මේ දූෂිත දේශපාලකයන් රටම ලෙඩ කරලා ඉවරයි (විශේෂඥ ශල්‍ය වෛද්‍ය රනිල් ජයසේන)

ලුsdgsae4
පුංචි ඡන්දයේ දී අතරමං නොවීමේ තීරණය ගැනීම
February 6, 2018
Giribawa sabhawa
දිළිඳු බව පරදා දිනිය යුතු ගිරිබාව
February 6, 2018
Show all

මේ දූෂිත දේශපාලකයන් රටම ලෙඩ කරලා ඉවරයි (විශේෂඥ ශල්‍ය වෛද්‍ය රනිල් ජයසේන)

ranila jayasena

ඔහු රෝගීන් දහස් ගණනක් සුවපත් කළ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක්. එපමණක් නොවෙයි ඔහු ගීත රචකයෙක්, ගායකයෙක් මෙන්ම රංගන ශිල්පියෙක්. ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ ජනතාව සමඟ සමීප වී ඔවුන්ගේ හද ගැස්ම පිළිබඳව පළල් අවබෝධයක් ඇති අයකු නිසාම හේ සුවිශේෂී විද්වතෙකි. ඒ අතර මෙවර පළාත් පාලන මැතිවරණයේ කොළඹ මහ නගර සභාවට ජනතා විමුක්ති පෙරමුණේ නගරාධිපති අපේක්ෂකයා ලෙස තරග වදින්නේද ඔහුය. සුවිශේෂී විද්වතකු ලෙස ඔහුගේ දේශපාලන ප්‍රවේශයද සුවිශේෂී වෙයි. එබැවින් රනිල් ජයසේන නම් වූ ඔහු සමග ඒ ගැන අප කතා කළෙමු. මේ එහි සංක්ෂිප්ත සටහනකි.

අපේ රටේ දේශපාලන සංස්කෘතිය මේ වන විට දූෂණය වී ඇති බවට සමාජය තුළ පවතින චෝදනාව ඔබ විග්‍රහ කරන්නේ කෙසේද?

