ගෙරවිල්ල හා වැස්ස

wallhaven-447073
මල්ටිකලර් ඡන්දදායකයන් බිලීබාන බ්ලැක් ඇන්ඩ් වයිට් දේශපාලනය
February 5, 2018
බෙsdvgDr
දෙගොල්ලන්ගේම පැටිකිරියේ පාපොච්චාරණය
February 5, 2018
Show all

ගෙරවිල්ල හා වැස්ස

Lighting-Thunder-Wallpaper-Laptop-Backgrounds-54812-1024x640

ගොරවන තරමට වහින්නේ නැතැයි අපේ ජනවහරේ කියමනක් එයි. යම් කිසි දෙයක් සම්බන්ධව කරනු ලබන කෑ කෝ ගැසීම්, ප්‍රකාශයන් ක්‍රියාවන් බවට පත් නොවීම උපහාසයට ලක් කිරීමට මේ කියමන නිතර නිතර යොදා ගැනේ. දේශපාලන බිමේ ද මේ වැනි දේ නිතර සිදු වෙයි. මේ දිනවල බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ද ඝෝෂාවක් ඇති වී තිබේ.
ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ‘පිරිසිදු දේශපාලනඥයන් පමණක් සිටීමේ අරමුණ කරා යන ගමනේ දී මගේ කඩුවෙන් කවුරුන් කැපෙයි ද කියා මා දන්නේ නැහැ’ යනුවෙනි. ඒ පසුගිය දී බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ශ්‍රීලනිප පාර්ශ්වයෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට එක්ව සිිටින පක්ෂ 31 ක නායකයන් හා නියෝජිතයන් ඉදිරියේය. ඒ අනුව 03 වැනි බදාදා විශේෂ ප්‍රකාශයක් කරමින්, ජනාධිපතිවරයා කඩුව වැනුවේය.
කොමිෂන් වාර්තාවේ කරුණු පදනම් කරගෙන කරුණු ඉදිරිපත් කළ ජනාධිපතිවරයා බැඳුම්කර වංචාව මඟින් මහා පරිමාණ මූල්‍ය අපරාධයක් සිදු වී තිබීමත්, එහි චූදිතයන් හඳුනාගෙන තිබෙන බවත්, ඊට අදාළ නීති ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවත් ප්‍රකාශ කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, විගණන නිලධාරීන් ඇතුළු පිරිසක් මුල් වූ මෙම කොමිසම මාස නවයක් තිස්සේ කමිටු වාර 117 ක් රැස් වී සාක්ෂි විමසීම් සිදු කර පිටු 1,256 කින් යුත් වාර්තාවක් ජනාධිපතිවරයා අතට පත් කර තිබේ. කොමිසමට බලය පැවරුණේ 2015 පෙබරවාරි 01 වැනි දින සිට 2016 මාර්තු 31 දක්වා කාලය පිළිබඳව පරීක්ෂණ සිදු කිරීමටය. එහෙත්, කොමිෂන් සභා වාර්තාව සඳහන් කර ඇත්තේ, මෙවැනි වංචාවක් 2008 සිට 2015 දක්වා කාලයේ ද සිදුව ඇති බවයි. සේවක අර්ථසාධක අරමුදල වැඩිපුරම විනාශ වී ඇත්තේ, ඒ කාලයේ බවද පවසා තිබෙන කොමිසම ඒ ගැන වෙනම පරීක්ෂණයක් කළ යුතු බවද අවධාරණය කර තිබේ.
ඒ අනුව පෙනී යන්නේ රාජපක්ෂ පාලන සමයේ දිගටම කරගෙන එන ලද වංචාවක් වත්මන් හවුල් ආණ්ඩුව බලයට පත් වීමත් සමඟ මහා පරිමාණයෙන් සිදු කර තිබෙන බවයි.
2015 – 2016 කටයුතු සම්බන්ධයෙන් වාර්තාව සවිස්තරවම කරුණු දක්වන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා අර්ජුන් මහේන්ද්‍රන් මහතා බැංකු නිලධාරීන්ගේ ද, වෙනත් බාහිර පුද්ගලයන්ගේ ද සහභාගීත්වය හරහා පර්පැචුවල් ට්‍රෙෂරීස් සමාගමට ලාභ ලැබීමට නීත්‍යනුකූල නොවන අන්දමින් සහාය ලබා දී ඇති බව තහවුරු වී තිඛෙන බව ප්‍රකාශ කළේය.
එවකට මහ බැංකු අධිපති වූ අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස්ගේ සමාගම 2015 පෙබරවාරි 27 පැවැත් වූ වෙන්දේසියෙන් රුපියල් මිලියන 688 කට වැඩි ලාභයක් ද, ඉන් පසුව රුපියල් මිලියන 11,145 ක ලාභයක් ද අවම ලෙස ලබා ඇති බව වාර්තාව තහවුරු කරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
