වෙනසක් වෙනුවෙන් පෙරමග හදන දෙවිනුවර ජනතාව

122
ධර්මසේන පතිරාජගේ අවසන් කැමැත්ත
February 6, 2018
111
තවත් බැඳුම්කරේකට ඉතිරි කිරීමත් බිලි දීලා
February 6, 2018
Show all

වෙනසක් වෙනුවෙන් පෙරමග හදන දෙවිනුවර ජනතාව

3Fotolia-134990236-Subscription-Monthly-M_main_1488968112487

දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයට අයත් දෙවිනුවර රටේ ජනතාව හඳුනාගෙන ඇත්තේ විශේෂයෙන්ම දෙවිනුවර උපුල්වන් දේවාලය නිසාය. විශේෂයෙන්ම දෙස් විදෙස් සංචාරකයන් දහස් ගණනක් දිනපතා දෙවිනුවර පැමිණේ. අනෙක් පැත්තෙන් දෙවුන්දර ප්‍රදීපාගාරය රටම දන්නා ප්‍රදීපාගාරයකි. අනෙක් කාරණය වන්නේ රටේ එක් අන්තයක් ලෙසද දෙවිනුවර ප්‍රසිද්ධය. උතුරෙන් පේදුරු තුඩුවත් දකුණෙන් දෙවුන්දර තුඩුවත් සියලු දෙනා දන්නා තුඩු දෙකකි. මේ සියලු විශේෂත්වයන් දෙවිනුවරට අදාළ වේ. විටෙක දෙවිනුවර ලෙසද තවත් විටෙක දෙවුන්දර ලෙසද හඳුන්වන්නේ එකම තැනකටය. විශේෂයෙන්ම කලෙක දෙවිනුවර ප්‍රසිද්ධ වූයේ හිටපු අමත්‍යවරයෙකු වූ මහින්ද විජේසේකරගේ ක්‍රියා කලාපයන් නිසාය. ඔහු අමාත්‍යවරයෙකුව සිටියදී දෙවිනුවර තුළ යම් භීෂණයක් නිර්මාණය කළා සේම සිය දේශපාලන බලය අයුතු ලෙස යොදවා කටයුතු කළේය. දෙවිනුවර දේවාලයේ බස්නායක නිලමේ පත් කිරීම පවා තීරණය කළේ ඔහුට අවශ්‍ය ආකාරයටය. ඒ අතින්ද දෙවිනුවර රටේ ප්‍රසිද්ධ විය.
මේ වන විට රට පුරා පළාත් පාලන මැතිවරණයක් කැඳවා ඇත. මේ තත්ත්වය තුළ දෙවිනුවර මැතිවරණ සූදානම පිළිබඳව අප දෙවිනුවර පුරා චාරිකා කළෙමු. එහිදී මුණ ගැසුන ජනතාව අප සමඟ ප්‍රකාශ කළේ ප්‍රාදේශීය සභා පාලනයන් පිළිබඳව තමන් කිසිසේත්ම තෘප්තිමත් නොවන බවකි. දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ පළමු වතාවට පාලන බලය හිමිකරගෙන ඇත්තේ එක්සත් ජාතික පක්ෂය විසිනි. ඒ 1987 පැවති මැතිවරණයෙන් ජය ලබාගෙනය. එතැන් සිට මේ දක්වා එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මාරුවෙන් මාරුවට ප්‍රාදේශීය සභාවේ පාලනය ගෙන ගොස් ඇත. දෙවිනුවර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනගහනය ආසන්න වශයෙන් 55,000 කට ආසන්නය. දෙවිනුවර ප්‍රාදේශීය සභාවට අයත් ගම්මාන සංඛ්‍යාව 250 කට අධිකය. දෙවිනුවර ප්‍රධාන නගරයක් වන්නේ දෙවුන්දර නගරයයි. ඊට අමතරව ගන්දර නගරයද ප්‍රධානත්වයක් ගනී. තලල්ල උතුර, තලල්ල දකුණ, ගන්දර, දෙවිනුවර, කපුගම ආදී ප්‍රධාන ගම්මාන ප්‍රාදේශීය සභාවට අයත් වේ. මෙම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ සිංහල, මුස්ලිම් ලෙස ප්‍රධාන ජනවර්ග දෙකක් සිටින අතර දෙමළ ජනගහණය ඉතා පහළ මට්ටමක පවතී.
නව මැතිවරණ ක්‍රමය යටතේ පවත්වන පළාත් පාලන මැතිවරණයේදී දෙවිනුවර ප්‍රාදේශීය සභාව කොට්ඨාස 12 කින් යුක්තය. තෝරාපත් කරගන්නා අවම සභික සංඛ්‍යාව වනුයේ සභිකයන් 20 කි. දෙවිනුවර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ග්‍රාම නිලධාරී වසම් 41 කින් යුක්තය. මෙවර මැතිවරණයට ප්‍රධාන පක්ෂ 4 ක් තරග වදින අතර එක් කොට්ඨාසයක් සඳහා පමණක් ස්වාධීන කණ්ඩායමක් තරග වදී. එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ තරග වදින ප්‍රධාන දේශපාලන පක්ෂ වේ. අවසන් වරට දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ බලය හිමි වී තිබුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයටය.