ඔව්, ඇත්තටම කියනව නම් අපි වෛද්‍යවරු හැටියට ඒ ගැන ගොඩක් දැනුම්වත්. අපි වෛද්‍යවරු හැටියට මිනිස්සුත් එක්කම තමයි ජීවත් වෙන්නේ. නාඩි අල්ලලා හදගැස්මට සවන් දීලා ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්න සාකච්ජා කරන කොට මිනිස්සුන්ගේ මානසික ආතතිය තේරුම් ගන්න පුළුවන්. ගොඩක් මිනිස්සුන්ගේ මානසික ආතතියට දේශපාලන හේතු බලපාල තියෙනවා. බොහෝ වෙලාවට මිනිස්සු කාලයක් තිස්සේ එය රහසක් හැටියට තියාගෙන හිටියත් අපි ඉදිරියෙ ඔවුන්ගේ ඇත්ත ප්‍රශ්නය කියන්න වෙනවා. එහෙම නැතිව අපිට ප්‍රතිකාර කරන්න අමාරුයි. ඒ වගේ පසුබිම් වෙච්ච භයානක කතා තියෙනවා. ඒව ඇතුළේ මිනී මැරුම් තියෙනවා. රට හැරදාල ගිය සිද්ධි තියෙනවා. මානසික වශයෙන් පීඩනයට පත්වෙච්ච හේතු තියෙනවා. මේ රටේ දේශපාලනඥයන් ඒ වගේ තැනකට අපේ රට ගෙනැල්ල තියෙනවා. මම ගැස්රයිටීස් වලට ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙක්. අපි ලෙඩ්ඩුන්ට කියනව තුන් වෙලටම කෑම කන්න කියලා. එහෙම වෙලාවට ලෙඩ්ඩු කියනවා ඩොක්ටර් අපි සමහර වෙලාවට කෑම වේල් දෙකයි ගන්නේ එහෙමත් නැති දවස් තියෙනව කියලා. ඒ වගේම අපි කියනවා දවසකට අඩුම වශයෙන් වතුර ලීටර් දෙක හමාරක් තුනක් බොන්න කියලා. එහෙම අවස්ථාවල සමහර පළාත්වල ලෙඩුන් කියල තියෙනවා ඩොක්ටර් අපි පවුලේ හය දෙනාම එක වතුර ලීටරය ඛෙදාගෙන බොනව කියලා. ඒ නිසා සමරවිට අපි ලෙඩ්ඩුන්ට දෙන උපදෙස් වැදිබණ වගේ. තේරුමක් නැහැ. ඒ මිනිස්සුන්ට ඒ උපදෙස් පිළිපදින්න බැහැ. මිනිස්සුන්ට වතුර නෑ. කන්න නෑ. සෞඛ්‍ය ප්‍රශ්න ගොඩක් ජනතාවට බලපාලා තියෙනවා. උස් පහත් භේදයක් නැතිව ජනතාව මේවයින් බැට කනවා. මේ රටේ සමහර විනිශ්චයකාරවරුන් රටහැර දාලා ගිහින් තියෙනවා. එක අවස්ථාවක මගෙන් ප්‍රතිකාර ගන්න විනිශ්චකාරවරයෙක් ආවා බඩේ තුවාල හැදිලා. ඔහු මේ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ ආතතිය නිසා. ඇතැම් අපරාධකාරයන් නිදහස් කරන්න කියලා ඔහුට දේශපාලන බලපෑම් වෙලා තියෙනවා. ඔහු මේවා දරාගෙන ඉදලා තියෙනවා. අවසානයේ ඔහු බැරිම තැන රටදාලා ගියා. විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා දේශපාලනඥයන්ගේ බලපෑම නිසා රටදාලා ගියා.
ඒ කාලේ හිටියා සෞඛ්‍ය අමාත්‍යවරයෙක් බලහත්කාරයෙන් මැෂින් ගෙනත් දැම්මා කොමිස් එක ගන්න. එහෙම මැෂින් අවශ්‍ය නෑ කියලා මගේ හිතවත් වෛද්‍යවරයෙක් ඇමතිවරයාට කිව්වම ඔහුට තර්ජන ආවා. අවසානයේ ඔහු රට දාලා ගියා. පූජ්‍ය පක්ෂයට පවා මේ වගේ දේශපාලන බලපෑම් ඇවිත් තියෙනවා. මාරවිල පැත්තෙ එක්තරා ෆාදර් කෙනෙක් මගේන් ප්‍රතිකාර ගන්න ආවා. ඔහුගේ බඩේ බරපතළ ලෙස තුවාල හැදිලා. ඔහුගේ බඩේ තුවාල හැදෙන්න හේතුව දැඩි මානසික ආතතිය. මම ඒ පිළිබදව සොයා බැලුවා. 