මෛත්‍රී, මහින්ද, කරු එක මල් වට්ටියක

අවුරුද්දේ ආරම්භක සතිය ගෙවී යන්නේ පළාත් පාලන මැතිවරණයේ උණුසුමක් ඇති කරමින් නොව විකාරරූපී බවක් එක් කරමින්ය. බැඳුම්කර කොල්ලය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව 30 වැනිදා ජනාධිපතිවරයාට භාර දුන්නේය. එය මහජනතාවට හෙළි කරන ලෙස පළමු පැයේදීම ජවිපෙ ප්‍රකාශ කළේය. ඒ සමඟම ජනාධිපති විශේෂ කොමිෂන් සභාවලින් ජනාධිපතිවරයාට ලබා දී තිබෙන වාර්තා 34ක් ද හෙළි කරන ලෙස ජවිපෙ කියා සිටියේය. මෙයින් ඇති වූ තත්ත්වය හමුවේ ජනාධිපතිවරයා පසුගිය 03 වැනිදා විශේෂ ප්‍රකාශයක් කළේය. මෛතී්‍ර ආසන්න ගෙවී ගිය සතියේ කළ ප්‍රකාශය අනුව නම්, කඩුවෙන් කාගේ ඛෙල්ල කැපේ දැයි බරපතළ ප්‍රශ්නයක් තිබුණේය. දංගෙඩියට බෙල්ල දීම සඳහා රනිල් හිත හදාගෙන සිටින්නට ඇත. නමුත්, දැන් ඔහුට දංගෙඩියෙන් නැඟිට යා හැකිය. මේ අතර ජවිපෙ පළාත් පාලන අපේක්ෂක සමුළුවේ දී ඔවුන් මහජන සේවය කරන ආකාරය ගැන වගන්ති 12 ක ප්‍රතිඥාවක් දුන්නේය. මහින්ද, මෛත්‍රී දෙදෙනා ද ඒ අනුව යාමට තරම් අදූෂිත වී තිබුණේය. හැබැයි, සබුද්ධික ජනතාව හමුවේ මේ සියල්ල විකාරරූපී රංගනයක් වී තිබුණේය.

මෛත්‍රීගෙන් බැසිල්ට මල් !

මැතිවරණයට මුහුණ දීමේ දී කඩිසරකමක් මෛත්‍රී ඉහළින්ම පෙන්වන්නේය. නිතර නිතර පක්ෂයේ දිස්ත්‍රික් ආසන සංවිධායකයන් හමු වන්නේය. උපදෙස් ලබා දෙන්නේය. ඒ අතර එක දෙයක් විශේෂයෙන් අමතක නොකිරීමට වගබලා ගනී. මහින්දගේ පිලට බරපතළ ලෙස පහර දීමටය. පිලට නැත්නම්, පිලේ ප්‍රබල චරිතයකට දැඩි ප්‍රහාර එල්ල කිරීම අනිවාර්යය. පසුගිය සතියේ ජනාධිපති නිල නිවසේ දී හමු වූ සංවිධායකයන් ඉදිරියේ බැට දී තිබුණේ බැසිල්ටය. දෙපිල එක් කිරීමට බරපතළ ලෙස හතුරුකම් කළේ බැසිල් බව කියා තිබුණේය. බැසිල්ගේ දරදඩු ක්‍රියාකලාපය නිසා දෙපිල එක් කළ නොහැකි වූ බව කියා තිබුණේය. ඒ සමඟම බැසිල්ගේ දරදඩු ක්‍රියාකලාපය ගැන ස්තුති කර තිබුණේය. ‘බැසිල්ගේ දරදඩු ක්‍රියාකලාපය නිසා මම ජනාධිපති වුණා. ඒ නිසා මම ඔහුට ස්තූතිවන්ත වෙනවා’ යනුවෙන් ප්‍රකාශ කර තිබුණේය.

