යහපත් රටක් !

මෛත්‍රීගේ කඩු වැනිල්ල බෙලි කැපීම හා නොකැපීම
February 6, 2018
ලුsdgsae4
පුංචි ඡන්දයේ දී අතරමං නොවීමේ තීරණය ගැනීම
February 6, 2018
Show all

යහපත් රටක් !

170px-Topography_Sri_Lanka (1)

රටේ නීති හදන තැන ව්‍යවස්ථාදායක සභාවයි. බොහෝ දෙනෙකුට අනුව එය උත්තරීතර ආයතනයයි. විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන කුලුණු තුන සමබර වීමෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය නිසියාකාරව ක්‍රියාත්මක වන බවද පාසල් අධ්‍යාපනය තුළ උගන්වනු ලැබේ. ඒ අනුව ගත්තත්, පාර්ලිමේන්තුවට හිමි වන්නේ ප්‍රමුඛස්ථානයකි. එවන් වැදගත් බවක් උසුලන බව කියන පාර්ලිමේන්තුවේ පසුගිය ජනවාරි 10 වැනිදා මහා කලබැගෑනියක් ඇති විය. මන්ත්‍රීවරුන්, ඇමතිවරුන් කෑ කෝ ගසාගෙන, ගුටි ඇනගෙන, මහා ගාලගෝට්ටියකි. හතර පස් දෙනෙකුටම තුවාල සිදු වී තිබේ.
උත්තරීතර යැයි කියන මේ ආයතනය එදිනට විශේෂයෙන් කැඳවා තිබුණේ, බැඳුම්කර ප්‍රශ්නය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදයක් අවශ්‍ය යැයි කියමිනි. එහෙත්, ඒ සඳහා පිටු දහසකට ආසන්න එම වාර්තාව මැති ඇමතිවරුන් වෙත ලැබිය යුතුය. වාර්තාවක් නොමැතිව කළ හැකි විවාදයක් නොමැති බව ආණ්ඩුවේ ලොකු පුටුවල සිටින්නන්ට නොතේරුණාට ළදරුවකුට වුවත් වැටහෙන්නකි. පුදුමයට කරුණ නම්, ජනවාරි 10 වැනි දින පැවැති සභා වාරයට ද එම කොමිෂන් වාර්තාව ලබා නොදීමයි. එය තව සතියක් පමණ ගත වන කටයුත්තක් බවද කතානායකවරයා විසින් ප්‍රකාශ කර තිබේ. උත්තරීතර යැයි කියන ආයතනයේ තරම අපූරුය.
ඊළඟ කරුණ ‘කවුද හොරා ?’ යන ප්‍රශ්නයි. ගාලගෝට්ටි සිදුවීමේ දී එක් පැත්තකින් ‘රනිල් හොරා, බැංකු හොරා’ යනුවෙන් කෑ ගසනු දකින්නට ලැබිණි. අනෙක් පැත්තෙන් ‘රාජපක්ෂ හොරා’ යනුවෙන් කෑ ගසනු දකින්නට ලැබිණි. උත්තරීතර යැයි කියනු ලබන ආයතනය ජනතාවට ප්‍රදර්ශනය කළේ හොරු කවුරුන්දැයි තෝරා බේරා ගැනීමට නොහැකි පැටලිල්ලක් ඇතිව තිබෙන බවයි. එම විකටරූපී රංගනය මාධ්‍ය හරහා බලන ඇතැම් කෙනෙකුට ද ඒ පැටලිල්ල ඇති කිරීම එහි අරමුණ විය හැකිය. එහෙත්, යාන්තම් හෝ සිහිබුද්ධිය ඇති පුරවැසියකුට මේ දෙකොට්ඨාසයේම අය ‘පල් හොරුන්’ බව පෙනී යා යුතුය.
බැඳුම්කර සිදුවීමම පවා සැලකුව ද, රාජපක්ෂ පාලන සමයේ සිටම මේ වංචාව දිගටම සිදු වී ඇති බව අනාවරණය වෙමින් තිබේ. 2015 සිදු වූ මහා වංචාව දැන් බඩුත් එක්කම මාට්ටු වී අවසන්ය. රාජපක්ෂවරුන් ඇතුළු එවක ආණ්ඩුවේ ලොක්කන්ගේ කෙරුවාවල්වලට අදාළ බොහෝ පරීක්ෂණ ද කෙරී තිබේ. එහෙත්, නැත්තේ නීතිය ක්‍රියාත්මක වීමය.
