ජනාධිපති ලේකම් කාර්යාලය පිස්සන් කොටුවක් !

අපේ රටේ ජනතාව රැවටීමට කරන මජර දේශපාලනයේ තරම කොතරම් දැයි ඉතා හොඳින් පැහැදිලි කෙරෙන සිදුවීම් අනන්තවත් දිගහැරේ. නාමල්ලාගේ බලු දඩකෙළි එක පැත්තක දිගහැරේ. ජීවිත කාලය පුරාම රජ වී සිටීමට සියල්ල සූදානම් කරගෙන රට මකර කටේ හෙළීම ඇරඹූ මහින්ද දැන් ආර්ථීකයේ ගැලවුම්කරු වී සිටින්නේය. කිසිම දෙයක් නොදන්නා තොත්ත බඛෙකු සේ රනිල් ප්‍රිය සාදයක දී ඉදිරිපත් කරන රංගනයක්ය. මෛත්‍රී අනෙක් පැත්තෙන් තමන්ගේ නම කොටා ගැනීමට සංවර්ධනයේ නාමයෙන් කෙරෙන විනාශයන්ගෙන් ආශ්වාදය ලබන්නේය. අඩුම තරමින්, මහ කන්නයේ ගොවීන්ට පොහොර ටික අවශ්‍ය වේලාවට දී ගැනීමට වැඩපිළිවෙළක් නොතිබෙන අතර, බොරු පූච්චානම් රජ කරමින් තිබෙන්නේය. කැලැන්ඩරයට අනුව අලුත් අවුරුද්දක් උදා වී මුල් සති දෙක ගෙවී යමින් තිබුණේ මේ මජර ගති තොග පිටින් එළියට දමමින්ය.

රනිල් ආතල් එකේ…

මහ බැංකු බැඳුම්කර කොල්ලය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සම්බන්ධ බොරු කයිවාරු බොහොමයක් දැක ගත හැකි වූයේය. වාර්තාව භූත පෙට්ටියක් සේ තිඛෙන්නට ඉඩහැරීමේ තත්ත්වයක් දුටු වහාම ජවිපෙ කළේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ එය මහජනතාවට ප්‍රසිද්ධ කරන ලෙස ඉල්ලීමය. ඒ සමගම රාජ්‍ය මූල්‍ය පාලන බලය තිබෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ද ඉල්ලා සිටීමය. මේ නිසා විශේෂයෙන් රනිල්ට එල්ල වී තිබුණේ සුළුපටු පීඩනයක් නොවේය. මෛතී්‍රගේ විශේෂ ප්‍රකාශය කොතරම් හීනි කන්කෙඳිරියක් බඳු දැයි ඉන් පසුව පැහැදිලි වූයේය. ‘යකා කියන තරම් කළු නැති බව’ තේරුම් ගත් නිසා දෝ එයින් ඇති වූ උද්දාමය පිට කිරීමට තරම් රනිල් ඉදිරිපත් වී සිටියේය. ප්‍රවීණ රංගන ශිල්පිනී, අයිරාංගනී සේරසිංහ සමඟ ප්‍රිය සාදයක දී පොඩි ආතල් එකක් ගැනීමෙන් බැඳුම්කරේ බර අයින් කිරීමට රනිල් වග බලාගෙන තිබුණේය. ඒ ගීතයකට රැගුමක් රඟමින්ය.

