ධර්මසේන පතිරාජගේ අවසන් කැමැත්ත

rambukkana prdeshiya sabawa
රඹකැන්පුර ජනතාව දිනිය යුතු හෙට දවස
February 6, 2018
3Fotolia-134990236-Subscription-Monthly-M_main_1488968112487
වෙනසක් වෙනුවෙන් පෙරමග හදන දෙවිනුවර ජනතාව
February 6, 2018
Show all

ධර්මසේන පතිරාජගේ අවසන් කැමැත්ත

122

කලාකරුවකු යනු හුදු නිර්මාණකරුවකු පමණක්ම නොවේ. සංවේදී හදවතක් තිබීම නිර්මාණකරණයේ උල්පතයි. එහෙත්, ජනතාව කෙරෙහි වන ආදරයෙන් කම්පිත හදවතක් තිබීම යනු නිර්මාණකරණයේ දී සැඩ දිය පහරකි. එය සමාජ බාධක බිඳලන සැඩ පහරක් සේ කඩා වැදී සමබිම් බිහිකොට ඒ මත සාධාරණය උදෙසාම ගලා බසී. එවන් කලා හදවතකට ප්‍රගතිශීලී සමාජ දැක්මක් එක් වන්නේ නම් එතැන ජනතාවාදී කලාකරුවා බිහි වේ. එවන් කලාකරුවකුට පමණි වම් ඉවුරක නිවැරැදිව පය තබා සිට ගත හැක්කේ. එවන් ජනතාවාදී කලාකරුවකු අපෙන් සමුගනු ලැබූයේ මේ නොබෝදාය. ඒ ධර්මසේන පතිරාජ නම් ජනතාවාදී මහා කලාකරුවාය.
පතිරාජ පිළිබඳව මේ වන විටත් බොහෝ දේ ලියැවී තිබේ. බොහෝ දේ කියැවී තිබේ. ඔහු දැයට අහිමි වීමේ සාධාරණ කම්පනයෙන් ඒවා ඉදිරිපත් වූ බව සැබෑය. එහෙත් ජනතාවාදී කලාව නම් ෙක‍ෂ්ත්‍රයේ පිහිටුවා ඔහුගේ කලා භාවිතය විමසා බැලීම මතු බිහි වන සැබෑ ජනතාවාදී කලා අංකුරයන්ගේ වර්ධනයට මහත් රුකුලක් වනු ඇත. ඒ පදනමේ පිහිටුවා ධර්මසේන පතිරාජයන් හඳුනා ගැනීම සඳහා මෙම දුප්පත් උත්සාහයේ නියැළෙන්නේ ඔහුගේ කලා භාවිතය උදෙසා පිදුමක් ලෙස නොව ඔහු ප්‍රගතිශීලී හදවත් තුළ මියදෙන්නට නොදී ජීවත් කරවීම සඳහාය.
පතිරාජ නම් මහා කලාකරුවා චිත්‍රපට අධ්‍යක්ෂණයේ යෝධයකු බවට පත් වුව ද, සැබැවින්ම ඔහු කෙටිකතා රචකයෙකි, ගීත රචකයෙකි, නාට්‍ය රචකයෙකි, වේදිකා පරිපාලකයෙකි. එවන් විවිධ කලා ක‍්ෂේත්‍රයන්හි සංවේදී ඔහු සිනමාව තම ප්‍රධාන මාධ්‍ය කොට ගනු ලැබීය. තම ප්‍රථම සිනමා අත්දැකීම ඔහු ආරම්භ කළේ 1969 නිර්මාණය කරන ලද ‘සතුරෝ’නම් කෙටි චිත්‍රපටයෙනි. ඔහු තම මුල් කාලීන නිර්මාණයන් උදෙසා අත්දැකීම් එක්කොට ගනු ලැබූයේ 70 දශකයේ සමාජ පරිසරයකය. එම වකවානුව තුළ නාගරික සහ ගැමි සමාජයන්හි පීඩිත පංති ජීවිත කපා කොටා විශ්ලේෂණය කරන්නට ගන්නා ලද උත්සාහයම ලාංකීය සිනමා දර්ශනයේ නව සන්ධිස්ථානයක් බිහි කළේය.’