2015 ට පෙර මහින්ද රාජපක්ෂ මහත්මයගේ කාලේ ෆාදර්ගේ සෙමනරියක් දාන්න හිතාගෙන හිටපු ඉඩමක් බුල්ඩෝස් කරලා තියෙනවා බලහත්කාරයෙන්. ඒ ගැන කතා කළාම ඒක වින් විල් එකක් දාන්න කිව්වම ෆාදර් කැමැත්ත පළ කරලා තියෙනවා ජනතාවට සේවයක් වෙනවනෙ කියලා. නමුත් දාලා තියෙන්නේ හොටෙල් එකක්. ඒ ගැන කතා කරන්න ගියාම ඔහුට තර්ජන ඇවිත් තියෙනවා. තර්ජනවලට බිය වූ නිසා තමයි මේ රෝගී තත්ත්වය ඇතිවෙලා තිබුණේ. මේ වගේ පුදුම දේවල් අපේ රටේ සිද්ධ වුණා. මට විතරක් නෙමෙයි බොහෝ වෛද්‍යවරුන්ට මේ අත්දැකීම තියෙනවා. මට විතරක් නෙමෙයි බොහෝ වෛද්‍යවරුන්ට මේ අත්දැකීම තියෙනවා. මේ දේශපාලනය නිසා මිනිස්සු විවිධ ලෙඩ්ඩු බවට පත් වුණා. මම තව උදාහරණයක් කියන්නම්. මම එක්තරා තරුණ ළමයෙකුට ශෛල්‍යකර්මයකට දින දීලා තිබුණත් ඒ තරුණ ළමයා අදාළ දිනයේ ආවේ නැහැ. පස්සෙ දිනක මේ ළමයා ආවහම මම මේ ගැන විමසා සිටියා. ඔහු මා සමඟ කීවේ බෝට්ටුවෙන් පිටරට යන්න ගිහින් හසු වුණා කියලා. මම ඒ දරුවගෙන් ඇහැව්වා ඇයි මේ වගේ නීති විරෝධී වැඩ කරන්නේ කියලා. ඒ ළමය කියනවා. මම නීති විරෝධීව නෙමෙයි සර් ගියේ කියලා. අපි මෙහෙම යැව්වෙ නිල් බළකායෙන්. අපිට මාස තුනක පුහුණුවකුත් දුන්න හැඳි ගෑරුප්පුවලින් කන විදිහ ඉගැන්නුවා. ඉංග්‍රීසි පිළිබඳ යම් පුහුණුවක් දුන්නා. මෙයාලා බෝට්ටුවෙන් රට යවලා අන්තිමට ඒ අයම මේ ගැන නාවික හමුදාවට ඔත්තු දීලා තියෙනවා. අවසානයේ ඒ ළමයි නීතියට අහුවෙනවා. ඒ විතරක් නෙමෙයි හසු වුණාට පස්සෙ පනස් දහස බැගින් දඩත් ගහලා තියෙනවා. ඒ දරුවගේ තාත්තා ගෙවල් දොරවල් උගස් කරල ලක්ෂ තුනගාණේ දීලා තියෙනවා. පස්සේ දරුවා බේරගන්න බිරිඳගේ කනකර පවා උගස් කරලා. අන්තිමට පුතාට විතරක් නෙමෙයි තාත්ත්ටත් ගැස්රයිටීස් හැදිලා. ඇත්තටම ඒක අහල මටත් ඒ තත්ත්වය ඇති වුණා. මෙහෙම දේශපාලන සංස්කෘතියක් තමයි අපේ රටේ තියෙන්නේ. මේ පාලනය වෙනස් කරන්න අපි දේශපාලනය කළා. මෛත්‍රීපාල මහත්තයා ජනාධිපති වුණා. එයා එක්සත් ජාතික පක්ෂය සමග එකතු වෙලා ආණ්ඩුව පිහිටවූවා. ජනාධිපතිවරයාම දූෂිතයන් යැයි හදුන්වා දුන් අය විශේෂයෙන්ම කලින් හිටිය සෞඛ්‍ය ඇමතිවරයා පවා තමන්ගේ කැබිනට්ටුවට දාගත්තා. මම කලින් හිටියා සෞඛ්‍ය ඇමතිවරයා දූෂිත බව දන්නවා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් අපේ කතාව පිළිගත්තා. අපි ඔහුට විරුද්ධව පැමිණිලි පවා කරලා තියෙනවා. නමුත් ඒවට සාධාරණය ඉෂ්ට වුණේ නැහැ. අඩුම වශයෙන් මෛත්‍රීපාල ජනාධිපතිවරයා ළඟට ආවට පස්සෙ හැදෙයි කියලා හිතුවත් එහෙම වෙලත් නැහැ. එහෙම හැදිලා නැති බවට සාක්ෂි අපි ළඟ තියෙනවා. මේ වගේ තත්ත්වයන් තවදුරටත් කතා කරලා වැඩක් නැති නිසා අලුත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීම වෙනුවෙන් අපි මැදිහත් වෙන්න තීරණය කළා.