රනිල් බේරා ගැනීමට මහින්ද

කොහොම වුණත්, බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව පදනම් කරගෙන අගමැති රනිල්ට විශ්වාස භංග යෝජනාවක් ගෙන එන බව ප්‍රකාශ කර තිබුණේ මහින්දගේ කණ්ඩායමය. පසුගිය සතියේ ‘ලංකා’ වෙත වාර්තා වී තිබුණේ, පොහොර ප්‍රශ්නය මුල් කරගෙන කෘෂිකර්ම ඇමති දුමින්දට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට මහින්දගේ කණ්ඩායම උත්සාහයක යෙදී සිටින බවය. එය හිටිහැටියේ අගමැතිට විරුද්ධ විශ්වාස භංගයක් දක්වා විතැන් කෙරෙන බව ප්‍රකාශ කෙරී තිබුණේය. මේ ප්‍රචාරයත් සමඟම බොහෝ දෙනා අවධානය යොමු කර තිබුණේ මහින්ද රනිල්ට විරුද්ධව නොව රවීට විරුද්ධව පවා කිසිම දෙයක් නොකර සිටිය අතීතය පිළිබඳව වන්නේය. ආණ්ඩුවට විරුද්ධව කිසිම දෙයක් නොකර සිටි අතීතය පිිළිබඳව වන්නේය. එවැනි පසුබිමක් තුළ මහින්ද පිලෙන් රනිල්ට විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒම යනු වෙන කෙනෙකු විසින් ගෙන එන්නේ නම්, ඊට තිඛෙන ඉඩකඩ අහුරා දැමීමක් බව ඉතා පැහැදිලිය. ‘මහින්දගේ අය රනිල් විශ්වාස භංගයක් ගේන්නේ රනිල්ට විරුද්ධව නොවෙයි. රනිල්ව අනෙක් අයගෙන් රැක ගන්න.’ මාධ්‍ය ක්ෂේත්‍රයේ පැතිරගියේ මෙවැනි කතාවක් වන්නේය.

මහින්ද අගමැති

මේ මැතිවරණය කුමක් දැයි ගමේ ගොඩේ අන්තිම නූගතාට පවා අවබෝධයක් තිබෙන්නේය. එසේ තිබියදීත් මහින්ද කරගෙන යන්නේ තමන්ගේ බලලෝභී, උමතු වියරුව පොල් කෙන්දක තරමේ සිට හෝ විහිදුවා හැරීමට කවර හෝ අවස්ථාවක් වුවද, යොදා ගැනීමට බව තහවුරු කර තිඛෙන්නේ ය. මේ මැතිවරණයේ දී එය යළිත් තහවුරු කරමින් සිටින්නේ  විවිධාකාරයටය. ‘මේක ආණ්ඩු පෙරළන ඡන්දයක් නොවුණත්, අපි මේ ඡන්දය ආණ්ඩු පෙරළීමකට යොදා ගන්නවා’ මහින්ද දැන් වේදිකා ගාණේ කියන්නේය. මේ කතාවෙන් පමණක් නතර නොවී අනුගාමිකයන් තුළ එය තහවුරු කිරීමට විවිධ උපක්‍රම අනුගමනය කරමින් සිටින්නේය. ප්‍රධාන උපක්‍රමයක් වී ඇත්තේ, අනුගාමිකයන්ට හොඳ ලණුවක් දී තිබීමය. මහින්ද සහභාගී වන සියලුම රැස්වීම්වල හොරෙන් බෙදන පෝස්ටරයක් තිබේ. මහින්දගේ ඡායාරූපය අඩංගු එම පෝස්ටරයේ සඳහන් වන්නේ ‘මහින්ද අගමැති කරමු’ යන්නය.