ජනතාව දේශපාලනිකව
සවිඥානික විය යුතුයි
ශ්‍රාස්ත්‍රපති කඹුරුගමුවේ අස්සජි හිමි
අරියාරාමය – කපුගම

මෙවර පළාත් පාලන මැතිවරණයේදී ජනතාව දේශපාලන වශයෙන් සවිඥානික විය යුතුයි. මෙතෙක් ජනතාව ඒ තත්ත්වයට පත් වී නැහැ. ඒ නිසාම ජනතාවට සෙතක් වෙලත් නැහැ. මෙවර පළාත් පාලන මැතිවරණයෙදී ජනතාව විසින් පත්කර ගතයුත්තේ උගත් බුද්ධිමත් පිරිසක්. හැකියාව කැපවීම සහිත කණ්ඩායමක් තමයි ප්‍රාදේශීය සභාවට පත්කර ගත් යුත්තේ. ජනතාව වෙනුවෙන් ජනතාව උදෙසා හඩ නගන පිරිසකුයි අපි සභාවට පත්කළ යුත්තේ. මුදලට තමන්ගේ ආත්මයත් පක්ෂයත් පාවා නොදෙන පිල් මාරු නොකරන අවංකව ජනතාවට සේවය කරන තරුණ බුද්ධිමත් විනයක් සහිත දේශපාලනයක නිරත පිරිසකටයි සභාව බාර දිය යුතු. ඒ සඳහායි ජනතාව පෙනී සිටිය යුත්තේ.

