මෛත්‍රීගේ කඩු වැනිල්ල බෙලි කැපීම හා නොකැපීම

nalinda
ජනතාවට තොරතුරු දෙන්න ජනපතිට වගකීමක් තියෙනවා (ජවිපෙ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස)
February 6, 2018
170px-Topography_Sri_Lanka (1)
යහපත් රටක් !
February 6, 2018
Show all

මෛත්‍රීගේ කඩු වැනිල්ල බෙලි කැපීම හා නොකැපීම

‘පිරිසිදු දේශපාලනඥයන් පමණක් සිටීමේ අරමුණ කරා යන ගමනේදී මගේ කඩුවෙන් කවුරු කැපෙයිද කියා මා දන්නේ නැහැ’ යනුවෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය නිසා ආණ්ඩුව බලයට පත් කළ ඇතැම් පාර්ශ්වයන් ප්‍රමෝදයට පත්ව ඇති බව පෙනෙන්නට තිබේ. ඒ අතර එජාප පාර්ශ්වය ඇෙඟ් හිරිගඩු පිපී වික්ෂිප්ත වී සිටින බවක්ද පෙනේ. කෝටුද, වේවැල්ද, මඩුවල්ගද අතට ගන්නා බව කී මෛත්‍රී ඒ එකක්වත් අතට ගත්තේ නැත. මෛත්‍රී බලයට පත් වී වසර තුනක් ගත වී ඇත. දැන් ඔහු කියන්නේ කඩුව අතට ගෙන වනන බවයි.
පසුගිය රාජපක්ෂ පාලනයට එරෙහි ජන පෙළගැස්මේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ මාදුලුවාවේ සෝභිත හිමියන්, සිවිල් සංවිධාන ඇතුළු දේශපාලන ක්‍රියාධරයන්ගේ ප්‍රධානතම සටන් පාඨයක් වූයේ දූෂණය හා අපරාධවලට එරෙහි වීමයි. විධායක ජනාධිපතිධුරයට එරෙහි මතය ගොඩනැගුනේද ‘දූෂණයේ මුල අසීමිත බලය කේන්ද්‍රගතවීම’ යන කරුණ පදනම් කර ගෙන ඇති වන්නක් නිසාය.
එහෙත් මෛත්‍රීගේ පදවි ප්‍රාප්තියත්, හවුල් ආණ්ඩුවේ රස්නය තිබියදීම සිදු වූ බැඳුම්කර මගඩිය ආණ්ඩුවේ මුළු යහපාලන කතාවම අඳුරු කර දැමුවේය. මගඩියේ පළමු පියවර සිදු වූයේ 2015 පෙබරවාරි 27 වනදාය. මාර්තු 08 ඉරිදාට නියමිත ‘ලංකා’ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයෙන් එය හෙළි කර තිබුණේ ‘අලුත් මහ බැංකු ලොක්කාගේ බෑනා දැවැන්ත මූල්‍ය ජාවාරමක’ යනුවෙනි. එම පුවත්පත වෙළඳපොළට නිකුත් වූයේ මාර්තු 06 වනදාය. ඉන්පසුව තවත් මාධ්‍යවලත්, දේශපාලන ක්ෂේත්‍රයේත් මෙය මහත් ආන්දෝලනයක් ඇති කළේය. නමුත් මෛත්‍රී ජනපති ඒ ගැන ප්‍රතිචාර දැක්වූයේ නැත. ඒ වෙනුවෙට එජාප නායකයන්ද හා එක්ව එය යට ගැසීමට හවුල් වනු නම් පෙනෙන්නට විය. එවකට පැවති කෝප් කමිටුව මේ ගැන සැකසූ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තිබියදී පාර්ලිමේන්තුව විසුරුවා හැරුණේ අහම්බයකින් විය නොහැකිය. සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාගේ මූලිකත්වයෙන් ඇරඹි කෝප් කමිටුවද පරීක්ෂණ කළේ එජාප පාර්ශ්වයේ දැඩි බාධා කිරීම් මධ්‍යයේය.
කෝප් වාර්තාවෙන් සියල්ල එළි කර තිබියදී තවත් පරීක්ෂණ කිරීමට ජනාධිපති කොමිසමක් පත් කෙරුණි. ඒ එවැන්නක් නොකර බැරි තත්ත්වයට පත් වූ පසුවය. ජනාධිපති මෛත්‍රී දැන් කඩුව වනන බව කියන්නේ එම කොමිෂන් වාර්තාව තමා අතට පත් වූ පසුවය. සැබැවින්ම එම වාර්තාවට කරන්නේ කුමක්දැයි ඔහු රටට යමක් කිව යුතුය. ඒ හැරුණු කොට එහි කිසිවෙකුට බියවීමට තරම් යමක් ඇත්තේ යැයි සිතිය නොහැකිය.
බොහෝ අය කතා බහ කරනුයේ මෙම කඩු වැනිල්ලෙන් රනිල්ගේ බෙල්ල කැපෙන බවය. එහෙත් තවමත් මෛත්‍රීගේ බලය රැඳී ඇත්තේ රනිල් මතය. ඒ නිසා එවැන්නක් සිදු වීමට කිසිදු ඉඩක් නැත. අනෙක් අතට රාජපක්ෂ ආණ්ඩුවේ දූෂිතයන්ට දඩුවම් දෙන බව කියා බලයට පත්ව ඒ පරීක්ෂණ හමස් පෙට්ටි වලට දමා තිබේ. එහිම සිටි තවත් දූෂිතයන් බොහෝ දෙනෙක් ආණ්ඩුවට එක්කරගෙන ඇමතිකම් පුදා තමා වටේ තබාගෙන සිටී. ඒ නිසා මෛත්‍රී, රාජපක්ෂ ආණ්ඩුවේ දූෂිතයන්ටවත්, වත්මන් හවුල් ආණ්ඩුවේ දූෂිතයන්ටවත් කඩුව එල්ල කරන්නේ නැති බව පැහැදිලිය.
ඒ නිසාම සියලු දූෂිතයන් දූෂණ විරෝධී සේ කෑ කෝ ගසන්නටද පටන් ගෙන තිබේ. පාඨකයාගේ ප්‍රයෝජනය පිණිස එසේ රඟපාන මෛත්‍රී වටේ සිටින මැති ඇමතිවරු කිහිපදෙනෙකුගේ ක්‍රියාකාරකම්වලට අදාළව ඉදිරිපත්ව තිබෙන පැමිණිලි කිහිපයක් ඉදිරිපත් කිරීම වැදගත්ය.

