අපේ රටේ තවමත් ක්‍රීඩාවට මනෝ විද්‍යාව යොදා ගැනීම තිබෙන්නේ අඩු මට්ටමකයි… (ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ ක්‍රීඩා මනෝ විද්‍යාව සහ ක්‍රීඩා සමාජ විද්‍යාව පිළිබඳ කථීකාචාර්ය පී. බී. ජයතිලක)

unp
මහින්ද පිලේ 13ක් එජාපයට පුදයි
February 6, 2018
වත=
ගොවිපළ තුනක් විකුණයි
February 6, 2018
Show all

අපේ රටේ තවමත් ක්‍රීඩාවට මනෝ විද්‍යාව යොදා ගැනීම තිබෙන්නේ අඩු මට්ටමකයි… (ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ ක්‍රීඩා මනෝ විද්‍යාව සහ ක්‍රීඩා සමාජ විද්‍යාව පිළිබඳ කථීකාචාර්ය පී. බී. ජයතිලක)

PB jayathilaka

දෛනික ජීවිතයේ දී අප විසින් සිදු කරනු ලබන ඕනෑම ක්‍රියාවක් සාර්ථක කර ගැනීම සඳහා යහපත් මානසිකත්වයකින් යුතුව එම ක්‍රියාව සිදු කිරීම අතිශය වැදගත් වේ. මෙය ක්‍රීඩාවට ද එලෙසම වලංගු වේ. මේ නිසා මෙම වසරේ පළමු කලාපයෙන්ම ක්‍රීඩාව පිළිබඳ යහපත් මානසිකත්වයක් ගොඩනගා ගන්නා ආකාරය පිළිබඳව දැනුම්වත් කිරීමට අදහස් කළෙමු. අප මේ සඳහා ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ ක්‍රීඩා මනෝ විද්‍යාව සහ ක්‍රීඩා සමාජ විද්‍යාව පිළිබඳ කථීකාචාර්ය වෛද්‍ය පී. බී. ජයතිලක මහතා හමු වුණෙමු. මේ එම සංවාද සටහනයි.

ක්‍රීඩා මනෝ විද්‍යාව පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් කළොත්…

ක්‍රිඩාවේ යුග කිහිපයක් තිබෙනවා. 1876දී තමයි, නූතන ඔලිම්පික් උලෙළ ආරම්භ වන්නේ. මුල් කාලේ දී ඒක ඒ තරම් ජනප්‍රිය නැහැ. හැබැයි, 1900 වෙන කොට මුළු ලෝකයම ඒ ගැන අවධානය යොමු කරනවා. 1960 පමණ වෙන කොට ලෝකයේ සෑම රටක්ම තමන්ගේ ඔලිම්පික් පදක්කම් දිනාගෙන තමන්ගේ ශක්තිය හා බලය පෙන්වන්න පෙළඹුණා. මේ නිසා ඔවුන්ට අවශ්‍ය වුණා ඔලිම්පික් දක්ෂතාව වර්ධනය කර ගන්න හා පවත්වා ගන්න. ඒ සඳහා ශාරීරික පුහුණුවට අමතරව වෙනත් විෂය කරුණු ගැන අවධානය යොමු කළා. මේවායේ ප්‍රතිඵලයක් විදියට තමයි, කී්‍රඩාව විද්‍යාත්මක පදනමකින් ගොඩනැගීම ආරම්භ වුණේ. ඒ අනුව ඔවුන් අවබෝධ කර ගත්තා ක්‍රීඩාවට ශාරීරික පුහුණුව වාගේම මානසික පුහුණුවත් වැදගත් කියලා. ඒ නිසා තමයි, ක්‍රීඩා මනෝ විද්‍යාව ඒ සඳහා යොදා ගත්තේ.

සාමාන්‍ය මනෝ විද්‍යාව සහ ක්‍රීඩා මනෝ විද්‍යාව අතර ඇති වෙනස කුමක්ද?