මේ දේශපාලන ක්‍රමයේ වෙනසක් විය යුතුයැයි වන සමාජ කතිකාව පිළිබඳව යමක් කතා කළොත්?

ඇත්තටම මේ පාලන ක්‍රමය ඉදිරියට පවත්වාගෙන යන්න මෛත්‍රීපාල සිරිසේන මහත්තය වත් රනිල් වික්‍රමසිංහ මහත්තයවත් ජී. එල්. පීරිස් මහත්තයගේ පක්ෂයවත් අවශ්‍ය නැහැ. මේක ඕන කෙනෙකුට කරන්න පුළුවන්. චීනෙන් ගිනි පොලියට ණය දෙනවා නම් ඕක අරගෙන පාරක් හදලා ලොකුවට විවෘත කරලා අපි සංවර්ධනය කළා කියලා කියන්න මහලොකු වැඩක්ද? මේ ණය ගන්නේ ඒ අය පෞද්ගලිකව නෙමෙයි. මේ ණය ගෙවන්න ඕන අපි. අපේ ළමයි ගෙවන්නේ. මේ රටේ පොදු මහජනතාව ගෙවන්නේ. අනාගත පරම්පරාව තමයි මේවා ගෙවන්නේ. ණයත් අරගෙන පාලනය ගෙනයන්න බැරි වුණාම රටේ සම්පත් විකුණනවා. ඔය වගේ රටවල් කරන්න නායකයන් අවශ්‍ය නැහැ. ජනතා විමුක්ති පෙරමුණ බලයට ආවම අපි රටට නියම නායකත්වයක් දෙනවා. රටේ තියෙන සම්පත් අපි වඩාත් හොඳින් ප්‍රයෝජනයට ගන්නවා. අපේ මුදල් පිටරටට ඇදිලා යන එක වළක්වනවා. අත්‍යවශ්‍ය දේ පමණයි අපි පිට රටින් ගේන්නේ. අපි නිෂ්පාදිත ආර්ථීකයකට රට යොමු කරනවා. අපේ රටේ වැඩිපුරම මුදල් පිටරට යන්නේ ඉන්ධන වලට. පළමු කාරණය තමයි ඉන්ධන ටික නාස්ති කරන්නෙ නැතිව කොහොමද පාවිච්චි කරන්නේ කියලා සොයල බලන එක. දැන් බලන්න පාරෙ කොච්චර ඉන්ධන පිච්චෙනවද කියලා. අවේලාවේ විශාල කන්ටේනර් රථ පාරෙ ගමන් කරනවා. එවිට පාරවල් රථවාහනවලින් පිරී යනවා. දැන් මෙගා පොලිස් ඇමති ඇවිල්ලා නාහෙන් අඩනවා බිලියන ගාණක් වාහන තදබදය නිසා පාඩුයි කියලා. නමුත් එහෙම වෙන්නෙ ඇයි කියලා සොයල ඒවට පිළියම් යොදන්නේ නැහැ. මෙයාලා රට පාලනය කරන්නෙ හොර වෙද්දු තුවාලවලට බෙහෙත් දානවා වගේ. අපි ජනතා විමුක්ති පෙරමුණ හැටියට මේ තත්ත්වය වෙනස් කරන්න මැදිහත් වෙනවා. හරි සැලසුමකට අනුව වැඩ කරනවා නම් මේ තත්ත්වය වෙනස් කළ හැකියි. කොළඹ මහ නගර සභාව කියන්නේ දූෂණය වංචාව පිරිච්ච තැනක්. බදු මුදල් හැටියට මිලියන පහළොස් දහස් අටසීයයක ප්‍රමාණයක් සාමාන්‍යයෙන් ලැඛෙනවා. මේ මුදල්වලින් කොළඹ මහ නගර සභාව දියුණු කරන එක අමාරු කාරණයක් නෙමෙයි. ඒකට පළමුවෙන්ම කළ යුත්තේ වංචාව සහ දූෂණය නතර කිරීමයි. හිටපු නගරාධිපතිවරයා තමන්ගේ අනුගාමිකයන්ට ටෙන්ඩර් ලබාදීලා නගර සභාවට අහිමි කරන ලද මුදල් ප්‍රමාණය අතිවිශාලයි. ඉතින් සමාජය මේ දේශපාලන ක්‍රමය වෙනස් විය යුතුයි කියන එක සාධාරණයි. මේ කොළඹ ලෙඩ නගරය සුවපත් කළ යුතුයි. ඒ සඳහායි ජනතා විමුක්ති පෙරමුණේ අපි මැදිහත් වෙන්නේ. අපි ඒ වෙනුවෙන් කැප වෙනවා. ජනතාව ඉල්ලා සිටින වෙනස වෙනුවෙන් අපි පෙනී සිටිනවා. එජාපයෙන් ආවත්, ශ්‍රීලනිපයෙන් ආවත්, පොහොට්ටුවෙන් හොඳම කෙනා ආවත් වටේ ඉන්නේ දූෂිතයන් නම් ඔහුට මේ දූෂිත වළල්ලෙන් ගැළවෙන්න බැහැ. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ මමත් මම වටේ ඉන්න පිරිසේ කිසිවෙකුවත් දූෂිතයන් නෙමෙයි. ඒ නිසා මේ දූෂිත වළල්ල අපිට බිඳින්න පුළුවන්.

