දූෂණ විරෝධී සටන දූෂණය කිරීමට ඉඩ නොදෙමු ! පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය, සාහිත්‍යවේදී ලියනගේ අමරකීර්ති

බෙsdvgDr
දෙගොල්ලන්ගේම පැටිකිරියේ පාපොච්චාරණය
February 5, 2018
ාෙවතත
ජනතාවගේ අතෙයි හැන්ද තියෙන්නේ… (ප්‍රවීණ සිනමාවේදී අනුරුද්ධ ජයසිංහ)
February 5, 2018
Show all

දූෂණ විරෝධී සටන දූෂණය කිරීමට ඉඩ නොදෙමු ! පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය, සාහිත්‍යවේදී ලියනගේ අමරකීර්ති

widwath kathikawatha

‘දූෂණයෙන් තොර ගමක්’ යන තේමාව යටතේ පසුගිය ජනවාරි 03 වැනිදා කොළඹ තැපැල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පවත්වන ලද සම්මන්ත්‍රණයේ කාලීන බව සලකා එහිදී විවිධ විද්වතුන් දැක් වූ අදහස් මෙම ලිපියේ පළ කෙරේ. ‘වෙනසක ඇරඹුම’ සංවිධානය විසින් එම සම්මන්ත්‍රණය පවත්වනු ලැබීය.

පළාත් පාලන මැතිවරණය ගැන නිවේදනය ලද විගස ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දෙන්න ඕනෑ බව එළිපිට කියූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කිහිප දෙනාගෙන් කෙනෙක් මම. 2011 පළාත් පාලන මැතිවරණයේදීත් අපි මහජනතාව අතරට ගිහින් ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දිය යුතු බව කීවා. ඊට පසු මැතිවරණවලදීත් ඒ බව කීවා. හැබැයි මම ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙක් නෙමෙයි. ඒ පක්ෂය ගැන නිරන්තර විචාරාත්මකව ඉන්න කෙනෙක්.
මේ මැතිවරණයේ දී මේ රටේ දේශපාලන ප්‍රභූ තන්ත්‍රය පක්ෂ දෙක තුනකට කැඩී තිබුණත්, ඒ ප්‍රභූ තන්ත්‍රය අත්‍යන්තයෙන් දූෂිත බව අපි කවුරුත් දන්නවා. ඒ දූෂිත බව පෙන්වන දේශපාලනික ආචාර ධාර්මික දර්පනය තමයි ජනතා විමුක්ති පෙරමුණ. මේ යෙදුමෙන් මම අදහස් කරන්නේ දූෂිතයෙක් නෙමෙයි කියලා මහජන ඇසෙහි පිළිබිඹු වෙනවා නම් ඒ මහජනයා තමයි දර්පනය. මේ දේශපාලන ප්‍රභූ තන්ත්‍රයේ දූෂිත බව සමාජයට සහ ඔවුන්ටම පෙන්වන දර්පනය තමයි ජනතා විමුක්ති පෙරමුණ. ඒ දර්පනය අපි දිහාටත්, පොදු මහජනයා දිහාටත්, දේශපාලනඥයන් දිහාටත් අල්ලන්න ඕන. මේ වගේ මැතිවරණයකදී අපි සාමාන්‍ය ගැමි ජනතාව අතරට ගිහින් මුහුණට මුහුණ සංවාද කළ යුතු බවයි මගේ අදහස. මම දැනටමත් ඒ දේ කරනවා.
තව වැදගත්ම දෙයක් තමයි ආර්ථීකමය වටිනාකමක් තිබෙන මහජන දේපොළ හොරකම් කරන එකට වඩා දූෂණයෙන් තොරයි කියලා ප්‍රතිඥා දීමෙන් ඒ සංකල්පය සමාජගත කිරීම වැදගත්. සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේ දී ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂක, අපේක්ෂිකාවන් සහ එහි නායකයන් බොහොම ගරු ගාම්භීර විදිහට ඒ ප්‍රතිඥාව දුන්නා. ඉන් පස්සේ ඒක මෛත්‍රීපාල ජනාධිපතිවරයත් කළා. මහින්දත් කළා. හැබැයි බලා ඉන්න කොට ඒක විකට නාටකයක් වගේ. සමහර අය පපුවට අත තියාගෙන වටපිටත් බලනවා මම දැක්කා. තව කවුරුත් ප්‍රතිඥා නොදී ඉන්නව ද කියලා. ආචාර ධාර්මික දේශපාලන දර්පනය තියෙනවා ද කියලයි ඒ බලන්නේ. අපි මේ බොරුව කරනවා කියලා කවුරුවත් දකී දැයි බයෙන් වටපිට බලන්නේ. අන්න ඒ දර්පනයක් වීමේ විභවතාව ජනතා විමුක්ති පෙරමුණට සහ එහි අපේක්ෂකයන්ට තිබෙනවා. ඒ ශක්තිය අපි දියුණු කර දූෂණ විරෝධී සටන දූෂණය කිරීමට අර දූෂිතයන්ට ඉඩ නොදෙමු. මේ මැතිවරණයේ දී ඉතාමත් ප්‍රගතිශීලී වෙනසක් වෙලා තියෙනවා. පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය වැඩි කිරීමයි. අපේක්ෂකයන් වැඩි වෙලා විශාල වියදමක් යන ප්‍රායෝගික ප්‍රශ්න තියෙන බව ඇත්ත නමුත් මේ රටේ දේශපාලනයේ ස්ත්‍රී නියෝජනය අවශ්‍යයි කියන එක ඉතාම වැදගත් ප්‍රගතිශීලී වර්ධනයක්. අර දේශපාලන පක්ෂ ස්ත්‍රීන් පාවිච්චි කරන්නේ තමන්ගේ ලැයිස්තුවේ සැරසිල්ලක් හැටියට. නමුත් ස්ත්‍රීන් කියන්නේ දේශපාලන සැරසිල්ලක් නෙමෙයි. ස්ත්‍රීන්ගේ කාරක ශක්තිය, ඒ ගොල්ලන්ගේ චින්තන ශක්තිය, ඒ ගොල්ලන්ගේ තාර්කික ශක්තිය වැනි දේ සංවර්ධනාත්මක දිශාවකට ගන්න ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂයකට පුළුවන්. ස්ත්‍රී දේශපාලන ක්‍රියාධාරිනියන් මේ මැතිවරණයෙන් නිර්මාණය කර ගන්න පුළුවන්. දූෂණ විරෝධී සටනට පළල් අර්ථකථනයක් දෙන්න මේකත් සමත් වෙනවා.