සාමාන්‍ය මනෝ විද්‍යාව භාවිත කරන්නේ එදිනෙදා ජීවිතයේ පැවැත්ම සඳහායි. කෙනෙකුට සාමාන්‍ය ජීවිතයේ දී ගැටලුවක් ආවොත්, ඒකට විසඳුමක් ලබා ගන්න මනෝ විද්‍යාඥයෙක් ළඟට යනවා. හැබැයි, ක්‍රීඩා මනෝ විද්‍යාවේ දී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ ක්‍රීඩක, ක්‍රීඩිකාවන් පිළිබඳවයි. ඔවුන්ගෙනුත් ප්‍රමුඛතාවය ලබා දෙන්නේ විශේෂිත අයටයි. මොකද? ක්‍රීඩකයාගේ දක්ෂතාව වර්ධනය කිරීමයි ඒකේ අරමුණ. ඔවුන්ගේ මානසික පෙළඹවීම වැඩි කිරීම, කුසලතා වැඩි කිරීම හා පවත්වා ගැනීමත් එයට ඇතුළත්. මේ නිසා ක්‍රීඩාවේ මනෝ විද්‍යාව ලබා දෙන්නේ ගැටලුසහගත අයට නෙමෙයි. ගැටලු නැති අයටයි. ක්‍රීඩාවේ දී ක්‍රීඩකයකු පූර්ව සූදානම් වන, ක්‍රීඩාවට මුහුණ දෙන සහ යළිත් පරිවර්තනය වන වශයෙන් අවස්ථා තුනක් තිබෙනවා. මේ අවස්ථා තුනේදීම ක්‍රීඩා මනෝ විද්‍යාව යොදා ගන්නවා. මගේ අදහස නම්, වැඩියෙන් අවශ්‍ය වන්නේ පූර්ව සූදානම් වන අවස්ථාවේ කියලයි. ඒ කියන්නේ පුහුණු වන කාලෙ දී. එතන දී නැතිව අනෙක් තැන්වල දී මේක ලබා දීලා වැඩක් නැහැ. කණ්ඩායම් ක්‍රීඩාවක දී නම්, එක් එක් ක්‍රීඩකයන්ගේ හෝ ක්‍රීඩිකාවන්ගේ විලාසයන් සහ හැකියාවන් වෙන වෙනම හඳුනා ගන්න ඕනෑ. එතන දී එක් එක් අංශ සඳහා විශේෂ දක‍ෂතා තියෙන අය ඉන්නවා. උදාහරණයක් ලෙස පාපන්දු කණ්ඩායමක් ගත්තොත්, දැල් රකින්නා පුහුණු වන විදියට නොවෙයි, ඉදිරි පෙළ ප්‍රහාරකයා පුහුණු වන්නේ. මේ දෙදෙනාම පුහුණු වන විදියට නොවෙයි, පසු පෙළ ආරක්ෂකයා පුහුණු වෙන්නේ. මේ නිසා මේ අයගේ මානසික මට්ටමත් වෙනස්. අපි ඔවුන්ව මානසිකව පුහුණු කරන්න ඕනෑ මේ ගැන හොඳ අවබෝධයකින් යුක්තවයි. මේක කරන්න පුළුවන් පුහුණු කාලේ දී විතරයි.

මේ වෙන කොට අපේ රටේ ක්‍රීඩාවට ක්‍රීඩා මනෝ විද්‍යාව යොදා ගැනීම තිබෙන්නේ මොන වගේ මට්ටමකද?

1898 න් පස්සේ තමයි, බටහිර ලෝකයේ ක්‍රීඩා මනෝ විද්‍යාව ආරම්භ වෙන්නේ. නෝමන් ට්‍රිප්ලෙට් කියන සමාජ මනෝ විද්‍යාඥයා තමයි, මුලින්ම මේ ගැන පරීක්ෂණ කරන්නේ. ඊට පස්සේ 1920-25 දී පමණ ඔහුගේ ශිෂ්‍යයකු වූ කෝල්මන් ගි්‍රෆිත් තමයි, ඇමෙරිකාවේ විශ්වවිද්‍යාලයක ක්‍රීඩා මනෝ විද්‍යා පාඨමාලාවක් ආරම්භ කරලා, ඒක ලෝකයට හඳුන්වා දෙන්නේ. ඊට පස්සේ ජර්මනිය, රුසියාව, එංගලන්තය වැනි රටවල් කී්‍රඩාවට මේක යොදා ගත්තා. 1960 ඔලිම්පික් එකේ දී මේ රටවල්වල ක්‍රීඩා කණ්ඩායම් සමඟ ක්‍රීඩා මනෝ විද්‍යාඥයකුත් සහභාගී වුණා. 1980 න් පස්සේ තමයි, ආසියාවට මේක පැමිණෙන්නේ. දකුණු කොරියාව සහ චීනය වාගේ රටවල් තමයි, මුලින්ම මේක යොදා ගත්තේ. දකුණු ආසියානු කලාපයේ ප්‍රධාන වශයෙන් ක්‍රීඩාවට මේක යොදා ගත්තේ ඉන්දියාවයි. ඉන්දියාවේ විතරයි, මේක විශ්වවිද්‍යාල මට්ටමින් උගන්වන්නේ. 1979 දී ලංකාවේ ක්‍රීඩා විද්‍යායතනය ආරම්භ කරලා, 1980 දී ක්‍රීඩා ඩිප්ලෝමා පාඨමාලාවක් ආරම්භ කරනවා. ඒකෙ එක් විෂයයක් ලෙස ක්‍රීඩා මනෝ විද්‍යාවත් ඇතුළත් වෙනවා. හැබැයි, මේක කළේ ක්‍රීඩා මනෝ විද්‍යාව පිළිබඳව හදාරලා, ඒ ගැන විශේෂඥ දැනුමක් තියෙන අය නෙමෙයි. සාමාන්‍ය මනෝ විද්‍යාව පිළිබඳව අවබෝධයක් තිබෙන අයයි. අපේ රටේ තවමත් ක්‍රීඩාවට ක්‍රීඩා මනෝ විද්‍යාව යොදා ගැනීම තිබෙන්නේ අඩු මට්ටමකයි.

