ජනතාවට ඉතිරි නොකර ප්‍රශ්න විසඳන්න මුලපුරමු !

ජීවිතයේ සුන්දරම සිහිනවල උණුසුම රැඳුණු, කඳුළු, දහදිය මුසු කොට ගොඩනැගූ, එනිසාම ඉමිහිරි සිනහවක් ද සඟවා ගත් ආත්මීය ස්මරණයන් කොතරම් ප්‍රමාණයක් නිවහනක් තුළ තිබෙන්නේද? එම නිවහනක් යනු මුදලින් මිනිය නොහැකි භෞතික ඉදි කිරීමක්ම නොවේ. මූල්‍ය අගයන්ට අලගු තැබීමටවත් නොහැකි ආධ්‍යාත්මික සෞන්දර්යයන්ගේ තෝතැන්න එවැනි නිවහනය.
එසේ වූ නිවහන දෙබෑ වී, දෙපළු වී හිස මත කඩා වැටීමේ වියරුව රජයන මොහොතක බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාවට සහ එම මහා නගර සභාවට ද මැතිවරණය පැමිණ තිබේ. පුළුල් මහජන සටන්වල ප්‍රතිඵලයක් ලෙස රුපියල් දසදහස් ගණනින් හෝ ලක්ෂ, දශලක්ෂ ගණනින් මූල්‍ය වන්දි ලබමින් සිිටින පිරිසක් ද මේ අතර සිටිති. අරගල තුළින් දිනා ගත් මේ වන්දි පාලකයන් විසින් තමන් වෙත දෙන ලද වරදානයන් සේ සලකා අරගලය තුප්පහි ලෙස පාවා දෙන්නන් ද හිඟ නොවේ.
එවැනි පාවාදෙන්නන් හිඟ නොවන බව ඉතිහාසය පුරාම ලියවී තිබේ. එසේ වුවද, ඉතිහාසය නිර්මාණය කරන්නේ එවැනි පාවාදෙන්නන් ද පරාජය කර ජයග්‍රහණ ලැබීමට දිවිහිමියෙන් ස්වාර්ථයෙන් තොරව කැප වූවන්ගෙන්ය. එසේ කැප වූ මිනිසුන්ගේ එකමුතුවක් බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාව සහ මහා නගර සභාව සඳහා මැතිවරණයට ඉදිරිපත් වී සිටිති. ‘කරාමය’ ලකුණින් තරග වැදී සිටින එම ස්වාධීන කණ්ඩායම් දෙක පසුගිය 08 වැනිදා ඔවුන්ගේ වැඩපිළිවෙළ බණ්ඩාරවෙල පුරහලේ දී එළිදැක්වීය. ‘සොබා සොඳුරු පුරවරයක් ගොඩනගන අපේ වැඩපිළිවෙළ’ යනුවෙන් එය නම් කර තිබිණි. එයට අදාළ කේන්ද්‍රීය සටන් පාඨය වී තිබුණේ, ‘ගම, නගරය වැනසූ දූෂිත දේශපාලනය පරදවමු, අපේ දෑතින් ගම, නගරය ගොඩනගමු’ යන්නය. එම සුවිශේෂී උත්සවයට සුබ පැතුම් එක් කරමින්, විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, විවිධ වෘත්තීයවේදීන්, පරිසරවේදීන් ආදීන් පැමිණ සිටියහ. මේ අතුරින් විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් සහ ආචාර්යවරුන්, වෘත්තීයවේදීන් දැක් වූ අදහස් ඉතා සංක්ෂිප්ත කර දක්වමින්, මෙම ලිපිය සැකසේ.
රුහුණු විශ්වවිද්‍යාලයේ, පෙරදිග භාෂා අංශයේ හිටපු අධ්‍යක්ෂ, මහාචාර්ය ආනන්ද රුහුණුහේවා මුලින්ම තමන්ගේ හැඟීම් එම සම්භාවනීය උත්සවයට එකතු කළේය.
‘අද අපේ රටට ලොකුම දේශපාලන ගැටලුව වෙලා තියෙන්නේ බුද්ධිමත් දේශපාලනයක් නැතිකම. මෙතන සිටින පිරිස දැක්කාම මට පේන්නේ ප්‍රදේශයේ බුද්ධිමතුන්ගේ එකතුවක්. බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නෙත්, බුද්ධිමත් මාර්ගයේ, යුක්තියේ සහ නීතියේ මාර්ගයේ යමු කියලයි. බුද්ධිමත් මාර්ගයේ යන යුක්තිය හා නීතිය ක්‍රියාත්මක කරන්න කියලා හඩ නගන පිරිසක් තමයි, මෙතන ඉන්නේ. ඒ වාගේම සාමුහිකත්වයේ සංකේතයක් වී අපේ රටට ආදර්ශයක් වුණු කණ්ඩායමක්. ඔවුන්ගේ එම කැප කිරීමට අපගේ විශේෂ ගෞරවය පිරිනැමිය යුතුයි.’