මහින්ද දණ ගහයි

මෙය ආවාට ගියාට ඛෙදන පෝස්ටරයක් බව බොහෝ දෙනා සිතන බව නම් පැහැදිලිය. එසේ වුවත්, මේ යටින් තිබෙන්නේ වෙනම කතාවක් වන්නේය. එය නම් මහින්ද මෛත්‍රී හමුවේ දණ ගැසීමට සූදානම් බව කියවෙන පණිවුඩය වන්නේය. මෛත්‍රී ජනාධිපති යටතේ මහින්ද අගමැති වීමට සූදානම් බව කියවෙන පණිවුඩයය. බලය නැතිව තව මොහොතක්වත් ගත කළ නොහැකි බව මහින්ද තුළ තිඛෙන අසහනය පුපුරා යාමක් වන්නේය. මෛත්‍රී ද ඡන්දයට පෙර පක්ෂය කඩන බවට චෝදනා කරමින්, මහින්දලාට දැමූ සද්දය දැන් අකුළාගෙන සිටින්නේය. ඒ අතර මෛත්‍රී පිලේ සොයිසා වැනි අය මුල සිටම ප්‍රකාශ කළේ මැතිවරණයේ දී දෙපිල ඛෙදී ඡන්දය ඉල්ලුව ද, පසුව දෙපිල එකතු වී ප්‍රාදේශීය සභාවල බලය පිහිටුවන බව වන්නේය. දැන් කෙරෙන කටයුතුවලින් හෙළි වෙමින් තිඛෙන්නේ මහින්ද අගමැති කිරීමට තරම් සිරිසඟබෝ කෙනෙකු වීමට මෛත්‍රී තීරණය කර තිබෙන බව දැයි ප්‍රශ්නයක් මතු වේ.

ගෝඨාත් දිගටම වැඩ

පක‍ෂය බෙදීමට ඉඩ නොදී ඒකාබද්ධව පවත්වා ගැනීමට මහා ලොකු කැප කිරීමක් කරන බවට ගෝඨා දැක් වූ රංගනය හමාර වූ ආකාරය ‘ලංකා’ හෙළි කර තිබුණේය. එම රංගනයෙන් පසු තම මව්බිමට හොර රහසේ පලා ගිය ගෝඨා එරටේ පුරවැසි භාවය තහවුරු කර ගැනීමට ක්‍රියා කර තිබුණේය. නමුත්, ගෝඨා රටින් පිට වී ගොස් තිබුණේ, ‘අල්ලයි මගෙ නැට්ට’ කියන්නා සේ මෛත්‍රීට කෝචොක් කරමින් බව හෙළි වූයේ පසුවය. එයින් අතිශය කෝපයට පත් වී සිටි මෛත්‍රීගේ මෛත්‍රීය බින්දුවට බැස ගෝල්ෆේස් යුද හමුදා මූලස්ථානය පිහිටා තිබූ ඉඩම විකුණා දැමීම සහ ගොඩනැගිලි කුලියට ගෙන කරන විශාල මූල්‍ය විනාශය එළි කර තිබුණේය. මෛත්‍රී ඒ ගැන සෝඩා බෝතලය කැඩුවා සේ කට ඇරියා පමණය. දැන් ගෝඨා යළිත් ඔහුගේ රටේ සිට මෙරට දේශපාලනය මෙහෙයවමින් සිටින්නේය. පොහොට්ටුවේ ඡන්දයට අදාළ විවිධ වැඩසටහන්වලට ගෝඨා ‘ස්කයිප්’ තාක්ෂණයෙන් ආමන්ත්‍රණය කරමින් සිටින්නේ මෛත්‍රීට කොකා පෙන්වමින්ය.

පොහොට්ටු ගාඩ්

මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ විශේෂ ආරක්ෂාව යෙද වූ තැනක් තිබුණේය. අනෙක් කිසිම පක්ෂයකට නොමැති විශේෂ ආරක්ෂාවක් බත්තරමුල්ලේ පිහිටි පොහොට්ටු කාර්යාලයට යොදනු ලැබීය. ‘හිටපු ජනාධිපති එන යන තැනක්’ කියා විශේෂ ආරක්ෂාව යොදන ලද බව කියවිණ. නමුත්, මේ වන විට හෙළි වන්නේ ඒ කාර්යාලය දැන් නිලමැස්සන්ගේ පාරාදීසයක් වී තිබෙන බවය. කවුරුන් හෝ කෙරුමන් කිහිප දෙනෙකු ඉඳහිට ඇවිත් යනවා හැරුණු කොට මැතිවරණ සමයක දී පක්ෂයක ප්‍රධාන කාර්යාලයක තිඛෙන කිසිම ගතිලක්ෂණයක් එහි නැති බව හෙළි වන්නේය. දැන් ප්‍රශ්නයක් මතු වී තිබෙන්නේ පක්ෂයේම අයට බව කියවේ. ‘ජී. එල්. නායකයා වෙලා ඉන්න පක්ෂයකට රෙද්දක් ඇඳගෙන ගොඩවෙන්න පුළුවන්ද?බොහෝ දෙනෙක් ප්‍රශ්න කරන බව හෙළි වන්නේය. මේ නිසා බොහෝ විට පොහොට්ටු කාර්යාලය පොලිස් මුරවලට පමණක් සීමා වී ඇත්තේය.