ඇයි එහෙම වෙලා තියෙන්නේ?

2010 න් පස්සේ තමයි, අපේ රටේ ක්‍රීඩාව පිළිබඳව විශ්වවිද්‍යාලවල උපාධි පාඨමාලා ආරම්භ වෙන්නේ. මේ නිසා තවමත් අපේ රටේ ක්‍රීඩාව තුළ ක්‍රීඩා මනෝ විද්‍යාව පිළිබඳව විධිමත් ප්‍රමිතිගත මනෝ විද්‍යා නිර්ණායක නැහැ. වෙනත් රටවල්වල ක්‍රීඩා මනෝ විද්‍යාඥයෙක් වෙන්න නම්, ඔහුගේ පළමු උපාධිය මනෝ විද්‍යා විෂයය වෙන්න ඕනෑ. ඊට පස්සේ පශ්චාත් උපාධිය ක්‍රීඩා මනෝ විද්‍යාව වෙන්න ඕනෑ. අපේ රටේ එහෙම එකක් නැහැ. මේ නිසා පූර්ණ හැකියාව තියෙන ක්‍රීඩා මනෝ විද්‍යාඥයන් බිහි වීම පිළිිබඳ ගැටලුවක් තිබෙනවා.

ලංකාවේ ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ගේ මානසික මට්ටම බිඳවැටීමට ප්‍රධාන හේතුව ආර්ථීක ගැටලු කියල මතයක් තිබෙනවා. මේක සත්‍යයක්ද?

මම ලංකාවේ ඔලිම්පික් මට්ටමේ ඉඳලා පාසල් මට්ටම දක්වාම ක්‍රීඩකයන් සමඟ වැඩ කරලා තිබෙනවා. මෙතන දී මට තේරුණු දෙය තමයි, අපේ ක්‍රීඩකයන්ගේ මානසික මට්ටම බිඳවැටෙන්න ප්‍රධානම හේතුව ආර්ථීක ගැටලු නොවන බව. ඒවාත් යම් ආකාරයකට බලාපන්න ඇති. මේකට ප්‍රධානම හේතුව තමයි, ඔවුන්ට තරගයේ තිබෙන පීඩනය දරා ගැනීමට නොහැකි වීම. මේ නිසා එයාලගේ උපරිම දක්ෂතාවට පැමිණීමේ ගැටලුවක් තිබෙනවා. මේ නිසා තරගකාරීත්වයට උචිත මානසික ක්‍රියාකාරීත්වයක් පවත්වා ගැනීමට නොහැකි වෙලා තියෙනවා. ඔවුන් පුහුණු වීම් කරන අවස්ථාවේ දී ඔවුන්ට අවශ්‍ය ක්‍රීඩා මනෝ විද්‍යා පුහුණුව ලබා දීලා නැති නිසා ඔවුන් මේකට මුහුණ දෙන්නේ තමන්ගේ අත්දැකීම්වලිනුයි. ඒත්, සමහර රටවල්වල එහෙ ම නැහැ. ඔවුන්ව මානසිකව පුහුණු කරලා තමයි, තරගයට එවන්නේ. මේ නිසා ඔවුන්ගේ පළමු තරගය වුණත්, හොඳින් ඒකට මුහුණ දීමේ හැකියාව ලැබෙනවා. මේ නිසා තමයි, අපි පුහුණු වීම් කරන කාලේදීම මනෝ විද්‍යා පුහුණුවක් ලබා දීම වැදගත් වෙන්නේ. අනෙක් එක තමයි, අපේ රටේ ක්‍රීඩා කණ්ඩායම් සමඟ ක්‍රීඩා මනෝ විශේෂඥයන් යන්නෙත් නැහැ. මම දන්න විදියට අවස්ථා දෙකක දි පමණයි, එහෙම ගිහින් තිබෙන්නේ. මේ නිසා තරගයක දී මානසික ගැටලුවක් ආවොත්, ඔවුන් විශාල අපහසුතාවයකට පත් වෙනවා. අපට ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර ජයග්‍රහණ අඩු වෙන්න මේකත් ප්‍රධාන හේතුවක්.

