයට වඩා එක් ලකුණකින් පසුපසින් සිටින බවය. ඉංග්‍රීසි නිවේදනයේ සඳහන් වන්නේ ප්‍රසාද ලකුණු 96ක් ලබා නවසීලන්තයට සහ ඕස්ට්‍රේලියාවට වඩා එක් ලකුණකින් පසුපසින් සිටින බවය. එහෙත්, ජාත්‍යන්තර ටෙස්ට් වර්ගීකරණයට අනුව මේ දෙකම වැරදිය. එම වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 94 ක් ලබා ඕස්ට්‍රේලියාවට සහ නවසීලන්තයට වඩා ලකුණු තුනක් පසුපසින් සිටින අතර, එංගලන්තයට වඩා ලකුණු 11 ක් පසුපසින් සිටී. කි්‍රකට් සභාපතිවරයාගේ හා ඔහුගේ ගෝලබාලයන්ගේ ක්‍රිකට් දැනුම මෙයින් මනාව පැහැදිලි වේ.
මේ පිළිබඳව පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගෙන් විමසූ විට ඔහු විසින් කරන ලද්දේ තමන්ගේ අඩුපාඩුව පිළිගන්නවා වෙනුවට මේවා හෙළි කරන මාධ්‍යවලට ඇඟිල්ල දිගු කිරීමය. ඒ ඔවුන්ගේ හැටිය. මීට පෙර අප ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අඩුපාඩු පෙන්වා ලිපියක් පළ කළ විට එහි ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා විසින් සිදු කරන ලද්දේ එම අඩුපාඩු පිළිබඳව සොයා බැලීම වෙනුවට ඔවුන්ට සුදු හුණු ගාන ලෙස ඉල්ලා අප වෙත ලිපියක් යොමු කිරීමය. ක්‍රීඩකයන්ගේ පහනින් එළිය බලන්නට දඟලන මෙම පාලක මණ්ඩලයේ සභාපතිවරයාගේ නිලධාරීන් ක්‍රීඩකයන්ට අපහසුතාවයක් ඇති වූ විට වචනයක්වත් කතා කරන්නේ නැත. ඊට ආසන්නතම සිදුවීම් ලෙස අධික වායු දූෂණයක් ඇති නවදිල්ලියේදී තෙවැනි ටෙස්ට් තරගය පවත්වන්නට ඉන්දියා ක්‍රිකට් බලධාරීන් කටයුතු කළ අවස්ථාව සහ තමන්ගේ නිලධාරියකුගේ නොසැලකිල්ල නිසා එක්දින තරගාවලියට සහභාගී වීම සඳහා ඉන්දියාව බලා පිටත් වීමට ගිය කණ්ඩායමට කී්‍රඩා අමාත්‍යවරයාගේ අනුමැතිය නොලැබීම නිසා කටුනායක සිට ආපසු පැමිණීමට සිදුවීම සඳහන් කළ හැකිය.
ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පසුගිය දිනක සිදු කරන ලද ප්‍රකාශ හා කි්‍රයාකාරකම් පිළිබඳව ද යමක් කිව යුතුය. මෙවර එක්දින තරගාවලිය සඳහා පිටත්ව යාමට නියමිතව සිටි කණ්ඩායම ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව පිටත් වූ නිසා අමාත්‍යවරයා ඔවුන්ව කටුනායක සිට යළිත් කැඳවීය. එයට හේතුව ලෙස ඔහු සඳහන් කරන ලද්දේ එක්කෙනෙකුට මෙසේ යාමට ඉඩ ලබා දුනහොත්, සෙසු අය ද එම ක්‍රමය අනුගමනය කරන නිසා මෙසේ සිදු කළ බවය. එහි සාධාරණත්වයක් ඇත. ඕනෑම ක්‍රියාවලියක් සිදු විය යුතු පිළිගත් ක්‍රමවේදයක් ඇත. යමෙකු එම ක්‍රමවේදයට