හුදෙක් ආර්ථීක දූෂණ, මහජන දේපොළ හොරාකෑම වගේ දේ වැළැක්වීමටත් වඩා අලුත් දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමේ සහ ප්‍රජාතන්ත්‍රවාදයට අර්ථවත් භාවිතයක් එකතු කිරීමේ අර්ථයෙන් මේ මැතිවරණය භාවිත කරන්න පුළුවන්. අවුරුදු හැත්තෑවක් මේ රට පාලනය කළ, විශේෂයෙන් 1977 න් පස්සෙ රට පාලනය කළ දේශපාලන ප්‍රභූ තන්ත්‍රය අතිශයින්ම දූෂිත බව සක්සුදක් සේ පැහැදිලියි. මේ පසුබිම තුළ ජනතා විමුක්ති පෙරමුණත්, ඊට අමතරව සිවිල් ක්‍රියාකාරී කණ්ඩායමුත් අර දේශපාලන දර්පනය ගොඩනඟලා තිබෙනවා. ඊට වැඩිය බරපතළ ප්‍රශ්නයක් තියෙනවා. දූෂිත ප්‍රභූවරුන්ගේ ඊළඟ පරම්පරා ගොඩනැගෙන්නේම හොරාකෑමේ සංස්කෘතිය තුළ. අපේ රටේ දේශපාලන ප්‍රභූ පන්තිය ඉතාම අසාර්ථක, අබුද්ධික පිරිසක්. මොවුන්ගේ දුවල පුතාලා බටහිර යුරෝපය ඇතුළු රටවල අධ්‍යාපනය ලබන්න අර හොරාකාපු සල්ලිවලින්ම යවලා තිබෙනවා. ඔවුන් ආපසු මේ රටට ආවහම කිසිම ශිෂ්ටත්වයක් සබුද්ධික බවක් තිබෙනවාද කියල බලන්න. නමුත් ආචාර්ය එන්. එම්. පෙරේරා ඒ කාලේ එංගලන්තෙ ඉඳල ඇවිල්ලා කරපු කතා බලන්න. මේ අයගෙ පුතාල කතා කරන කොට එහෙම තත්ත්වයක් ඇහෙනවාද? ඇහෙන්නේ ව්‍යාජ, මජර, චණ්ඩි, අබුද්ධික කටහඩක්.
අපිත් මධ්‍යම පාන්තික උගත්තු විදිහට කල් බල බලා ඉඳලා ජේවීපී එකට උදව් නොකර ඉඳීම නෙමෙයි, ඉක්මනින් මැදිහත් වුණේ නැත් නම් අපි පරක්කු වැඩි වෙයි. ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් පළල් වාම ප්‍රගතිශීලී පෙරමුණක් බිහි කිරීම සඳහාත් මේ මැතිවරණය භාවිත කරන්න පුළුවන්.

දූෂණය පාලනය කරන්න පුළුවන්
හිටපු අමාත්‍යාංශ ලේකම්
ඒ.පී.ඒ. ගුණසේකර

අද අපිට කතා කරන්න පැවරී තිබෙන මාතෘකාව ‘දූෂණයෙන් තොර ගමක්’ කියන එක. ඉතාමත්ම පුළුල් සාකච්ජාවක් කළ යුතු මාතෘකාවක්. නමුත් කාලයේ සීමිත බව නිසා මේ සම්බන්ධයෙන් නිලධාරීන්ට පැවරී තිබෙන කාර්යභාරය ගැන කතා කරන්න කැමතියි. අවුරුදු 40 කට අධික කාලයක් නිලධාරියෙකු වශයෙන් සේවය කළ අත්දැකීම් මට මතක් වෙනවා. මම ඒ.ජී.ඒ. හැටියට මැදවච්චියේ ඉන්න කාලේ දිසා ඇමති ක්‍රමය හඳුන්වා දුන්නා. අනුරාධපුර දිසාපතිතුමා අමරහේවා මද්දුම මැතිතුමා. අලුත් දිසා ඇමතිවරයා අනුරාධපුරයේ දිසා ඇමති හැටියට රාජකාරී භාර ගත් උත්සවයේ දී දිසාපතිතුමා දිස්ත්‍රික්කයේ ඉතිහාසය ගැන පැහැදිලි කිරීමක් කළා. ඉන් පසු දිසා ඇමතිවරයාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාව දුන්නා. දිසා ඇමතිවරයා මෙන්න මෙහෙම කිව්වා.