මීට අමතරව ක්‍රීඩකයන් මානසිකව වැටීමට තවත් හේතු තිබෙනවාද?

ක්‍රීඩකයෙක් පුහුණුකරුවකුගේ, ක්‍රීඩා පරිපාලන නිලධාරීන්ගේ, කළමනාකරුවන්ගේ ක්‍රියා මෙන්ම ඇතැම් නීතිමය කාරණා නිසාත් මානසිකව වැටෙන්න පුළුවන්. එහෙම එකක් වුණොත්, ඒකට විසඳුමක් ලබා දෙන්න පුළුවන් හොඳම කෙනා තමයි, ක්‍රීඩා මනෝ විද්‍යාඥයා. මොකද? ඔහුට තමයි, පුළුවන් මෙම සෑම පාර්ශ්වයක් සමඟම සාකච්ඡා කරලා අවශ්‍ය කටයුතු කරන්න. ඒ වාගේම තමයි, අද කී්‍රඩාවේ තිබෙන දැඩි තරගකාරීත්වය නිසා කොහොම හරි දිනන්න ඕනෑ කියන මතයක් ඇති වෙලා තියෙනවා. මේක ක්‍රීඩකයන්ට වාගේ ම පුහුණුකරුවන්ටත් ලොකු මානසික පීඩනයක් වෙලා තිබෙනවා. මේකට කරන්න තිබෙන්නේ ශාරීරික අධ්‍යාපනය පිළිබඳ පුහුණුවක් ලබා දීමයි. මේ නිසා අපි පසුගිය කාලයේ දී පාසල්වල සිටින ශාරීරික අධ්‍යාපන ගුරුවරුන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් රැසක් සිදු කළා. පාසල් ක්‍රිකට් පුහුණුකරුවන් ගෙන්වලා ඔවුන්ට දින හතරක වෙනමම පුහුණුවක් ලබා දුන්නා. එතන දී අපි ඔවුන්ව ක්‍රීඩා මනෝ විද්‍යාව පිළිබඳවත් දැනුම්වත් කළා. මොකද? මේක පහසුවෙන්ම කරන්න පුළුවන් පුහුණුකරුවන් හරහායි.

මෙම ගැටලු විසදා ගන්න ඉදිරියේ දී කළ යුත්තේ මොනවාද?

අපේ රටේ බොහෝ දෙනෙක් පාසලෙන් තමයි, ක්‍රීඩාව ආරම්භ කරන්නේ. ඒ නිසා පාසල්වල සිටින ශාරීරික අධ්‍යාපන ගුරුවරුන් දැනුම්වත් කිරීම ඉතා වැදගත්. මේක අධ්‍යාපන අමාත්‍යාංශය වාගේම ක්‍රීඩා අමාත්‍යාංශයත් පිළිගෙන තිබෙනවා. ඒ සඳහා යම් යම් ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. ඒ වාගේම තමයි, අපේ රටේ ප්‍රධාන වශයෙන් ජාතික ක්‍රීඩක, ක්‍රීඩිකාවන් පාලනය වෙන්නේ ජාතික ක්‍රීඩා සංගම්වලිනුයි. මේ නිසා එවැනි සංගම්වල සිටින අයටත් මේ ගැන දැනුමක් ලබා දීම වැදගත් වෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතනවල සම්බන්ධීකරණය හරහා මේක සමාජගත කළ හැකි නම්, මෙම ගැටලු ගොඩක් අවම කර ගන්න පුළුවන්. දැනට නම්, අපට එතරම් සතුටු විය හැකි මට්ටමකට මේක වර්ධනය වෙලා නැහැ. ඒත් අපි බලාපොරොත්තු වෙනවා, ඉදිරියේ දී ක්‍රීඩා අමාත්‍යාංශය පැත්තෙන් මේ සඳහා අපට සුභවාදී ප්‍රතිචාරයක් ලැබෙයි කියලා.


සමන් රණවක ආරච්චි