අාටිගල ජනතාවට ලැබුණු දෙසිය පනහේ වන්දිය

lanka IOC
තෙල් ටැංකි විකිණීමට එරෙහි ජාතික සටන ඇරඹේ
January 23, 2018
සමන්තාගේ අනාගතය ගණිකා වෘත්තියෙන් ඔබ්බට…
January 23, 2018
Show all

අාටිගල ජනතාවට ලැබුණු දෙසිය පනහේ වන්දිය

atigala

දිනෙන් දින අපගේ මාතෘ භූමිය ආපදාවලට ලක් වීමේ සීඝ්‍රතාවය ඉහළ යමින් තිබේ. අවිද්‍යාත්මක සංවර්ධන කටයුතු හා අක්‍රමවත් ඉදිරිකිරීම් මෙන්ම ස්වභාවධර්මය නොසලකා හැර සිදු කළ මිනිස් ක්‍රියාකාරකම් මෙයට මූලික වී තිබේ.
මෙහිදී මිනිසුන් විසින් නොතකා හරින මූලික කරුණ වනුයේ තමාද ස්වභාවධර්මයේ කොටසක්ය යන්නය. මිනිසුන් මුහුණ දෙන ඕනෑම උවදුරක මූලය සොයා යන සෑම අවස්ථාවකදීම හමු වනුයේද මිනිස් ක්‍රියාකාරකම්ය.
තමන් පරිසරයේ කොටසක්ය යන්න අමතක කරන මිනිසා පරිසරය තමන්ට අයත්ය යන සිතුවිල්ලෙන් කටයුතු කිරීමේ විපාක අප රටේ ජනතාව මේ වන විට බරපතළ ලෙස අත්විඳිමින් සිටිනු දැකිය හැකිය.
මේ සියල්ල පිටුපස සිටින බලවේග පිළිබඳ විමසිලිමත් වන විට අපට හමු වන්නේ දේශපාලන බලඅධිකාරියට අයත් පුද්ගලයෙකුමය. වර්තමානයේ දී දේශපාලනඥයෙකු ව්‍යාපාරිකයේකු බවට මෙන්ම, ව්‍යාපාරිකයෙකු දේශපාලනඥයකු බවට පත් වීම යන කරුණුත් සියල්ල මිල කිරීමේ හා විකිණීමේ නරුම ක්‍රමවේදය ක්‍රියාත්මක වීමත් මෙයට ප්‍රධාන වශයෙන්ම බලපා තිබේ.
ඒ හේතුවෙන්ම අවසාන ප්‍රතිඵලය ආපසු හැරී එන්නේත් එහි වඩාත්ම හානිදායක උවදුරට ලක්වන්නේත් සාමාන්‍ය පොදු ජනයාමය.
මෑත කාලීන ඉතිිහාසයේ දී සිදු වූ බිහිසුනුම ඛේදවාචකයක් වන සාමසර කන්දේ නාය යාමේ සිට මීතොටමුල්ල කුණු කන්ද නාය යාම සහ මෙම වසරේ මුල් භාගයේ දී සිදු වූ ගංවතුර තත්ත්වයන් මෙන්ම විටින් විට ඇති වූ නියං තත්ත්වයන්ද මෙයට උදාහරණ සපයයි.
කෙසේ වුවද ඇති වන ආපදා තත්ත්වයන් කළමනාකරණය වෙනුවෙන් ආපදා කළමනාකරණ අමාත්‍යාංශයක්ද මෙරට පිහිටුවා තිබේ. ඒ සඳහා අමාත්‍යවරයෙකු, නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ඇතුලු දැවැන්ත කාර්ය මණ්ඩලයක්ද මහජන මුදලින් නඩත්තු කෙරේ.
නමුත් ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් මෙම ආයතනයන්හි ක්‍රියාකාරීත්වය ප්‍රමාණවත්ද? ආපදාවන් ඇති වූ පසුව සහන සැලසීමට කටයුතු කිිරීම පමණක් එම ආයතන සතු කාර්යබාරය වන්නේද? යන පැනය අප හමුවේ ඉතිරිව තිබේ. මෙම කාරණයේදී රාජ්‍ය මැදිහත්වීම ප්‍රමාණවත් නොවීම පිළිබඳව උදාහරණ ඇති තරම් පවතින බැවිනි.
මෑත කාලයේ දී මධ්‍යම අධිවේගී මාර්ගය හේතුවෙන් අවතැන් වන ජනතාව වන්දි ඉල්ලා කෙරෙන උද්ඝෝෂණ තීව්‍ර වෙමින් තිබිය දී උමාඔය වන්දි සටන තවමත් ක්‍රියාත්මකය. එමෙන්ම, නියඟය හේතුවෙන් විනාශයට පත් වගාවන් සඳහා වන්දි ඉල්ලමින් ගොවීහුද සටනේය. ඒ අතර ලක්ෂපාන බ්‍රෝඩ්ලන්ඩ් ජලාශය ආශ්‍රිත ජනතාවද සටනේය. කුඩා තේ වතු හිමියාට අදාළව වන්දි ගෙවීම්ද තවමත් නිසි ආකාරයෙන් සිදු වන්නේ නැත. ඇතැම් තැනක තක්සේරු වන්දි මුදල රුපියල් දහ දහසක් වුවද ගෙවන ලද වන්දිය වනුයේ රුපියල් දෙසිය පනහක් වැනි මුදලක්ය. තක්සේරුව පසෙකලා එවන් මුදලක් ආපදා අරමුදල විසින් එවන ලද්දේ කුමන පදනමකින්ද යන්න අදාළ කොට්ඨාසයේ ප්‍රාදේශීය ලේකම් හෝ ආපදා නිලධාරීන් හට නිිවැරදි අදහසක් ඇත්තේද නැත. ඒ සඳහා ආසන්නතම උදාහරණය සපයනුයේ ආටිගල, ඇඹුල්ගම, නැදුන් උයන ප්‍රදේශයේ ජනතාව මුහුණ දී ඇති තත්ත්වයය.