“මෙතුමා කිව්ව ගොඩක් දේවල් මම දන්නේ නැහැ. මට ඒව දැනගන්න ඕනත් නැහැ. මට ඒවයෙ වැදගත්කමකුත් නැහැ. මෙතැන ඉන්න නිලධාරීන්ට එක දෙයක් කියන්න කැමතියි. අද ඉඳලා ඒ. ආරුත් නැහැ, එෆ්. ආරුත් නැහැ, ඉන්නේ ජේ.ආර්. විතරයි කියල මතක තියා ගන්න” එතන හිටිය අපි හැමෝම මූණට මූණ බැලුවා. ජේ.ආර්. මැතිතුමා එතුමගෙ කාර්යභාරය ඉෂ්ට කරල ජාතියෙන් සමුගෙන ගිහිල්ලා. නමුත් ඒ.ආර්., එෆ්.ආර්. ඒ විදිහටම තියෙනවා. ඒ එකක්වත් සෘජු රේඛාවල් නෙමෙයි. රාමු තියෙන්නේ. ඒ ඇතුළේ නිලධාරීන්ට හැසිරෙන්න පුළුවන්. පසුගිය කාලේ එම්. ආරුත් ඔයිට බොහොම සමානකම් තියෙන කතාවල් කළා. චක්‍රලේඛ නීතිරීති පොත් ඕන නැහැ. අපේ මන්ත්‍රීවරු කියන විදිහට කටයුතු කරන්න කියලා දිස්ත්‍රික්කයක ප්‍රධාන රැස්වීමකදී කිව් බව මට මතකයි.
පසුගිය කාලේ මහ ගංවතුරක් ගැලු බව අපි කවුරුත් දන්නවා. ඒකෙදි කියනව ‘ඔය චක්‍රලේඛ අරව මේව මොකුත් බලන්නෙ නැතිව වැඩ කරන්න’ කියලා. සුනාමි ආපු වෙලාවෙත් ඔය කතාව කිව්වා. ගංවතුරක් හරි සුළි සුළඟක් හරි එන හැම වතාවෙදිම කියනවා. හැබැයි එවැනි අවස්ථාවකදී ක්‍රියා කළ යුතු අකාරය පිළිබඳ එක චක්‍රලේඛයක් නිකුත් කරල තිබුණා නම් අර වගේ කතා කියන්න ඕන නැහැ. සමහර තැන් අන්තගාමී වෙන්න පුළුවන්. නමුත් නිලධාරීන්ට මහජනතාව වෙනුවෙන් ක්‍රියා කරන්න නීතිරීති පද්ධතියක් තියෙනවා. නිලධාරීන්ගේ කටයුතු ටික මේ රාමුව ඇතුළේ ස්වාධීනව කරගෙන යන්න ඉඩ දෙනවා නම්, දූෂණය හුඟක් අඩුවෙන බව මා විශ්වාස කරනවා. ඇත්ත වශයෙන්ම කැපවෙලා ජනතාවට සේවය කළ නිසා ඒ අත්දැකීම් මට තියෙනවා. යම් කිසි නොගැලපෙන රීතියක් තියෙනවා නම් ඒක වෙනස් කර ගන්න පුළුවන්.
නමුත් දශක කිහිපයක් තිස්සේ ජාතික මට්ටමින් හෝ පළාත්, දිස්ත්‍රික් මට්ටමින් හෝ ගම් මට්ටමින් හෝ නිලධාරීන්ගේ රාජකාරී ස්වාධීනව ඉෂ්ට කරන්න වෙන්නේ නැහැ. අපි පුංචි කාලෙදී ජීවත් වෙච්ච ගම මට මතක් වෙනව. ඒ ගම් හරියට ඕලු, නෙළුම් පිපුණු පොකුණු වගේ පිරිසිදුයි. අද අපි දකින ගම ජපන් ජබර, සැල්වීනියා බෝවෙලා වල් පැළෑටිවලින් ගහන වෙච්ච ගමක්. ගම මෙතෙන්ට ගෙනිච්චෙ කවුද කියන එක අපි හැමෝගෙම හිත් දන්නවා. මෙන්න මෙතනින් ගම ආපහු පිරිසිදු ජලය තිබෙන ලස්සන පොකුණක තත්ත්වයට ගෙනියන්න පුළුවන් නම් අපි සාර්ථක වෙන්නේ එතනදී.
අපිට මේක සාර්ථක කර ගන්න බැරිද? මම හිතනවා පුළුවන් කියලා. එහෙම නම් දේශපාලකයා දේශපාලකයාගේ වැඩ කොටස කරන්න ඕන. ඔහු ඉන්නේ රාජ්‍ය තන්ත්‍රයේ. එතන වගකීම ඉෂ්ට කරලා රාජ්‍ය යන්ත්‍රයේ ඉන්න නිලධාරියාට ඒ වැඩ කොටස කරන්න දෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. නිලධාරියා හරියට කටයුතු කරන්නේ නැත්නම් ඒ ගැන කටයුතු කරන්න ක්‍රම තියෙනවා. ඉස්සර ගමේ හිටිය ආරච්චි මහත්තය. ඒ අයගේ ක්‍රියාකාරීත්වය සුදුසු නැහැ කියලා එක් දහස් නමසිය හැට ගණන්වල ග්‍රාම සේවක ක්‍රමය ඇති කළා. පස්සේ ග්‍රාමසේවා නිලධාරී වෙලා දැන් ග්‍රාම නිලධාරී.