රේඛාව’ තුළින් ලෙස්ටර් ෙජ්ම්ස් පීරිස් සිනමාව සමාජ කතිකාවකට යොමු කළ බව සැබෑය. එය හුදු කතන්දර කියන විනෝද මාධ්‍යයක සිට සැබෑ සමාජ සිදුවීම් කථා කරන මාධ්‍යයක් බවට පත් කොට ගත්තේ ඔහුය. එහෙත්, සිනමාව හුදු සමාජ විවරණයන්ගෙන් ඔබ්බට ගෙන යමින් පංති සමාජයේ පංති ප්‍රශ්නය සිනමා රූප මාධ්‍යයෙන් කතා කිරීම ආරම්භ කිරීමේ ගෞරවය නිතැතින්ම හිමිවන්නේ පතිරාජටය. පංති සමාජය විවරණය යනු පුළුල් පංති දැක්මකින් හා සමාජ සංවර්ධනයේ ගමන් දිශාව හඳුනා ගනිමින් කළ යුත්තකි. පතිරාජයන් එහි කොතෙක් සමත් වූවා ද යන්නට වඩා අප අගැයිය යුත්තේ ඒ සඳහා ඔහු කොතෙක් වෙර දැරුවාද යන්න සලකාය.
සිනමාව මාධ්‍යය කොට සහෘද හදවත් තුළට ලාංකීය පසුගාමී ධනේශ්වර සමාජය විශ්ලේෂණාත්මකව ප්‍රතිනිර්මාණය කිරීම පහසු කාර්යයක් නොවේ. එතරම්ම මෙම සමාජයේ පංති පෙළගැස්ම පවා සංකීර්ණය. සුළු පරිමාණ දේපළ අති බහුල සමාජයක මෙම පංති ව්‍යුහයේ සංකීර්ණත්වය අතිමහත්ය. පසුගාමී ධනේශ්වර සහ නිර්ධන පංතිය අතර මැද පවතින පංති බහුලත්වය හා ඒවායේ නිරන්තර චලනයන් තුළ වන විතැන්වීම් ඔස්සේ ලාංකීය ධනේශ්වර සමාජයේ මධ්‍යම පංතිය යනු නිරන්තර අතිශය පීඩනයට පත් වන මෙන්ම ස්ථාවර නැති පංතියකි. එනිසාම ලාංකීය පීඩිත පංතිය යන කුලකය තුළ නිර්ධන පංති පීඩනය මෙන්ම මධ්‍යම පංතියේ පීඩනය ද ප්‍රබලය. මධ්‍යම පංතියේ පීඩනය ශාරීරික මෙන්ම එයටත් වඩා ආකල්පමය එකකි. ඔවුන් ජලය මත අස්ථීරව පවතින පිඩැල්ලක්සේ නිරන්තර විචලනය වන ජීවිතය රැක ගැනීමට පසුගාමී ආකල්පමය විග්‍රහයන් තුළ සිට ගන්නා වෙහෙස විශාලය. ඔවුන් ගතින් දිළිඳු බව අත්විඳින අතර සිතින් පොහොසත් බව රස විඳී. මෙන්න මේ ආකල්පය නඩත්තු කිරීම සඳහා මුළු මහත් ජීවිතයම කැපකොට අවසන මිය යයි. මෙන්න මේ සමාජ යථාර්ථය ග්‍රහණය කර ගැනීම පහසු නැත. පතිරාජයන් ඒ සඳහා වෙර දැරූ බව ඔහුගේ නිර්මාණකරණයෙන් පැහැදිලිය. එමෙන්ම නාගරික හා ගැමි පීඩිත ජීවිත උලූප්පා දක්වන්නට ඔහුගේ නිර්මාණයන් වෙහෙස ගෙන තිබේ.
ඔහුගේ ප්‍රථම මහ සිනමා වියමන ‘අහස්ගව්වයි’. අහස්ගව්ව නිර්මාණය වන්නේ 1974 දී ය. නාගරික මධ්‍යම පාංතික තරුණ ජීවිත සමාජ ක්‍රමයේ අර්බුදය නිසා මුහුණ දෙන ගැටලූ සිනමාත්මකව ඉදිරිපත් කරන්නට ඔහු උත්සාහ දරා ඇත. ඉතා සරලව එහෙත් විචිත්‍රවත්ව එම සමාජ ජීවිත විශ්ලේෂණය නිර්මාණාත්මකව ඉදිරිපත් කරන්නට ඔහු සමත් වීම ම එම චිත්‍රපටය සිංහල සිනමාවේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. සැබැවින්ම 1970 සමාජයේ විරැකියාව පමණක් නොව, අරමුණක් නොමැති තරුණ ජීවිත ආදිය සහෘද ජනතාව හමුවේ විදහාපාන්නට ඔහු වෙර දරා ඇති ආකාරය විශිෂ්ටය. 1977 ‘බඹරු ඇවිත් ‘ සිනමා නිර්මාණය හරහා ගැමි ජීවිතයේ පීඩනය, විඳවීම පංති ඇසින් ප්‍රතිනිර්මාණය කරන්නට දරා ඇති උත්සාහය අගැයිය යුත්තකි.. 