අල්ලේ ගොවි ජනපදය යට වෙන්න ළඟයි

ranwala
සපුගස්කන්ද ඕ.අයි.සී පෙන්වූ ‘පොලිසියේ අභිමානය’
February 6, 2018
011
පොහොට්ටු කචල් නිසා බැසිල් පලා යයි
February 6, 2018
Show all

අල්ලේ ගොවි ජනපදය යට වෙන්න ළඟයි

weeeee

ලංකාව කීර්තිමත් වාරි ඉතිහාසයක් ඇති රටක් බව අමුතුවෙන් කියන්නට වුවමනා නැත. සැලසුම්සහගත වාරි තාක්ෂණය පිළිබඳ දැනුම ලංකාවෙන් එපිටට රැගෙන යන්නට එදා සිටි මිනිස්සු සමත් වූහ. එදත් තැනින් තැන වාරි කර්මාන්ත ආරම්භ වී තිබුණත්, අවම වශයෙන් ඉතිහාසයේ අත්දැකීම් හෝ ලබා ගන්නට ඒවා සැලසුම් කරන්නවුන්ට හැකියාවක් නැත. එයට ප්‍රධානම හේතුව වී ඇත්තේ ඒවා වාරි ව්‍යාපෘතිවලට වඩා දේශපාලන ව්‍යාපෘති බවට පත් වී තිබීමයි. ඒ නිසාම තැනින් තැන ක්‍රියාත්මක වන මෙවැනි ව්‍යාපෘතීන්ට මැදි වූ ජනතාවගෙන් නැගෙන්නේ සංවර්ධනයේ ප්‍රීතිමත් හඩ නොවේ. තමන් වැටී ඇති අගාධය පිළිබඳ අඳෝනාවන්ය. උමාඔය ඊට හොඳම උදාරහණයකි. මොරගහකන්දෙන් ඇසෙන්නේ ද එවැනිම විලාපයකි. එහෙත්, මේ කියන්නට යන්නේ ඒ අලුත් ව්‍යාපෘති පිළිබඳව නොව දැනට කාලයකට ඉහත දී ගොඩනැගුණු වාරි ව්‍යාපෘතියක කොටසක් පාලකයන්ගේ නොසැලකිල්ල සහ අත යට ගනුදෙනු නිසා විනාශ වීමේ අවදානමට ලක් වී ඇති ආකාරයත්, ඒ නිසාම ජන ජීවිතය මුහුණ දී ඇති අවදානමත් පිළිබඳවය.
අවිධිමත් වැලි ගොඩ දැමීම් සහ ප්‍රවාහණය හේතුවෙන් මහවැලි ගෙඟ් නීලපොළ ආරක්ෂක බැම්ම නැවතත් බිඳී යාමේ අවදානමකට ලක්ව ඇතැයි සේරුවිල සහ මූතූර් ප්‍රදේශවාසීහු අනතුරු අඟවති. එහි විශේෂය වන්නේ එහි අනතුරක අවදානමක් ඇති වූ පළමු අවස්ථාව මෙය නොවීමයි. දෙදහස් දාහතර වර්ෂයේ දී නීලපොළ ආරක්ෂක බැම්ම බිඳී යාමෙන් ඇති වූ ජල ගැල්ම හේතුවෙන් කුඹුරු අක්කර හත්සියයකට වඩා විනාශ වූ බවත්, පවුල් දසදහසක් පමණ අපහසුතාවට පත්වූ බවත් ඔවුහු සිහිපත් කරති.