නිදහස් සන්ධානයට ජය නියතයි
රාජිත සාරංග එදිරිසිංහ
කණ්ඩායම් නායක එජනිස

මම 2006 සිට 2015 දක්වාම දෙවිනුවර ප්‍රාදේශීය සභාව නියෝජනය කළා. මෙවරත් අපි එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස මැතිවරණයට ඉදිරිපත් වෙනවා. මම මගේ උසස් අධ්‍යාපන දැනුම උපයෝගී කරගෙන සභාවට වැඩ කළා. හෙටත් මම ඒ යුතුකම ඉටු කරනවා. අපේ මැතිවරණ සටන මෙහෙයවන්නේ ආසන සංවිධායක නිලංග හෙන්දාවිතාරණ සහ මාතර දිස්ත්‍රික් නායක අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරුන් විසිනුයි. මගේ වසර 12 ප්‍රාදේශීය සභා ඉතිහාසයේ අත්දැකීම් රැසක් ලබාගත් පුද්ගලයෙක්. මෙවර දෙවිනුවර කසළ කළමනාකරණය සඳහා අපි වැඩපිළිවෙළක් සකස් කරනවා. ප්‍රදේශයේ මංමාවත් ඒ වගේම කානු පද්ධතිය යහපත් ලෙස සකස් කරනවා. මේ වන විට සම්පත් සියල්ල අපට ලැබී තිබෙනවා. මම මෙවර ඉදිරිපත් වෙන්නේ තලල්ල කොට්ඨාසයෙන්. මෙවර ඉහළ ප්‍රතිශතයකින් තලල්ල දිනල ජනාධිපතිවරයාට ශක්තියක් වෙනවා. වැඩි කොට්ඨාස ප්‍රමාණයක් දිනා අපි ස්ථීර වශයෙන්ම අපි සභාවේ බලය ගන්නවා.

වෙනසකට ජනතාව පෙළ ගැසෙනවා
සමන්ත එදිරිසූරිය
ජනතා විමුක්ති පෙරමුණ කණ්ඩායම් නායක සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ උප සභාපති

අපි ජනතා විමුක්ති පෙරමුණ ලෙස මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී තිබෙන්නේ දෙවිනුවර ගොඩ නගන විද්‍යාත්මක වැඩපිළිවෙළක් සහිතවයි. මේ වන විට වසර 70 ක් පුරා ජනතාව මාරුවෙන් මාරුවට එක්සත් ජාතික පක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බලය දීල තිබෙනවා. නමුත් වෙච්ච යහපතක් නැහැ. නගරයේ පොදු පහසුකම් සියල්ල ඉතාමත් අපිළිවෙළයි. ඇතැම් කඩ කාමර ජනතාවගේ පොදු වැසිකිළි බවට පත්වෙලා. ඒකට හේතුව නගරයේ පොදු පහසුකම් නොමැතිවීමයි. කැළි කසළ ප්‍රශ්නය බරපතළම ප්‍රශ්නයක් වෙලා. ඩෙංගු උවදුර බරපතළ ලෙස වර්ධනය වෙමින් පවතිනවා. පොදුවේ ගත්තම සභාවෙන් ජනතාවට ඉටුවිය යුතු සේවය ඉටු වෙන්නේ නැහැ. අපේ පාලනයක් යටතේ අපි කසළ ආදායම් මාර්ගයක් බවට පත් කරනවා. අක්‍රමවත් පෙරපාසල් ක්‍රමය ජනතා හිතවාදී ලෙස වෙනස් කරනවා. ප්‍රාදේශීය සභාව පුරා පවතින පොදු තත්ත්වයක් තමයි නිවාස සහ ඉඩම් ප්‍රශ්නය. ඒ නිසාම බරපතළ පවුල් ආරවුල් පවා ඇති වී තිබෙනවා. මේ ප්‍රශ්නයට අපි නිසි විසඳුමක් ලබා දෙනවා. අස්වැද්දිය යුතු කුඹුරු සහ ඉඩම් අපේ මැදිහත්වීමෙන් අපි අස් වද්දනවා. අපි සභාව ගොඩ නගන විද්‍යාත්මක වැඩපිළිවෙළක් ඉදිරිපත් කරලයි තිබෙන්නේ. ඒ වගේම වංචා දූෂණ වලින් තොර සභාවක් පත් කරන බවට අපි සහතික වෙලයි ඉන්නේ ඒ සඳහා ජනතාව වෙනසකට සූදානමිනුයි ඉන්නේ.

