අධිකරණයට පමණක් ලොකුවට බෙදීම

01
අගමැතිට විරුද්ධ පොහොට්ටුවේ විශ්වාස භංගය බොරුවක්
February 6, 2018
No_election_badumkara_set_2
බැඳුම්කර වාර්තාව ගොන් පොරයක් කර ගැනීම
February 6, 2018
Show all

අධිකරණයට පමණක් ලොකුවට බෙදීම

cort

පැණි වරකාවටත් හෙණ ගසා තිබෙන බව පැහැදිලිය. ආණ්ඩුව හිටිහැටියේ අධිකරණයේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ වැටුප් සහ දීමනා විශාල වශයෙන් ඉහළ දැමීමෙන් තහවුරු කර තිබෙන්නේ එයයි. මෙපමණ කල් ජනතාව සිතාගෙන සිටින්නට ඇත්තේ, පාන් කියා ගැනීමටවත් නොහැක්කේ දුගී දුප්පතුනට පමණක් බව විය හැකිය. නමුත්, මෙය එසේ නොවන තරමට මේ රටේ එදිනෙදා ජීවන බර ඉහළ ගොස් තිබේ. තමන්ගේ වැටුප් සහ දීමනා වැඩි කර දෙන ලෙස කිසියම්ම හෝ ඉල්ලීමක් කිරීමටත් පෙර අධිකරණ ක්ෂේත්‍රයේ වැටුප් හා මූල්‍ය වරප්‍රසාද ඉහළ දැමූයේ, ආණ්ඩුවේ පඩුපුල් ආසන ඒ තරමට ම උණු වී ගිය නිසා බව පෙනේ.
ආණ්ඩුවේ පඩුපුල් ආසන නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණ ක්ෂේත්‍රය කෙරෙහි උණු වී යාමට දේශපාලන පෙළගැසීම් බලපාන ලද බව අමතර කරුණක් වශයෙන් පැහැදිලිය. එවැනි අවස්ථාවක බලලෝභී ආණ්ඩු කරන්නේ කඩතොලු මකා ගැනීමට ගොස් දුසිම් ගණනක් කඩතොලු හදා ගැනීමය. මේ රටේ කොයි කවුරුත් දරා ගත නොහැකි තරම් ජීවන බරකින් මිරිකී සිටින බව අමුතුවෙන් කිව යුතු නොවේ. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාම කියා තිබූ ලෙස රටේ සමස්ත ජනගහනයෙන් සියයට 43 ක් දිනකට ඩොලර් දෙකකට අඩු ආදායම් උපයන, දුගී බවේ ගිලී සිටිති. එසේ නම්, මේ පිරිසට සහ පහළ ආදායම් ලබන ජනතාවට ජීවන වියදම හෙවත් එදිනෙදා බඩවියත ගැට ගසා ගැනීමේ අරගලය ඉතා බිහිසුණු වූවක්ය.
පහළ ආදායම් ලබන දුගී ජනතාව පමණක් නොව ඉන් ඉහළ ආදායම් ලබන ජනතාව ද සිටින්නේ ජීවන වියදම දරා ගත නොහැකි මට්ටමකය. එවැනි පසුබිමක නැවත මතක් කළ යුතු කරුණක් වන්නේ පසුගිය මහා මැතිවරණ සමයේ දී රනිල් ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරන ලද්දේ ‘අතමිට සරු කරන ආර්ථීකයක් ගොඩනගන බව’ය. කියන්නා කෙසේ කීවත්, අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය යන්න ජනතාව කි්‍රයාවට නොයෙදීමෙන් බොහෝ ව්‍යසනවලට වගඋත්තරකාරයන් වී සිටින්නේ ද ජනතාවමය. කෙසේ වෙතත්, දැන් සමස්ත සමාජයම ඉන්නේ පාන් කියා ගන්න බැරි මට්ටමකය.
රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාම පිළිගෙන තිබෙන දිනක ආදායම් ලැබීම අනුව ජනගහනයේ දුගී බව පමණක් නොව තවත් විවිධ දර්ශකවලින් ජනතාවගේ ජීවිත බිඳවැටී ඇති අයුරු හෙළි වී ඇත. පසුගිය දෙසැම්බර් 07 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නිවේදනයකින් තවත් බොහෝ දර්ශකවල බිඳවැටීම් ගැන හෙළි වී තිබේ. විශේෂයෙන් පසුගිය රාජපක්ෂ පාලන සමයේ හඳුන්වා දෙන ලද සෞභාග්‍යතා දර්ශකය එහෙමත් නැත්නම්, සිනහ දර්ශකය සම්බන්ධයෙන් තිබෙන්නේ අදහා ගත නොහැකි තරම් විෂමතාවයන්ය. පළාත් වශයෙන් බෙදී ගොස් තිබෙන අගයන් අනුව ඒ සෞභාග්‍යතාවය අන්තයටම පිරිහී ගොස් තිඛෙන පළාත වන්නේ නැගෙනහිරය. දර්ශකයේ අගය 0.135 ක් හිමි වී තිබේ. නැගෙනහිරට එවැනි තත්ත්වයක් අත් වී තිබීම පිළිබඳව කිසිවෙකුත් පුදුම නොවනු ඇත. මන්ද වසර තිහකට ආසන්න කාලයක් යුද්ධයෙන් බැට කෑ ජනතාව වසර කීපයක් තුළ සෞභාග්‍යය කරා පිමි නොපනින නිසාය. නමුත්, එහි දෙවැනි තැන සිටින්නේ කිනම් පළාතක් දැයි ඔබට අනුමාන කළ හැකිද? ඒ ඌව පළාතය. දර්ශක අගය 0.151 ක් හිමි වී තිබේ. එහි තුන්වැනි ස්ථානය ඇසූ විට ඔබ තවත් බිරාන්ත වී යනු නො අනුමානය. තුන්වැනි තැන සිටින්නේ දර්ශක අගය 0.153 ක් හිමි කර ගනිමින්, සබරගමුව පළාතය.
මැණික්වලින් ගහණ සබරගමුව පළාතේ රබර් ප්‍රධාන වාණිජ භෝගයක් වී ඇතිවා පමණක් නොව කොස්, දෙල්, පුවක් ආදිය ගහණ පළාතක්ය. පලතුරුවලින් පිරි පළාතක්ය. එක පැත්තක සල්ලි ආකර තිබෙන අතර, කුසගිනි නිවා ගැනීමට බත හැරුණු විට සොයා ගත හැකි අතිරේක ආහාර වර්ග බහුලව තිබියදීය. මේ පිළිබඳව තවත් කරුණු සොයාබැලිය යුතු වේ. සෞභාග්‍යතා දර්ශකය ගණනය කරන්නේ ආර්ථීක හා ව්‍යාපාරික පරිසරය, ජන ජීවිතයේ යහපැවැත්ම මෙන්ම සමාජ, ආර්ථීක යටිතල පහසුකම් යන උප දර්ශක තුනක එකතුවකින්ය. එම උප දර්ශකවලින් එකිනෙක ගෙන බලන විට පහළම අන්ත දුඃඛිත තත්ත්වයේ සිටින්නේ කිනම් පළාත් දැයි හෙළි කර තිබේ.
ආර්ථීක සහ ව්‍යාපාරික පරිසරය නම් උප දර්ශකය ගෙන බැලු විට අන්ත දුඃඛිතම මට්ටමේ පවතින්නේ ඌව පළාතය. දර්ශකයේ අගය 0.181 ක් ගෙන තිබේ. දෙවැනි අන්ත දුඃඛිත බව සබරගමුවට ලැබී ඇත්තේ දර්ශක අගය 0.281 ක් ලබා ගෙනය. තුන්වැනි තැන උතුරු පළාතට හිමි වී ඇත්තේ, දර්ශක අගය 0.301 ක් ලබමින්ය.
තවත් වැදගත් උප දර්ශකයක් සේ හඳුන්වා ඇත්තේ ජන ජීවිතයේ යහපැවැත්ම නම් දර්ශකයයි. එයින් ඉතාම දුර්වලම පළාත වී ඇත්තේ, නැගෙනහිරයි. දර්ශක අගය 0.036 ක් එයට හිමි වී ඇත. දෙවැනි ස්ථානය හිමි වී තිඛෙන්නේ ඌව පළාතට වන අතර, දර්ශක අගය 0.143 ක් වශයෙන් සටහන් වේ. සබරගමුව තුන්වැනි තැනට පත්ව ඇත්තේ, දර්ශක අගය 0.238 ක් හිමි කර ගනිමින්ය. සමාජ ආර්ථීක යටිතල පහසුකම් දර්ශකය නම් උප දර්ශකයේ පහළම තැන තිඛෙන්නේ සබරගමුවය.
