මහමෙරට උඩින් තට්ටු නිවාස

බසඅසඒයසිාඩය
නිවිතිගල ජනතාවගේ සහෝදර සිත් දුටුවෙමු
February 5, 2018
danu
කෝප් හෙළිකිරීම්වලට විරුද්ධව ටෙලි නාට්‍ය ෂොට් එකක්
February 6, 2018
Show all

මහමෙරට උඩින් තට්ටු නිවාස

විශ්වය ගැන ඉතා ඉහළ දැනුම් සම්භාරයක් මිනිසාට ලබා දුන් ඇමරිකාවේ නාසා (NASA) ආයතනය විසින් 2020 දී පමණ අභ්‍යවකාශගත කිරීමට සැලසුම් කර ඇති අභ්‍යවකාශ දුරේක්ෂයක් පිළිබද තොරතුරු පුවත්පත් මගින් ප්‍රකාශයට පත් වී ඇත. ‘පුළුල් ක්ෂේත්‍ර අධෝරක්ත සමීක්ෂණ දුරේක්ෂය’ (Wide Field Infrared Survey Telescope (WFIRST)) ලෙස නම් කර ඇති මෙම දුරේක්ෂය නාසා ආයතනය මගින් මෙයට පෙර අභ්‍යවකාශයට යවන ලද ‘හබල් අභ්‍යාවකාශ දුරේක්ෂය’ (Hubble Space Telescope) මගින් සපයන ලද ඡායාරූප තරම් ත්‍රීව්‍රතාවෙන් (depth) සහ පැහැදිලිකමෙන් යුත් ඡායාරූප මෙම දුරේක්ෂය මගින් ද ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. හබල් දුරේක්ෂය මගින් ලබා දුන් ඡායාරූපයක දැක්වෙන අහසේ ප්‍රමාණය මෙන් 100 ගුණයක් විශාල අහස් ප්‍රදේශයක් දැක්වෙන ඡායාරූපයක් මෙම දුරේක්ෂයෙන් ලබා ගත හැකි වේ යයි සැලකෙන අතර, එක් ඡායාරූපයක හබල් දුරේක්ෂයෙන් ගත් ඡායාරූපයක සටහන් වන තොරතුරු මෙන් 100 වාරයක් පමණ තොරතුරු සටහන් වේ යයි සැලකේ.
මෙම දුරේක්ෂයෙන් ලැබෙන තොරතුරු අනුව මෙතෙක් තාරකා විද්‍යාඥයන්ට විසදා ගත නොහැකි වූ ගැටලු කිහිපයක් විසදා ගත හැකි වේ යැයි සැලකේ. මෙම ගැටලු අතුරින් එකක් නම්, විශ්වය ප්‍රසාරණය වීම ඉක්මන් වන්නේ හෙවත් ත්වරණය වන්නේ ඇයි ද යන්නය. විශ්වය ප්‍රසාරණය වන බව විද්‍යාඥයන් නිගමනය කර ඇත්තේ මන්දාකිණි (Galaxies) නිරීක්ෂණය කිරීමෙනි.
මන්දාකිණියක් යනු තාරකා ඉතා විශාල සංඛ්‍යාවක් අඩංගු පද්ධතියකි. රාත්‍රී කාලයේ අපට දිස්වෙන සියලුම තාරකාත්, තවත් තාරකාවක් වන සූර්යයාත් ‘ක්ෂීර පථය’ (Milkyway) යන නමින් හැදින්වෙන මන්දාකිණියට අයත්ය. සූර්යයා මෙම මන්දාකිණියෙහි අඩංගු සාමාන්‍ය ප්‍රමාණයේ තරුවක් පමණි. ‘ක්ෂීර පථය’ කොතරම් විශාල ද යනු දැක්වීමට අප යොදා ගන්නේ ආලෝක වර්ෂ (Light Year) යන මිනුම් ඒකකයයි. මින් ආලෝක වර්ෂයක් යනු ආලෝකය එහි වේගය වන තත්පරයට සැතපුම් 1,86,000 ක වේගයෙන් අවුරුද්දක කාලයක් ගමන් කරන දුරයි. එය සැතපුම් 5,865,696,000,000 ක් තරම් වේ. ක්ෂීර පථයෙහි විෂ්කම්භය ආලෝක වර්ෂ ලක්ෂයකි. මැද ප්‍රදේශයේ තරමක් ඝනකම ඇති තැටියක හැඩය ඇති මෙහි ඝනකම සාමාන්‍යයෙන් ආලෝක වර්ෂ 1,000 ක් පමණ වේ.