ග්‍රාම නිලධාරීන් කියන්නේ මැතිවරණ රාජකාරී කරන්න ඉන්න අපක්ෂපාතී නිලධාරීන් පිරිසක්. එක් අවස්ථාවකදී දේශපාලන පත්වීම් දීපු වගා නිලධාරීන්, විශේෂ සේවා නිලධාරීන් බුරුතු පිටින් ග්‍රාම නිලධාරී සේවයට කා වැද්දුවා. දේශපාලනයට සම්බන්ධ මේ නිලධාරීන් කොටසට කෙළින්ම මැතිවරණ රාජකාරී භාර වුණා. අදත් ග්‍රාම නිලධාරීන් බඳවා ගන්න විභාගයක් පවත්වලා තියෙනවා. ඒ අයට පත්වීම් නැහැ. ග්‍රාම සේවකලා වශයෙන් ඉඳලා විශ්‍රාම ගිය අය කොටසක් අර ගන්න කටයුතු කරමින් තිබෙනවා. මේ අය තෝරලා එවන්නේ දේශපාලනඥයන්. එහෙම නම්, ගම් මට්ටමේ ඉන්න වැදගත්ම නිලධාරියාගේ ස්වාධීනත්වය රැකෙනවාද?
මගේ අත්දැකීමක් කියල කතාව අවසන් කරන්නම්. ඔබට මතක ඇති එච්.එස්.බී.සී. බැංකුවෙන් ඩොලර් මිලියන 500 ක ණයක් රජය ලබා ගත්තා. එතකොට මම ඛනිජ තෙල් අමාත්‍යාංශයේ ලේකම්. එක් අවස්ථාවකදී මහ බැංකු අධිපතිතුමා මට කතා කර කීවා ඛනිජ තෙල් සංස්ථාව වැඩියෙන්ම ඩොලර් පාවිච්චි කරන නිසා මහ බැංකුවේ ඇප වීම මත ඩොලර් මිලියන 300 ක් විදේශ බැංකුවකින් සෘජුවම සංස්ථාවට ණය ගන්න කියලා. ඒ වෙනකොට අපි විදේශ විනිමය ගැටලුවක හිටියේ. මම කීවා ලිඛිිතව එවන්න කියලා. අවම පොලියකට ඩොලර් මිලියන 300 ක් ණයට ගැනීමට සැලසුම් කර ලිඛිතව දන්වන ලෙස මම සංස්ථාවට ලිඛිතව දන්වා යැව්වා. ඒ වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගන්න කැබිනට් සංදේශයක් ඉදිරිපත් කළ යුතුයි. නමුත් දේශපාලනඥයෝ මැදිහත් වෙලා ඒ ණය ගන්න බැංකු තෝරාගෙන තිබුණා. මෙතන තියෙන ප්‍රශ්නය මම තේරුම් ගෙන විගණකාධිපතිට ලිඛිතව දැන්වූවා. මේ කරුණු සොයා බලා නිවැරදි මාවතට ගන්න කියලා ඉල්ලීමක් කළා. පිටපත් ජනාධිපති ලේකම් ඇතුළු අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්ට යොමු කළා. ඉන් පස්සෙ ඒ ණය ගැනීම නතර වුණා. මම මේකෙන් කිව්වෙ නිලධාරීන්ට කොන්ද කෙළින් තියාගෙන ස්වාධීනව කටයුතු කරන්න පුළුවන් නම්, ඔය දූෂණය ගොඩක් පාලනය කරන්න පුළුවන් බවයි. දූෂණයෙන් තොර ගමක් තැනීමේ දී නිලධාරීන්ගේ ස්වාධීනත්වය ආරක්ෂා කරමින් රටේ පාලන තන්ත්‍රය නිවැරදි කිරීමට කැමති දේශපාලනඥයන් ගම් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වාම පත් කරන වගකීම තියෙන්නේ පුරවැසියාටයි.

මෙතන තියෙන්නේ අපේ ලැජ්ජා නැතිකම
නීතිවේදී
හර්ෂණ නානායක්කාර

වංචාව, දූෂණය සම්බන්ධයෙන් අපේ රටේ ප්‍රධාන මත තුනක් තිබෙනවා. ‘පොඩ්ඩක් ගැහුවට කමක් නෑ, රටට වැඩක් කරනවා නම්’, ‘කලින් ආණ්ඩුව නම්, හොරකම් කළාට වැඩ කළා. මේ ආණ්ඩුව හොරකම් කරනවා විතරයි’, ‘ඔයගොල්ලො කොච්චර කතා කළත්, හොරකම, වංචාව නවත්වන්න බෑ. ඕක දිගටම වෙනවා’ මේ වාගේ මත නිසාම සමාජයට වෙන හානිය පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා.
මේ හානිය ආරම්භ වෙන්නේ අන් පුද්ගලයකුගේ චින්තනය මත නොවෙයි, තමන්ගේ චින්තනය මතමයි. මේ රටේ අල්ලස් පනත ඉදිරිපත් කරන්නේ, 1954 දී. නමුත්, අද 1954 ට වඩා දූෂණය, අල්ලස, වංචාවෙන් කිසිදු අඩුවක් නැහැ. ප්‍රශ්නය තියෙන්නේ අපේ මනසින් අනුමත කරන දූෂණයන් තිබීමයි. උදාහරණයක් හැටියට අපි රජයේ කාර්යාලයකට ගියොත්, එතන කාට හරි තේ බොන්න යැයි කියලා මුදලක් දෙන්න බලනවා. මෙතන දී සිදු වන්නේ අපි ඒ දේ කරලා, අනෙක් අයටත් ඒ කර ගන්න විදිය කියා දීමයි. අපි වංචාව මාකට් කරලා දුන්නේ එහෙම. අපි නොහිතාම අල්ලස් ගැනීමට අවස්ථාවක් හදලා දුන්නේ මෙහෙම.
