ජනතාවට තොරතුරු දෙන්න ජනපතිට වගකීමක් තියෙනවා (ජවිපෙ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස)

jnaadhipti_kaaryaaly
ජනාධිපති ලේකම් කාර්යාලය පිස්සන් කොටුවක් !
February 6, 2018
මෛත්‍රීගේ කඩු වැනිල්ල බෙලි කැපීම හා නොකැපීම
February 6, 2018
Show all

ජනතාවට තොරතුරු දෙන්න ජනපතිට වගකීමක් තියෙනවා (ජවිපෙ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස)

nalinda

බැඳුම්කර වංචාව පිළිබඳ ජනපති කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙස ජවිපෙ විසින් කරන ලද ඉල්ලීම තවමත් ඉටු වී නැහැ නේද?

මෙම වංචාව පිළිබඳ කෝප් කමිටුවේ වාර්තාව 2016 ඔක්තෝබර් මාසයේ දී එම කමිටුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එයින් පසුව ජනාධිපතිවරයා විසින් මේ පිළිබඳව විමර්ශනය කරන්න ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමක් පත් කළා.
දැන් මේ සම්බන්ධයෙන් අවශ්‍ය තරමට පරීක්ෂණ කරලා තියෙනවා. ඒ අනුව ජනාධිපති කොමිසමේ වාර්තාව පිළිබඳව දැනගන්න ජනතාවට අයිතියක් තියෙනවා. මොකද? ජනාධිපතිවරයාත්, අගමැතිත්, ඔය සියලු දෙනාවම නඩත්තු කරන්නේ රටේ ජනතාව. එයාලා පත් වන්නේ ජනතාවගේ වරමින්. මේ කොමිෂන් සභාව පවා නඩත්තු වෙන්නේ ජනතාවගේ මුදලින්. ඒ නිසාම මෙම වංචාවට අදාළ ජනාධිපති කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට ලබා දෙන්න කියලා කෝප් සභාපතිවරයා ඉල්ලීම් කරන කොට එය ලබා දීම ජනාධිපතිවරයාගේ වගකීමක් වෙනවා.
ඒ අතරම තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙම වාර්තාව අප වෙත ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටියා. නමුත්, මේ වන තුරුත් ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබිලා නැහැ. පසුගිය 10 වැනිදාත් වාර්තාව ඉදිරිපත් නොකර කල් ගැනීම තමයි, සිදු කළේ. ජනාධිපතිවරයා වාර්තාව තමන් අතේ තියාගෙන වෙනත් දේශපාලන වාසි වෙනුවෙන් එය අවභාවිත කරන තත්ත්වයක් මිසක් චූදිතයන්ට දඩුවම් පමුණුවන්න කටයුතු කරන බවක් පේන්න නැහැ.

වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර තිබිය දීත් ඔබලා මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාදයක් ඉල්ලා සිටියේ ඇයි ?

මේ වාර්තාවේ තිබෙන කරුණු පිළිබඳව රටේ ජනතාව දැනගත යුතුයි. ජනාධිපතිවරයාත් විශේෂ මාධ්‍ය හමුවේ දී හෙළිදරවු කළේ මේ වාර්තාවේ සඳහන් නිර්දේශයන් කීපයක් විතරයි.
මේ කොමිසම හමුවේ දී මහ බැංකු නිලධාරීන්, පර්පැචුවල් ටේ‍රෂරීස් සමාගමේ නිලධාරීන්, එජාපයේ සභාපති, මහ ලේකම් ඇතුළු නායකයන් සහ තවත් ඇමතිවරුන් මේ කොමිසම හමුවේ කළ ප්‍රකාශ අනුව මේ වාර්තාව බරපතළ එකක් විය යුතුයි කියලා අපි අදහස් කරනවා.
කොහොම වුණත්, ජනාධිපතිවරයා මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළ කරුණු හා කොමිසමේ දී හෙළිදරවු වූ කරුණු අතර යම් පරස්පරයන් තියෙනවා. කොමිසමේ හෙළිදරවු වුණු කරුණුවලට සාපේක්ෂව වාර්තාව ප්‍රමාණවත් නැති බවක් පෙනෙනවා. නමුත්, මේ වාර්තාවෙහි අන්තර්ගතය පිළිබඳව අපි දැනගත යුතුයි. මේ පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට හැකි වෙන්නේ එහෙම වුණොත් විතරයි. ඒ නිසා අපි මේ සඳහා විවාදයක් වෙනුවෙන් දින ඉල්ලා සිටියා.

අගමැතිවරයා ප්‍රකාශ කරනවා, පර්පැචුවල් සමාගමේ මුදල් රුපියල් බිලියන 12 ක් මහ බැංකු වේ තියෙනවා කියලා. ඒ නිසා රජයට නැති වූ මුදල් අය කර ගැනීම ගැන කලබල විය යුතු නැහැ කියලා. මේ ප්‍රකාශය ගැන ඔබේ අදහස මොකක්ද?

