රඹකැන්පුර ජනතාව දිනිය යුතු හෙට දවස

jeemis 2
ධර්මසේන පතිරාජගේ අවසන් කැමැත්ත
February 6, 2018
122
ධර්මසේන පතිරාජගේ අවසන් කැමැත්ත
February 6, 2018
Show all

රඹකැන්පුර ජනතාව දිනිය යුතු හෙට දවස

rambukkana prdeshiya sabawa

‘රඹකැන්පුර’ වර්තමානයේ දී රඹුක්කන වශයෙන් හඳුන්වනු ලබන නගරය සබරගමු පළාතේ, කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වූවක්. ලෝක ප්‍රකට පින්නවල අලි අනාථාගාරය නිසා රඹුක්කන නගරයට ලැබෙන්නේ සුවිශේෂී වටිනාකමක්. එමෙන්ම කොළඹ සිට කඳුකරය දක්වා දිවෙන දුම්රිය මාර්ගයෙහි පිහිටි ප්‍රධාන නැවතුම් ස්ථානයක් වන රඹුක්කන දුම්රිය ස්ථානය 1867 ඉදි කරන ලද්දකි.
සුළු අපනයන භෝග නිෂ්පාදනයේ දී සැලකිය යුතු දායකත්වයක් දරන රඹුක්කන ජනයා නිරන්තරයෙන් ගැවසෙන ජනාකීර්ණ නගරයක් වශයෙන් ද රඹුක්කන හැඳින්විය හැකිය.
මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළව රඹුක්කන ප්‍රාදේශීය සභාව සඳහා ද මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක්ම තරග වදිනු දැකිය හැකිය. මෙම ප්‍රාදේශීය සභාවේ බලප්‍රදේශය වර්ග කිලෝ මීටර 128 කි. එම වපසරිය තුළ ජීවත් වන සිංහල, දමිළ, මුස්ලිම් ජනගහනය 82,373 කි. එම සංඛ්‍යාව පවුල් වශයෙන් සැලකූ විට අවම වශයෙන් පවුල් 21,335 කට ආසන්නය.
ග්‍රාම සේවා වසම් 89 ක් පුරා පැතිර ඇති විහාරස්ථාන සංඛ්‍යාව 67 කි. මුස්ලිම් පූජ්‍යස්ථාන තුනක්, දේවාල හතරක්, හින්දු කෝවිල් තුනක් සහ කතෝලික දේවස්ථාන දහයක් ඒ අතර වෙයි. ඒ අනුව සියලුම ආගම් නියෝජනය කරන ආගමික ස්ථාන සංඛ්‍යාව 84 කි.
පින්නවල අලි අනාථාගාරය මෙන්ම වැඩිහිටි නිවාස එකක් සහ ළමා නිවාස එකක් ද මෙම ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට අයත් වෙයි. රජයේ පාසල් 45 ක් පිහිටා ඇති අතර, ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන පෞද්ගලික පෙර පාසල් සංඛ්‍යාව 59 කි. මාතෘ හා ළමා සායන මධ්‍යස්ථාන 14 කි. වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන හතරකි.
රඹුක්කන ප්‍රාදේශීය සභා බලප්‍රදේශයෙහි පවතිනුයේ, පුස්තකාල දෙකක් පමණක් වන අතර, ළමා උද්‍යාන එකකි. ප්‍රාදේශීය සභාව මගින් දීමනා ලබන පෙර පාසල් හතරක් සහ වැටුප් ලබන පෙර පාසල් දෙකක් පවතී. ඒ අනුව ඉතිරි පෙර පාසල් 39 ක සංඛ්‍යාවක් මුළුමනින්ම පෞද්ගලිකව පාලනයට කෙරේ.
පොදු සුසාන භූමි 58 ක් පවතින මෙම ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට ඇත්තේ, ආදාහනාගාර එකක් පමණි.
පසුගිය කාලය පුරාවට බලය හෙබ වූ පක්ෂ විසින් ඉහත සඳහන් කළ මූලික ස්ථානවල උපරිම ප්‍රයෝජනය ප්‍රදේශයේ ජනතාවට ලබා දීමට කටයුතු කර ඇද්ද යන්න ප්‍රදේශයේ ජනතාව විසින් ඉවසිල්ලෙන් යුතුව කරුණු සොයා බැලිය යුතුව තිබේ.
සභාව සඳහා වරිපනම් ගෙවනු ලබන දේපළ සංඛ්‍යාව 5,629 කි. වෙළෙඳ බලපත්‍ර අය කරනු ලබන ස්ථාන 1,120 කි. වෘත්තීය බදු අය කරන ස්ථාන 70 ක්, සංචාරක හෝටල් පහක් හා අක්කර බදු අය කරනු ලබන දේපළ සංඛ්‍යාව 643 කි.