අධිකරණ පද්ධතිය, රෝහල්, විදුලිබල මණ්ඩලය වාගේ තැන්වල සුළු කාර්ය මණ්ඩලයට අල්ලස් දී කුමක් හෝ පුංචි දෙයක් කර ගන්න උත්සාහ කරනවා. අර මහා පරිමාණ දූෂණයට වඩා මේ තත්ත්වය භයානකයි. මක් නිසා ද යත්, යම් කාර්යයක් කරන කොට අල්ලස, දූෂණය වශයෙන් කොටසක් වෙන් කරලයි තියෙන්නේ. නමුත්, දුප්පත් මිනිහා මේකෙන් බැටකනවා.
අපි ඇමතිවරුන්ට පුරුද්දක් වශයෙන් බැණ බැණ හිටියට මේවාගේ පහත් තැන්වල දේවල් බලනවා හරි අඩුයි. මෙවන් තත්ත්වයක් යටතේ රටට නීතිය පමණක් තිබිලාම හරියන්නේ නැහැ. අල්ලස, දූෂණය නවත්වන්න උනන්දුවක්, වුවමනාවක් තිබිය යුතුයි. බහුතරයක් දෙනා දේශන පැවැත්වූවාට අපිට ප්‍රශ්නයක් ආ හැටියේ ඒ සියල්ල අමතකයි. ‘මිනිහා පොඩ්ඩක් ගහනවා ඇති. ඒත් හරි හොඳ මිනිහා. අනික් අයවත් හොඳින් බලා ගන්නවා’ වාගේ මත දක්වමින්, දූෂණයට යට වෙනවා. මෙතන තියෙන්නේ අපේ ලැජ්ජා නැතිකම. අපි අපේ මනසින් අල්ලස, දූෂණය අනුමත කරන තාක් කල් අල්ලස, දූෂණය නවත්වන්න බැහැ. අපි අපේ රටේ ආයෝජනය කරන්න බැරි අල්ලස, දූෂණය නිසා බවට චෝදනා කරනවා. නමුත්, කිසිම කෙනෙක් අල්ලස, දූෂණය තිඛෙන තැනක ආයෝජනය කරන්නේ නැහැ. මොකද? එහෙම දෙන්න ගියොත්, ඒකේ සීමාවක් නැති නිසා. එනිසා මෙවන් රටවලට විදේශ ආයෝජකයන් පැමිණීම හෝ රැකියා ඇති වීම හෝ සිද්ධ වෙන්නේ නැහැ.
විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කළ මුදල් බිලියන ගණනින් භාවිත නොකර නැවත භාණ්ඩාගාරයට යවලා තියෙනවාලු. ඉස්පිරිතාලේ මිනිසුන්ට බෙහෙත් නැත් නම්, මිනිස්සු ඇඳන් යට නිඳියනවා නම්, භාණ්ඩාගාරයට දෙන්න මෙහෙම සල්ලි ඉතුරු වෙන්නේ කොහොමද? ඉස්කෝලේ ඩෙස්ක් පුටු නැත්නම්, ගුරුවරුන් නැත්නම්, ප්‍රතිපාදන ඉතුරු වෙන්නේ කොහොමද? දූෂණ නිසා සමාජයට සිදු වන ප්‍රශ්නයක් මේක. ඒ ගොල්ලන්ගේ අතට ගාණ ආවේ නැත්නම්, කිසිදු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒකෙන් වන්දි ගෙවන්න වෙන්නේ සමාජයට. මේ තත්ත්වය ඇති වන්නේ අර රුපියල් සීයක් වගේ පුංචි මුදලක් ගන්න කම්කරුවාගේ ඉඳලා ඉහළට.
ආණ්ඩුවට පුළුවන් නීති පනවන්න විතරයි. නමුත්, එය ක්‍රියාත්මක කිරීමේ දී අපිටත් වගකීමක් තියෙනවා. ‘පොඩ්ඩක් ගැහුවට කමක් නෑ, රට හැදුවා නේ’ කියන මානසිකත්වය නැත්නම්, ඒ පොඩ්ඩ ඉතුරු වෙලා විශාල ධනස්කන්ධයක ප්‍රතිලාභ රටට ලැබෙනවා. අද මේ මහා ධනස්කන්ධය ජනතාවගේ වුවමනාවන් සඳහා පාවිච්චි වෙන්නේ නැහැ. එළඹෙන පළාත් පාලන මැතිවරණයෙන් මේ තත්ත්වය වෙනස් කිරීම ගැනයි, සමාජයක් විදියට කල්පනා කළ යුත්තේ.

මිනිස්සු ඉන්නේ අන්ත අසරණ තත්ත්වයක
ජනප්‍රිය ගායක,
ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක,
සුනිල් පෙරේරා

මේ සියලු දෙනා අද මෙතනට එකතු වෙලා ඉන්නෙ ‘දූෂණයෙන් තොර ගමක්’ කියන එක ගැන කතා කරන්න. ඇත්තටම ඒක කරන්න පුළුවන් ද කියන එක තමයි අපි මුලින්ම හිතන්න ඕනෙ. වැඩි දෙනෙකුගේ අදහස නම්, ඒක කරන්න බැරි දෙයක් කියන එක. ඒ වෙනුවෙන් කරන මහන්සිය තේරුමක් නැති දෙයක් කියන එක. ඒත් ඒක එහෙම නෙමෙයි. හැම දේකටම උත්සාහ කරල බලන්න ඕනෙ. දූෂණය නැති කරන්න උත්සාහ කරන්නවත් හිතෙන්නෙ නැති තරමටම දූෂණයෙන් රට වෙළාගෙන ඉවරයි. ඒත් අපි උත්සාහ කරන්න ඕනෙ. එහෙම නැතිව කිසි දෙයක් වෙන්නෙ නැහැ.
