කඩුවෙල ජනතාව සැබෑ වෙනසක් ඉල්ලා සිටිනවා (කඩුවෙල මහා නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායමේ නායක අසිත නිරෝෂණ)

danu
කෝප් හෙළිකිරීම්වලට විරුද්ධව ටෙලි නාට්‍ය ෂොට් එකක්
February 6, 2018
123
විදේශ රැකියා ආදායම් බරපතළ ලෙස බිඳවැටේ
February 6, 2018
Show all

කඩුවෙල ජනතාව සැබෑ වෙනසක් ඉල්ලා සිටිනවා (කඩුවෙල මහා නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායමේ නායක අසිත නිරෝෂණ)

asitha niroshan

කඩුවෙල මහ නගර සභාවේ පැවති පාලනයේ අත්දැකීම් පිළිබඳව යමක් කතා කළොත්…

අවසන් වරට කඩුවෙල මහා නගර සභාව සඳහා මැතිවරණයක් පැවැත්වුණේ 2011 වර්ෂයේදීයි. ඒ මැතිවරණයට තරග වැදුණ ප්‍රධාන දේශපාලන පක්ෂ අතුරින් මන්ත්‍රී ධුර හිමි වුණේ පක්ෂ තුනකට පමණයි. මන්ත්‍රී ධුර 27 න් එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රී ධුර 20 කුත්, එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ධුර 6 කුත්, ජනතා විමුක්ති පෙරමුණේ අපිට එක් මන්ත්‍රී ධුරයකුත් හිමි වුණා. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය කඩුවෙල මහා නගර සභාව තුළ ඉහළ බලයක් ලබා ගත්තා. එජාපයත්, ජවිපෙ අපිත් විපක්ෂය නියෝජනය කළා. නගරාධිපති වුණේ ජී. එච්. බුද්ධදාස මහත්තයා. මේකෙත් විශේෂත්වයක් තියෙනවා. ඉස්සර තිබුණේ කඩුවෙල ප්‍රාදේශීය සභාව ඒක එක වරම මහ නගර සභාවක් බවට පත් කළා. ඒ අනුව පරිපාලනමය වශයෙන් මහා ව්‍යාකූලත්වයක් නිර්මාණය වුණා. ඒ ව්‍යාකූලත්වයට හේතුව වුණේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සහ පළාත් පාලන අමාත්‍යාංශය කඩුවෙල මැතිවරණ බලප්‍රදේශය මැතිවරණ ඒකක දෙකක් බවට පත් කිරීමට සැලසුම් කරලා තිබුණා. ඒ සැලසුම වුණේ බත්තරමුල්ල නගර සභාවක් සහ කඩුවෙල ප්‍රාදේශීය සභාවක් නිර්මාණය කිරීම. මොකද? බත්තරමුල්ල ප්‍රදේශයේ පවතින්නේ නාගරික, අර්ධ නාගරික තත්ත්වයක්. ඒ නිසා බත්තරමුල්ලට නගර සභාවක් ඇති කරන්න තීරණය කරලා තිබුණා. කඩුවෙල තත්ත්වය ඊට වෙනස්. කඩුවෙල නාගරික සහ ග්‍රාමීය පරිසර තත්ත්වයක් පවතිනවා. ඒ නිසා කඩුවෙලට ප්‍රාදේශීය සභාවක් තමයි නිර්දේශ වෙලා තිබුණේ. රාජපක්ෂ ආණ්ඩුවේ බලය යොදාගෙන සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා සහ ජී.එච්. බුද්ධදාස හිටපු නගරාධිපතිවරයා මැදිහත් වෙලා හදිසියේම කඩුවෙල මහ නගර සභාවක් කළා. ඡන්ද පදනම ගැන හිතලයි මෙහෙම දෙයක් කළේ කිසිම විද්‍යාත්මක පදනමකින් නෙමෙයි මේ බෙදීම කළේ. කඩුවෙල මහා සංවර්ධනයක් වෙනවා කිව්වට වුණේ ජනතාවට අධික බදු බරක් නිර්මාණය වීමයි. අධික බදු බර නිසා ජනතාව පීඩාවට පත්වුණා. 9% වගේ ඉහළ වරිපනම් බද්දක් අය කළා. පැවති ජල සම්බන්ධතා ගාස්තු එක් වරම රුපියල් 6,000.00 කින් පමණ ඉහළ ගියා. සැපයුම් සේවා අඩපණ වුණා වගේම බදු බර අධික ලෙස ඉහළ ගියා. බුද්ධදාසලට නගරාධිපති ඔටුන්නත්, ජනතාවට බදු ඔටුන්නත් වැටීම හැර අන් යමක් වුණේ නැහැ.

