උනුයි මුනුයි උළා කන ශ්‍රී ලංකන්…

ආණ්ඩුවට වසර තුනක් සපිරී ඇත. ජනාධිපති සිරිසේන බලයට පත්ව පසුගිය 8 වෙනිදාට වසර තුනක් සම්පූර්ණ වී එය සැමරීමට රාජගිරිය ගුවන් පාලම විවෘත කළේය. මොරගහකන්ද ජලාශයේ පළමු දියවර නිකුත් කිරීම ද ඊට සමගාමීව සිදුවිය. එහෙත් ජනතාව ඉල්ලා සිටියේ මේවා නොවේ. ජනවාරි අට ජනවරමේ හරය වන්නේ එය නොවේ. පැවති රාජපක්ෂ ආණ්ඩුවේ දූෂිත ගනුදෙනු සම්බන්ධයෙන් සහ මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතාවයන් සම්බන්ධයෙන් ජනතාව සාධාරණ පරීක්ෂණ ඉල්ලා සිටියේය. විශේෂයෙන්ම රාජපක්ෂ ජනාධිපතිවරයාට ගෙදර යන්නට සිදුවූයේ ඔහු සහ ඔහුගේ ගෝල බාලයන් විසින් කරන ලද මහා පරිමාණ මූල්‍ය වංචාවන්ය. රාජපක්ෂ පාලනයේ මේ විනාශයන් දේශපාලන වේදිකා ගානේ අලෙවි කරමින් මෛත්‍රී බලයට පැමිණියේය.
රාජපක්ෂ ආණ්ඩුව විසින් කරන ලද මහා පරිමාණ වංචාවන් සම්බන්ධයෙන් විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ සහ සිවිල් සමාජ බලවේග අල්ලස් කොමිසම හමුවේ සහ විවිධ කොමිෂන් හමුවේ සාක්ෂි සහිතව කරුණු ඉදිරිපත් කළේය. මේ සම්බන්දයෙන් පරීක්ෂණ ගණනාවක් සිදු වූ අතර ජනාධිපති සිරිසේන විසින්ද විවිධ කොමිෂන් පත් කළේය. පසුගිය කාලයේ මේ මූල්‍ය වංචාවන්ගේ අවසන් වාර්තා 17 ක් ලැබී තිබූ අතර පසුගිය සතියේ තවත් වාර්තා 17 ක් ජනාධිපති සිරිසේන වෙත ලැබී තිබේ. ඉන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සිදුව ඇති බරපතළ මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් වඩාත් නිරවුල්ව කරුණු ඉදිරිපත්ව ඇත. රාජපක්ෂ ආණ්ඩුව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට කරන ලද බරපතළ මූල්‍ය විනාශය සිදුවන්නේ නිශාන්ත වික්‍රමසිංහ නම් තම මස්සිනා ගුවන් සමාගමේ සභාපතිවරයා බවට පත් කිරීමත් සමගය. ඔහු අන්ත දූෂිත ආකාරයෙන් ගුවන් සමාගම තම පෞද්ගලික බූදලක් සේ යොදා ගනිමින් දැවැන්ත මූල්‍ය ජාවාරමක නිරත විය. ඒ හරහා ගුවන් සමාගම දැවැන්ත පාඩු ලබන ආයතනයක් බවට පත්විය. හිටපු ජනාධිපති රාජපක්ෂ මැලේසියාවේ සංචාරයක නිරතව සිටියදී තමන්ට සහ තමන්ගේ ගෝල බාලයන්ට වෙනම ගුවන් යානයක් වෙන් කරගැනීමට දරන ලද උත්සාහයක් වැළකී යාම නිසා උරණ වී බිහි කළ මිහින් ලංකා ගුවන් සමාගමේ බරද ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට දැරීමට සිදුවීම නිසා මේ අලාභය තවත් ඉහළ ගියේය.
සිරිසේන ජනාධිපතිවරයා බලයට පත්වූ වහාම තමන් බලයට පත්කළ කණ්ඩායම් සතුටු කිරීමේ අරමුණින් මේ සම්බන්ධව වහාම සොයා බැලීමට වැලි අමුණ කොමිසම පත් කරන ලදී. වැලි අමුණ කොමිසම මේ පිළිබඳව විමසා බලා සිය වාර්තාව ජනාධිපති සිරිසේන වෙත යොමු කළද වාර්තාවට අනුව සිදු වූ කිසිවක් නැත. අවම වශයෙන් වාර්තාවට සිදු වූයේ කුමක්ද යන්න පවා ජනතාව දන්නේ නැත. 2018 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව මගින්ද වඩා සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති වාර්තාව මගින් රාජපක්ෂ ආණ්ඩුවේ කෙරුවාවත් යහපාලන නඩයේ කෙරුවාවත් මැනවින් තේරුම්ගත හැකි වී ඇත. ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පසුගිය 2016/2017 වසර දෙක තුළ සමාගමේ පාඩුව අවම කරගැනීමට උපාය මාර්ගික හවුල්කරුවෙකු සොයා ගැනීමට අසමත් වී ඇති බව පැහැදිලිව සඳහන් කර ඇත. මේ ප්‍රමාදයන් හේතුවෙන් බාහිර බැඳීම් තවදුරටත් වැඩි වී ඇති බවද සඳහන් කරයි.