මීට කලින් දෙදහස් පහළොව අවුරුද්දෙ ජනවාරි අට වෙනිදයින් පස්සෙ මමත් බලාපොරොත්තු වුණා, දූෂිතයන්ට, වැරදි කරන අයට දඩුවම් කරයි කියලා. ඒත් කවුරු නිසා ද මම දන්නෙ නැහැ, ඒ දඩුවම් කරන එක නතර වෙලා තියෙන්නෙ. කිසිම දේකට, කිසිම කෙනෙකුට දඩුවම් කෙරුවෙ නැහැ. ඒත් එහෙම කියලා නිකම් බලන් ඉන්නත් බැහැ. මොකද? රටේ මිනිස්සු ඉන්නෙ අන්ත අසරණ තත්ත්වයක. ඒ හින්දම රටේ මිනිස්සුත් කෑම පැකට් එකට, ටකරං තහඩු දෙක තුනකට ඡන්දෙ දෙන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒත් ඕනෙම කෙනෙකුට මේ ගැන තේරුම් කරල දුන්නොත් ටිකක් හරි ඒක තේරුම් ගන්නවා. මට තියෙන අත්දැකීම නම් එහෙමයි.
ඒ වගේම එක පාරටම පාලකයො හොරකම් කරන එක නතර කරන්න බැහැ. ඒකත් තේරුම් ගන්න ඕනෙ. ඒකට කාලයක් යනවා. දැනට පුළුවන් වෙන්නෙ හොරකම් කරන එක අවම කරන්න. විශේෂයෙන්ම මේ ඡන්දය ඒකට අවස්ථාවක්. මේ ඡන්දය කියන්නෙ ආණ්ඩු පෙරළන්න පුළුවන් ඡන්දයක් නෙමෙයි. ඒත් දැන් අවස්ථාවක් ඇවිල්ල තියෙනවා, මෙතෙක් කල් ක්‍රියා කරපු විදිහ වෙනස් කරලා රටේ වෙනසක් ඇති කරන්න උත්සාහයක් දරන්න.
එක්දහස් නමසිය හතළිස් අටේ ඉඳන් අවුරුදු හැත්තෑවක්, පක්ෂ දෙකක් මේ රට පාලනය කළා. ලැබුණ දෙයක් නැහැ. ඒත් සමහර අය තාමත් කතා කරනවා ‘මොනව වුණත් ඒ අපේ පක්ෂෙ නෙ’ කියලා. මට නම් ඒක තේරෙන්නෙ නැහැ. කාටද පක්ෂයක් ඕනෙ? ඒ වෙනුවට මේ රටට හොඳ දෙයක් වෙන එක නෙමෙයි ද බලාපොරොත්තු වෙන්න ඕනෙ?
ඒත් අවුරුදු හැත්තෑවක් එහෙම හොඳ දෙයක් සිද්ධ වුණේ නැහැ. එහෙම වෙලත් ඒ පක්ෂ දෙක දැන් කියනවා ආයෙත් දෙන්නලු. මම නම් කියන්නෙ මේ තුන්ගොල්ලන්ට නම් දෙන්න එපා කියලා. ඒ වෙනුවට වෙනසක් කරලා බලන්න. අඩුම ගානෙ ගමේ පාලනයවත් මේ දෙගොල්ලන්ට නොදී හිටියොත්, ඒ වෙනුවට වෙනසක් කරන්න පුළුවන් පිරිසකට ඒ පාලනය දුන්නොත් ගමේ සිද්ධ වෙන හොරකම් ටිකවත් නතර කරන්න පුළුවන් වෙයි.
මේ වෙන කම් ප්‍රාදේශීය සභාවලට හරි නගර සභාවලට හරි පත් වෙන අය ආවෙම හොරකමටම තමයි. ඒ ඇවිල්ල, පාරට ලයිට් ටිකක් දාල දෙනවා, බෝක්කුවක් දෙකක් හදනවා වගේ පොඩි පොඩි දේවල් ටිකක් කරලා එයාල හොඳට හැදෙනවා. තියෙන වරප්‍රසාද ටික ගන්නවා. ජනතාවට සේවය කරනවයි කියල කිසිම දේශපාලකයෙක් ඒ දේවල් නොගෙන ඉන්නෙ නැහැ.
ඒ විතරක් නෙමෙයි, ජනතා සේවයට කියලා ආපු අය කිසිම දෙයක් පගාවක් ගන්නෙ නැතුව කරල දෙන්නෙ නැහැ. ඒව නතර කරන්න ක්‍රමවේදයක් හදන්නෙත් නැහැ. නිලයට, බලයට නැත්නම් පගාවට තමයි හැම දෙයක්ම වෙන්නෙ. එහෙම විය යුතු නැහැ. මේ ළඟදි ඕස්ට්‍රේලියාවෙ අගමැතිවරයා ලයිෆ් ජැකට් එක දාන්නෙ නැතුව බෝට්ටුවකට නැග්ග කියලා දඩයක් ගහලා තියෙනවා. ඊට කලිනුත් වාහනේ සීට් බෙල්ට් දාල නැහැ කියල දඩ ගැහුවා. ඒකට හේතුව ඒ රටවල්වල ක්‍රමවේදයක් හැදිලා තියෙන එක. අගමැතිවරයාට වුණත් සිස්ටම් එකෙන් පිට යන්න බැහැ.
