බලෙන් නිඳි කළ රසවත්තු…

tirimadura
වෙඩි තියන්න තුවක්කුවක්ම ඕනි නැති වුණාට රඟපාන්න කකුලක් නම් ඕනිමයි
January 31, 2018
ranil-ravi
මන්ත්‍රී රවී එජාප උපනායකත්වයෙන් ඉවතට
January 31, 2018
Show all

බලෙන් නිඳි කළ රසවත්තු…

Untitled-2

එක් අතකින් විනයගරුක, යුක්තිගරුක සහ සාධාරණය ඉටු කරන නිලධාරීන් විය යුතු බව අපේක‍ෂා කරන අතර ම, අනෙක් අතින් අසත්‍යය ප්‍රකාශ කර පුද්ගලයන් වැරැදිකරුවන් කළ යුතු බව අපි ඔවුන්ට උගන්වමු. එබැවින්, පොලිස් නිලධාරීන්ට ද දොලොවක් අතර ජීවත් වීමට සිදු වී ඇති බව කිව යුතු ය.”
ඉහත උපුටා ගන්නට යෙදුණේ තිලක් ඉද්දමල්ගොඩ විසින් ලියූ’පොලිසිය සහ ජනතාව’ නම් කෘතියේ මූලාරම්භයේ වූ සටහනකි. මේ කෘතිය ලියූ ඉද්දමල්ගොඩ මහතා (හිටපු) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකි. එපමණක් නොව වසර 36ක් තුළ පොලිස් සේවයෙහි නියුතු අත්දැකීම්වලින් පිරුණු පුද්ගලයෙකි. පොලිස් නිලධාරීන්ගේ අත්පොතක් බවට පත් වූ ‘ශ්‍රි ලංකා පොලිසියේ ප්‍රභවය සහ ව්‍යාප්තිය’ නම් වූ කෘතිය රචනය කළේ ද මෙතුමන් විසිනි. මෙම කෘතියේ සංගෘහිත වනුයේ, ඔහු විසින් පොලිස් සේවය සහ ජන දිවිය ඇසුරුකොටගෙන ජාතික පුවත් පත්වලට සැපයූ වටිනා ලිපි එකතුවකි. මෙහි අනාවරණය වන ප්‍රමුඛ කාරණයන් වනුයේ, අපරාධ ඇති වීමට බලපාන ප්‍රධාන හේතුවක් වනුයේ, දුගී බව යන්නයි. එය සැබැවින් ම සත්‍යයකි. 1988 වර්ෂයේ දී ලෝක බැංකු සභාපතිවරයා මෙවන් ප්‍රකාශයක් කර තිබේ.
දරිද්‍රතාවය විශ්වීය ප්‍රපංචයකි. එය හේතුකොටගෙන ලෝක ජනගහනයෙන් කෝටි 100ක් අවම වශයෙන්වත් ලැබිය යුතු දෑ නොලබන පහත් මට්ටමක ජීවත් වෙති. එබැවින්, රටක සමාජ සහ ආර්ථීක ප්‍රගතියට මරු පහරක් වන මෙය පොළෝ තලයෙන් තුරන් කිරීම බැංකුවේ අරමුණ විය යුතු ය.”

