දිළිඳු බව පරදා දිනිය යුතු ගිරිබාව

ranila jayasena
මේ දූෂිත දේශපාලකයන් රටම ලෙඩ කරලා ඉවරයි (විශේෂඥ ශල්‍ය වෛද්‍ය රනිල් ජයසේන)
February 6, 2018
doller
රුපියල අපමණ අගයට ලංවෙයි
February 7, 2018
Show all

දිළිඳු බව පරදා දිනිය යුතු ගිරිබාව

Giribawa sabhawa

උදෑසන පැතිර ඇති මීදුමත්, සීතලත් ඇඟ හිරිගඩු නංවයි. දිනෙන් දින උණුසුම් වන දේශපාලන පොරපිටි පිළිබඳව බොහෝ දෙනාගේ තවමත් ඇත්තේ හිමිදිරි උදයක සිතට නැගෙන කම්මැලි ස්වරූපයක් යැයි මට සිතේ.
මම ගල්නෑව, තඹුත්තේගම හරහා රාජාංගනය දෙසට ගමන් කරමින් සිටියෙමි. රාජාංගනය වැව් බැම්ම මතින් වම් ඉවුර දක්වා ගමන් කරන මඟට පිවිසෙන විට දී ද රාජාංගන ජලාශයෙන් කෙත් වතු සඳහා දියවර නිකුත් කර තිබිණි.
ඇළ ඉවුර දිගේ විහිදෙන මාර්ගය බොහෝ සෙයින් අබලන්ය. දිවයිනේ දිළිඳුම ප්‍රාදේශීය සභාවක් වන ගිරිබාව ප්‍රාදේශීය සභාව පිළිබඳව සටහන් තැබීම මෙවර ‘සංචාරක සටහනෙහි’ අරමුණයි.
කෘෂිකර්මාන්තය ජීවනෝපාය කර ගත් බහුතර ජනතාවක් වාසය කරනු ලබන ගිරිබාව ප්‍රාදේශීය සභාව වයඹ පළාතේ කුරුණෑගල දිස්ති්‍රක්කයට අයත්ය.
වාර්තා වන තොරතුරුවලට අනුව එම දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 15 කි. වයඹ පළාත් සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 47 ක් වන අතර, ප්‍රාදේශීය සභා 19 කි. එහි නියෝජිත මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 337 කි.
කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් නගරාසන්න ප්‍රදේශයන් හැරුණු කොට ග්‍රාමීය ප්‍රදේශ බහුතරයක් තවමත් පවතින්නේ දිළිඳුකමේ පහත් අඩියේය. වී ගොවිතැනට විශාලම දායකත්වයක් සපයන එම දිස්ත්‍රික්කයෙහි ජනතාව තමන් වෙනුවෙන් ඉහත සඳහන් මහජන නියෝජිතයන් පිරිස බලයට පත් කර තිබුණ ද, මේ වන තෙක් එම නියෝජිතයන් විසින් ජනතාවගේ මූලික අවශ්‍යතා සම්පූර්ණ කිරීමට මෙතෙක් සමත්ව ඇත්තේ නැත.
කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් ඉහත ප්‍රාදේශීය සභා 19 න් අති බහුතරයක් නියෝජනය කරනුයේ, එම ග්‍රාමීය දුප්පත් ජනතාවය. දිවයිනෙහි සියලුම පළාත් පාලන ආයතනයන්හි බලය හෙබ වූ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන එජාපයේ හෝ ශ්‍රීලනිපයේ නියෝජිතයන් ජනතාවගේ මූලික වුවමනාවන් හෝ ඉටු කර දීමට මෙතෙක් සමත්ව ඇත්තේ නැත. එම අභාග්‍යසම්පන්න ඉරණමට මුහුණ දී සිටින ජනතාවක් ලෙස කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් ගිරිබාව ප්‍රාදේශීය සභා බලප්‍රදේශය තුළ වෙසෙන ජනතාව ද හඳුන්වා දිය හැකිය.
එම ප්‍රාදේශීය සභා සීමාව තුළ වෙසෙන සමස්ත ජනගහනය 37,818 ක් ලෙස වාර්තා වන අතර, එයින් ස්ත්‍රී ජනගහනය 19,503 දෙනෙක් ලෙස සඳහන් වෙයි. පුරුෂ ජනගහනය 18,315 දෙනෙකි. මැතිවරණ කොට්ඨාස 10 ක් වන අතර, ග්‍රාමසේවා වසම් 35 කි. ඉතාමත් ආසන්නතම නගරය රාජාංගනය වන අතර, උතුරු මැද පළාතට හා පුත්තලම දිස්ත්‍රික්කයට මායිම්ව ගිරිබාව ප්‍රාදේශීය සභාව පිහිටා තිබේ. එම ප්‍රාදේශීය සභාවට අයත් ග්‍රාමීය මාර්ග සංඛ්‍යාව 153 ක් වන අතර, ඉන් එක් මාර්ගයක් හෝ මේ වන තෙක් තාර යොදා හෝ ගල් අතුරා හෝ කොන්ක්‍රීට් යොදා හෝ සකසා ඇත්තේ නැත. සමස්ත මාර්ග පද්ධතියම බොරලු මාර්ග වන අතර, ප්‍රදේශවාසීන්ගේ අදහසට අනුව බලයට පත් වන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වී ඇත්තේ ද අබලන් වන මාර්ගවලට බොරලු ඇතිරීමේ කොන්ත්‍රාත් ලබා ගැනීමය.
