හොඳ ඡන්දයක් තියන්න අපි බලාපොරොත්තු වෙනවා (අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ්)

mahinda, mythree and ranil
ඡන්ද කාලෙට එන පක්ෂ මාරුව
January 23, 2018
cylon tea
සිලෝන් ටී බීට්ල් ටී වීම දක්වා…
January 23, 2018
Show all

හොඳ ඡන්දයක් තියන්න අපි බලාපොරොත්තු වෙනවා (අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ්)

athireka methiwarana komadaris

පුංචි ඡන්දය පෙබරවාරි 10 වැනිදා. අලුත් මැතිවරණ ක්‍රමයක් යටතේ පවත්වන මේ ඡන්දය ගැන ජනතාවට විසඳා ගැනීමට ඇති ගැටලු කීපයක් කෙරෙහි අවධානය යොමු කිරීමට මෙවර විද්වත් සංවාදය වෙන් කෙරේ. අතිරේක මැතිවරණ කොමසාරිස් එම්. එම්. මොහොමඩ් සමඟ කළ සාකච්ඡාව පහත පරිදිය.

මෙවර පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ හැම අතින්ම අලුත් විදිහකට. මැතිවරණ කොමිසමට මෙය අභියෝගයක් නොවෙයිද?

කොමිසමට පමණක් නෙවෙයි. ඡන්ද හිමියන්ට, දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් තරග කරන අපේක්ෂකයන්ට වගේම මැතිවරණ රාජකාරීවල නිරත වීමට නියමිත රාජ්‍ය සේවයේ නියුතු වූවන්ටත් අලුත් අත්දැකීමක්. 1910 දී ආරම්භ වූ ඡන්ද විමසීම 1977 වෙන තුරු තිබුණේ කේවල මැතිවරණ ක්‍රමයට. 1978 දී ආරම්භ කරපු සමානුපාතික ක්‍රමයේ අවසන් ඡන්ද විමසීම 2015 අගෝස්තු මහා මැතිවරණය. දැන් කේවල සහ සමානුපාතික ක්‍රම දෙකම මිශ්‍ර වූ අලුත් ඡන්ද ක්‍රමයක් එන්නේ. ඒ නිසා මේක සියලු දෙනාටම අභියෝගයක්¦
අලුත් අත්දැකීමක්. මැතිවරණ කොමිසම නිතරම අභියෝගවලට මුහුණ දීලා ඉදිරියට ආව රාජ්‍ය ආයතනයක් හැටියට කොමිසමේ සියලු දෙනාම මේ අභියෝගය ජයග්‍රහණය කරන්න සූදානම්.

පළාත් පාලන ආයතන කොට්ඨාසවලම ඡන්දය ගණන් කරනවා. එහිදී ප්‍රමාණවත් ආරක්ෂාව සලසන්නේ කොහොමද?

ශ්‍රී ලංකා පොලිසිය සම්පූර්ණයෙන්ම සූදානමින් ඉන්නවා. ඡන්ද විමසීම පැවැත්වෙන කාලය තුළ සාමාන්‍ය පරිදි පොලිසියේ දෙන්නෙක් ආරක්ෂාව සලසනවා වගේම ගණන් කිරීමේ දී දෙදෙනෙක් ප්‍රමාණවත්ද? කියන ප්‍රශ්නය තියෙනවා. මැතිවරණ කොමිසම දැන් සූදානම් වෙන්නේ හැකි තරම් මේක ප්‍රජා ඡන්දයක් කරන්න. තමන්ගේ ගමේ ඡන්දය, තමන්ගෙ ගමේ ඡන්ද පෙට්ටිය ආරක්ෂා කරන්න ගමේම අය ඉදිරිපත් වෙන ආකාරයට අපේක්ෂකයන් වෙනුවෙන් නියෝජිතයන් දෙදෙනෙක් ඡන්දය ගණන් කිරීම නිරීක්ෂණයට ඉඩ දෙනවා. මේ අය ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථාන අවට කිසිම කෙනෙක් අනවශ්‍ය විදිහට රැඳී සිටීමට ඉඩ නොදීමේ වගකීම දරනවා. අපේක්ෂකයන්, නියෝජිතයන් සහ අපේ නිලධාරීන් පමණක් ඡන්ද මධ්‍යස්ථානවල රැඳී සිට ගණන් කිරීමේ කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. 1981 සංවර්ධන සභාවල අවසන් වරට ඡන්ද පොළේ දී ගණන් කළාට පස්සේ දැන් අලුතින් පටන් ගන්න යන්නේ. සාර්ථකව කිරීමට හැකි වෙයි කියලා අපි හිතනවා.