පිටින් ක්‍රියා කරනවා නම්, ඒ පිළිබඳව පියවර ගත යුතුය. ඒ පිළිබඳව කිසිදු විවාදයක් නැත. එහෙත්, ගැටලුව වන්නේ අමාත්‍යවරයා මෙය තමන්ට වාසිසහගත වන විට පමණක් මෙය සිදු කිරීමය. පසුගිය වසරේ දී පැවති ඔලිම්පික් තරගාවලිය සඳහා ක්‍රීඩක, ක්‍රීඩිකාවන් පස් දෙනෙකු සහභාගී වන විට නිලධාරීන් 40 කටත් වඩා පිරිසක් සහභාගී වූහ. මේ පිළිබඳව ඇමතිවරයාගෙන් විමසූ විට ඔහු පැවසුවේ මෙසේය: ‘මම අනුමැතිය දුන්නේ 28 දෙනෙකුට පමණයි. ඔලිම්පික් කමිටුව යවන ඒවාට මට වග කියන්න බැහැ. ඒක තියෙන්නේ ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ නොවෙයි.’ යනුවෙනි. 1973 දී අංක 25 දරන පනතින් සම්මත කරන ලද ක්‍රීඩා පනතේ 40, 51 වැනි වගන්තිවලට අනුව මෙරට දී හෝ පිටරටක දී පවත්වනු ලබන තරගාවලියක් සඳහා යවන තනි පුද්ගලයකුගේ කණ්ඩායමක් පිළිබඳව අවසන් තීරණය ගැනීමේ බලය ක්‍රීඩා අමාත්‍යවරයාට පවරා ඇත. ඒ අනුව පෙනී යන්නේ ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කරනු ලබන්නේ ‘කන්න ඕනෑ වුණු විට කබරගොයා ද තලගොයා වනවා’ යන න්‍යායට අනුව බවය.
මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී අමාත්‍යවරයා තවත් වැදගත් කරුණු දෙකක් සඳහන් කළේය. එහිදී ඔහු පැවසුවේ ක්‍රිකට් සංවර්ධනය සඳහා අවශ්‍ය වුවහොත්, පාලක මණ්ඩලය විසුරුවා හැරීමට වුවද තමා කටයුතු කරන බවය. එමෙන්ම ක්‍රිකට් නිලවරණය සඳහා දැනට ක්‍රියාත්මක වන 147 ක් වූ ඡන්ද ප්‍රමාණය 70 කට පමණ අඩු කරන බවය. ඔහු මේ ප්‍රකාශ කරනු ලබන්නේ අප මාධ්‍ය ආයතනය ද ඇතුළත්ව තවත් මාධ්‍ය ආයතන සහ මෙරට ක්‍රිකට් ප්‍රවීණයන් විසින් කලක සිටම අවධාරණය කරනු ලබන කාරණාය. ප්‍රමාද වී හෝ අමාත්‍යවරයා ද මේ බව වටහා ගැනීම සතුටට කරුණකි. මේවා පමණක් නොව චන්දික හතුරුසිංහ, තිලාන් සමරවීර, රුමේෂ් රත්නායක, මුත්තයියා මුරලිදරන්, චම්පක රාමනායක වැනි අප රටට අයත් වටිනා සම්පත්වලින් පිටරටවලට ප්‍රයෝජන ගැනීමට ඉඩහැර අහක බලා සිටීම පිළිබඳව අප අවස්ථා කිහිපයකදීම දැඩිව අවධාරණය කර ඇත. ඒවායේ ප්‍රතිඵලයක් ලෙස චන්දික හතුරුසිංහ, තිලාන් සමරවීර, රුමේෂ් රත්නායකගේ සේවය මෙරට ක්‍රිකට්වලට ලබා ගැනීමට ක්‍රිකට් බලධාරීන් කටයුතු කර ඇත. මෙහි ගෞරවය ඒ වෙනුවෙන් හඩ නැඟ+ සියලු දෙනාටම හිමි විය යුතුය. ඒවායේ ප්‍රතිඵල දැන් ක්‍රමයෙන් ලැබෙමින් පවතී. රුමේෂ් රත්නායකගේ සේවය ලැබීමත් සමඟ මෙරට වේග පන්දු බළඇණියේ යම් වර්ධනයක් දක්නට ලැබේ.