එජාපය තනි පක්ෂයක් ලෙසත්, ශ්‍රීලනිපය මෛත්‍රී – මහින්ද පාර්ශ්ව දෙකක් වශයෙනුත් ඉදිරිපත් වීමත් තුළ ජවිපෙ මේ තත්ත්වය විග්‍රහ කරන්නේ කොහොමද?

මෙවර කඩුවෙල මහ නගර සභාවේ බලය වෙනුවෙන් පිළිගත් දේශපාලන පක්ෂ 7 ක්, ස්වාධීන කණ්ඩායම් 4 ක් තරග වැදිලා තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන වශයෙන් තරගය තුළ ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට දෙකඩ වෙලා. දෙකඩ වෙලා ඉන්න කණ්ඩායම්වලිනුත් ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් වෙලා. දෙකඩ වෙලා විතරක් නෙමෙයි කෑලි කෑලිවලට කැඩිල ගිහිල්ලයි තිබෙන්නේ. එක්සත් ජාතික පක්ෂය තනි පක්ෂයක් ලෙස ඉදිරිපත් වුණාට තරගයක් දෙන්න ගමට එන්න බැරි තත්ත්වයක් උදාවෙලා. එක්සත් ජාතික පක්ෂයේ මෙහෙයවීම මත සිදු වූ මහ බැංකු හොරකම, රවි කරුණානායකලාගේ ගෙවල් මගඩි, සුජීව සේනසිංහලගෙ වැඩ නිසා එක්සත් ජාතික පක්ෂය ජනතාවට අපුල දනවන තත්ත්වයට පත් වෙලයි තිබෙන්නේ. මේ දේශපාලන කණ්ඩායම් තුනම ජනතාව අතර ප්‍රතික්ෂේප වෙමින් තිබෙනවා. මෙය ජනතාවගේ පොදු විරෝධයක් දක්වා වර්ධනය වෙලා. ජනතා විමුක්ති පෙරමුණට කඩුවෙල මහා නගර සභාව තුළ ඓතිහාසික ජයග්‍රහණයක් ලැබීමට හැකි වාතාවරණයක් මේ වන විට උදා වෙලා තිබෙනවා. අපි ඉතා හොඳ සංවිධාන ශක්තියකින් මේ තත්ත්වයට මුහුණ දී කඩුවෙල මහා නගර සභාව ජයග්‍රහණයෙන් කෙළවර කරන්න කටයුතු කරමින් සිටිනවා.

කඩුවෙල මහා නගර සභාව ගොඩනගන්න ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරන වැඩපිළිවෙළ කුමක්ද?

ජනවාරි 16 වෙනිද අපේ පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයාගේ සහභාගිත්වයෙන් ‘කඩුවෙල ගොඩනගන අපේ සැලැස්ම’ නමින් දියුණු විද්‍යාත්මක වැඩපිළිවෙළක් අපි සමාජගත කිරීමට කටයුතු සංවිධානය කොට තිබෙනවා. අපි එහිදී මහා නගර සභාවේ බදු ආදායම වැඩි කරන වැඩපිළිවෙළ සමාජගත කිරීමට බලාපොරොත්තු වෙනවා. ජනතාවට කිසිදු පීඩාවක් ගෙන නොදෙන බදු සැලැස්මක් තමයි අපි ඉදිරිපත් කරන්නේ. හොරකමින්, වංචාවෙන්, දූෂණයෙන් තොරව කොහොමද ජනතාවගේ බදු මුදල් වියදම් කරන්නේ කියන කාරණය පිළිබඳව හිතලයි තියෙන්නේ. ජනතාවට සැපයිය යුතු සේවා සපයන්න සැපිරිය යුතු ජනතා අවශ්‍යතා සපුරන්න වඩා හොඳ දියුණු වැඩපිළිවෙළක් අපි හදල තියෙනවා. අපේ වැඩපිළිවෙළ ජනතාව වැළඳ ගන්න වැඩපිළිවෙළක් කියලා අපි දැඩිව විශ්වාස කරනවා. විශේෂයෙන්ම පෙර පාසල් ව්‍යාපෘතියක් අපි කි්‍රයාත්මක කරනවා වාගේම දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් බත්තරමුල්ල ප්‍රදේශයේ ඇති කරන්නත් අපි සැලසුම් කරලා තියෙනවා. අපි ඉදිරිපත් කරන්නේ නිකන්ම නිකම් වැඩපිළිවෙළක් නෙමෙයි. කළ හැකි දියුණු විද්‍යාත්මක වැඩපිළිවෙළකුයි.