එක්දහස් නමසිය පනස් තුනේ දී ආරම්භ කරන ලද අල්ල ගොවි ජනපදයට අයත් වගා භූමි සහ වාසභූමි ගංවතුර තර්ජනයෙන් රැක ගැනීම සඳහා ඉදි කර ඇති මෙම වේල්ලේ දිග කිලෝ මීටර් දාහතරකි. වසර ගණනාවක් මෙම ප්‍රදේශය යුද්ධයේ අවදානමට ලක්ව තිබූ ප්‍රදේශයකි. එහෙත්, යුද්ධය අවසන් වීමත් සමග ඇති වූ තත්ත්වය ජනතාවට ලබා දුන්නේ සුඛදායී වටපිටාවක් නොවේ. යුද්ධයේ ජයග්‍රහණයත් සමඟ එයට පීතෘත්වය දෙමින් සෑම ප්‍රදේශයකම දේශපාලන බලපුළුවන්කාරයෝ බලය අත්පත් කර ගත්තේ තම තමන්ගේ ජාවාරම් එම ප්‍රදේශවල ක්‍රියාත්මක කිරීමේ අරමුණ ඇතිවය.
යුද්ධය අවසන් වීමත් සමගම මෙම ප්‍රදේශයට අත් වන්නේ ද එම ඉරණමමය. වැලි ජාවාරම්කාරයන් විසින් ගඟ ආක්‍රමණය කළේය. ට්‍රැක්ටර්, ටිපර් බැම්ම උඩින් ගඟට බැස්සවීය. දෙදහස් දාහතර වසරේ දෙසැම්බර් මාසයේ බැම්මේ මීටර් සීයක පමණ ප්‍රමාණයක් බිඳී යන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. දැනටත් ඒ නිසා ගිලා බැස ඇති ස්ථාන එසේම ඉතිරිව තිබේ.
එදා එම සිදුවීමෙන් විනාශයට පත් වූ කුඹුරු අක්කර ප්‍රමාණය හත්සියයකටත් වඩා වැඩිය. පවුල් දසදහසක් පමණ ගංවතුර නිසා පීඩාවට පත් විය. බැම්ම නැවත පිළිසකර කිරීම සඳහා රුපියල් කෝටි ගණනක් වැය කරනු ලැබිණි.
එහෙත්, දිගින් දිගටම සිදු වන වැලි ගොඩ දැමීම සහ ප්‍රවාහනය නතර කිරීමට කිසිදු වගකිවයුත්තෙක් මැදිහත් වූයේ නැත. මේ වන විටත් වැලි ගොඩ දැමීම ජයටම සිදු වෙමින් පවතින්නේ ප්‍රාදේශීය බලපුළුවන්කාරකම්වලට රාජ්‍ය බලයේ සිටි හෝ සිටින ඕනෑම දේශපාලන පක්ෂයක් අතහිත දෙන නිසා වන්නට ඇත. කෙසේ වෙතත් නැවතත් කෝටි ගණනක් වියදම් කර සකස් කළ ආරක්ෂිත බැම්ම දැන් ගිලා බසිමින් තිබේ. ඒ ගිලාබැස්ම ඇතැම් ස්ථානයක අඩි තුන හතරක් දක්වා ගැඹුරට ගමන් කර තිබේ.
ආරක්ෂිත බැම්ම තිබෙන කිලෝමීටර දාහතර ඇතුළත වැලි ගොඩ දැමීම කොහෙත්ම සුදුසු නැති බව සාමාන්‍ය විචාර බුද්ධිය ඇති ඕනෑම අයෙකුට වැටහෙන්නකි. ඒ සම්බන්ධයෙන් ප්‍රදේශයේ ගොවි සංවිධාන විසින් ද විටින්විට බලධාරීන් දැනුම්වත් කර තිබේ.
සේරුවිල සහ මූතූර් ප්‍රදේශවල පදිංචි පවුල් පහළොස් දහසකට පමණ පානීය ජලය සැපයෙන්නේ නීලපොළ ජල පොම්පාගාරයෙනි. මේ වැලි ගොඩ දැමීම නිසා එම ප්‍රදේශවල පානීය ජල සැපයුමටත් බාධා වෙමින් තිබේ. පසුගිය වසරේ අගෝස්තු මාසයේ දී ජලමට්ටම පොම්පාගාරයටත් වඩා පහළ වැටුණේ ගෙඟ් පතුල හෑරීම නිසාය.