එය කෙතරම් ඛේදජනක බිඳවැටීමක් දැයි කිවහොත්, රින 0.061 ක් දක්වා අන්ත ප්‍රපාතයක පවතී. දෙවැනි ස්ථානයේ පසුවන උතුරු පළාත දර්ශක අගය 0.024 ක් හිමි කරගෙන ඇති අතර, තුන්වැනි තැන නැගෙනහිරට හිමි වී ඇත්තේ, දර්ශක අගය 0.036 ක් අත් කර ගනිමින්ය.
පැණි වරකාවටත් හෙණ ගැසූ කතාවක් අධිකරණ යාන්ත්‍රණයේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ වැටුප් හා දීමනා ඉතා විශාල වශයෙන් ඉහළ දැමීම හරහා මේ කියන්නේ අණ්ඩර දෙමළයක් බව ඔබට සිතෙන්නට බැරි නැත. දිනක ආදායම, ජීවන බර, ආදායම් ඛෙදී යාමේ විෂමතාවය, ඒකපුද්ගල දළ ජාතික නිෂ්පාදිතය ආදී බොහෝ විට කියවෙන ආර්ථීක දර්ශකවලට අමතරව ජනතාව සම්බන්ධයෙන් ඊටත් වඩා බරපතළ තත්ත්වයක් පවතින බව ඉහත දැක්වූ කරුණු අනුව පැහැදිලි වේ. අතමිට සරු අනාගතයක් ගොඩනගන බවට දේශපාලන වේදිකාවල කියන කතා කිසිදු යථාර්ථයක් නොවී ජන ජීවිත බිහිසුණු අන්දමින් කඩාවැටෙමින් තිඛෙන බව මෙයින් පැහැදිලි වේ.
එවැනි සමාජ, ආර්ථීක පරිසරයක් තිබෙන රටක පාලකයන් ප්‍රශ්නවලට උත්තර හොයන්නේ එකක් කඩතොලු මකා ගන්නට ගොස් දුසිම් ගණනක් කඩතොලු හදා ගනිමින්ය. නිශ්චිතවම ප්‍රශ්නයට අදාළව ගතහොත්, ජීවන වියදමට සාපේක්ෂව ඉහළ දැමිය යුත්තේ, අධිකරණ ක්ෂේත්‍රයේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ වැටුප් පමණක් නොවේය. සමස්ත ජනතාවටම ජීවත් විය හැකි මට්ටමේ ආදායම් ඉහළ දැමීමක් සිදු කළ යුතුය. නමුත්, මේ පාලකයන්ට එවැනි දෙයක් කිරීමේ ඕනෑකමක් හෝ හැකියාවක් නැත. අවස්ථාවාදීව යම් කිසි කොටසක් සැනසීමට කප්පම් දීමේ ක්‍රමවේද අනුගමනය කරනවා පමණය. අධිකරණ ක්ෂේත්‍රයේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ වැටුප් හා දීමනා එක රැයෙන් හිතූමතයේ වැඩි කර ඇත්තේ ඒ අනුවය. මෙයින් ආපසු සමාජය මත මුදාහරින්නේ තවත් ආකාරයක පීඩනයක් පමණක්ය. මේ අවස්ථාවේදී මේ ආයතන දෙක තෝරාගෙන වැටුප් හා දීමනා ඇතුළු මූල්‍ය වරප්‍රසාද විශාල වශයෙන් ඉහළ දමන්නේ සැඟවුණු දේශපාලන න්‍යාය පත්‍රයක් අනුව බව ඉතා පැහැදිලිය. එයින් රට තුළ යළි ඇති කරන්නේ බරපතළම තත්ත්වයක් පමණය.
එය කොපමණ වේ ද යන්න එක් නිදසුනකින් තේරුම් ගත හැකිය. නීතිපතිවරයාගේ වැටුප මාසිකව රුපියල් 75,800.00 සිට රුපියල් 2,40,000.00 ක් දක්වා ද, වෙනත් දීමනා රුපියල් 2,18,500.00 සිට රුපියල් 3,32,800.00 ක් දක්වා ද ඉහළ දැමීම කොතරම් යුක්තියුක්ත දැයි කල්පනා කිරීම පමණක් ප්‍රමාණවත්ය. මෙයින් ඇති කරනු ලබන විවිධ විෂමතාවයන් යළි සමාජ පීඩනයක් ඇති කරන්නේ විවිධ අංශවලින් පුපුරා යන පරිදිය.


ඉන්ද්‍රසිරි ජයසුන්දර