ජවිපෙ ජය වෙනුවෙන් කැප වෙනවා
ඒ. ටී. පියදාස
ජවිපෙ අපේක්ෂක

මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාධරයෙක් ලෙස වැඩ කළා. 1991 ශ්‍රීලනිපයෙන් දෙවිනුවරට ඉදිරිපත්ව 4 වෙනියා වුණා. 96 දී ඩලස් අලහප්පෙරුමල දේශපාලන හේතු මත මට නාම යෝජනා දුන්නේ නැහැ. නැවත 2002, 2006, 2012 දිගටම මම ශ්‍රීලනිපය නියෝජනය කරමින් ප්‍රාදේශීය සභාවේ හිටියා. මම ජනතාව වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටි නිසා ජනතාව මාව පත් කළා. නීත්‍යානුකූල නොවන දේවල් වලට මම විරුද්ධවයි හිටියෙ. මේ පාලකයන්ගේ පාලනයට මම විරුද්ධයි. මගේ කැමැත්ත ජනතාවාදී පාලනයකටයි. එයට සුදුසම පක්ෂය ජවිපෙයි. ඒ නිසා මම ජවිපෙ වෙනුවෙන් ගන්දර කොට්ඨාසයෙන් තරග කරනවා. මේක මගේ ජයක් වෙනුවෙන් නෙමෙයි. ජනතාවගේ ජයක් වෙනුවෙන් ඉදිරිපත් වීමක්.

එජාපයට ජය නියතයි
අචිර කල්හාර ඉලන්ගම්ගේ
එජාප – තලල්ල කොට්ඨාසය

අමාත්‍ය සාගල රත්නායක මැතිතුමාගේ අඩිපාරේ යමින් දකුණු පළාත් සභා මන්ත්‍රී චතුර ගලප්පත්ති මැතිතුමාගේ යෝධ ශක්තියද සමගින් මම මෙවර දෙවිනුවර ප්‍රාදේශීය සභාවට තරග වඳිනවා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ මේ රට ගොඩනැගූ පක්ෂයයි. මට දේශපාලනයෙන් ගන්නට හෝ හැදෙන්නට දෙයක් නැහැ. දකුණේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වශයෙන් මම මේ වන විටත් කර තිබෙන සමාජ කාර්යභාරය අති විශාලයි. ජනතාවගෙන් හැදෙන්නට නෙමෙයි ජනතාව හදන්නයි මට වුවමනාව තිඛෙන්නේ. දෙවිනුවර ප්‍රදේශයම සංවර්ධනයේ යෝධ පියවරක් තැබීම මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ආරම්භ වන බව මට ස්ථීරයි. අපේ පක්ෂයේ නායක ගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනතාවාදී වැඩපිළිවෙළට මෙවර දෙවිනුවරින් යෝධ ජයග්‍රහණයක් අරන් දෙනවා. මා සමඟ සිටින ජන බලවේගය මේ වන විට ජයග්‍රහණය තහවුරු කර හමාරයි.

මහින්ද බලවේගය ශක්තිමත්
ටී. බී. සුනිල
ශ්‍රීලපොපෙ

මම ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයෙන් මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ දෙවිනුවරට තරග වදිනවා. අවුරුදු තුනක් තිස්සේ පමා කළ මැතිවරණය මහින්ද රාජපක්ෂ මහතාගේ මැදිහත් වීමෙනුයි අපි ලබා ගත්තේ. මම මගේ ගම හදල ඉවරයි. මගේ ගමේ තවත් හදන්න දෙයක් ඉතිරි වෙලා නැහැ. මෙවර අපි ජයග්‍රහණය කළාට පස්සේ නොදියුණු ගම්මාන දියුණු කරන්න මැදිහත් වෙනවා. මහින්ද මහත්තයගේ ජයග්‍රහණය වෙනුවෙන් තමයි අපි කැප වෙලා ඉන්නේ. මේ ඡන්ද ක්‍රමයට මම ගරු කරනවා. මේ ක්‍රමය යටතේ පවත්වන මැතිවරණයෙන් අපි දිනනව. අපි සභාවත් දිනනවා. අපිත් දිනල මහින්ද මහත්තයත් දිනනවා.


එස්. කේ. ගමගේ