පසුගිය වර්ෂයේදී කැලණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් ගංවතුර තත්ත්වයට මුහුණ දුන් ජනතාව සඳහා ප්‍රමාණවත් වන්දි මුදලක් ගෙවීමට අදාළ ආයතන හා බලධාරීන් මේ වන තෙක් සමත්ව ඇත්තේ නැත.
ආපදාවලට ලක් වූ ජනතාව තම ආසන්නතම නිලධාරියාට වගකීම පැවරීමට කටයුතු කළද ඇතැම් විටෙක එම නිලධාරීන්ද අසරණභාවයට පත්වීම සිදුවනුයේ ඒ සඳහා ආණ්ඩුව පාර්ශ්වයෙන් නිසි ක්‍රමවේදයක් හෝ නිසි වැඩපිළිවෙළක් අනුගමනය නොකිරීම හේතුවෙන්මය.
තමන් මුහුණ දී ඇති ගැටලුවෙහි සැබෑ මූලයන් සොයා යාමේ වුවමනාවක් මෙරට ජනතාවටද ඇත්තේ නැත. දෛනිකව මෙරට සිදුවන දැවැන්ත පාරිසරික විනාශයන්හි බලපෑම පෙරළා තමන් වෙතට පැමිණෙන බවට තැකීමක් මෙරට බොහෝ ජනතාවකට ඇත්තේ නැත.
අප විසින් ඉහත සඳහන් කළ ආටිගල ඇඹුල්ගල ජනතාවගේ වන්දි මුදල් නොලැබීම සොයා බැලීම සඳහා කළ සංචාරයේදී ගංවතුර තර්ජනයට මුහුණ දුන් නැදුන් උයන ආසන්නයේ පවත්වාගෙන යනු ලබන පස් සේදීමෙන් ඉදිකිරීම් කර්මාන්ත සඳහා වැලි ගරා ගැනීම් මේ ව්‍යාපෘතියක්ද නිරීක්ෂණය කිරීමේ අවස්ථාවක් අහම්බයෙන් මෙන් උදා විය. වැඩිදුරටත් සොයා බැලීමේදී දැවැන්ත පස් ප්‍රමාණයක් සෝදා වැලි ගරා ගැනීමේදී ඉවත් වන රොන් මඩ ප්‍රමාණය තැන්පත් වීමෙන් වැසි අවස්ථාවල දී ජලය බැස යාමට ඇති ඇළ මාර්ග අවහිර වීම හේතුවෙන් එම භූමියෙහි පදිංචි ජනතාවට එම ගංවතුර තර්ජනයට මුහුණදීමට සිදු වී ඇත්ද යන අදහස අප තුළ ඇති විය.
එමෙන්ම පස් සොදා වැලි ගරා ගැනීම දැවැන්ත ව්‍යාපාරයක් බව වැලිපිල්ලෑව ප්‍රදේශයේ කළ විමසුමක දීද හෙළිකර ගත හැකි විය. සියල්ල සිදු වනුයේ ප්‍රදේශයේ දේශපාලන බල අධිකාරියේ පූර්ණ අනුදැනුම හා මෙහෙයවීම මත බවට තවදුරටත් විමසිලිමත්වීමේ දී හෙළි කර ගත හැකි විය.
කොතනක හෝ සිදු වන පරිසර විනාශයක් තවත් තැනකට බලපෑම් කරන බවට හොඳ උදාහරණය සපයනුයේ පෝට්සිටිය ඉදිකිරීමේ දී ගාලු මුවදොර මුහුද ගොඩකිරීම හේතුවෙන් වෙනස් වන මුහුදු දියවැල්හි ගමන් රටාව කැලණි ගංමෝය තුළ රොන් මඩ තැන්පත් විම කෙරෙහි බලපාන බව හා ඒ හේතුවෙන්ම කැලණි ගඟ පිටාර ගැලීමෙන් ගංවතුර තර්ජනයෙහි නව තත්ත්වයන් නිර්මාණය වී ඇති බවත්, පරිසරවේදීන්ගේ මතය බවට පත්ව තිබීමය.
ඒ අනුව විනාශය දොරකඩට පැමිණෙන තෙක් බලා සිටිනු වෙනුවට අවධියෙන් සිටීමේ වගකීම ඇත්තේ ජනතාව සතුවය. එමෙන්ම තම අවිධිමත් ක්‍රියාකාරකම් හේතුවෙන් විපතට පත් ජනතාව සඳහා සහන සැලසීමට කටයුතු කිරීමේ වගකීමද පැවරී ඇත්තේ ඒ සඳහා අනුමැතිය දෙන දේශපාලන බලඅධිකාරියටත්, නිලධාරී පැලැන්තියත් සතුව බව අවසාන වශයෙන් සඳහන් කළ යුතුය.