උගතුන්, බුද්ධිමතුන්, වියතුන් මේ දේශපාලන ප්‍රවාහයෙන් විතැන්වීම පිළිබඳව ඔබේ විග්‍රහය කුමක්ද?

මේ වගේ දූෂිත තැන්වලට මැදිහත් වෙන්න කවුරුවත් කැමති නැහැ. ඒ නිසා මේ දේශපාලනය පිළිබඳව ජනතාව කළකිරිලයි ඉන්නේ. මඩ ගොඩට වැටුණොත් මඩ ගාගන්නම වෙනවා. නමුත්, ජනතා විමුක්ති පෙරමුණ වටා මේ වන විට ගොඩක් කලාකරුවන්, විද්වතුන්, බුද්ධිමතුන්, උගතුන් එකතුවෙමින් සිටිනවා. මමත් එහෙමයි. අපි තෝරගන්න ඕන දූෂණය, වංචාව නැති මඩ නොගෑවුණු පැත්තකුයි. ඒකට පැති කිහිපයක් නැහැ. තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ විතරයි. බොරුවට නිදාගෙන ඉන්න ජනතාව ඇහැඇරවන්න අමාරුයි තමයි. හැබැයි ඒ ජනතාවට කියනදේ ඇහෙනවා. දැන් ඒ ජනතාව කියන දේ ඇහිල අලුත් දේශපාලන ගමනකට සූදානම් වෙමින් ඉන්නවා. ඉන්දියාවට සාපේක්ෂව සාක්ෂරතාව අතින් අපි ඉහළින් හිටියට දේශපාලන බුද්ධිය අතින් අපි ඉන්නේ අඩු මට්ටමක. මේ දූෂිත පක්ෂවලට රටට මෙතරම් නපුරක් කරන්න හැකිවෙලා තියෙන්නේ ජනතාවගේ මේ දේශපාලන බුද්ධියේ අඩුකම නිසයි. දැන් ජනතාවගේ බුද්ධියේ වර්ධනයක් ඇතිවෙලා තිබෙනවා. අපිට ඒ පිළිබඳව ආඩම්බරයකුත් තිබෙනවා. ඒ නිසා ඉදිරියේ දී උගතුන්, බුද්ධිමතුන්, වියතුන් දේශපාලනයට සෘජුව මැදිහත් වෙයි කියලා අපි විශ්වාස කරනවා.