එක පක්ෂයකින් හෝ ස්වාධීන කණ්ඩායමකින් නියෝජිතයෝ දෙන්නෙකුට ගණන් කරන අවස්ථාවේ ඉන්න දෙනවා කියල ද ඔබ කියන්නේ?

ඔව්, අපි හිතමු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් දහයක් කියලා. ගණන් කරන කොට ඉන්න දෙන්නේ නියෝජිතයන් විස්සක්. අපේ නිලධාරීන් ඉන්නේ දහයක්. සමහර විට ඒ ඡන්ද පොළේම ගනින්ඩ බැරි තැන් තියෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක දී කොට්ඨාසය තුළම වෙනත් ඡන්ද මධ්‍යස්ථානයක ඡන්ද පෙට්ටි දෙකක් හෝ තුනක් හෝ ගණන් කිරීමට වේවි. ඒත් ඡන්ද පෙට්ටි ඔක්කොම එකට දාලා නෙවෙයි. වෙන වෙනම ගණන් කරන්නේ. මැතිවරණ කොමිසම සහ තේරීම් භාර නිලධාරීන්ගේ අදහස් අරගෙන ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගන්නත් වේවි.

කොට්ඨාස සහ සමානුපාතික ක්‍රමයට නියෝජිතයන් බෙදෙන්නේ කොහොමද?

අපි හිතමු ප්‍රාදේශීය සභාවක ඡන්ද කොට්ඨාස දොළහක් තියෙනවා කියලා. ඒ දොළහට නියෝජිතයන් දොළහයි. සමානුපාතික සීයට හතළිහක් මේකට අලුතින් එකතු වෙනවා. ඒ කියන්නේ අට දෙනෙක්. එතකොට මුළු මන්ත්‍රී ගණන විස්සයි. මැතිවරණයේ දී මුළු වලංගු ඡන්ද 40,000 ක් තිබුණා කියන්න. ‘අ’ කියන පක්ෂය ඡන්ද 18,000 ක් අරගෙන කොට්ඨාස හයක් දිනුවා කියන්න. ‘ආ’ පක්ෂය ඡන්ද 15,000 ක් අරගෙන මන්ත්‍රී කොට්ඨාස හතරක් දිනුවා. එතකොට ‘ඇ’ පක්ෂය ඡන්ද 5,000 ක් අරගෙන කොට්ඨාස දෙකක් දිනුවා. ‘ඈ’ පක්ෂය ඡන්ද 2,000 ක් අරගෙන කොට්ඨාස දිනාගෙන නෑ. එතකොට කොට්ඨාස දොළහක්ම සම්පූර්ණයි. කොට්ඨාස 12 දී මේ දොළොස් දෙනාම කවුරුන් ද කියලා ප්‍රකාශයට පත් කරනවා. තව ඡන්ද 2,000 ක් ගත්තු පක්ෂයක් කොට්ඨාස දිනලා නෑ. ඊළඟට අර ඉතුරු මන්ත්‍රී ධුර අටක් සමානුපාතිකව බෙදෙනවා. ඒක කරන්නේ මෙහෙමයි, වලංගු ඡන්ද සංඛ්‍යාව 40,000 යි නේ. ඒක බෙදනවා මුළු මන්ත්‍රී ධුර සංඛ්‍යාවෙන්, ඒ කියන්නේ 20 න්. එතකොට මන්ත්‍රී ධුරයකට ඡන්ද 2000 ක් එනවානේ. අන්න අර ‘අ’ පක්ෂය ගත්ත ඡන්ද 18,000 බෙදනවා 2,000 න්. එතකොට උත්තරය නවයයි. ‘අ’ පක්ෂයට හිමි මුළු මන්ත්‍රී ධුර ගණන 9 යි. දැනටමත් හයක් තියෙනවා නේ. සමානුපාතික ක්‍රමයෙන් ලැබෙන්නේ තව තුනයි. ‘ආ’ කියන පක්ෂයට ලැඛෙන්නේ මුළු මන්ත්‍රී ධුර හතයි. දැනටම හතරක් තියෙන නිසා තව තුනක් ලැබෙනවා. ‘ඇ’ පක්ෂයට මන්ත්‍රී ධුර දෙකක් ලැබී තිබෙනවා. ඒකට සමානුපාතික මන්ත්‍රී ධුර ලැඛෙන්න තියෙන ඉඩ අඩුයි. ‘ඈ’ කියන පක්ෂයට ඡන්ද 2,000 ක් තියෙන නිසා සමානුපාතික මන්ත්‍රී ධුරයක් හිමි වෙනවා. දැන් තව එක මන්ත්‍රී ධුරයක් සම්පූර්ණ කරන්න තියෙනවා නේ. ‘ආ’ සහ ‘ඈ’ කිියන පක්ෂ දෙකට අපේ් උදාහරණය අනුව නම් වැඩි ඡන්ද 1,000 බැගින් තියෙනවා. නමුත් ප්‍රායෝගිකව එහෙම වෙන්නේ නෑ. සමානුපාතික මන්ත්‍රී ධුරයට වඩාත්ම ළඟින් සහ ඡන්ද ගන්න පක්ෂයට ලැබෙනවා. බැරි වෙලාවත් ඒ දෙකම ඇත්තටම වැඩි ඡන්ද 1,000 ගානේ ලබාගෙන තිබුණොත්, දෙකටම මන්ත්‍රී ධුරය බැගින් ලැබෙනවා. එතකොට සභාවේ මුළු මන්ත්‍රී ධුර ගණන 21 ක් දක්වා වැඩි වෙනවා. සමානුපාතික ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ මැතිවරණ කොමිසම. ඔය විදිහට තමයි සභික සංඛ්‍යාව තෝරා පත් කර ගන්නේ. සංඛ්‍යාව පක්ෂ ලේකම්ට දැන්වුවාම එයා අදාළ අය නම් කරනවා.