කෙසේ වුව ද, දේශපාලනමය වශයෙන් අප රටක් ලෙස යුග රැසක් පසු කරගෙන විත් හිඳී. හැම අතින් ම සම්පත්වලින් ගහණ අප තවමත් දුප්පත්ව හිඳීමේ රහස පවා දේශපාලනික කාරණයකි. ප්‍රවීණ කිවියර රත්න ශී්‍ර විෙජ්සිංහයන් සිය නවතම කාව්‍ය කෘතිය වන ‘වස්සානෙන් පසුව’ (2017) කෘතියේ ‘ශේක්ෂ්පියර් ගම්මානයේ දී ය’ හිසින් යුතු කවියේ තැනෙක මෙලෙස පවසයි:
විහින් දුප්පත් වන
මගේ පොහොසත් මව්බිම
සිහි වී නොරට තනි වුණ
නෙත’ග කඳුළක් උපදියි…”
ඒ කෙසේ වුව ද, ශී්‍ර ලංකාවේ පොලිසිය සහ ජනතාව අතර නම් ඇත්තේ අනවබෝධයකි. එසේත් නැත් නම්, වෛරයකි. මේ දෙක දෙස ම තුලනාත්මකව බැලිය යුතු වන අතර, රටේ ආරක‍ෂාවට, ජනතාවගේ සාධාරණත්වයට කැප වී සිටින මේ නිලදරුවන් අතින් ද වැරැදි සිදු වන බැව් ජනතාව දනිති. එපමණක් නොව සමහර අපරාධවලට පොලිසියේ සෘජු මැදිහත් වීම් ලද අවස්ථා ඉතිහාසය කියැවීමේ දී පසක් වෙයි.
ඉද්දමල්ගොඩ මහතාගේ zපොලිසිය සහ ජනතාව’ කෘතියේ පොලිස් නිලධාරීන් පත් වන අපහසුතා පිළිබඳව ද සඳහන් ය. පොලිසියට දොස් පැවරීම සාධාරණ ද? යනුවෙන් පොතේ පස් වැනි කොටසින් ඒ පිළිබඳව විග්‍රහ වෙයි. කෙසේ නමුත්, මේ සටහන ලිවීමට මුල් වූයේ පසුගිය දිනෙක (2018.01.18) කළුතර පොලිස් පුහුණු පාසලේ අපරාධ ස්ථාන පරීක‍ෂක නිලධාරීන් මූලික කොටගෙන පැවැත්වුණු දේශන මාලාවට සම්බන්ධ වෙන්නට මා හට ද ඉඩකඩ ලැබීමයි. කවිය සහ සාහිත්‍යය මූලික කොටගෙන සාකච්ඡා කිරීම මා හට පැවරී තිබූ අතර, ප්‍රවීණ කලා ශිල්පීන් වන ජයලාල් රෝහණ, ප්‍රසන්නජිත් අබේසූරිය ඇතුළු තවත් විවිධ ක්ෂේත්‍රයන්හි නියැළෙන්නන් සහභාගී වී තිබිණි. අපරාධ වාර්තා කොට්ඨාසයේ අධ්‍යක‍ෂ පොලිස් අධිකාරී, ජගත් සේරම්, කළුතර පොලිස් පුහුණු පාසලේ අධ්‍යක‍ෂ, පොලිස් අධිකාරී පුෂ්පකුමාර, පොලිස් පරික්ෂක සංජය පෙරේරා, උප පොලිස් පරික්ෂක, චාමර විෙජ්රත්න යන මහත්වරුන්ගේ සංකල්පයෙන්, අදහසින්, සහයෝගයෙන් පැවැත්වුණු මේ වටිනා වැඩසටහනෙහි සම්බන්ධීකාරක ලෙස මහත් මෙහෙවරක් කරනු පෙනුණේ පොලිස් කොස්තාපල් (980) නන්දන කුමාර මහතා විසිනි. වැඩසටහන පුරා ඔවුන්ගේ සැඟවුණු සංවේදී ස්නායු අවදි වන අයුරු පෙනිණි.
මෙවැනි සංකල්ප ඉතා කාලෝචිත යැයි සිතමි. විශේෂයෙන් ම මිනිසුන් වශයෙන් අප සැම හඳුනා ගැනීමට පුංචි කලා කෘතියකින් ඉටු වන මෙහෙය කෙතරම් අගනේ ද යන්න බොහෝ දෙනා පසක් කොට ගත් බව දුටිමි. මෙවැනි නූතන සංකල්ප ඔස්සේ වෘත්තීයමය දැක්ම පුළුල් කොට ගැනීම මුළු මහත් ලංකාව පුරා ව්‍යාප්ත විය යුතු බව මාගේ අදහසයි. පොලිස් සේවයේ නියුතුව ඉතාමත් සියුම් කවි ලියන නූතන ම කවියෙක් අපට සිටියි. ඔහු නමින් ඉලක්ෂ ජයවර්ධනයි. ඔහුගේ කවි දැනට අපට අන්තර්ජාලය ඔස්සේ රසවිඳීමට හැක. අනාගතයේ පොලිසිය ඔස්සේ රටේ සහෘදත්වය වර්ධනය වීම උදෙසා ඉලක්ෂ ජයවර්ධන පාලම් තනනු ඇති. එදින වැඩසටහන අවසානයේ එක් තරුණ නිලධාරියකු මා අත තබා ගිය කොළ කැබැල්ලකි.  දැන් බලන්න එපා. යන ගමන් බලන්න…” ඔහු කීවේ ය. එම කොළ කැබැල්ලේ මෙසේ ලියා තිබුණේ ය.
සැළලිහිණි වත අසා
අලූතින් ඇසට කඳුළක් උනනවා
කාකි රෙද්දට යට වුණත්
හිත තෙතමනය තව තියෙනවා
එකුන් විසි වසක අතීතය
ලියන්නට මටත් අද හිතෙනවා
බලෙන් නිඳි කළ රසවතා
යළි අවදි වූ බව දැනෙනවා…”