මෛත්‍රී, මහින්ද, කරු එකම මල් වට්ටියක

මෛත්‍රී බැසිල්ට මොනවා කීවත්, පසුගිය 31 වැනිදා කතරගම කිරිවෙහෙරේ දී මහින්දගේ මල් වට්ටියට අත ගසා තිබුණේය. ඒ කතානායක කරු ද එක් කර ගනිමින්ය. ගෙවී ගිය අවුරුද්දට සමු දී අලුත් අවුරුද්දේ සියලුම දේශපාලන සිතුම් පැතුම් ඉටු කර ගැනීම සඳහා භාරහාර වීමට මේ කොයි කවුරුත් කිරිවෙහෙරට ගොස් තිිබුණේය. තිදෙනාගේම පාක්ෂිකයන් සිය ගණනක් පිරිවරා සිටීම නිසා අනෙකුත් ජනතාවට සිදු වී ඇත්තේ බරපතළ හිරිහැරයක්ය. කතරගම කිරි වෙහෙර සාමාන්‍යයෙන් තිබුණේ, මහින්දගේ පරවේණියක ගාණටය. 31 රාති්‍රයේ වාගේම වෙනත් විශේෂ අවස්ථාවල දී ද මහින්ද භාරහාර වීමට ප්‍රධාන තැනක් වන්නේ මෙතනය. කතානායක කරූට කෙසේ වෙතත්, මෛත්‍රී ඒ බව හොඳින්ම දැනගෙන සිටී. එසේ තිබිය දී මෛත්‍රීත් හරියටම රාත්‍රී නවයේ පූජාවට කිරි වෙහෙරට ගොස් සිටියේය. මෙය අහම්බයක් වශයෙන් කෙනෙකු කල්පනා කරන්නට බැරි නැත. රාත්‍රී නවයේ පූජාවට මේ තුන්දෙනාම එකම මල් වට්ටියකට අතගැසීම දේශපාලනයේ පෙළගැසීම් ගැන සලකා බලන විට අහම්බයක්ම ද යන්න ප්‍රශ්නයක් නොවේ. මන්ද සමහර අහම්බයන් අහම්බයක්ම නොවන නිසාය.

මෛත්‍රී, රනිල් බැලන්ස් කිරීම

ඒ අහම්බය අලුත් දේශපාලන ගමනක සංඥාවක් දැයි ඉදිරියේ දී බලා ගත හැකි වනු ඇත. මේ අතර තවත් අහම්බයක දේශපාලන අර්ථය බඩ අල්ලන් හිනා වෙන තරම් වී තිබුණේ ‘දිනමිණ’ පත්තරේය. ‘දිනමිණ’ මෑතක සිට මුල් පිටුවේ මෛත්‍රී, රනිල් දෙදෙනාගේම ඡායාරූප පළ කර දෙදෙනාම බැලන්ස් කිරීමක් කරන්නේය. සතිය ආරම්භයේදීම පළ කර තිබුණු ඡායාරූප දෙක ද බැලන්ස් කිරීමට අදාළය. මෛත්‍රීගේ ඡායාරූපයේ තිබුණේ බැඳුම්කර කොමිසමේ සාමාජිකයන් එම වාර්තාව ජනාධිපතිට භාර දීමේ අවස්ථාවය. රනිල්ගේ ඡායාරූපයෙන් දැක් වී තිබුණේ රනිල් කෝවිලකට ගොස් පුද පූජා පවත්වන ආකාරයය. මේ දෙන්නා බැලන්ස් කරන්නට ඡායාරූප දෙක දැම්මාට දෙකම එකට ගත් විට තිබෙන්නේ ලොකු හාස්‍යයක්ය. මෛත්‍රීට වාර්තාව භාර දෙන විට රනිල් පුද පූජා කරන්නේ එහි ඇති දෙයින් බියට පත් වී බව කියවෙන්නේය. කෙසේ වෙතත්, මේ වන විට ‘යකා හිතන තරම් කළු නැහැ’ යන්න රනිල් තේරුම්ගෙන තිබෙන බව නම් පැහැදිලිය.

මහින්දගේ කවි බණ හබක්

මහින්දගේ පොහොට්ටුවෙන් සැලකිය යුතු භික්ෂූන් පිරිසක් අපේක්ෂකයන් හැටියට එක් කර ඇත්තේය. මේ අපේක්ෂක භික්ෂූන් කරන්නේ ඡන්දය වෙනුවෙන් ආගම විකිණීමය. මේ අපේක්ෂකයන් තවමත් කි්‍රයා කරන්නේ මහින්ද බලයේ ඉන්නා බව සිතාගෙන යැයි පැහැදිලි වන සාක්ෂි ඕනෑතරම්ය. පන්සල්, පල්ලි, පාසල්, රජයේ ආයතන සියල්ල ද මේ සඳහා යොදවා ගැනීමට මාන බලන්නේය. පසුගිය 31 වැනි ඉරිදා මෙවැනි වැඩක් බුලත්කොහුපිටියේ දී දැක ගත හැකි විය. ‘ජාතික රූපවාහිනී මුතුහර ළමා සමාජය’ යන්න ද බැනරයේ සඳහන් කර බුලත්කොහුපිටිය විදුහලක කවි බණක් සූදානම් කර තිබුණේ, පොහොට්ටුවේ අපේක්ෂක භික‍ෂුවක්ය. මේ ස්ථානයට සහකාර මැතිවරණ කොමසාරිස් ඇතුළුව නිලධාරීහු පැමිණියහ. කිරීමට යන උපක්‍රම සියල්ල මැනවින් තේරුම් ගත්හ. ‘බණ විකුණාගෙන ඡන්ද කරන්න එපා’ නිලධාරීන් පොහොට්ටුවේ භික්ෂුවට බණක් දෙසීය.