එතකොට කාන්තා නියෝජනය සියයට විසි පහක් පත් කිරීමේ නීතිය ක්‍රියාත්මක කරන්නේ කොහොමද?

ඒකටත් වගබලා ගන්න ඕනෑ මැතිවරණ කොමිසම. මැතිවරණ පනතේ ප්‍රතිපාදන ඒකට බලපානවා. යම් කිසි පක්ෂයක් ඡන්ද සියයට විස්සකට අඩුවෙන් සහ සභිකයන් තිදෙනෙකුට අඩුවෙන් ලබාගෙන තියෙනවා නම් එම පක්ෂවලට කාන්තා නියෝජනය අනිවාර්ය කරන්න බෑ. අපි ගන්න උදාහරණය අනුව අන්තිම පක්ෂ දෙකට මේ නීති බලපාන්නේ නෑ. කොට්ඨාසයට නිල වශයෙන් අනුමත මන්ත්‍රී ධුර විස්සක් නිසා කාන්තා නියෝජිතවරියන් පහක් ඉන්න ඕනෑ. අර ‘ඇ’, ‘ඈ’ පක්ෂ දෙක ගත්ත ඡන්ද හත්දහස වලංගු මුළු ඡන්දවලින් අයින් කරනවා. එතකොට තිස්තුන් දහසක් ඉතිරියි. ඒකෙන් සියයට විසිපහක් කියන්නේ, අටදහස් දෙසියපනහයි. ‘අ’ පක්ෂයට ඡන්ද දහඅට දහසක් නිසා කාන්තා නියෝජන දෙකයි. ‘ආ’ පක්ෂයටත් ආසන්නයෙන්ම නිසා කාන්තා නියෝජන දෙකයි. තව එක් කාන්තා නියෝජනයක් සම්පූර්ණ කරන්න ඕනෑ. කොට්ඨාසයකින් එක් කෙනෙකු හෝ කීප දෙනෙකු තේරී පත් වෙලා ඉන්නවා නම්, ඒකත් සම්පූර්ණයි.