මේ තත්ත්වය වෙනස් කිරීමට මුල පිරිය යුත්තේ කෙසේද?

මේ මුල පිරීම සඳහා තමයි මම මේ මැතිවරණ ක්‍රියාවලියට එළියට පැමිණියේ. මට වගේම මේ ප්‍රශ්නය මගේ සහෝදර වෛද්‍යවරුන්ටත් තියෙනවා. මගේ තත්ත්වය වෙනස් වෙන්නේ මම කුඩා කාලයේ සිටම අයුක්තියට, අසාධාරණයට විරුද්ධව කටයුතු කළ කෙනෙක්. මගේ හෘදය සාක්ෂිය අනුව මම පාසල් කාලයේ සිටම සාධාරණය වෙනුවෙන් වැඩ කළ කෙනෙක්. ඒ නිසාම යම් ප්‍රශ්නවලටත් මම මැදිවෙලා තියෙනවා. හිටපු සෞඛ්‍ය ඇමතිවරයෙක් වැරදි කරද්දි ඊට විරුද්ධව පැමිණිලි ඉදිරිපත් කරන්න මැදිහත් වුණෙත් ඒ නිසයි. කොතනින් හරි මේ තත්ත්වය වෙනස් කළ යුතුයි. කවුරුත් මේ දූෂිත තත්ත්වයන් දැනගෙන නිශ්ශබ්දව ඉන්නවා. නමුත් ඒ නිශ්ශබ්දතාවය බිඳින්න නම් කවුරු හරි පෙරමුණ ගත යුතුයි. මම මුල පුරන්නේ ඒ සමාජ වගකීම ඉටු කරන්නයි. මම මීට පෙර පෑනෙන් මේ වෙනස කරන්න උත්සාහ කළා. මත්තල ගුවන් තොටුපොළට මුල්ගල තියන්න සතියකට කලින් සුදු අලියෙක් විය හැකි බවත්, එය අසාර්ථක ව්‍යාපෘතියක් විය හැකි බවත් සඳහන් කරමින් ‘ලංකාදීප’ පුවත්පත තුළින් ලිපියක් පළ කළා. අන්තිමට මගේ පවුලට තර්ජන පැමිණියා. මිරිහාන පොලිසියේ නිලධාරීන් දෙදෙනෙක් පැමිණියා. පැමිණි එක් අයෙක් මගෙන් ප්‍රතිකාර ලබාගත් කෙනෙක්. මම එදා ලිපියෙන් කියූ සියලු දේ අද සත්‍යයක් බවට පත්වෙලා තියෙනවා. වෛද්‍යවරු හැටියට දුර දැකීමේ නුවණක් අපිට තියෙනවා. ඒ නුවණ මතයි අපි වැඩ කරන්නේ. ඒකයි මේ තත්ත්වය වෙනස් කරන්න අපි මැදිහත් වෙන්නේ.

ඔබ මෙවර ජනතා විමුක්ති පෙරමුණෙන් කොළඹ මහ නගර සභා නගරාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙනවා ඒ ගැන යමක් කතා කළොත්?

මෙවර කොළඹ මහ නගර සභාවට තරග කරන පක්ෂ අතරින් හොඳම සහ අවංකම දේශපාලන පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ. දූෂණයට විරුද්ධ ජනතාවගේ පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ. ඒ නිසා නගරාධිපති අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වන අයගෙන් සුදුසුම පුද්ගලයා මමයි. අපේ තේමාවත් දූෂණයට එරෙහි ජවය. ඒ ජවය වෙනුවෙන් සුදුසුම හොඳම කණ්ඩායමක් අපි ඉදිරිපත් කර තිබෙනවා. කොළඹ මහ නගර සභාවේ ඇති සියලුම ප්‍රශ්නවලට සැබෑ පිළිතුරු ලබාදිය හැකි හොඳම කණ්ඩායම අපියි. උගතුන්, වියතුන්, බුද්ධිමතුන්, සහිත නිර්මාණශීලී ප්‍රගතිශීලී කණ්ඩායමක් අපි ජනතා විමුක්ති පෙරමුණ වශයෙන් ඉදිරිපත්ව තිබෙනවා. ඒ කණ්ඩායම ගැන ජනතාවට දෙගිඩියාවකින් තොරව ඡන්දය ලබාදිය හැකියි කියලා මම විශ්වාස කරනවා.