2016 වර්ෂයේ වාර්තාකර ඇති පාඩුව රුපියල් කෝටි 1260 කි. එය 2017 වර්ෂයේ දී රුපියල් කෝටි 2840 දක්වා වර්ධනය වී ඇති බව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව මැනවින් සඳහන් කර ඇත. මේ පාඩුවට බලපෑ ප්‍රධාන හේතුව වන්නේ පසුගිය රජය සමයේ කළ බදු ගිවිසුමකි. පසුගිය රාජපක්ෂ ආණ්ඩුව ඒ 350 – 900 ගුවන් යානා 03 ක බදු ගිවිසුමක් අත්සන් කර ඇත. සැබවින්ම එය අවබෝධතා ගිවිසුමකි. අවබෝධතා ගිවිසුමට අනුව යම් පාර්ශ්වයකට අවශ්‍ය විටකදී ඉන් ඉවත් විය හැකිය. යහපාලන රජය බලයට පත්ව පැවති වංචා දූෂණ ඉවත් කරනවා වෙනුවට සිදුකර ඇත්තේ ඒවා තව තවත් වර්ධනය කිරීමය. එයට හොඳම උදාහරණය වන්නේ අදාළ ගුවන් යානා තුනේ බදු ගිවිසුම අවලංගු කිරීමට 2016/2017 මූල්‍ය වර්ෂය තුළදී යහපාලන නඩය රුපියල් කෝටි 1430 ක අතිරේක පිරිවැයක් දරා ඇත. ඒ පිරිවැය සැබවින්ම ගත් කල්හි ආණ්ඩුවේ නොහැකියාව ප්‍රදර්ශනය කරන පිරිවැයකි. විවිධ කණ්ඩායම් සඳහා මේ ජාතික ධනය ලබාදී රටට දැවැන්ත මූල්‍ය අලාභයක් සිදුකර ඇත. විශේෂයෙන්ම පසුගිය රාජපක්ෂ රජය සමයේ 2020 වර්ෂයේ දී ඒ 350 – 900 ගුවන් යානා 04 ක් මිලදී ගැනීම සඳහාද ගිවිසුම්වලට එළඹ ඇත. ඒ සම්බන්ධයෙන් මේ ආණ්ඩුව තවම නිශ්චිත ලෙස තීරණය කර නැත.
නව රජය බලයට පත් වූදා සිටම රාජපක්ෂ රජය සමයේ කළ මූල්‍ය වංචා සොයා ජනතාවට සාධාරණය ඉටු කරනවා වෙනුවට කරමින් ඇත්තේ රාජපක්ෂලා නැවැත් වූ තැනින් වැඩ පටන් ගැනීමය. නැතිනම් ඊටත් වඩා වැඩි වේගයෙන් රටේ සම්පත් විනාශ කිරීමය. ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට රාජපක්ෂලා කළ විනාශයට ආසන්න විනාශයක් මේ ආණ්ඩුව යටතේද සිදුව ඇත. රාජපක්ෂලාගේ විනාශකාරී ආර්ථීක වැඩපිළිවෙළම වෙනත් ආකාරයකින් ඉදිරියට ගෙන යමින් ඇත.
ජනාධිපති සිරිසේන පවසන්නේ රාජපක්ෂ සමයේ මහා පරිමාණ වංචා දූෂණ සිදුවී ඇති බවය. ශ්‍රී ලන්කන් ගුවන් සමාගම යනු ඉන් එකකි. ඒ සම්බන්ධයෙන් හෙළිදරවු විය යුතු සියල්ල හෙළිදරවු වී ඇත. එහෙත් අදාළ චූදිතයන් නිදැල්ලේය. රාජපක්ෂලා වේදිකා ගානේ පවසන්නේ තමන්ගේ ආණ්ඩුව සමයේ වංචාවක් සිදුව ඇත්නම් දඩුවම් කරන ලෙසය. ආණ්ඩුවේ කටහැකර ඇමතිවරයෙකු වන රාජිත සේනාරත්න දේශපාලන අර්බුදයක් පැමිණි විට රාජපක්ෂලාගේ වංචා දූෂණවලට නුදුරේදීම දඩුවම් ලැඛෙන බව පවසමින් තමන්ගේ දේශපාලන අර්බුදය කළමනාකරණය කරගනිමින් සිටී. ජනාධිපති සිරිසේනද දේශපාලන වුවමනාවන් වෙනුවෙන් බලය පෙන්වනවා මිස ජනතාවගේ වුවමනාවන් වෙනුවෙන් බලය යොදවන්නේ නැත. ශ්‍රී ලන්කන් දූෂිතයන් එළිපිට ආණ්ඩුවට අභියෝග කරයි. එහෙත් මෛත්‍රී නිහඩය. මේ තුළින් පෙනෙන්නේ මේ එකම පංතියේ කණ්ඩායම් ජනතාව ඉදිරියේ රංගනයක යෙදෙන බවය. මේ තත්ත්වය වහා වෙනස් කළ යුතුය. මෛත්‍රීලා, රනිල්ලා, මහින්දලා යනු පාර්ශ්වයන් ගණනාවක් නොව එකම කණ්ඩායමකි. ඔවුන් මේ කරන්නේ දේශපාලන ක්‍රීඩාවකි. එසේ නොවන්නේ නම් රාජපක්ෂලාත් රනිල්ලාත් දැන් සිටිය යුත්තේ මහ උළු ගෙදරය. එය එසේ නොවන්නේ එකෙක් තවකෙක් රැකීම නිසාය. ඒ අන් කිසිවක් නිසා නොව තමන්ගේ පංතිය නිසාය. මේ යථාර්ථය නොපමාව ජනතාව තේරුම් ගත යුතුව ඇත.


එස්. කේ. ගමගේ