ඇත්තටම අගමැතිවරයා මේ රටේ ඇමති මණ්ඩලයේ ප්‍රධානියා ද, එහෙම නැතිනම් පර්පැචුවල් සමාගමේ ප්‍රධාන විධායක ද කියන ප්‍රශ්නය අපට මෙහිදී මතු වෙනවා.
එහෙම නොවෙයි නම්, ඔහු මේ සමාගම වෙනුවෙන් මේ තරම් පෙනී සිටින්නේ ඇයි? තමන්ගේ අගමැති ධුරය පවා පරදුවට තබමින්, ඔහු මේ සමාගම වෙනුවෙන් මේ තරම් කතා කරන්නේ ඇයි? සමහර විට අගමැතිටත් මෙම සමාගමේ කොටස් තියෙනවා ද කියන සැකය අපට ඇති වෙනවා.
කොහොම වුණත්, බැසිල්ගේ ගෙය රජයට පවරාගෙන ඒ මුදල් ඉපයුවේ කොහොමද කියන පරීක්ෂණය යට ගහලා, බැසිල් නිදහස් කළා වාගේ සිල්ලර විදියට මේ ප්‍රශ්නය යට ගහන්න දෙන්න බැහැ. බැඳුම්කර ගනුදෙනුවේ දී අයුතු ලාභයක් උපයා ගත් පර්පැචුවෙල් සමාගමෙන් ඒ අලාභය අය කර ගන්න කටයුතු කරනවා වාගේම බැඳුම්කර රහස් හෙළිදරවු කළ මහ බැංකු අධිපතිවරයාටත්, ඔහුට මහ බැංකුව භාර දුන් අගමැතිවරයාත්, එවකට මුදල් ඇමති රවී කරුණානායකත්, එජාප මහ ලේකම්, සභාපති ඇතුළු සියලූ ම චූදිතයන්ට නීතියෙන් දඩුවම් කළ යුතුයි. අප දන්නා විදියට අලාභය ඊට වඩා වැඩියි. ඒ නිසා අලාභය අය කර ගැනීමෙන් පමණක්ම මඟහරින්න ඉඩ දෙන්න බැහැ.

පරීක්ෂණ කටයුතු අවසන් කළ ආයතන 34 කට අදාළ වාර්තා මේ වන විට ජනපතිවරයාට භාර දී තිබෙනවා. ඒ සම්බන්ධව ඉදිරි කටයුතු මොන වාගේ වේවිද?

2015 මාර්තු මාසයේ ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම පත් කළේ මහින්ද රාජපක්ෂ කරපු හොරකම් අල්ලන්න. ඒ කොමිසම මුලින් වාර්තා 17 ක් ජනාධිපතිට භාර දුන්නා. පසුව තවත් වාර්තා 17 ක් එම කොමිසමේ නිල කාලය අවසන් වීමට ප්‍රථම භාර දුන්නා. පසුගිය ආණ්ඩුව විසින් කළ වංචා, දූෂණවල සියලු තොරතුරු මේ වාර්තා තුළ අඩංගු වෙලා තියෙනවා.
මේ කිසිම වාර්තාවක් සම්බන්ධයෙන් මේ වන තුරු ජනාධිපතිවරයා විසින් ගත් කිසිදු ක්‍රියාමාර්ගයක් නැහැ.
උදාහරණයක් විදියට ධීවර සංස්ථාවට අයත් මීගමු කලපු ව්‍යාපෘතියේ මුදල් රාජපක්ෂගේ ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් යොදවලා තිබුණා. ඒ බරපතළ මූල්‍ය වංචාව කොමිසම විසින් හෙළිදරවු කරගෙන ඒ පිළිබඳව ජනාධිපතිවරයාට නිර්දේශ ලබා දුන්නා. එක් නිර්දේශයක් තමයි. එම අයථා ගනුදෙනුවට සම්බන්ධ කිසිදු පුද්ගලයකුට රජයේ කිසිදු තනතුරක් නොදිය යුතුයි කියන එක. නමුත්, මේ චෝදනාවලට ලක් වුණු ධීවර සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙක් කෘෂිකර්මාන්ත අමාත්‍යාංශයට අයත් ලංකා පොහොර සංස්ථාවේ අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කළා. මේ පිළිබඳව ප්‍රශ්න කරන විට කෘෂිකර්ම ඇමතිවරයා පිළිතුරු දීමෙන් මඟහැරියා. මොකද? මේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා කෘෂිකර්ම අමාත්‍ය දුමින්දගේ ප්‍රචාරක කටයුතු සඳහා මිහින්තලය ආසනයේ මුදල් වියදම් කර තිබෙනවා. ඉතින්, දුමින්ද ඔහු ආරක්ෂා කරනවා. ශ්‍රීලනිප සභාපති, ජනපති මෛත්‍රී පත් කළ විමර්ශන කොමිසමේ නිර්දේශ එම පක්ෂයේම මහ ලේකම්වරයා විසින් නොසලකා හරිනවා නම්, මේ වාර්තාවලට අත් වන ඉරණම අපට හිතා ගන්න පුළුවන්. මේ දේම රාජපක්ෂ සමයෙත් සිද්ධ වුණා. මේ තියෙන්නේ පරණ හොරුන් රකිමින්, අලුත් හොරුන් හදන ආණ්ඩුවක්. ඒ නිසා හොරුන්ගෙන් හොරුන්ට දඩුවම් බලාපොරොත්තු වෙන්න බැහැ.


සංවාදය සහ සටහන
කිත්සිරි කොඩිතුවක්කු