වීරවංසගෙන් කකුල් මාට්ටු

ටික කාලයක් උන්නා ද මළා ද කියාවත් නොදන්නා තරමට වැටී සිටි වීරවංස පසුගිය 02 වැනිදා ප්‍රසිද්ධියේ පෙනී සිටියේය. ඒ පොහොට්ටුවේ අපේක්ෂක හමුවේදීය. ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකු බව යළිත් සනාථ කරමින්, දූෂණයට විරුද්ධ ප්‍රතිඥා දෙන පිරිස අතර, දූෂිතයන් රොත්තක්ම සිටියහ. වීරවංස ඒ අතර කැපී පෙනුණේය. එය වෙනමම දෙයක් වන්නේය. වීරවංස මේ වන විට මහින්දගේ පොහොට්ටු කල්ලියට ලොකුම කකුල් මාට්ටු දමමින් සිටින්නේය. ඔහුගේ වෙබ් අඩවියේ ප්‍රවෘත්තියක පළ කර තිබුණේ, 02 වැනිදා මහින්ද පොහොට්ටුවේ නායකත්වය භාර ගන්නා බවය. මේ ප්‍රවෘත්තිය බැලුබැල්මට පෙනෙන්නේ මහින්ද අනුගාමිකයන්ගේ මොරාල් සෑදීමට පළ කරන බවය. එහෙත්, ඒ යටින් තිඛෙන්නේ ලොකු කකුල් මාට්ටු බව අනුගාමිකයෝ නොදනිති. එක පැත්තකින් මහින්ද බොරුකාරයකු බව මේ නිසා තහවුරු වන්නේය. ඇත්තටම අනෙක් පක්ෂයක සාමාජිකයකු වූ විට මහින්දගේ මන්ත්‍රී පට්ටමත් ගහලා යන්නේය. තවත් ප්‍රවෘත්තියකින් වීරවංස කියා තිබුණේ, ඡන්දයෙන් පසුව කිසිසේත්ම දෙපිල එක් නොවන බවය. තමන්ගේ ජයග්‍රහණය ස්ථීර බවත්, තනිවම පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බවත් කියා තිබුණේය. මෙය අනුගාමිකයන්ගේ මොරාල් අන්තයටම බිඳ දමන ප්‍රකාශයක්ය. මෙයට වඩා ප්‍රබල කකුල් මාට්ටු ඉදිරියේ දී වීරවංස දමන බව නො අනුමානය.

මහින්දට බැරි බැරි

ඡන්දයට නාමයා්ජනා භාර දීමට පෙර සිටි මහින්දගේ කළඳක්වත් දැන් පෙනෙන්නට නැත්තේය. මුහුණින් හොඳටම පෙනෙන්නේ බැරි බැරි රෝගයෙන් පෙළෙන බවක්ය. මේ වන විට මෛතී්‍ර දී තිබෙන ෂොට් දෙක තුන නිසා මහින්දට විශාල හානි සිදු වී ඇත්තේය. දිනේෂ්ගේ පාටියෙන් කැඩී ගිය පිරිස් නිසා සිදු වූ හානිය බරපතළය. වීරවංසගෙන් ඛෙදී මෛත්‍රීට ගිය පිරිස නිසා සිදු වී තිබෙන හානිය ඊටත් වඩා බරපතළ වී ඇත්තේය. පළමුවැනි වටයේ ජය දැන් මෛත්‍රී ලබාගෙන අවසන්ය. එයින් ඇති වූ පසුබෑමෙන් ගොඩ ඒමට මහින්ද දතට දත න්‍යාය අනුගමනය කිරීමට හැකි සියලුම ප්‍රයත්න දරන බව ඉතා පැහැදිලි වන්නේය. මෛත්‍රී ද එය නොදන්නවා නොවේය. මෛත්‍රී කටයුතු කරන්නේ ද මහින්දගේ තරම දැනගෙනය.
ඒ වෙනුවෙන් මෛත්‍රී දැනටම ගාඩ් එක සූදානම් කරගෙන අවසන්ය. විධායක බලය තිබූ මහින්ද දතට දතක් න්‍යායෙන් තිස්ස අත්තනායකව බා ගත්ත ද, දැන් එවැනි කෙළි ඉතාම අසීරු වී ඇත්තේය. මෛත්‍රී බැඳුම්කර වාර්තාව ගැන හෙළි කළ පණිවිඩයේ දී මහින්දට ද රතු එළි නිකුත් කිරීමට අමතක කර නොතිබුණේය. විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තා 34 ක ෆයිල් අතට ගෙන මෛත්‍රීගේ ගාඩ් එක හදාගෙන අවසන්ය.