ඒ අනුව රඹුක්කන ප්‍රාදේශීය සභාව විසින් 2017 වර්ෂයට අදාළව වරිපනම් හා බදු, කුලී ආදායම්, බලපත්‍ර හා සේවා ගාස්තු, වරෙන්තු හා දඩ මුදල්, වෙනත් ආදායම් ඇතුළුව උපයා ඇති මුළු මුදල රුපියල් 13,48,75,523.00 ක් ලෙස එම ප්‍රාදේශීය සභාවෙහි වාර්ෂික වාර්තාවෙහි සඳහන්ය. ඒ අනුව රඹුක්කන ප්‍රාදේශීය සභාවෙහි මාසික ආදායම රුපියල් 1,12,000,00.00 ක් ඉක්මවන අතර, ඒ අනුව දෛනික ආදායම රුපියල් 3,75,000.00 ක් පමණ වෙයි.
පළාත් පාලන ආයතනයක් යනු ජනතා අවශ්‍යතාවයන් ඉටු කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතු ආයතනයක් වුවද, මේ වන විට මෙරට පළාත් පාලන ආයතන ක්‍රියාත්මක වනුයේ, කොන්ත්‍රාත් සභාවල් ලෙස බවට වන චෝදනාවන් තහවුරු කරනු ලබන තොරතුරු මෙම රඹුක්කන ප්‍රාදේශීය සභා වාර්තාවෙන් හෙළිදරව් වේ. එමෙන්ම ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් වැය කළ යුතු මුදල් ‘මහජන සේවය පිණිසයි’ යනුවෙන් කියාගෙන පැමිණෙන ඊනියා මහජන නියෝජිතයන්ගේ සුඛවිහරණය වෙනුවන් වැය කළ ඇති ආකාරය පිළිබඳව ද එම වාර්තාව සාක්ෂි සපයයි.
උදාහරණයක් ලෙස ඉහතින් සඳහන් කළ රුපියල් දහතුන් කෝටියක් ඉක්ම වූ ආදායමෙන් රුපියල් 7,13,14,721.00 ක් මුළුමනින්ම වැය කර ඇත්තේ, පෞද්ගලික පඩි, නඩි ගෙවීම් හා දීමනා වෙනුවෙන් වන අතර, ගමන් වියදම් සඳහා රුපියල් 9,65,000.00 ක්ද, වාහන අලුත්වැඩියාව වෙනුවෙන් රුපියල් 9,00,000.00 ක්ද පසුගිය වසරේ දී වෙන් කර තිබේ.
විශ්‍රාම වැටුප්, විශ්‍රාම පාරිතෝෂික වෙනුවෙන් වියදම් කර ඇති මුදල රුපියල් 5,45,000.00 කි.
ප්‍රාග්ධන වියදම් වශයෙන් වැඩි මුදලක් වෙන් කර ඇත්තේ, ඉඩම් වැඩිදියුණු කිරීම සහ ගොඩනැගිලි වැය නම් කාර්යයක් සඳහාය. එම මුදල රුපියල් 2,22,00,000.00 කි. වාහන සඳහා රුපියල් 10,000,00 ක් වියදම් කර ඇති අතර. මාර්ග ප්‍රතිසංස්කරණයක් වෙනුවෙන් සහ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් වියදම් කර ඇති මුදල ලක්ෂ 57 කි. ඒ අනුව එක් මාතෘ හා ළදරු සායන මධ්‍යස්ථානයක් ඉදි කිරීම වෙනුවෙන් හෝ පුස්තකාලයට අවශ්‍ය පොත්පත් ලබා දීම වෙනුවෙන් හෝ කිසිදු පොදු ජන වුවමනාවක් වෙනුවෙන් සභාවෙහි මුදල් ප්‍රමාණවත්ව යොදවා ඇති බවට තොරතුරු වාර්තා වන්නේ නැත.
එයට අමතරව සභාව විසින් ගෙවන ලද ණයක් ආපසු ගෙවීම වෙනුවෙන් ද, දේශීය ණය සංවර්ධන අරමුදලට රුපියල් 4,02,16,210.00 ක මුදලක් ගෙවා තිබේ.
ඒ අනුව හෙළිදරව් වන කරුණු අනුව රඹුක්කන ප්‍රාදේශීය සභාව ද අනෙකුත් ප්‍රාදේශීය සභාවන් මෙන්ම එජාප හා ශ්‍රීලනිප කල්ලි කණ්ඩායම්වලට ජනතා මුදල් ගසාකෑමටත්, කොන්ත්‍රාත් කර ගැනීමටත් ඉඩකඩ සලසා දෙන ආයතනයක් බවට පත්ව ඇති බවය. එමෙන්ම දේශපාලනයට පාක‍ෂිකයන් පුහුණු කරන පුහුණු පාසලක් බවට පත්ව ඇති බවය.
ප්‍රාදේශීය සභාව ජනතාවට සමීප ආයතනයක් බවට පත් කිරීමේ වගකීම මෙතෙක් එම සභාව පාලනය කළ කිසිදු දේශපාලනඥයකුගෙන් ඉටු වී ඇත්තේ නැත. දියුණු දැක්මක් සහිත පුළුල් දේශපාලන වැඩපිළිවෙළක අවශ්‍යතාවය රඹුක්කන ප්‍රාදේශීය සභාව හමුවේ ද පවතී. තම සාම්ප්‍රදායික ආකල්ප අත්හැරීමේ අවශ්‍යතාවය වර්තමානය වන විට මෙරට ජනතාව හමුවේ පවතින අභියෝගයක් වන අතර, එය ජය ගැනීමට ජනතාව කොතෙක් දුරට සූදානම් ද යන්න මත ඉදිරි කටයුතුත් තීරණය වනු ඇත.