ආරුමුගම් තොණ්ඩමන්

මහින්ද රාජපක්ෂ රජයේ පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන පිළිබඳ අමාත්‍යධුරය දැරූ තොණ්ඩමන් 2011 – 2015 කාලය තුළ සිදු කරන ලද වාහන සහ ඉන්ධන අවභාවිතය පිළිබඳව දූෂණ විරෝධී හඩ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කරනුයේ 2016 වර්ෂයේදීය. අමාත්‍යවරයාට හිමි මාසික ඉන්ධන දීමනාව ඉක්මවා රුපියල් ලක්ෂ 76 ක ඉන්ධන අවභාවිතා කරනුයේ අමාත්‍යාංශය යටතේ පැවති පශු සම්පත් මණ්ඩලයේ පැවති අරමුදල් වලිනි. අංක FC 10/109/2016 යන අංකය යටතේ විමර්ශනය ආරම්භ කළ මෙම වංචාවට අදාළ වාහන අංක වූයේ, GB 8494, KO 0026, KX 8136, KX 8135, KA 7702, KM 1954, KN 4998, PA 9991 යන වාහන වේ. මහින්ද රාජපක්ෂ පාලනයෙන් පසු මෛත්‍රී පාලනයට සහය සඳහා ඉදිරිපත්ව ඇති තොණ්ඩමන් හිටපු ඇමතිවරයාට මෛත්‍රීපාල සිරිසේනගේ කඩු පහර එල්ල නොවන බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ විමර්ශන ඇණ හිටීමෙන් පැහැදිලි වේ.

පී. හැරිසන්

තොණ්ඩමන් ඇමතිවරයාගේ අනුප්‍රාප්තිකයා වූ පී. හැරිසන් ඇමතිවරයාද එම අඩි පාරේ යමින් පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සහ මිල්කෝ ආයතනයේ අරමුදලින් ඉන්ධන ලබා ගනිමින් රජයේ මුදල් අවභාවිතාවේ යෙදවූයේ ආණ්ඩු දෙකේ ප්‍රතිපත්ති එක සමාන බව ඔප්පු කිරීමට මෙනි. සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා මේ පිළිබඳ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කිරීමෙන් පසු කලබල වූ ඇමතිවරයා 2017/06/04 දින පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට රුපියල් 13,42,467.59 ගෙවා දමනුයේ හොරකම හසු වූ පසු මුදල් ආපසු ගෙවීමෙන් සමාව ලැබේ යැයි බලාපොරොත්තුවෙන් වන අතර, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ නොකිරීමෙන් සහය වනුයේ ඔහුටද මෛත්‍රීගේ කඩුව එල්ල නොවන බවයි.