කඩුවෙල ප්‍රධාන නගරයක්. විශේෂයෙන්ම කසළ ප්‍රශ්නයට ස්ථීර විසඳුමක් ඔබේ පක්ෂය විසින් ඉදිරිපත් කරලා තියෙනවාද?

අපි ජනතාවට බරපතළ ප්‍රශ්නයක් වෙලා තියෙන කසළ ප්‍රශ්නය පමණක් නෙමෙයි පොදු පහසුකම් සියල්ල පිළිබඳව අවධානය යොමු කරලයි තියෙන්නේ. සහතික වශයෙන්ම අපි කසළ ප්‍රශ්නය අපේ පාලනයක් යටතේ කොන්දේසි විරහිතව විසඳනවා. මහා නගර සභා ආඥා පනතේ සඳහන් වෙනවා, කැළි කසළ යනු සභාවේ දේපළක් කියලා. හිටපු පාලකයො එය වත්කමක් වෙනුවට වියදමක් බවට පත් කළා. 2016 වසරේ දී පමණක් මිලියන 65 කට ආසන්න මුදලක් කඩුවෙල මහා නගර සභාව කුණු කසළ ඉවත් කරන්න වියදම් කළා. අපේ පාලනයක් යටතේ අපි එය සම්පූර්ණයෙන්ම නතර කොට කසළ සභාවේ සම්පතක් බවට පත් කරනවා.

ජනතා විමුක්ති පෙරමුණට කඩුවෙල මහා නගර සභාව ජයග්‍රහණය කළ හැකිය යන විශ්වාසයෙන් ද ඔබ ඉන්නේ.

ඔව්, කඩුවෙල අපිට පක්ෂයක් ලෙස ජයග්‍රහණය කළ හැකිය කියන දැඩි විශ්වාසයකින් අපි වැඩකටයුතු සිදු කරනවා. දෙලක්ෂ පනස් දෙදහසකට අධික සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවක් සිටින නාගරික, අර්ධ නාගරික, ග්‍රාමීය ලක්ෂණ තිබෙන පළාත් පාලන ආයතනයක් තමයි කඩුවෙල මහා නගර සභාව කියන්නේ. මේ විශේෂත්වයන් සැලකිල්ලට ගෙන ජාතිකත්වයන්ට ගැලපෙන, නාගරික, අර්ධ නාගරික, ග්‍රාමීය තත්ත්වයන්ට ගැලපෙන පාලනයක් ඇති කිරීම අපේ ප්‍රමුඛ අරමුණක්. ජනතා බදු මුදල් සතයක්වත් හොරකම් නොකරන වංචාවෙන් දූෂණයෙන් තොර වඩා ජනතාවාදී පාලනයක් ගොඩනැගීමට අප කැප වෙනවා. ඒ සඳහා කඩුවෙල ප්‍රදේශයේ ජනතාව මෙවර අප සමඟ එක් වී පෙළගැසී සිටින්නේ අලුත් පාලනයකට කඩුවෙල මහා නගර සභාවේ බලය දෙන්නයි. ඒ බලය ජනතා සුභසිද්ධිය වෙනුවෙන් යොදවන්න අප සැදීපැහැදී ඉන්නවා.


එස්.කේ. ගමගේ