ජනාධිපති කාර්යාලයක් නොවෙයි

රටේ ජනතාවට එකක් කියා ඊට සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක් කරන මජර දේශපාලනයේ තරම පසුගිය 10 වැනිදා පාර්ලිමේන්තුවේ දී ඉතා මැනවින් හෙළි වූයේය. එක පැත්තක බැඳුම්කර ගොන් පොරය ඇවිළී ගිය අන්දමය. අනෙක් පැත්තෙන් කොළය වසා ගහන දේශපාලනයේ කැත නින්දිත ස්වභාවය හෙළි වීමය. බැඳුම්කර ජනාධිපති කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් මෛත්‍රී කළේ 03 වැනිදාය. බැඳුම්කර වාර්තාවට අමතරව ජනාධිපති විශේෂ විමර්ශන ඒකකය විසින් මෛත්‍රීට ලබා දී තිබෙන වාර්තා 34 ක් පිළිබඳව ද එම ප්‍රකාශයේ දී මෛත්‍රීම පිළිගෙන තිබුණේය. නමුත්, 10 වැනි දින පාර්ලිමේන්තුවේ දී හෙළි වූයේ වෙනත් දෙයක්ය. ජනාධිපති ලේකම්, ඔස්ටින් ප්‍රනාන්දු විිසින් පාර්ලිමේන්තුවේ මහ ලේකම්, ධම්මික දිසානායකට ලිඛිතව දන්වා තිබුණේ, වාර්තා 34 ක් ජනාධිපති කාර්යාලයේ නොමැති බවය. වාර්තා අතුරුදහන් වීම ගැන සංවාදය පාර්ලිමේන්තුවේ දී ඇදී ගියේය. ජවිපෙ නායක, අනුර දිසානායක ඒ පිළිබඳව තදින් ප්‍රශ්න කළේය. එයට උත්තර දීමට ගොස් පැටලී තිබුණේ කතානායකය. එක්සත් ජාතික පක්ෂයේ මන්තී්‍රවරු කතානායකගේ පැත්ත ගෙන ජවිපෙට කෝචොක් පාරක් දැමීමට කල් යල් බැලුහ.  ‘ඔබතුමා ඕක කියවන්නකො’ ජවිපෙ අනුර කීය. ‘මම කියවල තමයි ආවේ’ කතානායක කීය. ‘අන්තිම ඡේදය කියවන්න’ අනුර කීය. බැරිම තැන කතානායකවරයා කියවාගෙන ගියේය. ‘අනෙක් වාර්තා 34 ක් අප වෙත නොමැති අතර’ යනුවෙන් එහි සඳහන්ය. ජවිපෙට කෝචොක් කළ අයට පමණක් නොව කතානායකට ද තරු විසි වූයේ එවිටය. පසුගිය 03 වැනිදා මෛතී්‍රම තිබෙන බව කී වාර්තා නැති බව ජනාධිපති ලේකම් ලිඛිතව දන්වා ඇත. අනුර මෙහිදී ප්‍රශ්න කළේ ‘ඕක ජනාධිපති කාර්යාලයක්ද? නැත්නම් පිස්සන් කොටුවක්ද?’ කියාය.