අනිත් එක තමයි ලංකාවේ පාලකයො වැඩි දෙනෙක් පන්සල්, පල්ලි එක්ක සමීප වෙලා තියෙනවා. භක්තියක් වගේ පෙන්නුවට ඒ භක්තිය නෙමෙයි. ඒ තමයි හොරාගේ හැටි. හොරු හරි කැමතියි ධර්මයට එයාල හරි කිට්ටුයි කියලා පෙන්නන්න. ඒ විතරක් නෙමෙයි, හොරු කතා කරන්නෙත් ගොඩක් වෙලාවට ධර්මය ගැන. බුද්ධාගම ලෝකෙටම ප්‍රචලිත කරන්න ඕනෙ කියලා තමයි කියන්නේ. කරන්න ඕනෙ ලෝකෙට ප්‍රචලිත කරන එක නෙමෙයි, ලංකාවෙ ප්‍රචලිත කරන එක. මොකද? මෙහෙ තමයි බුද්ධාගම නැත්තෙ. ගොඩක් රටවල පිළිම නැති වුණාට බුද්ධාගම තියෙනවා. ඒක තමයි බුදුහාමුදුරුවො තුන් පාරක් මෙහෙට ආවෙ. තුන්පාරක් ඇවිල්ලත් මෙහෙ අයව හදන්න බැරුව ගියා. ඒ වුණාට උදේ ඉඳන් රෑ වෙනකම් ධර්මය ගැනම කියවනවා. ධර්මයට අනුව වැඩ කරන්නෙ නැහැ. ඒ තත්ත්වය කොයි තරම් පිරිහිලා ද කියනවා නම් මොන හොර වැඩේ කළත් දඩුවම් කරන්න එපා කියන ඇතැම් ස්වාමීන් වහස්සේලා පවා නිර්මාණය වෙන තත්ත්වයට පත් වෙලා.
මේ වෙලාවෙ තියෙන තත්ත්වය වෙනස් කර ගන්න උත්සාහ කරන්න. ගමෙන් ඒ දේ පටන් ගත්තොත්, ඉදිරියේ දී රටෙත් ඒ තත්ත්වය ඇති කර ගන්න පුළුවන් වෙයි. වෙනසක් කර ගන්න පුළුවන් වෙයි.

ජයසිරි සහෝදරයා රටට ආදර්ශයක් දී තිබෙනවා
කොළඹ විශ්වවිද්‍යාලයේ කථීකාචාර්ය, ආචාර්ය
නිර්මාල් රංජිත් දේවසිරි

ලංකාවේ දේශපාලන ධූරාවලිය තුළ දූෂණය තියෙන්නේ කොහොමද කියලා හඳුනාගෙන මේකෙන් එළියට යන්නේ කොහොමද කියලා කතා කරන්න කැමතියි. ප්‍රශ්නයේ මුලට ගිහින් බැලුවොත්, රටේ තිඛෙන දේශපාලන ප්‍රභූ තන්ත්‍රය අතිශයින්ම දූෂිතයි. මේ අය එහෙට මෙහෙට පක්ෂ මාරු කරනවා. සමහර අය ඉන්නේ කොහෙ ද කියලා මතක් වෙන්නෙත් නැති තරම්. පක්ෂ ලේකම්වරු පවා සැණින් මාරු වෙනවා. ඔවුන් වෙනම දේශපාලන පංතියක්. ඒකට අයිති අයගේ සංචිතයක් තියෙනවා. උදාහරණයක් හැටියට අයි. පී. එල්. තරග වගේ. සංචිතයෙන් ක්‍රීඩකයන් වෙන්දේසි කරනවා. අපේ රටේ ප්‍රභූ දේශපාලන පංතියත් අන්න ඒ වගේ. සංචිතයෙ ඉන්න කාටත් තියෙන අභිලාෂය එකයි. මොන කණ්ඩායමට ක්‍රීඩා කළත්, ඔවුන්ගේ අරමුණ එකයි. අර පැත්තෙන් නොමිනේෂන් දුන්නේ නැත්නම් අනෙක් පැත්තට යනවා. ඔවුන් හැසිරෙන පොදු ආකාරයක් තියෙනවා. අන්න ඒ ආකාරය තමයි ප්‍රශ්නය.
