ඉරානය ගිනි දැල් මැද ට්‍රම්ප්ගේ ගිනි කෙළි

fillm
මිනිස් පා ස්පර්ශ වුණු පාර දිගේ, පතිරාජ
February 6, 2018
jeemis 2
ධර්මසේන පතිරාජගේ අවසන් කැමැත්ත
February 6, 2018
Show all

ඉරානය ගිනි දැල් මැද ට්‍රම්ප්ගේ ගිනි කෙළි

_99436032_3a6be9ca-6da3-4225-b917-9cf64b0401f1

ඉරානයේ ක්‍රියාත්මක වෙමින් තිබෙන උද්ඝෝෂණයන් ආරම්භ වන්නේ පසුගිය දෙසැම්බර් 28 වන දිනයේදීය. ඉරානයේ දෙවන විශාල නගරය වූ මෂ්හාඩ් නගරයෙන් ආරම්භ වූ විරෝධතා ව්‍යාපාර මේ වන විට රටේ සෙසු නගරවලටත් පැතිර යමින් පවතී. සිදු කෙරෙමින් පවතින දූෂණ සහ දරාගත නොහැකි ආහාර මිල, උද්ධමනය සහ රැකියා ප්‍රශ්නය එම විරෝධතා ව්‍යාපාරයේ සටන් පාඨ වී තිබේ.
අභ්‍යන්තර මහජන ප්‍රශ්න මුල් කර ගනිමින් ආරම්භ වූ ඉරාන මහජන විරෝධතා ව්‍යාපාරය මේවන විට දේශපාලන මුහුණුවරක් ගනිමින් පවතින බව විශ්ලේෂකයෝ පවසති. ඒ අනුව ඉරාන මහජන විරෝධය මේ වන විට ආණ්ඩු විරෝධී උදඝෝෂණ ව්‍යාපාරයක් බවට හැරී ඇත. මිය ගිය ගණන තිහකට ආසන්න වන බව විදෙස් වාර්තා සඳහන් කරයි.
මේ මැදපෙරදිග කලාපයේ ඇති වූ අලුත්ම අර්බුදයයි. බැලු බැල්මට මෙය රට තුළ ඇති වූ අභ්‍යන්තර අර්බුදයක් ලෙස පෙනෙන්නට තිබුණද මෙය සෙමෙන් වර්ධනය වූ තත්ත්වයක උත්කර්ෂයක් බව ඉතිහාසය පිරික්සා බලන විට තේරුම් ගත හැකිය.
කලාපය තුළ ඉරානයත් සෞදි අරාබියත් බල අරගලයක නිරත වී සිටින්නේ කාලයක් තිස්සේය. ඇමෙරිකා එක්සත් ජනපදයේ සහාය ලබන සෞදි අරාබිය කලාපයේ වෙළඳ ආධිපත්‍යය සියතට ගැනීමේ ව්‍යාපෘතියක නිරත වී සිටියි. එමෙන්ම ඉරානයේ සිට මධ්‍යධරණී කලාපය දක්වා වූ ගොඩබිම් පිවිසුම් තීරයේ පාලනය සියතට ගැනීමට ඉරානය උත්සාහ කරන බවද නොරහසකි.
හදිසියේම තත්ත්වය නරක අතට හැරෙන්නේ කලාපීය අරගලය තුළ ඉරානය සිය ඉලක්ක වෙත ළඟා වීමත් සමඟ ඉරානය සහ සෞදි අරාබිය අතර වන මූලෝපායික තරගය වඩාත් උණුසුම් වීමත් සමඟය. ඉහළ යමින් පවතින ඉරාන ආධිපත්‍යය මැඩපැවැත්වීම සඳහා සෞදි අරාබිය දැඩි උත්සාහයක නිරතව සිටී. එක්සත් ජනපදය සිය ජවනිකාව එළිපිටම රඟ දක්වන්නට පටන් ගන්නේ මේ ප්‍රතිවිරෝධතාවය තුළ තම හිත මිතුරු සෞදි අරාබියට තත්ත්වය අවාසිදායක බව පෙනෙන්නට ගත් පසුවය. ඉරානයේ න්‍යෂ්ටික අත්හදාබැලීම් වලට විරෝධය පල කරමින් සම්බාධක පනවන්නේ ඒ අනුවය. ඉරානය සිදු කළ බැලස්ටික් මිසයිල අත්හදා බැලීම සහ ටෙහෙරාන් පාලනය විසින් ත්‍රස්තවාදයට දිගින් දිගටම සහය ලබා දීම හේතු කොට ගෙන මෙම සම්බාධක පැනවූ බව ජනාධිපති ට්‍රම්ප් පාලනය ප්‍රකාශ කොට තිබේ. එහෙත් සම්බාධක තිබියදීම ඉරානය කෙටිදුර විහිදුම් මිසයිල අත්හදා බැලීමක් සහ රේඩාර් පද්ධතිය පරීක්ෂා කිරීමේ හමුදා පුහුණු මෙහෙයුමක් දියත් කරන්නේ පසුගිය වසරේ පෙබරවාරි 04 වන දිනය. එනම් එක්සත් ජනපදයේ සම්බාධක පැනවීමෙන් එක් දිනයක් පමණක් ගත වූ පසුවය.
මේ සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් ට්විටර් පණිවුඩයකින් පවසා තිබුනේ ගින්දරත් එක්ක සෙල්ලම් කරන ඉරානය ජනාධිපති ඔබාමා පෑ කරුණාව ඇගයීමට නොදත් රටක් බවය. ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දැක් වූ ඉරාන රජය කියා සිටියේ අත්දැකීම් අඩු පුද්ගලයෙකුගේ මෙවැනි ප්‍රකාශ නිෂ්එල බවත් ඇමෙරිකාව විසින් පනවනු ලැබූ සම්බාධක වලට පිළිතුරු වශයෙන් ඊට සමාන පියවරක් සිය රජය ද ගැනීමට බලාපොරොත්තු වන බවත්ය.