ළමා හා මාතෘ සායන සංඛ්‍යාව 09 ක් වන අතර, ප්‍රාදේශීය සභාව මගින් ඉදි කරන ලද සායන මධ්‍යස්ථාන ඇත්තේ එකක් පමණි. ගිරිබාව ප්‍රාදේශීය සභා සීමාව තුළ වාර්තා වන වකුගඩු රෝගීන් සංඛ්‍යාව පසුගිය වසර වන විට 400 ඉක්මවා තිබේ. ප්‍රාදේශීය සභාව මැදිහත්ව පානීය ජල ප්‍රශ්නය විසඳීමට ප්‍රමාණවත් මැදිහත් වීමක් පසුගිය පාලන කාලය පුරා සිදු කර ඇත්තේ නැත.
ප්‍රාදේශීය රෝහල් දෙකක් එම ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට අයත් වන අතර, එම රෝහල්හි පවතින වැසිකිළි මේ වන විට උතුරා යන තත්ත්වයට පත්ව තිබේ.
ගිරිබාව, වරාවැව, පැරකුම්පුර යනුවෙන් සභාවට අයත් සතිපොළ තුනකි. පොළ බදු අය කිරීම හැරුණු කොට එම සතිපොළ භූමියෙහි වෙළෙදාම් කරන ජනතාවට අවශ්‍ය පහසුකම් සැපිරීමට හෝ පසුගිය ප්‍රාදේශීය පාලකයන් මෙතෙක් සමත්ව ඇත්තේ නැත. ගිරිබාව ප්‍රාදේශීය සභා සීමාව තුළ පාසල් 24 කි. එයින් 12 කට විද්‍යාගාරයක් හෝ පුස්තකාල පහසුකම් ඇත්තේ නැත. ගිරිබාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ උපාධිධාරීන් 163 ක් සහ ඩිප්ලෝමාධාරීන් 193 ක් වාර්තා වේ. උසස් පෙළ සමත් 1175 කුත්, සාමාන්‍ය පෙළ දක්වා උගත් 2895 දෙනෙකුත් වාර්තා වන අතර, 8 ශ්‍රේණිය සමත් 6321 දෙනෙකි. සමස්ත ප්‍රාදේශීය සභාවටම ළමා උද්‍යාන පවතිනුයේ, එකක් පමණක් වන අතර, එය ද වල්බිහි වී ඇත්තේ, නඩත්තුවක් නොමැතිකමින් බව පැහැදිලිය.
ප්‍රාදේශීය සභාවට අයත් සුසාන භූමි 35 ක් වන අතර, ඒවායෙහි තත්ත්වය ද සතුටුදායක නොවේ. බොහෝ සුසාන භූමි කැලෑ වැදී ඇති අතර, සීමා මායිම් පවා නිවැරදි නොවේ. ගිරිබාව ප්‍රාදේශීය සභාවට අයත් එකදු ආදාහනාගාරයක් හෝ නොමැති අතර. එම අවශ්‍යතාවය වෙනුවෙන් ගල්ගමුව නගරය දක්වා යා යුතුය.
අවම වශයෙන් ගිරිබාව ප්‍රාදේශීය සභාවෙහි සේවාව ජනතාවට ලබා ගැනීම සඳහා ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල හෝ ගිරිබාවෙහි පිහිටා ඇත්තේ නැත. ප්‍රාදේශීය සභාව පිහිටා ඇත්තේ තඹුත්ත නගරයේ වන අතර, හස්තිරාජපුර ට්‍රැක් දෙක වැනි ප්‍රදේශවල ජීවත් වන ජනතාවට ප්‍රාදේශීය සභාවෙහි උප කාර්යාලයක් ගිරිබාවෙහි පිහිටු වීමට කටයුතු කරන ලෙස ද ප්‍රදේශවාසී ජනතාව පසුගිය පාලකයන්ගෙන් ඉල්ලීම් කර ඇතත්, එය මෙතෙක් ඉටු වී ඇත්තේ නැත.
සභාවෙහි ලියාපදිංචි පෙර පාසල් සංඛ්‍යාව 33 කි. ඒ සියල්ල පෞද්ගලිකව එක් එක් ගුරු මහත්මීන් විසින් පවත්වාගෙන යනු ලබන ඒවාය. ඒ අනුව රට පුරා අනෙකුත් ප්‍රාදේශීය සභාවන් පරිද්දෙන්ම ගිරිබාව ප්‍රාදේශීය සභාව සම්බන්ධයෙන් ද වෙනස් යමක් සඳහන් කිරීමට ඇත්තේ නැත.
දිවයිනෙහි සෑම ප්‍රාදේශීය සභාවක් පරිද්දෙන්ම ගිරිබාව ප්‍රාදේශීය සභාව ද තම තමන්ගේ දේශපාලන අරමුණු හා ව්‍යාපාරික අරමුණු ඉටු කර ගනු ලබන ආයතනයක් බවට පත් කරගෙන ඇති පාලකයන් ජනතා මුදලින් මෙම ආයතන නඩත්තු කරගෙන යනුයේ, තම පක්ෂයට අයත් දේශපාලනඥයන් පුහුණු කිරීමේ ආයතනයක් පරිද්දෙන් ය යන්න ප්‍රදේශවාසීන්ගේ චෝදනාව වී තිබේ.
යම් මහජන නියෝජිත ආයතනයක සේවාව තමන් හට ලබා ගැනීමට නම්, ජනතාව ඒ සඳහා මැදිහත් වීම වැදගත් වන බව ජනතාව විසින්ම මේ වන විට අමතක කර තිබේ.
මුලින් ද සඳහන් කළ පරිදි මම වම් ඉවුරට පිවිසෙන විට රාජාංගනය ජලාශයෙන් දියවර නිකුත් කර තිබිණි. තැනින් තැන පිහිටුවා තිබූ පොම්පාගාර මගින් තම තමන්ගේ වගාවන්වලට ජලය සපයා ගැනීමට ප්‍රදේශයේ ගොවි මහතුන් විසින් කටයුතු කර ගත යුතු බව එම පොම්පාගාරවල සේවයෙහි නියුතු ක්‍රියාකරුවෝ මා සමඟ කළ කතිකාවක දී සඳහන් කළහ.
ඒ අනුව මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ දී තම තමන්ගේ ජීවිතවලටද සෙත සලසා ගන්නේ නම්, ඒ සඳහා වන දියවර මේ වන විට නිකුත් වී තිබේ. තමන්ගේ කෙත්වතුවලට දියවර සපයා ගැනීමේ වගකීම ජනතාව හමුවෙහි ඉතිරිව තිබේ.

