අපේ පක්ෂය තමයි, සල්ලි නැති පක්ෂය (එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර)

Gotabaya-Rajapaksa
මෛත්‍රී – ගෝඨා ෆයිල් ඇදීම සහ හැංගීම
February 5, 2018
defgearifgu
මෛත්‍රී, මහින්ද, කරු එක මල් වට්ටියක
February 5, 2018
Show all

අපේ පක්ෂය තමයි, සල්ලි නැති පක්ෂය (එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර)

mahginda amaraweera

බැඳුම්කර වංචාකරුවන්ට නීතිය ක්‍රියාත්මක වෙයි කියලා රටේ ජනතාවට බලාපොරොත්තු තියන්න පුළුවන්ද?

මොන සිද්ධියේ දී වුණත්, ජනාධිපතිතුමා කිසිම කෙනෙකුට සමාවක් දෙන්නේ නැහැ. වැරදි කරලා තියෙනවා නම්, වංචා, දූෂණවලට සම්බන්ධ වෙච්ච කෙනෙකුට ගැලවීමක් නැතැයි කියන එක ඉතාමත් පැහැදිලියි. බැඳුම්කර කොමිසම වෙන්න පුළුවන් වෙනත් ජනාධිපති කොමිසමක් වෙන්න පුළුවන් මේ කොමිෂන් නැති වුණත්, ඒක ආණ්ඩුවේ ද, ශ්‍රී ලංකා ද, යූඇන්පී ද බලන්නේ නැතිව පැහැදිලිව එතුමා දඩුවම් ලබා දීමට කැප වෙනවා කියන එක ගැන ලොකු විශ්වාසයක් අපට තියෙනවා.

සිවිල් නීතිය මගින් මුදල් අය කර ගැනීමට කල් ගත වන නිසා පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කොට වංචාකරුවන්ගෙන් මේ මුදල් නැවත අය කර ගැනීමට වහා කටයුතු කරන බව ජනාධිපතිතුමා පැවසුවා. එම පනතට එජාපය ඡන්දය දේවිද? නැත්නම්, සම්මත කර ගන්නේ කොහොමද? පනත සම්මත නොවුණොත්, ඒ නිසා මුදල් අය කර ගත නොහැකි වූවා යැයි ජනතාවට කිවහැකියි නේද?

ඒ පිළිබඳව මට මේ මොහොතේ මොනවත් කියන්න ඇත්තෙන්ම අදහසක් නැහැ. මොකද? අපි තවම මේ ගැන කියවලා නැහැ. මොකද? මෙය ප්‍රකාශයට පත් කළා විතරයි. මෙය කියවීමකින් තමයි, ජනාධිපතිතුමා සමඟ කතා කළ යුත්තේ. නමුත්, මම කියන්නේ, ජනාධිපතිතුමා මේ ගැන හරියට හිතලයි, එහෙම කියන්නේ. යූඇන්පීයෙත් වංචා, දූෂණවලට විරුද්ධ කට්ටිය ඡන්දය දෙයි කියලා අපි හිතනවා.

මේ මැතිවරණය අතරතුර මේ බැඳුම්කර සිද්ධියට අදාළ අයට දඩුවම් කරනවා යැයි කීම ආණ්ඩුව ජනතාව රැවටීමට යෙදූ උපායක් බව කිව්වොත්?

මේ වාර්තාවයි, ඡන්දයයි අතර කිසිම සම්බන්ධයක් නැහැ. මේ ජනාධිපතිතුමාගේ මැදිහත් වීමෙන් හදපු එකක් නොවෙයි නේ. මේක ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් එකතු වෙලා කරපු පරීක්ෂණයක්. එහෙම උසාවි තීන්දුවක් ගන්න බලාගෙන කරපු එකක් නොවෙයි. එහෙම එකක් මෙතන නැහැ.

මුදල් හා තනතුරු දීලා විවිධ පක්ෂවල පිරිස් ශ්‍රීලනිපයට එක් කර ගන්නා බවට ලොකු චෝදනාවක් තිබෙනවා.

අනේ අපේ පක්ෂයට තමයි, සල්ලි නැත්තේ. අනෙක් පක්ෂ හැම එකටම සල්ලි තියෙනවා. එහෙ ම බැලුවොත් අපේ පක්ෂය තමයි, සල්ලි නැති පක්ෂය. අපි දැනටමත් මොන මොනවා හරි කටයුත්තක් කරන්නේ සාමාන්‍ය මිනිසුන්ගෙන් ලැඛෙන කීය කීය හරි උදව්වකින් මිසක් අපේ පක්ෂයේ මුදල් නැහැ. අපි පක්ෂය භාර ගන්න කොට ශ්‍රීලනිපයෙත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙත් ගිණුම් බැලුවොත්, ශ්‍රීලනිපයේ ගණන මට හරියට මතක නැහැ. ඒක සුළු ගණනක්. එක්සත් ජනතා නිදහස් සන්ධාන ගිණුමේ දැනට තියෙන්නේ, රුපියල් තුන්ලක්ෂ ගණනක් පමණයි. පසුගිය කාලයේ පුද්ගලයන් සල්ලි හම්බ කරලා තිබුණට පක්ෂයට සල්ලි ඉතුරු කරලා තිබුණේ නැහැ.

මැතිවරණයෙන් පස්සේ පොහොට්ටු පක්ෂය සමඟ එකතු වෙලා සභාවල බලය පිහිටුවන්න එකඟතාවයක් තිබෙනවාද?

නැහැ. තව ම එහෙම කිසිම එකඟතාවයක් නැහැ. අපි පක්ෂයක් එක්ක හවුලේ නොවෙයි. අපි බලාපොරොත්තු වන්නේ, අපි හිතන්නේ අපට තනියෙන් මේ පළාත් පාලන ආයතන බහුතරයක බලය පිහිටුවන්න පුළුවන් කියලයි. දැනට අපට 26 ක් වගේ තත්ත්වයක් පේන්න තියෙනවා. අප පටන් ගත්ත කාලයට වඩා එනම්, 2015 ජනාධිපතිතුමා පක්ෂය භාර ගත්තට වැඩියෙන් 2016 දී ඉදිරියට ආවා. 2017 දී තවත් ඉස්සරහට ආවා. නාමයෝජනා දෙද්දී තවත් උඩින් හිටියා. දැන් අපි අද ඉන්නේ, හුඟක් හොඳ තත්ත්වයකින් කියලා මට නම් ලොකු විශ්වාසයක් තිබෙනවා.

පළාත් පාලන මැතිවරණයේ ජය පරාජය පිළිබඳ තක්සේරුව මොන වගේද?

ග්‍රාමීය ප්‍රදේශ බහුතරයක අපට බලය තහවුරු කර ගන්න පුළුවන් කියලා, අපට ලොකු විශ්වාසයක් තිබෙනවා. ඒ වාගේම නාගරික ප්‍රදේශත් අප අත්හරින්නේ නැහැ. වෙනදාට වඩා මුස්ලිම් ජනතාවත්, දෙමළ ජනතාවත් අපට ඡන්දය පාවිච්චි කරන නිසා අප නොහිතපු ජයග්‍රහණයක් අපට ලබන්න පුළුවන්. අපට තනියෙන් මේ පළාත් පාලන ආයතන වැඩි ප්‍රමාණයක බලය පිහිටුවන්න පුළුවන් කියන විශ්වාසය මට තිබෙනවා.


පද්මා වේරගොඩආරච්චි