ජවිපෙන් පෙරළියක්

ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසය පුරාම මේ රටේ දේශපාලන සංස්කෘතියට බොහෝ සාධනීය අංග එක් කළ පක‍ෂයක්ය. ඒ පිළිබඳව කිසිම තැනක නිසි අධ්‍යයනයක් සිදු කර නැත්තේය. වෙනමම ශාස්ත්‍රීය ගවේෂණයක් සිදු කළ යුතු තරම් කරුණු එකතු කර තිබෙන්නේය. පසුගිය මහා මැතිවරණයේ දී ජාතික ලැයිස්තුවට ජවිපෙ සාමාජිකයන් නොවන විද්වතුන්, කලාකරුවන් සහ ව්‍යාපාරිකයන් සැලකිය යුතු පිරිසක් එක් කර තිබුණේය. මෙවර පළාත් පාලන මැතිවරණයේ දී එය තවත් පියවර ගණනාවකින් ඉදිරියට ගෙන ඇත්තේය. මේ අතර තවත් සුවිශේෂී කරුණක් වූයේ සියලු අපේක්ෂකයන් සුගතදාස ක්‍රීඩාංගණයට ගෙන්වා ප්‍රතිඥා දොළහක් අපේක්ෂකයන් වෙත ලබා දීමය. මෙය කොයි තරම් සමාජයට සංවේදී දෙයක් වූයේ ද යන්න පැහැදිලි වූයේ ජවිපෙන් ප්‍රතිඥා දී හැරෙන්නටත් පෙර මෛත්‍රී, මහින්ද දෙදෙනා ද එය ඒ ආකාරයටම කොපි කර තිබීමෙන්ය. ජවිපෙ මෙරට දේශපාලනයට හඳුන්වා දෙන පෙරළිකාර ක්‍රියාමාර්ගවල ප්‍රමාණයෙන් නොව ගුණයෙන් කෙතරම් බලගතු දැයි මෙයින් පැහැදිලි වන්නේය. කෙසේ වෙතත්, මෛත්‍රීට සහ මහින්දට බරපතළම වරදක් වී තිබෙන්නේය. ඌරකු කෙසේ වත් සිංහයකු නොවීමේ ප්‍රශ්නය වන්නේය.

නාමල්ට වැඩ ගොඩක්

ජවිපෙ බිම් මට්ටමේ සාමාජිකයන් මෙන්ම ඒ ඒ ක්ෂේත්‍රවල නායකයන් ද, පක්ෂයේ නායකයන් ද දැන් කිසිම ඉස්පාසුවක් නොගෙන වැඩය. මැතිවරණය වෙනුවෙන් කරන කටයුතු සහ මැතිවරණයේ නොවන පක්ෂයේ සංවිධාන කටයුතු වාගේම බහුජන කටයුතු අඛණ්ඩව කරගෙන යාම ද ඒ අතර තිබෙන්නේය. මේ මාස් කන්නයේ රට තුළ තිබෙන්නේ ඉතිහාසයේ පෙර නොවූ විරූ තරම් පොහොර හිඟයක්ය. රට පුරාම ගොවීන් මේ ප්‍රශ්නය ගෙන එන්නේ කෘෂිකර්ම ඇමතිවරයාට නොව ජවිපෙට අනුබද්ධ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ, නාමල් කරුණාරත්නටය. නියම ගොවි පුතකු බව කියන මෛත්‍රීට නොදැනෙන ප්‍රශ්නය කියන්නේ නාමල්ටය. මේ අනුව රට පුරා විවිධ ස්ථානවල පොහොර ඉල්ලා ගොවි උද්ඝෝෂණ පැවැත්වේ. නමුත්, මාධ්‍යයේ වැඩි ඉඩකඩක් වෙන් කර තිඛෙන්නේ ඡන්දයටය. දඹුල්ල පල්ලම්යාය කුඹුරු යායට දහස් ගණන් ගොවීන් රැස් වී විරෝධතා පළ කිරීමට මේ සටහන තබන විටත් සියල්ල සූදානම් කෙරී තිබිණි.