ක්‍රීඩකයන්ගේ පහනින් එළිය බැලීමට පොරකනු ලබන්නේ මෙරට ක්‍රිකට් බලධාරීන් පමණක් නොවේ. මෙරට ඇතැම් මාධ්‍ය ද එම ක්‍රියාවේ නියැළී සිටී. ප්‍රථම එක්දින තරගය ජය ගත් දින රාත්‍රියේ රජයේ විද්‍යුත් මාධ්‍ය නාළිකාවක ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි සහ මෙරට ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයකු ගෙන්වා සාකච්ඡාවක් පැවැත්වීය. සුපුරුදු පරිදි එක් එක්කෙනාගේ පුරාෙජ්රුවලින් එහි අඩුවක් නොවීය. මෙවර තරගාවලිය ඉන්දියාවේ සිට සිංහල බසින් සජීව රූපවාහිනී විස්තර විචාරයක් ගෙන ඒම සඳහා මෙරටින් සිංහල විස්තර විචාරකයන් පිරිසක් ඉන්දියාවට යැවීම පිළිබඳව එම ප්‍රවීණ විස්තර විචාරකයා විසින් කරන ලද ප්‍රකාශය තරමක් අවධානයට ලක් විය යුතු එකකි. ‘මම හරිම සතුටු වෙනවා, සිංහල බසින් විස්තර විචාරයක් ගෙන එන්නට පිරිසක් යැවීම ගැන. මොකද? සුරංග ලක්මාල් වැනි ගම්බද ඈත පිිටිසර පළාත්වලින් ක්‍රිකට්වලට ආපු ක්‍රීඩකයකුට මුලින්ම ක්‍රිකට් ගැන ආශාවක් ඇති වුණේ සිංහල ක්‍රිකට් විස්තර විචාරය නිසයි. මේ සංකල්පය ඉදිරිපත් කළේ වත්මන් ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මැතිතුමායි. මේ ගැන අපි ඔහුටත් ස්තුතිවන්ත විය යුතුයි.’ ගම්බද තරුණයන්ට ක්‍රිකට් පිළිබඳව ඇල්මක් ඇති වීමට සිංහල ක්‍රිකට් විස්තර විචාරය විශාල බලපෑමක් සිදු කළ බව සත්‍යයකි. එහෙත්, ඒ සඳහා රූපවාහිනී විස්තර විචාරයට වඩා විශාල බලපෑමක් සිදු කරන ලද්දේ ගුවන් විදුලි ක්‍රිකට් සිංහල විස්තර විචාරයයි. මෙම ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයා ද විස්තර විචාරයට පිවිසියේ ගුවන් විදුලි විස්තර විචාරය හරහාය. ගැටලුව ඇත්තේ, මොහු ස්තුති කළ යුතු පවසන වත්මන් සභාපතිවරයා ඇතුළු ක්‍රිකට් ආයතනය මෙවර තරගාවලිය සඳහා මෙවර තරගාවලියේ විස්තර විචාරක අයිතිය ගුවන් විදුලියට ලබා දීම සඳහා රුපියල් ලක්ෂ 25 ක පමණ විශාල මුදලක් ඉල්ලීම නිසා මෙසේ සිංහල බසින් සජීව ගුවන් විදුලි විස්තර ප්‍රචාරයක් සිදු නොකිරීමය. මේ ගැන ඔහු වචනයක්වත් කතා කළේ නැත.
අවසාන වශයෙන් අවධාරණය කළ යුතු කාරණයක් ඇත. තවම ජයගෙන ඇත්තේ, එක් තරගයක් පමණි. තරගාවලියවත් තවම අවසන් වී නැත. අනෙක් කාරණය නම්, මෙය ජාත්‍යන්තර තරගාවලියක් වුවද, රටවල් දෙකක් අතර පවත්නා තරගාවලියකි. ප්‍රධාන තරගාවලියක් ද නොවේ. මේ නිසා මෙම ජයග්‍රහණය පිළිබඳව මෙතරම් උදම් ඇනීම නුවණට හුරු නොවේ. මීට මාස කිහිපයකට පෙර පැවති අයි.සී.සී. ශ+රයන්ගේ කුසලාන තරගාවලියේ දී ද ඉන්දියාව සමඟ පැවති තරගය ලකුණු 321ක් පසුපස හඹා ගොස් ජය ගත් අවස්ථාවේ දී ද මෙම පිරිස මෙලෙසම උදම් ඇනීය. එහෙත්, ඉන් පසු පිට පිටම තරග 12 ක් පරාජයට පත් විය. මේ නිසා කළ යුතුව ඇත්තේ, ජයග්‍රහණයේ සතුට නිහතමානීව භුක්ති විඳින අතරතුරම ඉදිරි තරගවලට ද හොඳින් සූදානම් වීමය.


සමන් රණවක ආරච්චි