කොට්ඨාසවලින් කාන්තාවක් දිනලා නොසිටියහොත්?

නීතියේ සියයට විසිපහක් තිබුණාට ඉතාම විරල අවස්ථාවලදී එහෙම නොවෙන්න පුළුවන්. එතකොට නීතිය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න බැරි වෙනවා. බොහෝ විට කාන්තා නියෝජනය සම්පූර්ණ කරන්න වෙන්නේ සමානුපාතික ලැයිස්තුවෙන් වෙන්නත් පුළුවන්.

බහු කොට්ඨාස කියන්නේ මොකක්ද?

මේ ක්‍රමය දෙදහස් දොළහේ අංක විසිදෙක දරන පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනතින් හඳුන්වා දුන්නේ. ඒකේ පැහැදිලිව කියා තියෙන්නේ, බහු සභික කොට්ඨාසයක් බිහි කරන්නේ භූගෝලීය පිහිටීම සහ ජන ව්‍යාප්තිය, ජනගහනය, ජන විවිධත්වය වැනි හේතු නිසා. සීමා නිර්ණ කමිටු දෙකකින්ම බහු කොට්ඨාස හඳුන්වා දී තිබෙනවා. සභිකයන් දෙදෙනකු පත් වන බහු කොට්ඨාස සංඛ්‍යාව මුළු රටේම එකසිය හැටපහයි. එතකොට සභික සංඛ්‍යාව තුන්සිය තිහක් තේරී පත් වෙනවා. තිදෙනෙකු තේරී පත් වන බහු කොට්ඨාස හතරක් තිබෙනවා. කොළඹ මහා නගර සභාව තුළ තුනක් සහ ගම්පොළ එකක්. එතකොට සෑම පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් දෙදෙනෙකු ඉන්න බහු කොට්ඨාසයකට දෙදෙනෙකු හෝ තුන්දෙනෙකු ඉන්න බහු කොට්ඨාසයකට තුන් දෙනෙකු නාමයෝජනා දෙන්න ඕනෑ. කොට්ඨාසය දිනන පක්ෂයට මන්ත්‍රීවරුන් දෙදෙනෙකු හෝ තුන් දෙනෙකු තේරී පත් වෙනවා.

මෙවර ඡන්ද පත්‍රිකාවේ වෙනස්කම් තියෙනවා නේද?

ඔව්. මේ පාර ඡන්ද පත්‍රිකාවේ අපේක්ෂකයන්ගේ අංක හෝ වෙනත් කිසි දෙයක් නැහැ. පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ ලකුණ ඉදිරියෙන් කතිරය ගහන්න විතරයි තියෙන්නේ. කලින් පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායමේ ලකුණ උඩින් තිබුණත්, යටින් මනාප අංක. මෙවර මනාප අංක කොටස නැහැ. උඩ කොටස පමණයි තියෙන්නේ. ඡන්ද හිමියන්ටත් පහසු වෙනවා. ඡන්ද විමසීම වෙනදාට වඩා වේගවත්ව කරන්න මේ නිසා අවස්ථාව ලැබෙනවා.

කොට්ඨාසයට තේරී පත් වන මන්ත්‍රීවරයා රෝගී වීම හෝ මිය ගිය හොත්, සම්පූර්ණ කරන්නේ කොහොමද?

යම් කොට්ඨාසයක පුරප්පාඩුවක් ඇති වුවහොත්, ඒ බව පක්ෂ ලේකම්ට දන්වනවා. නාමයෝජනා ලැයිස්තු දෙකක් දෙනවා නේ. එකක් කොට්ඨාසවලට අදාළව. අනෙක සමානුපාතික ක්‍රමයට අදාළව. පුරප්පාඩු වූ අවස්ථාවක අර නාමයෝජනා පත්‍ර දෙකෙන් කැමති එකක් කලින් පත් නොවූ කෙනෙකු පක්ෂයේ ලේකම් විසින් තෝරා යැවිය යුතුයි. ඒ සඳහා බලය තියෙන්නේ, පක්ෂයේ ලේකම්වරයාටයි.