මන්දාකිණිවල හැඩය අනුව ඒවායේ ප්‍රධාන වර්ග තුනක් ඇත. ඒවා නම් ඉලිප්සාකාර (Elliplical) සර්පිලාකාර (Spiral) සහ අක්‍රමවත් (Irregular) යනු වේ. ක්ෂීර පථය සර්පිලාකාර මන්දාකිණියකි. අපට කිට්ටුම මන්දාකිණිය ඇන්ඩ්‍රොමීඩා (Andromeda) ලෙස හැදින්වෙන අතර එය පියවි ඇසට දිස්වන්නේ ඉතා කුඩා සුදු ලපයක් ලෙසය. එය ප්‍රබල දුරේක්ෂයක් මගින් නිරීක්ෂණය කළ විට එහි සර්පිලාකාර ව්‍යූහය බලා ගත හැකිය. පෘථීවියේ සිට එයට දුර ආලෝක වර්ෂ මිලියන 2.537 කි. අපට කිට්ටුම තාරකාව වන ප්‍රොක්සිමා සෙන්ටෝරි (Proxima Centauri) ආලෝක වර්ෂ 4.22 ක් පමණ දුරින් පිහිටා ඇත. ක්ෂීර පථයෙහි අඩංගු වන තාරකා සංඛ්‍යාව බිලියන 100 ත් 400 ත් අතර බව ඇස්තමේන්තු කර ඇත.
විශ්වයේ ඇති මන්දාකිණි සංඛ්‍යාව හරියටම කොපමණ දැයි නොදන්නා අතර, අපට පෘථීවියේ සිට දුරේක්ෂ මගින් නිරීක්ෂණය කළ හැකි උපරිම දුර ආලෝක වර්ෂ බිලියන 45.7 ක් පමණ යැයි තක්සේරු කර ඇත. විශ්වයේ ප්‍රමාණය කොතරම් දැයි මේ අනුව සිතා ගත හැකිය. සෑම මන්දාකිණියක්ම එකිනෙකින් ඈත් වන බව මන්දාකිණිවලින් නිකුත් වන ආලෝක විශ්ලේෂණය කර එය මගින් නිගමනය කර ඇත. මන්දාකිණි එකිනෙකින් ඈත් වීම නිසා විශ්වය ප්‍රසාරණය වේ. එහෙත් මෙම ප්‍රසාරණය වන්නේ ඇයි ද යන්නට හේතුව මෙතෙක් ස්වභාවය හදුනා නොගත් ‘අදුරු ශක්තිය’ (Dark Energy) නිසා වන බව සමහර විද්‍යාඥයන්ගේ මතයයි. නව දුරේක්ෂයෙන් ලැබෙන තොරතුරු අනුව විශ්වයේ ප්‍රසාරණයට හේතුව සොයා ගැනීමට හැකි වේ යැයි විශ්වාස කෙරේ.