මෙම පාඩු වූ මුදල් නැවත අය කර ගැනීමට ද, ඒ සඳහා පරීක්ෂණ කළ කොමිසමේ වියදම් ද චූදිතයන්ගෙන් අය කර ගැනීමට ද නීති මඟින් ක්‍රියා කරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. එසේම වැරදිකරුවන්ට නීති මගින් දඩුවම් ලබා දීමට වාර්තාව නීතිපතිවරයාට භාර දෙන බවද, එසේම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ප්‍රකාශ කළේය. මෙහිදී අර්ජුන් මහේන්ද්‍රන්ගේ ප්‍රකාශ විශ්වාස කරමින්, අගමැතිවරයා කටයුතු කර ඇති බවත්, එය ඔහු නොකළ යුතු දෙයක් වූ බවත් වාර්තාව සඳහන් කර තිබෙන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
කෙසේ වුවත්, මෙම මහා මූල්‍ය වංචාව අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ හුදු සැලැස්මක් යැයි සිතීම දේශපාලන මෝඩකමකි. නැතහොත්, රැවටිල්ලකි. එම තීන්දු තීරණවලට දේශපාලන හස්තයකින් රැකවරණ ලැබුණු බවට සැකයක් තිබිය නොහැකිය. බොහෝ අවස්ථාවල සිදු වන්නාක් මෙන් තෝරුන්, මෝරුන් බේරී හාල්මැස්සන් වැරදිකරුවන් වීම ද සිදු වන බව පෙනී යයි. පසුගිය රාජපක්ෂ පාලන සමයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් සිල් රෙදි බෙදීම මීට කදිම උදාහරණයයි. එහි වැරදිකරුවන් වූයේ අදාළ නිලධාරීන් මිස රාජපක්ෂ මහතා නොවේ.
මෙම ජනාධිපති කොමිසමෙන් හෙළිව තිබෙන බොහෝ කරුණු මීට ඉහත දී කෝප් කමිටුව මගින් හෙළි කරන ලද කරුණු තව දුරටත් තහවුරු කිරීමක් බව පැහැදිලිය. මෙම වංචාව සිදු වූ වහාම අප පුවත්පත මගින් 2015 මාර්තු 08 දින මෙය හෙළිදරව් කළ බවද මෙහිදී සිහිපත් කළ යුතුය. එතැන් සිට මේ දක්වා ගත වූ වසර තුනකට ආසන්න කාලය දෙස බැලීමේ දී පෙනී යන්නේ මෙය හෙළි කර ගැනීමට හෝ ඒ ගැන පරීක්ෂණ කිරීමට හෝ වත්මන් පාලනයට කිසිදු වුවමනාවක් නොපැවති බවය.
ඊට පෙර පැවති කෝප් කමිටුව ද මේ ගැන වාර්තාවක් ඉදිරිපත් කිරීමට තිබිය දී 2015 පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. ඉන් පසු පත් වූ වත්මන් කෝප් කමිටුව මේ ගැන පරීක්ෂණ සිදු කළේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගෙන්
එල්ල වූ විශාල බාධා කිරීම් මධ්‍යයේය. ‘ෆුට් නෝට්’ කණ්ඩායමක් බිහි වීම ද, පසුව හෙළි වූ දුරකථන හුවමාරු කටයුතු ද, බැඳුම්කර සිදුවීම තුළ වංචාවක් නැතැයි පොත් ප්‍රකාශයට පත් වීම් ද ආදී බොහෝ සාක්ෂි ඊට වෙයි. ජනාධිපති කොමිසමක් පත් කිරීමට සිදු වූයේත්, එකී කෝප් වාර්තාව එළිදැක් වූ නිසා බව පැහැදිලිය.
මේ වන විට රට තුළ පැවතියේ තනි පක්ෂ පාලනයක් නම්, අඩුම තරමින් මෙවැනි කොමිෂන් වාර්තාවක්වත් එළියට නොඑන බව අමුතුවෙන් කිව යුතු නොවේ. ආණ්ඩුවේ පක්ෂ දෙකේ පවතින ගැටුම නිසාත්, ප්‍රගතිශීලී බලවේගවල බලපෑම නිසාත් මෙම හෙළිදරව් වීම සිදු වී තිබෙන බව පැහැදිලිය. ඒ නිසා ජනාධිපති කඩුව වැනූ පමණින් කිසිවක් සිදු වන්නේ නැත. තවමත් එය හුදු සංදර්ශනයක් පමණි. ඉහත ජනවහර අනුව ගත්තොත්, ගොරවනවා පමණි. එහෙත්, ජනතාවට අවශ්‍ය වන්නේ වැස්සය.