මීළඟට සුබ පැතුම් එක් කළේ රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථීක විද්‍යා අධ්‍යයනාංශයේ අංශ ප්‍රධානී, ආචාර්ය ශාන්ත සුමනරත්න.
‘මෙවැනි පාරිසරික විනාශයක් සිදු කරමින් තිඛෙන දිස්ත්‍රික්කයක උපත ලද පුද්ගලයෙක් හැටියට මේ විනාශය මට හොඳට දැනෙනවා. උමාඔය ව්‍යාපෘතිය අනෙක් පැත්තෙන් සම්බන්ධ වන හම්බන්තොටත් දැවැන්ත පාරිසරික විනාශයක් සිද්ධ කරමින් පවතිනවා. ඓතිහාසිකව ගත්තත්, හම්බන්තොට මානව වාසයට සුදුසු ඉතාම සීමිත ප්‍රදේශයක් තියෙන්නේ. දේශපාලන ප්‍රතිරූප ගොඩනගා ගන්න දැවැන්ත විනාශයක් හම්බන්තොට කරමින් පවතිනවා. අපි ආවේ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් පහුකරගෙන. මේක ඉදි කරන්න සිදු කළ පාරිසරික විනාශය කොතරම්ද?
‘යාල, බුන්දල, ලුණුගම්වෙහෙර සංවේදී වනෝද්‍යාන විනාශ කළා. අලි උවදුර නිසා ඒ ප්‍රදේශයේ ජනතාව දැන් බැට කනවා. ඔබ මේ ප්‍රදේශයේ ජලය නැතිව බැටකනවා වාගේමයි, මේ හිතුවක්කාරී දේශපාලන වුවමනා මත ගත්ත තීරණවල ප්‍රතිඵල ඒවා. මේ රට මෙතෙක් පාලනය කළ පක්ෂ දෙකක් ජාතික දේපළ මංකොල්ලකන්න සටනක නියැළිලා ඉන්නවා. මහ බැංකු බැඳුම්කර කොල්ලය පිටිපස්සේ මේ පක්ෂ දෙකම ඉන්න බව ජනාධිපතිතුමාම කියනවා. ඒ නිසා මේ රටේ බලය භාර දෙන්න ඕනෑ මේ රටට, පරිසරයට සැබෑ ලෙසම ආදරය කරන පිරිසකට. එවැනි පිරිසකට බලය ලබා දීම බණ්ඩාරවෙලින් අරඹමු.’
ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ හිටපු ලේකම්, තිස්ස වර්ණසූරිය ද තම හැඟීම් එක් කළේ මෙසේය:
‘මේ මැතිවරණයට ඔබ හැම ඉදිරිපත් වී සිටින්නේ ස්වාධීන කණ්ඩායමක් හැටියට. තමුන්නාන්සේලා උමා ඔය සටනට පණ දීලා පෙරට ආව අය. අපේක්ෂකයන් අතර රාජ්‍ය සේවයේ සිටි අයත් ඉන්නවා. තමුන්නාන්සේලා කිසිවෙක් දේශපාලනයට එන අරමුණින් සිටි අය නොවන බව මම දන්නවා. නමුත්, මේ දැවැන්ත විනාශය දැකලා පෙරට ආව අය. ගෙවල් දොරවල් විනාශ වීමෙන් ඉනූ කඳුළු දැකලා, ඒ කඳුළු නිවන්න ඉදිරිපත් වූ අය. පළාත් පාලන පනතේ සඳහන් ආකාරයට ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීම සහ සුභසාධනය සැලසීම, මංමාවත් සහ මහජන උපයෝගීතා කටයුතු සැලසීම තියෙනවා. ඒ වාගේම සංවර්ධන කටයුතුවල, කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පර්යේෂණ කිරීමේ හැකියාවත් තියෙනවා. සනීපාරක්ෂාව සහ ආරක්ෂාවත් සැපයිය යුතුයි. මේ කටයුතු කරන්න ගියාම මහජන අපේක්ෂාව සහ ඉටු කිරීමට තිබෙන හැකියාව අතර පරතරයක් තියෙනවා. ඒ පරතරය පියවා ගැනීමට හැකියාව ලැබේවා ! කියලා ප්‍රාර්ථනා කරනවා.’