1978 ‘පොන්මනි ‘යනු අපේම රටේ බහුතර සිංහල ජන ජීවිතයෙන් දුරස්ථ උතුරේ ජනතාවගේ පංති ප්‍රශ්න කථා කරන්නකි. සැබැවින්ම එය ඔහුගේ විශිෂ්ටතම උත්සාහයකි. 1980’පාර දිගේ’සිනමා නිර්මාණය හරහා මධ්‍යම පාංතික තරුණ ජීවිතවල කඩාවැටීම් උලූප්පා දක්වයි. මෙය සැබැවින්ම සමාජ ආර්ථීක ජීවිතයේ විකෘතිය නිසාම බිහි වූ හරසුන් ජීවිත ගෙනහැර පාන්නට ගන්නා ලද උත්සාහයකි. 1981’සොල්දාදු උන්නැහේ’ යනු නිර්ධන පාංතික තරුණ ජීවිත කිහිපයක සමාජ ඉරණම හුවා දක්වන විශිෂ්ට නිර්මාණ වෙසෙසකි. 2001 ‘මතුයම් දවස’ යනු Z80 දශකයේ නීතිය ද, නීති ක්‍රියාත්මක කරන යන්ත්‍රය ද, අපරාධකරුවන් ද ඒකාත්මික වූ සමාජ භූමිකාව හුවාදක්වන්නකි. 2014 ‘ස්වරූප’ නම් චිත්‍රපට නිර්මාණය හරහා ඔහු නව පියවරක් තබා තිබේ. අධියථාර්ථවාදී කථාවක් සිනමා පටයට නඟමින් ඔහු සංකීර්ණ සමාජ යථාර්ථය ඉස්මතු කරන්නට නව ආකෘතියක් සොයා ගන්නට උත්සාහ දරා තිබේ. ප්‍රාන්ස් කෆ්කාගේ කෙටිකථාවක් අනුසාරයෙන් කළ ද එම චිත්‍රපට නිර්මාණය දේශීය ඌරුව සහිතව ඉදිරිපත් කරන්නටත් සමත්ව තිබේ. මේ සිනමා නිර්මාණ පෙළහර තුළ ඔහු එක් එක් යුගයන් හි සමාජ ව්‍යුහයේ වෙනස් වීම්වලට අනුරූපී සමාජ ප්‍රකාශනයන්ට අනුව නිර්මාණය හැඩගසා ගන්නට සමත්ව තිබේ. එනම් ’70 දශකයේ සමාජයේ ගලා යාමට අනුරූපීව ඔහුගේ නිර්මාණකරණය ද සමාන්තරව ගලා ගොස් තිබේ. මෙය කලාකරුවකුගේ විශිෂ්ට ගුණයකි. ඔහු ගතානුගතික නොවන සැම විටම අලූත් වන නිර්මාණ ප්‍රතිභාවක් සහිත නිර්මාණකරුවෙකි යන්න මින් ඉස්මතුවේ.
කෙසේ වෙතත්, ධර්මසේන පතිරාජයන් තම සමුගැනීම තෙක්ම තම සමාජ දැක්ම ද, නිර්මාණ අවිය ද අත දරමින් ඔහුගේ අවසන් කැමැත්ත ලෙස ඉතිරි කොට තබා යන්නේ ප්‍රගතිශීලී ජනතාවාදී නිර්මාණ මෙහෙවරෙහි අරගලය හා උත්සාහයයි. ඒ සඳහා වූ කැපවීමයි. මෙම විශිෂ්ට නිර්මාණකරුවා තම නිර්මාණ ගුණයට උරුමකම් කියන්නට, අයිතිවාසිකම් කියන්නට ඉදිරිපත් වන සැබෑ සත්‍යවාදී ප්‍රගතිශීලී කලාකරුවන්ට පරිහරණය සඳහා මහා නිර්මාණ ධනස්කන්ධයක් නිදන් කොට තබා ගොස් තිබේ.


ධනුෂ්ක හර්ෂණ වික්‍රමරත්න