මේ අතර ඊශ්‍රායලයේ දී ප්‍රකාශයක් කරමින් ඉරානය, ත්‍රස්තවාදයට සහ සන්නද්ධ කණ්ඩායම්වලට සහාය ලබා දෙන බව පැවසූ ඩොනල්ඩ් ට්‍රම්ප් එය වහා නවතා දැමීමට කටයුතු කරන ලෙස බල කර කරනු ලැබීය. ජෙරුසෙලමේ දී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක් වූ ජනාධිපතිවරයා න්‍යෂ්ටික අවි සන්තකයේ තබා ගැනීමට ඉරානයට කිසිදා අනුමැතිය නොදිය යුතු යයි යනුවෙන් සඳහන් කළේය.
ටෙහෙරාන් අගනුවර පිහිටි පාර්ලිමේන්තුව තුළ සහ අයතුල්ලා කොමෙයිනිගේ සමාධිය අසල දී වෙඩි තැබීම් කිහිපයක් හා බෝම්බ ප්‍රහාරයක් වාර්තා වන්නේ එම ප්‍රකාශයෙන් මාසයක් ඉක්ම යන්නටත් මත්තෙන් 2017 ජුනි මුල් සතියේදීය. ඒ සමගම පාර්ලිමේන්තුව තුළ සිදු වූ වෙඩි තැබීමෙන් ආරක්ෂක භටයෙකු තුවාල ලබා ඇති බව පුවත් වාර්තාවල සඳහන් විය. සමාධියෙන් පිටත පිපිරීම සිදු වූ ආකාරය දැක්වෙන ඡායාරූපයක් ‘ෆාර්ස්’ පුවත් ආයතනය විසින් පළ කරනු ලැබ ඇත. සන්නද්ධ පුද්ගලයන් තිදෙනෙකු සමාධිය වටලා ප්‍රහාර එල්ල කළ බව ෆාර්ස් පුවත් ආයතනය පවසයි. මරාගෙන මැරෙන ප්‍රහාරකයෙකු විසින් සිය බෝම්බය පුපුරවා හැරීමට පෙර සෙසු ප්‍රහාරකයන් දෙදෙනා විසින් එහි සිටි කිහිප දෙනෙකුට වෙඩි තබා ඇති බව පසුව අනාවරණය විය.
ඒ සම්බන්ධයෙන්ද ට්‍රම්ප්ගේ ප්‍රකාශය ද්වේෂ සහගත එකකි. ත්‍රස්තවාදයට අනුග්‍රහ දක්වන රටවල් තමන් විසින්ම බල ගන්වන ලද බලවේගයන්හි ගොදුරු බවට පත්වීමේ අන්තරායක් ඇති බව ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් සිය ප්‍රකාශයේ සඳහන් කර තිබේ. ඊට ප්‍රතිචාර දක්වමින් ට්විටර් පණිවුඩයක් මගින් අදහස් දක්වන ඉරාන විදේශ ඇමතිවරයා සෞදි අරාබිය පිළිබඳව ද සඳහන් කරමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ ගනුදෙනුකාර අනුග්‍රාහකයන්ගේ උදව් ලබන ත්‍රස්තවාදයට ඉරානය මුහුණ දෙමින් සිටින බව කියා සිටියේය. කෙසේ වෙතත් ටෙහෙරාන් පාර්ලිමේන්තුව සහ කුමෙයිනි සමාධියට එල්ල කරන ලද ප්‍රහාරයේ වගකීම ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය විසින් භාරගනු ලැබ ඇත.
දැන් ඉරානයේ ඇති වී තිඛෙන උද්ඝෝෂණ මේ කතාවේම එක් කොටසකි. කෙසේ වසන් කරන්නට උත්සාහ කළද දී කිරට බලල්ලුත් සාක්කි කියන්නාක් මෙන් මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදය ඉරාන ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයන්ට සහයෝගය පළ කරමින් එය ‘නිර්භීත නැගී සිටීමක්’ ලෙස වර්ණනා කර ඇත.
මෙහිදී ඉරාන ආණ්ඩුව සර්ව සම්පූර්ණ හෝ නිර්දෝෂී යයි කියන්න නොහැකිය. එහෙත් රටවල් තුළ අභ්‍යන්තර අර්බුද වලට මැදිහත් වීමත්, ඒවා වර්ධනය කිරීමත් පමණක් නොව අභ්‍යන්තර අර්බුද නිර්මාණය කිරීමත් ඇමෙරිකා එක්සත් ජනපදයේ බල ව්‍යාපෘතියේ ප්‍රමුඛ කාර්යයකි. සිරියාවේදී මෙන්ම යේමනයේදී දකින්නට ලැබෙන්නේ ඒ මැදිහත් වීමයි. ඇෆ්ගනිස්ථානයේදී සහ ඉරාකයේදී පුපුරා ගියේද එක්සත් ජනපද උවමනාවයි. ආසන්න දින වල ජෙරුසලම සම්බන්ධයෙන් ද ඇමෙරිකාව සිය නිර්ලජ්ජිත මැදිහත්වීම ප්‍රදර්ශනය කළේය. අද ඉරානය තුළද එයම පෙන්වමින් සිටියි.


චතුර දිසානායක