හැත්තෑ ගණන්වලට ඉස්සර මේ පංතිය සකස් වෙලා තිබුණේ ප්‍රභූත්වයක් තිබෙන පිරිසකගෙන්. ඔවුන් ඉහළ පංතිවල හිටියෙ ධනෝපායන මාර්ග තිබුණු අය. ඒ අයගෙ පවුල්වලට ධනය හම්බ කිරීමේ අරමුණක් නෙමෙයි තිබුණේ. ඒ අයගේ දේශපාලන භාවිතය සම්බන්ධයෙන් නොයෙක් ප්‍රශ්න මතු කරන්න පුළුවන්. ඔවුන්ගේ අරමුණ වුණේ ධනය හම්බ කිරීම නෙමෙයි. ඔවුන් දේශපාලනයෙන් බලාපොරොත්තු වුණේ වෙනම ප්‍රභූත්වයක්. හම්බ කළ ධනය වියදම් කරලා ප්‍රභූත්වය ලබා ගැනීමයි කළේ. නමුත්, 56 ඇති වුණ දේශපාලන විපර්යාසය හරහා සමාජයේ පහළ පිරිස් අතර ඉහළට ඒමේ තරගකාරීත්වයක් ඇති වුණා. සමාජයේ පහළ ආර්ථීක මට්ටම්වල හිටපු අය දේශපාලන බලය සඳහා තරග කරන්න පටන් ගත්තා. විශේෂයෙන් 1977 මැතිවරණයෙන් ජයග්‍රහණය කළ පිරිස් අර සාම්ප්‍රදායික ප්‍රභූ පංතියට අයත් වූ අය නෙමෙයි. එහෙම නැති අයයි ගොඩක් හිටියේ. ඒ ගොල්ලන් දේශපාලන ප්‍රභූ තන්ත්‍රයට ආවාම යම්කිසි මට්ටමකට ජීවත් වෙන්න අවශ්‍ය වුණා. හොඳ ගෙයක්, හොඳ වාහන, සමාජ තත්ත්වයන් නඩත්තු කරන්න අවශ්‍ය වියදම්, ඡන්දය ලබා ගැනීමට වියදම් කරන්න ආදී වශයෙන් පැකේජ් එකක් තියෙනවා. මේ පැකේජ් එකට අවම වශයෙන් මාසයකට ලක්ෂ තුන හතරක් අවශ්‍යයි. එය ඔවුන්ගේ මූලික අවශ්‍යතාවයක්. මොවුන්ට තනතුරෙන් ලැබෙන ආදායමෙන් ඒ ජීවිතය නඩත්තු කරන්න බැහැ. නිතරම ස්ථාවර හිඟයක් තිබෙනවා. බලයේ ඉන්න අයට ඕනෑ විදිහට රාජ්‍ය යාන්ත්‍රණය හදා ගන්නවා. දූෂිත යාන්ත්‍රණය කියන්නේ ඒකටයි. දැන් අපිට තියෙන විකල්පය ඉතාම සරල එකක්. ඒක තමයි මේ පිරිස අයින් කිරීම. වෙන විකල්පයක් නැහැ. මම කියන්නේ මේ මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දෙන්න ඕනෑ කියලයි. මම ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙක් නෙමෙයි. මට ඒ පක්ෂය ගැන වෙනත් අදහසුත් තියෙනවා. හැබැයි ඒ කිසිම දෙයක් මට මේ මොහොතේ ප්‍රශ්නයක් නෙමෙයි. ගම් මට්ටමට කටයුතු කරද්දි ලොකු ප්‍රතිපත්ති ඕන නැහැ. මේ පක්ෂයෙන් නාමයෝජනා දුන්න අය පක්ෂයේ අධීක්ෂණය යටතේ ක්‍රියා කරන්නේ. අනෙක් පක්ෂ තුනේම අය ඡන්දයේ දී උත්සවාකාරයෙන් ප්‍රතිඥා දුන්නට ඡන්දය ඉවර වුණ ගමන් ඔවුන්ට කිසිම පාලනයක් නැහැ. ඔවුන්ට එහෙම කරන්න බැහැ. කරන්න යනවා නම් ඔවුන්ගේ අරමුණු පරස්පරයි.
ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් තියෙන වැදගත්ම දේ ඒ ගොල්ලන්ව පක්ෂයෙන් පාලනය වෙනවා. අනෙක් පක්ෂ තුනේම එහෙම පාලනයක් නැහැ. සමාජයේ තියෙන දේශපාලන සංජානනය හරිම වැදගත්.
මේ පක්ෂයේ නොවන ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දෙන කෙනෙකුගෙන් ඇහුවොත්, ඔබ ඇයි ජේවීපී එකට ඡන්දෙ දෙන්නේ කියල පැහැදිලි හේතුවක් තියෙනවා. මේගොල්ලෝ හොරු නෙමෙයි කියන එක. ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව සමාජයට තියෙන සංජානනය ඒක. සමාජයේ යම් පිරිසක් කිසියම් වැරැද්දක් කළොත් මේ පක්ෂය ඒගොල්ලො වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ කියන එක සමාජය දන්නවා. අන්න ඒක තමයි ඉතා වැදගත් දේ.
තිස්සමහාරාමයේ ප්‍රාදේශීය සභාව ජනතා විමුක්ති පෙරමුණට තිබුණු සමයේ සිටි සභාපති, ජයසිරි සහෝදරයා ඉතාම හොඳ ආදර්ශයක් රටට දී තිබෙනවා. තිඛෙන සම්පත්වලින් ඉහළම කාර්යක්ෂමතාවයෙන් වැඩ කරන්නේ කොහොමද කියන එක පෙන්නුවා. එතන තියෙන්නේ පොඩි රහසක්. තියෙන ටිකෙන් වැඩ කරන්නේ කොහොමද කියන එක විතරයි, ඒ ගොල්ලන්ගේ අරමුණ. අන්න ඒ වාගේ වෙනස් විදියකට මේ ප්‍රශ්නය දිහා බලන්න ඕනෑ. නැත්නම්, ප්‍රශ්නයෙන් එළියට යන්න බැහැ. මේ පණිවිඩය සමාජයට ගෙන යාම අමාරු වැඩක්. පණිවිඩය පැහැදිලියි. ගෙන යන එකයි අමාරුව. මේ ඉස්සරහ තියෙන මාධ්‍යවල මයික්‍රපෝන් හරහා ඔය පණිවිඩය යන්නේ නැහැ. මේ ඔක්කොටම න්‍යාය පත්‍ර තියෙනවා. අද ‘සෝෂල් මීඩියා’ තියෙනවා. නමුත්, ඒක ප්‍රමාණවත් නැහැ රටක් වශයෙන්. ඒ නිසා මෙතන ඉස්සරහා ඉන්න විවිධ තරාතිරම්වල පුද්ගලයන් මේ පණිවිඩය ගෙන යාම භාර ගත යුතුයි. ඔවුන්ටයි මේ පණිවිඩය ගෙන යන්න පුළුවන්කම තියෙන්නේ.