රුහුණු විශ්වවිද්‍යාලයේ, සිංහල අධ්‍යයනාංශයේ අධිපති, මහාචාර්ය ධර්මා රාජපක්ෂ ප්‍රකාශ කළේ :
‘අද දවසේ බණ්ඩාරවෙලින් ආරම්භ කර තිඛෙන අලුත්ම දේශපාලන සම්ප්‍රදායය මුළු රට තුළම දියත් කළ යුතු දෙයක්. අද ජනතාවගේ ධනය බෙදා ගැනීමට මෙතෙක් රට පාලනය කළ පක්ෂ දෙකම වලිකන අවස්ථාවක මේ ප්‍රදේශයේ ජනතාව පක්ෂ, පාටවලින් තොරව පොදු මතයක් ජයග්‍රහණය කරවන්න එක තැනකට ඇවිත් ඉන්නේ. ඒ ගැන මම ඉතාමත්ම ආඩම්බරයට පත් වෙනවා. ජනතා විමුක්ති පෙරමුණ මේ පළාත් පාලන ආයතන දෙකම තරග කිරීමෙන් වැළකී ජයග්‍රහණයට විශාල ශක්තියක් දී තිබෙනවා. ඒ නිසා අප ස්වේච්ඡාවෙන්ම කැප වී මේ අරමුණ ජයග්‍රහණය කිරීමට මැදිහත් වෙනවා. මේ සටනට ජනතා විමුක්ති පෙරමුණේ සියලුම ක්‍රියාකාරකම් දායක වී තිබෙන බව අපි දන්නවා. ගෙවී ගිය අවුරුදු 70 හොඳටම ඇති රට ගොඩනගන්න. නමුත්, මොනවාද කරලා තියෙන්නේ. ජනතාවට නැවත ප්‍රශ්න ඉතිරි නොකර විසඳන්න මුලපුරමු කියන ඉල්ලීම මම කරනවා.
සමාජ, දේශපාලන ක්‍රියාකාරිකයකු මෙන්ම රාජ්‍ය සම්මානලාභී සාහිත්‍යවේදියකු වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති ද මේ අවස්ථාවට එක් වී සිටියේය.
‘නව දේශපාලන ප්‍රවණතාවක් ආරම්භ කරමින්, බණ්ඩාරවෙල මහා නගර සභාවට සහ ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් වී සිටින කණ්ඩායමේ ‘කරාමය’ ලකුණේ ගැඹුරු තේමාවක් තියෙනවා. මේ පිරිස සංවර්ධන විරෝධියෝ නෙමෙයි. කරාමයකින් වතුර ගන්නවා කියන්නේ, සංවර්ධනය. කරාමයකින් වතුර ගන්නවා කියන්නේ වඩා යහපත්, සාධනීය ජීවිතයකට වතුර භාවිත කරනවා කියන එක. ඒ නිසා මේ පිරිසගෙන් නියෝජනය වෙන්නේ සංවර්ධන විරෝධියෝ නොවෙයි, ධරණීය සංවර්ධනයක්. එනිසා එවැනි පිරිසකට සහාය දක්වන්න මම මොහොතකටවත් පසුබට වෙන්නේ නැහැ. මෙතෙක් කල් පාලනය කළ අය අඩු – වැඩි වශයෙන් දූෂිතයි කියලා අපි කවුරුත් දන්නවා. නමුත්, අපේ ගම් මට්ටමේ දී, නගර මට්ටමේ දී දූෂිතයන් වෙනුවට විකල්ප පිරිසකට බලය දෙන්න අසමත් වෙලා තියෙන්නේ. මේ දූෂකයන්ගෙන් ගැලවෙන්න අලුත් දේශපාලන ගමනක් පටන් ගමු කියන පණිවුඩය අපි ගෙන යන්න ඕනෑ. මේ රටේ ප්‍රධාන දේශපාලන දූෂකයන්ගේ මංමුළා වැල්වලට අහුවෙලා, භික්ෂුන් පවා අතරමං වෙලා. මහජනතාවත් අතරමං වෙලා. අතරමං නොවන අලුත් දේශපාලන ගමනක් ආරම්භ කරන විදිය හොයා ගන්න ඕනෑ. මම තව දෙයක් කියන්න ඕනෑ. විශ්වවිද්‍යාල ඇතුළෙ උගත්, බුද්ධිමත් මධ්‍යම පාන්තිකයන් ඇතුළු දූෂිතයන්ට විරුද්ධව නව දැක්මක්, පිබිදීමක් ඇති වෙලා තියෙනවා. අවුරුදු හැත්තෑවක දේශපාලන ගමන වෙනස් කරන පළල් දේශපාලන ව්‍යාපාරයක් හැටියට ජනතා විමුක්ති පෙරමුණ වටා එකතු වෙමින්, නව ගමනක් යාම ආරම්භ කරන්න ඕනෑ. මේ වෙනුවෙන් ඉගෙන ගන්න, දැනකියා ගන්න බොහෝ දේවල් තියෙන බවත් මතක් කරමින්, සියලු දෙනාට ජයග්‍රහණය පතනවා.’