මෙම දුරේක්ෂයෙහි අඩංගු මීටර 2.4 ක් පළල දර්පනය මගින් සහ එහි අඩංගු උපකරණවලින් විශ්වය පුරා පදාර්ථ ව්‍යුහගත වී ඇති ආකාරයත්, පැතිරී ඇති ආකාරයත්, කාලයත් සමග විශ්වය ප්‍රසාරණය වී ඇති අන්දමත් ගැන තොරතුරු ලබාගෙන ඇත්තේ විශ්වයේ වයස ආසන්න ලෙස අවුරුදු බිලියන 13.8 ක් බව සොයාගෙන ඇත. මෙම දුරේක‍ෂය මගින් විශ්වයේ වයස අවුරුදු බිලියන භාගයක් පමණ වූ කාලයේ සිට දැන් කාලය දක්වා පවතින මන්දාකිණි ගැන තොරතුරු මෙම දුරේක්ෂයෙන් ලබා ගත හැකි වේ යයි සැලකේ. මෙම තොරතුරු අනුව විශ්වය පරිණාමය වූ අන්දම හොදින් අවබෝධ කර ගැනීමට හැකිවේ යැයි සැලකේ.
ආදි කාලයේ ජීවත් වූ මිනිසුන් විශ්වය ගැන තබා පෘථීවිය ගැනවත් නොදත් අතර, ඔවුන් සිතා ඇත්තේ පෘථීවිය පැතලි තැටියක් බවත්, එය ජලයෙහි පාවෙන බවත්, පෘථීවියට ඉහළ දිව්‍යලෝකය ද, පෘථීවිය යට අපාය ද පවතින බවත්, හොද ජීවිත ගත කළ අය මරණින් පසු දිව්‍යලෝකයට යන බවත්, නරක ජීවිත ගත කළ අය මරණින් පසු අපායට යන බවත්ය. දෙවියන් වහන්සේ නමැති බලවත් අයෙකු විසින් පෘථීවිය ද, දිව්‍යලෝකය ද, මනුෂ්‍යයා සහ අනික් ජීවීන් ද මවා ඇති බව දේවවාදී ආගම්වල විශ්වාසයයි. අදේවවාදී ආගම්වල මතය විශ්වය සදාකාලිකව පවතින බවයි. එක් මතයත් අනුව සත්ත්වයෝ සංසාරය නමැති ඉපදෙන හා මිය යන චක්‍රයක බැදී සිටිති. සත්ත්වයෝ අපායවල්වල ද, ප්‍රේතයන් ලෙස ද, සතුන් ලෙස ද, මනුෂ්‍යයන් ලෙස ද, දෙවියන් ලෙස ද උපදිති. පසුකාලයක අසුරයන් ද මෙයට අඩංගු කර ඇත. විශ්වයේ මැද මහමෙර නම් පර්වතයක් ඇති බවද, දිව්‍යලෝක හයක් මහමෙරට උඩින් තට්ටු නිවාස ලෙස පිහිටා ඇති බවත්, කර්මය නමැති බලයක් හොද හෝ නරක අනුව ඇති වී ඒ අනුව විශ්වයේ එක් එක් ස්ථානවල ඉපදෙන බවත් ආගමික විශ්වාසයකි.
දිව්‍යලෝකය, බ්‍රහ්ම ලෝක, අසුර භවන, ප්‍රේත ලෝකය, අපායවල් ආදී මිථ්‍යා ස්ථාන විශ්වයේ ඇතැයි යන විශ්වාසය මේ කාලයේ ඇති විශ්වය පිළිබද දැනුමත් සමග සිටින මිනිසුන් අතර වුවද කොතරම් පැතිර ඇත් ද යනු මරණින් පසු හොද ලෝක හෝ දිව්‍ය ලෝකවල ඉපදීම ප්‍රාර්ථනා කර විවිධ ක්‍රියාකාරකම් කරන ජනයාගෙන් පැහැදිලි වේ.


ඒ. ඩී. ගුණසේකර
හිටපු අධ්‍යක්ෂ
පශ්චාත් උපාධි ගුරු අධ්‍යාපන
දෙපාර්තමේන්තුව
ජාතික අධ්‍යාපන ආයතනය