නිලධාරීන් හරියට කටයුතු කරලා නැහැ…
– දර්ශි

ගංවතුරට අහුවුණ කොටසකට තක්සේරු වන්දි මුදල් ලැබුණත්, තවත් කොටසකට මුකුත්ම ලැබුණේ නැහැ. දැන් 2016 සහ 2017 වර්ෂ දෙකේම වන්දි වශයෙන් රුපියල් 1500.00 ක් තක්සේරු කරලා එවලා තියෙනවා. ඒක මොන පදනමකින් කෙරෙනවාද දන්නේ නෑ. මේ කාරණයේදී අදාළ ලිපි ලේඛන අවශ්‍යතැන්වලට නියමිත කාලසීමාවේදී යොමු කරන්න නිලධාරීන් කටයුතු කරලා නැහැ.

අවුරුදු දෙකේදිම වන්දි ලැබුණේ නැහැ…
-ජේ. පේමවතී

2016 හා 2017 යන අවුරුදු දෙකේම අපට මොනම වන්දියක්වත් ලැබුණේ නෑ. මේ ගෙවල් ගංවතුරට යට වෙන්න පටන් ගත්තේ දැන් අවුරුදු දෙක තුනක ඉඳලා. ඊට කලින් මෙහෙම වුණේ නෑ. එහෙම වුණත් වතුර ඉක්මනින්ම බැහැලා ගියා. දැන් ගෙඟ් වතුර අඩු වුණත් ගෙවල් යටවෙලා තියෙන වතුර බැහැලා යන්නේ නෑ. මේ ළඟ පස් හෝදන රොන් මඩ ඇළ මාර්ගවල තැන්පත් වෙලා මෙහෙම වෙනවා කියලා තමයි හිතෙන්නේ.


සටහන සහ ඡායාරූප
කිත්සිරි කොඩිතුවක්කු