මම අනිවාර්යයෙන් දිනනවා
ආනන්ද වර්ණකුලසූරිය
එජනිස අපේක්ෂක

ජනාධිපතිතුමා කොමිෂන් පත් කරලා පහුගිය කාලයේ කළේ හොඳ වැඩක්. මනාප ක්‍රමය අහෝසි කිරීමත් රටට හොඳ දෙයක්. පහුගිය කාලයේ සභාපතිලා දේශපාලන අතකොලු බවට පත් වෙල හිටියා. දැන් එහෙම නෑ. පාරක් හදන්න කොන්ත්‍රාත්කරුට දීලා බලාගෙන ඉඳලා හරියන්නේ නෑ. ඒකට මැදිහත් වෙන්න ඕනෑ. සභාපති ඇතුළු කාර්ය මණ්ඩලයත් එක්ක සාකච්ඡා කරලා අපි නව වැඩපිළිවෙළක් හදනවා. ඒ නිසා ගමට වැඩක් කර ගන්න පුළුවන් අය පත් කර ගන්න ඕනෑ.

ජනතාව අපට
ඡන්දය දෙයි
ටී.එම්.ටී.බී. තෙන්නකෝන්
එජාප අපේක්ෂක

මම ශ්‍රීලනිපයේ ඉඳලා එජාපයට ආවා. ශ්‍රීලනිප නායකයෝ තමන්ට ඡන්දය දීපු මිනිස්සුන්ට වෙඩි තියලා මැරුවා. මම යූඑන්පීයට එන්න හේතුව ඒකයි. මම මිනිස්සුන්ට ආදරෙයි.
ඒ මිනීමරු පාලනය වෙනස් කරන්න මම එජාපය එක්ක එකතු වුණා. හිටපු ජනාධිපති රටේ මුදල් එයාගේ ජයග්‍රහණයට වෙන් කර ගත්තා. ඒ වාගේ වෙලාවක අපි ඒ පක්ෂයේ මහ ලේකම් ගෙනල්ලා, එතුමා ජයග්‍රහණය කරවන්න වැඩ කළා. මෛත්‍රී ජනාධිපතිතුමාගේ ජයග්‍රහණයට වැඩ කරලා, අපි ගුටිකෑවා. ජනතාව මෙවර අපට ඡන්දය දෙයි කියලා විශ්වාස කරනවා.

ජනතාව වෙනස් විය යුතුයි
සමන්ත රණසිංහ
ජවිපෙ කණ්ඩායම් නායක

ප්‍රාදේශීය සභාවේ ආදායමෙන් භාගයක් සභාවේ පාලකයොයි, නිලධාරීනුයි පඩිවලටයි, බෝනස්වලටයි වියදම් කරනවා. ඉතිරි මුදල වාහන නඩත්තුවටයි, යන්ත්‍රෝපකරණ නඩත්තුවටයි කියලා වියදම් කරනවා. ප්‍රාදේශීය සභාවේ දැවැන්ත ආදායම කොන්ත්‍රාත් හා වංචනික ක්‍රියා හරහා කොල්ලකනවා.
මෙම පළාත් පාලන ආයතනය වෙනුවෙන් නිවැරදි වැඩපිළිවෙළක් සමඟ විනිසුරුවරුන්, වෛද්‍යවරුන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් ගෙන් සමන්විත බුද්ධිමත් අපේක්ෂකයන් පිරිසක් අපි මෙවර ඉදිරිපත් කර තියෙනවා. ජනතාව නිවැරදි තීන්දුවක් ගත යුතුව තිබෙනවා.


කිත්සිරි කොඩිතුවක්කු