මේ පක්ෂ දෙක පස්සේ යන්නේ ඇයි?
නිමල් අබේසේකර
714 ගොවි සංවිධානයේ හිටපු සභාපති

මම 1994 ඉඳලා ශ්‍රී ලංකා එකේ සාමාජිකයෙක්. ඒත් මේ අය ඔක්කොම එකම කණ්ඩායමක්. එජාපයයි, ශ්‍රීලනිපයයි, පොහොට්ටුවයි මේ ඔක්කො ම එකයි. මම මේ සැරේ ජවිපෙට වැඩ කරනවා. පොඩි කාලේ ඉඳන් මම සමාජසේවය කළා. ඒත්, ගමට වැඩක් කරන්න පුළුවන් තැනකට සම්බන්ධ වුණේ මේ සැරේ. එජාප, ශ්‍රීලනිප ගම හදන්න ඉල්ලනවා. මෙච්චර කාලයක් බලයේ හිටියේ ඒ අය. පෙර පාසල හැදිලා නෑ. පාරවල් එකක්වත් තාර ටිකක් දාන්න මේ අයට පුළුවන් වෙලා නෑ. මිනිස්සුන්ට හරියට කන්න තියෙනවාද? මේ මොනවත් නැතිව තවත් මොකටද අපි ඔය පක්ෂ දෙක පිටිපස්සේ යන්නේ? ‘අවුරුදු හැත්තෑවක්ම මේ රැවටිලිකාරයන්ට රැවටිලා, මිනිස්සුන්ට ඇති වෙලා ඉන්නේ.