ස්වාධීන කණ්ඩායමක නම්?

එතකොට කණ්ඩායම් නායකයාට බලය තියෙන්නේ. නියෝජිත ධුරයක් හිස්ව තියෙන්නේ නැහැ. මේ විදියට ඒක සම්පූර්ණ කරනවා.

ඡන්දයෙන් නියෝජිතයන් තෝරා පත් කර ගත්තාට පස්සේ සභාපති පත් කර සභාව පිහිටුවන්නේ කොහොමද?

කලින් තිබුණේ සභා ලේකම්ට දැනුම් දෙනවා සභාපති පත් කර සභාව පිහිටුවන්න ක්‍රියා කරන්න. යම් කිසි පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් සියයට පනහක සභික සංඛ්‍යාවක් ලබාගෙන තිබෙනවා නම්, ඒ පක්ෂයේ ලේකම්ට දැනුම් දෙනවා. පක්ෂයෙන් සභාපති සහ උප සභාපති පත් කර එවන්න කියලා. හැබැයි, කිසිම පක්ෂයක් සියයට පනහකට වැඩි සභික සංඛ්‍යාවක් අරගෙන නැත්නම්, පළමුවැනි සභා වාරය රැස්වීමට පළාත් පාලන කොමසාරිස්වරයාත් මැදිහත් වී නියෝජිතයන් අතුරින් දෙදෙනෙකු සභාපති සහ උප සභාපති ලෙස පත් කර ගන්න කියනවා. එතකොට සභාවක මන්ත්‍රීවරුන්ගෙන් වැඩි ම සහයෝගය ලබා ගන්නා කෙනා සභාපති වෙනවා. එහෙම නැත්නම් ඉතින්, සන්ධානගත වෙලා පාලන බලය පිහිටුවා ගන්න තත්ත්වයක් ඇති වෙයි.

අලුත් නීතිය අනුව පක්ෂ දෙකක් හෝ කීපයක් එකතු වී බලය පිහිටුවන්න බාධාවක් නැද්ද?

කැමැති පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලට එකතු වෙන්න පුළුවන් විදියටයි නීතිමය ප්‍රතිපාදන හදලා තියෙන්නේ. අනෙක තවත් විශේෂ දෙයක් තියෙනවා. කාන්තා නියෝජිත පුරප්පාඩුවක් ඇති වුවහොත්, පළමුවැනි හෝ දෙවැනි ලැයිස්තුවේ කාන්තාවක්ම පත් කළ යුතුයි. නමුත්, පිරිමි කෙනෙකුගේ පුරප්පාඩුවක් ආවොත්, කාන්තා හෝ පිරිමි කැමති කෙනෙකු පත් කළ හැකියි. පිරිමි කෙනෙකුම පත් කළ යුතුයි කියලා නෑ. අනෙක කොට්ඨාසයකට තරග කරලා පැරදුණු කෙනෙකු වුණත්, පත් කරන්න හැකියාව තියෙනවා.

ඒක ඒ තරම් හොඳ නීති ප්‍රතිපාදනයක් නොවෙයි නේද?

නීතියක් හදන්නේ මිනිසුන්ගේ පැත්තෙන් යහපත් විිදියට යොදා ගන්න නෙ. අපිත් නීති සම්පාදකයන්ගෙන් මේක දාන්නේ ඇයි කියලා ඇහුවා. හොඳ පැත්තට ගන්න තමයි, අවස්ථාව දුන්නේ. ඇත්තටම ඉහළම කැප වීමකින් මහජනතාව ගැන හිතලා, ඉතාම උනන්දුවෙන් වැඩ කරන කෙනෙකු කොට්ඨාසයක පරදින්න පුළුවන්. නමුත්, මේ මනුස්සයාගේ දක්ෂකම පළාත් පාලන ආයතනයට ලබා දීම ඉතාම හොඳ වෙනවා නම්, ඒකටයි ඔය අවස්ථාව දුන්නේ. කොට්ඨාස ලැයිස්තුවෙන් හරි සමානුපාතික ක්‍රමය යටතේ හරි පුරප්පාඩුව හොඳම කෙනෙකුට දුන්නාම මහජනතාවටයි වාසි වෙන්නේ. කොට්ඨාස පැරදුණු අයත් දාන්න ඉඩ දීලා තියෙන්නේ, මේ හොඳ අර්ථයෙන්. නීති සම්පාදකයන්ගේ අරමුණ ඒක.