ජනපති මෛත්‍රී ජනවාරි 10 වැනිදා සිටියේ අනුරාධපුරයේ මැතිවරණ රැස්වීමකය. ඔහු එහි සිට ප්‍රකාශ කළේ, ‘අන්න අරහෙ හොරු දෙගොල්ලො දෙගොල්ලන්ටම හොරු කියා ගන්නවා’ කියාය. ඒ අනුව තමා ඒවාට අදාළ නොවන බව පෙන්වීමේත්, තම දෑත් පිරිසිදු බව පෙන්වීමේත් උත්සාහයක ජනාධිපතිවරයා නිරතව සිටී. එහෙත්, ඊට පෙර දින ඔහු විසින් තමන්ගේ ධුර කාලය ලෙස වසර හයම තනතුරේ සිටීමට හැකි දැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමක් කර තිබේ. ඒ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනපති ධුර කාලය වසර පහක් කර ඇති නිසාය.
මෛත්‍රී බලයට පත් වනුයේ, දිගටම තනතුරේ ඉන්නට නොවේ. ඔහු කීවේ, දින 100 ක් ඇතුළත විධායක ජනාධිපති බලතල ඉවත් කරන බවයි. තවත් ජනාධිපතිවරණයකට තමා නො ඉල්ලන බවයි. දින 100 න් වේදිකාවෙන් බැස යන බවයි. රාජපක්ෂ ආණ්ඩුවේ දූෂිතයන්ට නීතිය ක්‍රියාත්මක කරන බවයි. යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කරන බවයි. එහෙත්, අද ඒ කිසිවක් ඉටු වී නැත. ඒවා ඉටු කර නැතුවා පමණක් නොව ඒවාට සම්පූර්ණ පරස්පර දේ ද කරමින් සිටී. රාජපක්ෂ ආණ්ඩුවේ අපරාධ, දූෂණ කළ බොහෝ අය තමන්ගේ ළඟට ගෙන ඇමති වරදාන දී ආරක්ෂා කරන්නේ ජනපති මෛත්‍රීමය. රාජපක්ෂවරුන්ට හා ආණ්ඩුවේ දූෂිතයන්ට අදාළ අපරාධ පරීක්ෂණ හා නීතිය ක්‍රියාවට නැඟීම් පමා වීමට දේශපාලන බලපෑම් බලපා ඇති බව පැහැදිලිය. වත්මන් ආණ්ඩුව ද දූෂණයෙන් පිරී ගොසිනි. ඒ අතර, දින 100 න් ගෙදර යාමට පැමිණි ජනාධිපති දැන් වසර හයක් බලයේ සිටීම ගැන සොයා බලයි. විධායක ක්‍රමය අහෝසි කිරීමට විරුද්ධ වී ඇති ප්‍රධාන කණ්ඩායම ද මෛත්‍රී පාර්ශ්වයයි.
එකක් කියා වෙනත් දෙයක් කරන අය හඳුන්වන්නේ බොරුකාරයන්, රැවටිලිකාරයන් ලෙසය. කෙනෙක් තමන් කවර ආකාරයේ පුද්ගලයකු වන්නේ දැයි තීරණය කරන්නේ සිය භාවිතාව අනුවය. දැන් මෛත්‍රී තමන් කවුරුන් දැයි හෙළි කර අවසානය.
හොරු ද, දූෂිතයෝ ද, අපරාධකරුවෝ ද, රැවටිලිකාරයෝ ද දේශපාලන භූමිය අරක්ගෙන සිටිති. ඒ බව තහවුරු කර ගැනීමට තවත් සිදුවීම අවශ්‍ය නැත. සියල්ල ඉතා පැහැදිලිය. මේ භූමිය ශුද්ධ කර සත්‍යගරුක, විනයගරුක, ප්‍රතිපත්තිගරුක, ධෛර්යසම්පන්න මිනිසුන්ගෙන් පුරවන තුරු යහපත් රටක් යන්න සිහිනයක් පමණක් නොවේද?