මන්ත්‍රීවරුන් වෙනුවට මහජන නියෝජිතයන් කර ගත යුතුයි
ප්‍රියංග ලංකාතිලක
කණ්ඩායම් නායක, එක්සත් ජනතා නිදහස් සන්ධානය

පසුගිය කාලයේ ප්‍රදේශයේ සංවර්ධනය එක ප්‍රදේශයකට සීමා වුණා. අලුත් ඡන්ද ක්‍රමයත් එක්ක ගමට නියෝජිතයෙකු පත් වීම හොඳ දෙයක්. ඒක සතුටට කාරණයක්. නැත්නම්, ප්‍රාදේශීය සභාවේ වැඩ කෙරෙන්නේ සභාපතිගේ වුවමනාවට. අලුත් නියෝජිතයෙක් තමන්ගේ කොට්ඨාසයට පත් වුණාම එයා ඒ ප්‍රදේශයේ මහජන නියෝජිතයා වෙන එක හොඳයි. අපි බලයට පත් වුණාම ප්‍රාදේශීය සභාවේ උප කාර්යාලයක් ගිරිබාව ප්‍රදේශයේ පිහිටුවනවා. අපි සභාව ජනතාවට සමීප කරන්න කටයුතු කරනවා. සභාපතිවරුන්, මන්ත්‍රීවරුන් කියන්නේ, මළ ගෙවල්වලට යන එන අය කියන ආකල්පය වෙනස් කරන්න ඕනෑ.

අපි දිනුවොත් සංවර්ධනය වේවි
අජිත් සේනානායක
හිටපු විපක්ෂ කණ්ඩායම් නායක, එජාප

මම අවුරුදු 15 ක් ගිරිබාව ප්‍රාදේශීය සභාව නියෝජනය කරනවා. අපි ඉදිරියේ දී හොඳ ජල ව්‍යාපෘතියක් මේ බලප්‍රදේශය තුළ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රදේශයේ වැව් සියල්ල ප්‍රතිසංස්කරණය කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ආණ්ඩු පක්ෂයේ නිසා මේ වෙන කොටත් පාරවල් තුනක් ප්‍රතිසංස්කරණය කරගෙන යනවා. අනුරාධපුර – පුත්තලම සාලිය වැව මාර්ගය ප්‍රතිසංස්කරණය කරන්න බලාපොරොත්තු වෙනවා. අතුරු මාර්ග සියල්ල සංවර්ධනය කරනවා.

ආනන්ද රූපසිංහ
හිටපු සභාපති, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, ගිරිබාව ප්‍රාදේශීය සභාව

දුරකථනය මගින් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද, නොහැකි විය.

අපට වැඩපිළිවෙළක් තිබෙනවා
උපාලි ජයවීර
ජවිපෙ කණ්ඩායම් නායක

ගිරිබාව කියන්නේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ තිබෙන දුප්පත්ම ප්‍රාදේශීය සභාව. වාර්ෂික ආදායම ලක්ෂ 15යි. ඒ ආදායම් ඉපිදවිය හැකි අවස්ථා නැතිව නොවේ. පසුගිය පාලකයන් කියන විදියට සභාවෙහි ප්‍රධාන ආදායම් වෙලා තියෙන්නේ පොළ බදු එකතු කිරීමත්, වරිපනම් එකතු කිරීමත් විතරයි. ජනතාව උපයන දෙයින් බදු ගහලා ප්‍රාදේශීය සභාව යැපෙන එක තමයි, මෙච්චර කල් වෙලා තියෙන්නේ.
ලංකාවේ හැම ප්‍රාදේශීය සභාවක් වාගේ ම ගිරිබාවත් මන්ත්‍රීවරුන් කොන්ත්‍රාත් කරන දේශපාලනයට පුරුදු කරන ස්ථානයක් බවට පත් වෙලා ඉවරයි. මේ තත්ත්වය වෙනස් කරන්න අපට වැඩපිළිවෙළක් තියෙනවා. ඒක ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතාවයන් ප්‍රමුඛතා පිළිවෙළට ඉටු කරන්න සකස් කරපු වැඩපිළිවෙළක්. තවමත් තමන්ට වැසිකිළියක් නැති ජනතාවක් ගිරිබාව ප්‍රාදේශීය සභා බලප්‍රදේශය තුළ ඉන්නවා. අපි ජනතාවගෙන් අහන්නේ, මේ තත්ත්වය වෙනස් විය යුතු නැද්ද?


කිත්සිරි කොඩිතුවක්කු