ඩිලාන් පෙරේරා

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 2012 – 2014 කාලය තුළ සිදු වූ මූල්‍ය අක්‍රමිකතාවයන් පිළිබඳව විගණකාධිපතිවරයා විසින් සිදු කළ විශේෂ විමර්ශන වාර්තාව අංක IS/INV/AC/GDR/2015/0100 අංකය යටතේ 2015 ජූනි මස 16 දින ඉදිරිපත් වන අතර, එහිදී හෙළිදරවු කර ඇති විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අරමුදල් මිලියන ගණනාවක් අවභාවිතා කිරීමට ඩිලාන් පෙරේරා ඇමතිවරයා සෘජුවම සම්බන්ධ වී තිබේ. එයින් එක් ගනුදෙනුවක් වනුයේ හිටපු ජනාධිපතිවරයාගේ භාර්යාව වූ ශිරන්ති රාජපක්ෂ විසින් ගෙන ගිය ‘සිරිලිය සවිය’ නමැති ආයතනයේ ගිණුමට බැර කිරීම සඳහා ‘ඩිලාන් පෙරේරා පදනම’ නම් වූ අංක 010100120012392 දරන ගිණුමට කාර්යාංශයෙන් වෙන් කර ගත් මුදල් බැරකර, මුදල් අක්‍රමිකතාවක් සිදු කිරීමයි. මීට අමතරව දේශපාලන කටයුතු සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මුදල් විවිධ ව්‍යාජ වැඩසටහන් නමින් වියදම් කිරීම සිදු කර ඇති අතර, රටවිරු පවුල්වල සහභාගීත්වයෙන් පින්කම් පැවැත්වීම, කූඨ ලේඛන පිළියෙල කොට මුදල් ලබා ගැනීම, 2014 බදුල්ල හාලි ඇළ නායයාමෙන් අවතැන් වූ ජනතාවට සහන සලසන මුවාවෙන් රුපියල් ලක්ෂ 40 කට වැඩි ප්‍රමාණයක් දේශපාලන කටයුතු සඳහා භාණ්ඩ බෙදීමට යොදාගැනීමද සිදු වී ඇති අනෙකුත් අක්‍රමිකතා අතර වේ. මෙම පැමිණිල්ලද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස තුළ සිරව ඇති අතර, මෛත්‍රීගේ කඩුව ඔහුටද එල්ල නොවන බව පෙනේ.

අනුර ප්‍රියදර්ශන යාපා

2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය ඉලක්ක කර ගනිමින් රජයේ මුදල් යොදා ගනිමින් භාණ්ඩ බෙදීම සම්බන්ධව වන පැමිණිල්ල මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි ලැබීමෙන් අනතුරුව පරීක්ෂණ ආරම්භ කර තිබිණි. මෙහි ඇමතිවරයාට එරෙහි චෝදනාව වූයේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගංවතුර සහනාධාර ලෙස දීමට තිබූ බඩු ඔහුගේ පෞද්ගලික නිවසකට යැවීමයි. එසේ කර ඒවා මැතිවරණයේදී බෙදීමට කටයුතු කිරීමයි. එහෙත් මෙම පරීක්ෂණ කටයුතු මුළුමනින්ම නවතා දමා තිබේ. අනුර ප්‍රියදර්ශන අමාත්‍යවරයා ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු වන අතර, ඔහුටද වදිනුයේ කඩුවේ හුළඟ පමණි.

නිමල් සිරිපාලද සිල්වා

වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස නිමල් සිරිපාලද සිල්වා ඇමතිවරයා කටයුතු කළ වකවානුවේ ගිං නිල්වලා ව්‍යාපෘතිය සඳහා china camc engineering corporation නමින් සමාගමකට 2015 ජනාධිපතිවරණයට පෙර දින රුපියල් මිලියන 3012 ක මුදලක් ගෙවීම සම්බන්ධව පැමිණිල්ලද දූෂණ විරෝධී හඩ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා විසින් සිදු කර තිබිණි. එකම පස් පිඩැල්ලක් හෝ කපා නොමැති මෙම ව්‍යාපෘතියට 2015 ජනවාරි 05 සහ 07 දිනවල මුදල් ගෙන ඇත්තේ රජයේ සියලුම ඉහළ නිලධාරීන් ජනාධිපතිවරණ මැතිවරණ රාජකාරී සඳහා පිටත්ව ගිය දිනවලදීය. මේ පිළිබඳ හිටපු ඇමතිවරයාද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවන ලද බවට වාර්තා පළ වී තිබුණි. ජනාධිපතිවරයා විසින්ද මහත් උජාරුවෙන් ප්‍රචාරය කළ මෙම සිදුවීම් පිළිබඳ පරීක්ෂණ ඇණ හිට ඇත්තේ හිටපු ඇමතිවරයාගේ සම්බන්ධය පිළිබඳව ඇති වූ අවුල හේතුකොට ගෙන බව ක්ෂේත්‍රයේ නියුතු වූවන්ගේ අදහසයි.


දුෂ්‍යන්ත ඉරුගල්බණ්ඩාර