කාලය වේගයෙන් ගෙවී යන බව නොදැනේ. එහෙත්, ගෙවී යමින්ය. දැන් වාරය එළඹී තිබෙන්නේ, කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා පීඨයේ පීඨාධිපති, මහාචාර්ය චන්දන අබේරත්න වෙතය.
‘එළඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් තරග කරන මගමානවක පෙළපතේ පිරිසක් තමයි, මේ ඉන්නේ. බණ්ඩාරවෙලට ආවාම ගෙවල්, පන්සල්, පාසල්, වගා බිම්, ව්‍යාපාරික ස්ථාන පුපුරා ගිය බව පේනවා. නමුත්, මුළු මහත් රටම පුපුරලා තියෙන්නේ. ආර්ථීකය පුපුරලා, සංස්කෘතිය පුපුරලා, අධ්‍යාපනය පුපුරලා, සෞඛ්‍යය පුපුරලා, දේශපාලනය ඇතුළෙ සියල්ල පුපුරලා. බැලුබැල්මට පේන්නේ නෑ, ප්‍රදේශයේ භූගත ජලය උමඟ තුළින් එළියට ගලාගෙන යනවා. රටේ ආර්ථීක සම්පත් ණය උගුල තුළින් විදේශයන්ට ගලා යනවා. මේ සමස්ත පිපිරීම වැළැක්විය යුතුමයි. ඒ වෙනුවෙන් නියමු ව්‍යාපෘතියක් හැටියට බණ්ඩාරවෙල යොදා ගනිමු.’
රුහුණු විශ්වවිද්‍යාලයේ වාණිජ අංශයේ හිටපු අංශාධිපති, ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය, ජයලත් අත්තනායක හඩ මුසු කළේ මෙසේය:
‘ටකරන් තහඩු ලොරි ටිකක් හරි ජල ටැංකි ටිකක් හරි ගෙනත් තිබුණා නම්, මේ ශාලාවේ ඉඩ අරවන්න බෑ. නමුත්, අනෙක් පක්ෂවල දේශපාලනඥයෝ කරන වැඩ කරන කණ්ඩායමක් නොවෙයි මේ. තමන්ගේ ඇට මිදුලුවලට කිදා බැහැල තියෙන දේශපාලනය අතෑරලයි, පොදු අරමුණකට මේ ඇවිත් ඉන්නේ. මේ අවස්ථාව රටේ දේශපාලනයේ හැරවුමක් බවයි, පැහැදිලි වෙන්නේ.’
එසේම රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ශම්මික ලියනගේ උද්වේගයෙන් අදහස් දැක්වීය.
‘ලාංකික දේශපාලනයට හරිත දේශපාලනයේ ආගමනය සිදු වූයේ මේ උමාඔය සටනින්. මෙය ගෝලීය දේශපාලනයේ නව හැරවුම් ලක්ෂ්‍යයක් ද වීම නො අනුමානයි. ‘කරාමය’ ලකුණ දිනවා හරිත දේශපාලනයේ ජයග්‍රහණයට එකතු කෙරෙන බව ස්ථීරයි. ඒ ජයග්‍රහණය වළක්වන්න නිවට නියාලු ප්‍රතිගාමී බලවේගවලට කිසිදු හැකියාවක් නොලැඛෙන බව ස්ථීරයි.’
රුහුණු විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා ආචාර්ය ජිනසේන හේවගේ දැක් වූයේ මෙවැනි අදහසක්ය.
‘රටක් හැටියට දැන් අපිට වෙලා තියෙන්නේ මොකක්ද? අවුරුදු හැත්තෑවක් ගම භේද කළ පක්ෂ දෙකක් දැන් එකතු වෙලා අද හවුලේ හොරාකෑම කරගෙන යනවා. අද ජනතාව ප්‍රධාන ජයක් ලබාගෙන තියෙනවා. මොකක්ද? ඒ මේ දෙගොල්ලක් නොවෙයි, එකක් කියලා ජනතාව තේරුම් ගනිිමින් ඉන්නවා. මේ කණ්ඩායම එළවලා අපේ කෙනෙක් පත් කර ගැනීමට මුලපිරීම බණ්ඩාරවෙලින් පටන් ගන්නා බව ස්ථීරයි. ඒ අයට දේශපාලන බලයට පිහිට වෙමු.’
සියල්ලන්ගේ පණ නල ආරක්ෂා වී බැඳී ගිය අලුත් ජීවිතයක අභිලාෂයන් දැල්වූයේ මෙසේය.


ප්‍රියදර්ශන දයාරත්න