ජවිපෙට විවෘත වන හදවත්

ජනතා විමුක්ති පෙරමුණ ජාතික සංහිඳියාව, ආගමික සංහිඳියාව සහ සහජීවනය, සමානාත්මතාවය ඇති කිරීමට කොතරම් දැඩි පරිශ්‍රමයක් දැරුවත්, මුස්ලිම් සහ දෙමළ ජනතාව එයට යම් දුරස්ථ බවක් දැක්වීය. නමුත්, මෙම මැතිවරණයේ දී උතුරු සහ නැගෙනහිර දෙමළ, මුස්ලිම් ජනතාව දැන් බොහෝ සෙයින් එම ජනතාවගේ හදවත් ජවිපෙට විවෘත වෙමින් පවතින්නේය. මඩකලපුවේ මැතිවරණ කටයුතු භාරව සිටින හඳුන්නෙත්ති කෙරෙහි විශේෂයෙන් මුස්ලිම් ජනතාව හෘදයාංගම වෙමින් සිටින්නෝය. උතුරේ දී බිමල් සහ රාමලිංගම් චන්ද්‍රසේකර්ට ද එසේමය. විශේෂයෙන්ම උතුරු පළාතේ පළාත් පාලන ආයතන කීපයක් හැරුණු කොට ආයතන 306 කට ජවිපෙ නාමයෝජනා දී ඇත්තේය. තනි පක්ෂයක් ලංකාව පුරා මේ තරම් ආයතන ගණනකට නාමයෝජනා දී තිඛෙන්නේ ජවිපෙන් පමණක්ය.

කතා අහන්න නොවෙයි, ඡන්දෙ දෙන්න

ජවිපෙ රට පුරා පවත්වන කුඩා ජනහමුවලට වුවද, විශාල වශයෙන් ජනතාව එකතු වෙමින් සිටිති. ඒ බොහෝ දෙනෙකු ජවිපෙ නායකයන්ට ළං වී වචනයක් හෝ කතා කිරීමට දැඩි උත්සාහයක් ගැනීම විශේෂයෙන් කැපී පෙනෙන්නේය. කවදත් වාගේ ජවිපෙ ජන හමුවල සෙනඟ පැමිණීම සාමාන්‍ය දෙයක් වී ඇත්තේය. පැමිණෙන බොහෝ දෙනෙක් එන්නේ රසවත් මෙන්ම හරවත් කතා ඇසීමේ අරමුණින්ය. පක්ෂයේ නායක, අනුරගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේ පැවති රැළියට විශාල ජන සහභාගීත්වයක් තිබුණේය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ සභා කිහිපයකම ජනහමු පවත්වන ලද්දේ ලාල් කාන්තගේ ප්‍රධානත්වයෙන්ය. එක් ජනහමුවක් අවසානයේ ලාල් කාන්තට කිට්ටු වූ කීප දෙනෙක් විශේෂ දෙයක් ලාල් කාන්තට කීය. ‘සයිටම් විරෝධී අරගලයේ දී තමයි, අපි හරියටම ජේවීපී එක අඳුන ගත්තේ. තෝරපු සටන් ක්‍රියාමාර්ග හරිම දියුණුයි. අපි මෙච්චර කල් ඔයගොල්ලන්ගේ කතා අහන්න විතරයි ආවේ. මේ පාර ඡන්දය ස්ථීරවම දෙනවා’ යනුවෙන් කියා තිබුණේය. ‘හොඳයි, හොඳයි. මතක නේ ද සයිටම් අරගලයේ දී අපි ආණ්ඩුවට දුන්න පණිවිඩය. සයිටම් විරෝධී අරගලයේ අවි අපි ආණ්ඩුවට භාර දුන්නේ නෑ, බිම තිබ්බා විතරයි කියලා. අපි බලමු ඉස්සරහට’ ලාල් කාන්ත කීය.