නීති හදන්න පනත් සම්මත කර ගන්න ලොකු මහන්සියක් වෙන්නෙත්, මැතිවරණ කොමිසම දැන් ලොකු වෙහෙසක් දරන්නෙත් හොඳ පළාත් පාලන ආයතනයක් පිහිටුවා ගන්න නේ. ඒ මහජන නියෝජිතයන්ගේ තිබිය යුතු ගුණාංග මොනවාද?

අනිවාර්යයෙන්ම ඒ ගැන කවුරුත් අවධානය යොමු කිරීම හුඟක්ම වැදගත්. අපි මේ කතා කරන්නේ මැතිවරණ තරගකාරීත්වයක් තියෙන කාලයක නේ. ලැයිස්තුවට හෝ කොට්ඨාසයට නම දාන්න කට්ටිය අතර තියෙන්නේ ලොකු උනන්දුවක් නේ. මේ අය අතුරෙන් ගමට නායකත්වය දෙන්න පුළුවන් හොඳ මිනිසෙකු තෝරා ගන්නයි අවශ්‍ය වෙන්නේ. දැන් තියෙන්නේ අපේක්ෂකත්වය ලබා ගන්න තරගයක් නේ. ඒ වෙනුවෙන් උනන්දුවක් නේ. ඊට පස්සේ ඒ අය දිනන්න සෑහෙන්න වෙහෙසක් අරගෙන මාස එකහමාරක් විතර වැඩ කරනවා නේ. මහජනතාව ඉදිරියට යනවා. ඡන්ද ගන්න වැඩ කරනවා. බොහෝ පක්ෂ කරන්නේ දිනන්න පුළුවන් එක්කෙනෙක්ව දාන එක. නමුත්, ඡන්ද දායකයන් බලන්න ඕනෑ, දිනන්න පුළුවන් කෙනෙකුට ඡන්දය දෙන එකට වඩා යහපත් ගුණාංගවලින් යුක්ත අය තෝරා ගන්න බලන්න ඕනෑ. කිසිම වංචා, දූෂණයකට සම්බන්ධ නැති අය තෝරා ගත්තා නම්, මහජනතාවට තමයි, වැඩිම ප්‍රතිලාභ තියෙන්නේ. එහෙ ම අපේක්ෂකයෝ දැම්මා නම්, ඒ පක්ෂයට ලැබෙන කීර්තිය, ප්‍රශංසාවත් වැඩි වෙනවා. එහෙම අයට ඡන්දය දුන්නොත්, එහෙම පක්ෂයකට ලැඛෙන ඡන්දත් වැඩි වෙන්න පුළුවන්. අපේක්ෂකයෝ අතුරින් හැම කොට්ඨාසයකින්ම හොඳ අය බලලා දිනවා යැව්වොත්, මේ රට හැදෙයි කියලා හිතනවා. දේශපාලන පක්ෂ එවැනි තත්ත්වයකට නාමයෝජනා භාර දී අවසන්. හොඳ ඡන්දයක් තියන්න අපි බලාපොරොත්තු වෙනවා. ඡන්දදායකයොත් අපට හොඳ සහයෝගයක් ලබා දී අවසානයේ ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන කොට විනිවිද භාවයෙන් සියල්ල කළා යැයි සතුටු වෙන්න පුළුවන්. ජනතාවටත් ඒ සතුට විඳින්න පුළුවන් නියෝජිතයෙක් ඔවුන් තෝරා පත් කරයි කියලා හිතනවා. මැතිවරණ කාර්ය මණ්ඩලය, ආරක්ෂක අංශ, දේශපාලන පක්ෂ සහ ජනතාව හැම දෙනාගේම සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා.


සංවාදය හා සටහන
ප්‍රියදර්ශන දයාරත්න