රටේ පක්ෂ ගොඩක් අතරින් ඔබ මැතිවරණයට තරග කරන්න ජනතා විමුක්ති පෙරමුණ තෝරාගන්න විශේෂ හේතුවක් තියෙනවාද?

ඇත්ත වශයෙන්ම ඔව්, මේ රටේ තියෙන සියලුම දේශපාලන පක්ෂ දූෂිතයි. ඇත්තටම මට මීට පෙර විවිධ පක්ෂවලින් මැතිවරණවලට තරග කරන්න ආරාධනා ලැබිලා තියෙනවා. මම ඒව ඉතාම සංයමයෙන් ප්‍රතික්ෂේප කළා. ජනතා විමුක්ති පෙරමුණෙන් මට මෙවර තරග කරන්න ආරාධනා කරාම මම ඉතාම කැමැත්තෙන් ඒ ඉල්ලීම පිළිගත්තා. මම වගේ කෙනෙකුට ලැජ්ජාවක් නැතිව හිරිකිතයක් නැතිව ජනතාවට යම් දෙයක් කියන්න පුළුවන් පක්ෂය ජනතා විමුක්ති පෙරමුණයි. දූෂිත පක්ෂයකින් ඡන්දය ඉල්ලුවොත් ජනතාව අතර විහිළුකාරයෙක් බවට මම පත් වෙනවා.

ඔබ අලුත් දේශපාලන ආදර්ශයක් රටට දෙනවා. ඒ හරහා ඔබ මේ සමාජයට දෙන පණිවිඩය කුමක්ද?

ජනතාවට අසාධාරණයක් වෙනව නම් එය වැළැක්විය හැකිව තිබෙනවා නම් අඩුම තරමින් උත්සාහයක් හරි කළ හැකිනම් අපි තරාතිරම නොබලා එයට මැදිහත් විය යුතුයි. ජනතාව දේශපාලන ප්‍රශ්න නිසා ලෙඩ කරනවා නම් ජනතාවට බෙහෙත් කරලා වැඩක් නැහැ. ඒකෙ ප්‍රතිඵලයක් නැහැ. හරියට හිල්වෙච්ච පණිට්ටුවකට වතුර දානවා වගේ වැඩක්. නැත්නම් ගඟට ඉනි කපනවා වගේ. අපි වෘත්තීමය සේවයක් කරනවා නම් ඒ සේවයට බාධාවන් වන දේවල් වළක්වා ගත යුතුයි. ඒ නිසා මම කල්පනා කරන විදිහට මේ දේශපාලනඥයන් රටම ලෙඩ කරලා ඉවරයි. අපි ඒ නිසා කල්පනා කළා ලෙඩ වෙච්ච රට සුවපත් කරන්න ඒ සඳහා විද්වතුන්, කලාකරුවන්, බුද්ධිමතුන් ප්‍රමුඛ සියලු බලවේග පෙරමුණ ගත යුතුයි. මොකද අපට අනාගතයට රටක් ඉතිරි වෙන්නේ නැහැ. ඒ නිසා අර්බුදයෙන් රට ගළවා ගත යුතුයි. එබැවින් මෙවර පළාත් පාලන මැතිවරණයේදී රටට ආදරය කරන රටේ දරුවන්ගේ අනාගතයට ආදරය කරන සියලු දෙනාගේම තෝරාගැනීම විය යුත්තේ ජනතා විමුක්ති පෙරමුණ බව කියන්න කැමතියි.


එස්. කේ. ගමගේ