මේ වන විට බැම්ම ආසන්නයේ තිබෙන වසර දහස් ගණනක් තිස්සේ ගං දෑල ආරක්ෂා කළ යෝධ කුඹුක් ගස් ඉදිරී වැටෙමින් පවතී. වැලි ප්‍රවාහණය කෙරෙන වාහන නිසා රක්ෂිත වනය පුරා බැලූ බැලූ තැන පාරවල්ය.
මෙවැනි තත්ත්වයක් තිබිය දී ආරක්ෂක වේල්ලේ අධික්ෂණ කටයුතු භාර වාරි නිලධාරීන්ගේ නේවාසික නිල නිවාස ද පාළුවට ගොසිනි. ගැමියන් පවසන්නේ අවුරුදු හතළිහකින් එම නිළ නිවාස පරිහරණය කර නැති බවය. එයින්ම පාලකයන්ගේ නොසැලකිල්ලේ දිග පළල තේරුම් ගත හැකිය.
මහවැලි ගෙඟ් ආරක්ෂිත වේල්ල ආශ්‍රිතව වැලි ගොඩ දැමීමට සේරුවිල ප්‍රාදේශීය ලේකම්වරයා පවා විරුද්ධ වෙද්දී, ඉඩම් පරිහරණ කමිටුවට සහභාගි වන වනරක්ෂණ, වන ජීවී, භූ විද්‍යා හා පතල් කාර්යාංශ සහ වාරිමාර්ග නිලධාරීන් එම විරෝධය නොතකා බලපත්‍ර නිකුත් කරන බව සියල්ලෝම දනිති. ඒවා එසේ සිදු වන්නේ නිකම් වන්නට බැරිය. තමන්ට යමක් නොලැබෙන්නේ නම් කාටවත් නිකම්ම වැලි ‘පර්මිට්’ දෙන්නට මේ කිසිදු නිලධාරියෙකුට අමාරුවක් ඇතැයි සිතිය නොහැක.
‘ඉඩම් පරිහරණ කමිටුව කැඳවීමේ බලය මට තිබුණත්, එහිදී ගන්නා තීන්දු තීරණවලට විරුද්ධ වීමේ බලයක් මට නැහැ’යි මේ පිළිබඳව මාධ්‍ය කළ විමසීමක දී ප්‍රාදේශීය ලේකම්වරයා පවසා තිබිණි.
“බැම්ම බිඳී ගොස් ඇත්තේ මගේ රාජකාරි කාලයට කලින්. දැනට මාස දෙකකට කලින් මා එම ස්ථානයට ගොස් බැම්මට අනතුරක් නොවන ලෙසට වගබලා ගන්නැයි නිලධාරීන්ට උපදෙස් දුන්නා” යනුවෙන් ත්‍රිකුණාමල දිස්ත්‍රික් සහකාර වාරිමාර්ග අධ්‍යක්ෂ එස්. එම්. බී. එම්. අෂාර් ද ෂේප් න්‍යාය අනුගමනය කරයි.
කොටසක් ජාවාරම්කරුවන්ගේ පැත්තේය. තවත් කොටසක් කළ හැක්කක් නැති බව කියයි. මුදල් ප්‍රතිපාදන නොමැති නිසා බැම්මේ ආරක්ෂාවට අදාළ ස්ථානවලට නිලධාරීන් යෙදවීමට නොහැකි බව ඉදිරිපත් වන තවත් කාරණාවකි.
කෙසේ වෙතත්, මේ වන තෙක් බැම්මේ ආරක්ෂාවට කිසිවක් සිදු වී නැත. තව දුරටත් මෙම තත්ත්වය මෙසේම පවතින්නට ඉඩ හැරියහොත්, ‘මෛත්‍රීගේ සිහිනය’ රජරටට ඇදෙන විට මහවැලි ගං දිය අල්ලේ ජන ජීවිත තළා පොඩි කරමින් පිටාර ගලනු ඇත.


සුධීර ඉද්දමල්ගොඩ