සපුගස්කන්ද ඕ.අයි.සී පෙන්වූ ‘පොලිසියේ අභිමානය’

රවී
බැඳුම්කරේ මුළු බර රවීට දී අධිකරණයට කොකා පෙන්වයි
February 6, 2018
weeeee
අල්ලේ ගොවි ජනපදය යට වෙන්න ළඟයි
February 6, 2018
Show all

සපුගස්කන්ද ඕ.අයි.සී පෙන්වූ ‘පොලිසියේ අභිමානය’

ranwala

“ආණ්ඩුවත් අපේ, පොලිසියත් අපේ, ඕනෙ එකෙකුට ගහල පන්නනවා” යයි ඇමති ජෝන් අමරතුංග කිව්වේ මෑතකදීය. මේ ජෝන් නිකම්ම නිකම් පුද්ගලයෙකු නොව සාගලට පෙර පොලිසිය භාරව සිටි ඇමතිවරයාය. ‘මහජන මිත්‍රශීලී, අභිමානවත්, වෘත්තීයමය පොලිස් සේවයක් සඳහා’ යන ආදර්ශ පාඨය ඉස්සර කරගෙන අතීතයේ කළු පැල්ලම් වසා ගන්නට පොලිස් දෙපාර්තමේන්තුව උත්සාහ දැරූව ද, බලයට පත් වන හැම ආණ්ඩුවක්ම පොලිසියේ රාජකාරි සියතට ගත්තේ ජෝන්ගේ සංකල්පයේම හිඳිමිනි. ජෝන් එය ප්‍රසිද්ධියේම කීවේය. පොලිසියේ එදා සිට අද දක්වාම ඉහළ නිලධාරීන් සිටියේ ද දේශපාලකයන්ගේ සාක්කුවේ බව අමුතුවෙන් කියන්නට වුවමනා නැත. ජෝන්ගෙන් ගලවා පොලිසිය භාර ගත් සාගල ද ඊට වඩා වෙනසක් නැති බව පොලිස්පතිවරයා ලෝකයටම පෙන්වූයේ සුප්‍රසිද්ධ ‘සර් කෝල් එක’ හරහාය. ඒ නිසා එදත් අදත් පොලිසියේ මහජන මිත්‍රශීලීකමත්, අභිමානයත්, වෘත්තීය භාවය ගැනත් කතා කරන්නට දෙයක් නැත.

රට පුරා සිදු වන අත්තනෝමතික රඳවා ගැනීම් හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ පුද්ගල නිදහස සඳහා වන අයිතිය භුක්ති විඳීම සම්බන්ධයෙන් පවතින සැලකිය යුතු මට්ටමේ අභියෝග හඳුනා ගෙන ඇති බව අත්තනෝමතික රඳවා ගැනීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායම පවසන්නේ නීතියේ ස්වාධීනත්වයත්, නීතිය රකින්නට සිටිනවුන්ගේ කෙරුවාවත් පිළිබඳ නිල නිරීක්ෂණයන් ද ඉදිරිපත් කරමිනි.
බොහෝ අවස්ථාවල වධහිංසා හෝ බලහත්කාරය යටතේ ලබා ගන්නා ලද පාපොච්චාරණ මත පරීක්ෂණ රඳාපැවතීම, රිමාන්ඩ් බන්ධනාගාරයේ තැබීම පමණ ඉක්මවා භාවිත කිරීම, පුද්ගලයන් රඳවා ගැනීම සඳහා ඵලදායී විකල්පයන් නොමැති වීම, යල් පැනගිය නීති රාමුව ඇතුළු ගැටලු රැසක් එම කණ්ඩායම පෙන්වා දෙනු ලැබීය. ඒ මීට මාසයකටත් අඩු කාලයකට පෙර පසුගිය දෙසැම්බර් 15 වන දිනය.
ලෝක නියෝජිතයන් තුළ ද ලංකාවේ නීතිය සහ පොලිසියේ ක්‍රියාකාරීත්වය පිළිබඳ නිරීක්ෂණ එසේ වුවත්, ඒවා අපේ පොලිස් ලොක්කන්ට නම් අදාළ බවක් පෙනෙන්නට නැත. සාමාන්‍ය ජනතාවට පමණක් නොව මහජන නියෝජිතයන්ට පවා පොලිසිය දක්වන ගරුත්වය හතර කොණින් දිගහැර පෙන්වන්නට පසුගිය දා සපුගස්කන්ද පොලිසියේ වැඩ බලන ස්ථානාධිපතිවරයා කටයුතු කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලංකාවේ නිරීක්ෂණ ප්‍රමාණවත් නොවන නිසා යයි සිතූ නිසා වන්නට ඇත. කාකි කෝට් එක ඇඳ ගත් විට ඇතැමුන්ගේ මොළය පශ්චාත් භාගයට වැටෙන බව පෙන්වමින් සපුගස්කන්ද වැඩ බලන ස්ථානාධිපතිවරයා පොලිස් දෙපාර්තමේන්තුවේම කලිසම් ඔළුවෙන් ගලවා දැම්මේය.
එය සිදු වන්නේ මෙසේය: නිවාස කොල්ලයක් සම්බන්ධයෙන් සැකපිට සපුගස්කන්ද පොලිසිය විසින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නේ පසුගිය 02 වෙනිදා රාත්‍රියේ දී සපුගස්කන්ද පොලිස් වසමේ හෙයියන්තුඩුව, ගොඩැල්ලවත්ත ප්‍රදේශයේදීය. පුෂ්පකුමාර නම් වූ එම පුද්ගලයා පොලිසියට ගෙන ගොස් දින දෙකක් පොලිස් අත්අඩංගුවේ තබාගෙන පහර දී ඇති බව මේ වන විට හෙළි වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවකු පොලිස් ඇප මත මුදා හැරීමක් හෝ අධිකරණයට ඉදිරිපත් කිරීමක් විනා රඳවා ගැනීමට හෝ පහර දීමට පොලිසියට කිසිදු බලයක් නොමැත. එහෙත්, නීතිය හා සාමය රැකිය යුතු පිරිස් නීතියේ යුවතිය කෙළෙසන විට අගතියට පත් පාර්ශ්වයන්ට කිසියම් හෝ හව්හරණක් නොමැත. පොලිසිය තුළ සිදු වන මේ සිදුවීම්වලින් කරකියා ගත නොහැකි තත්ත්වයකට පත් වන අත්අඩංගුවට පත් පුද්ගලයාගේ පියා අවසානයේ තම පුත්‍රයාට පොලිසිය තුළ සිදු වන අකටයුත්ත ගැන කියන්නට යන්නේ ප්‍රදේශයේ සමාජ ක්‍රියාකාරිකයකු වන පාලිත විජේසිංහ වෙතය. අත්අඩංගුවට පත් වී ඇති පුද්ගලයා වරදක් කර ඇද්ද නැද්ද යන්න තීරණය කිරීම අධිකරණයට භාර කටයුත්තක් වුවත්, අත්අඩංගුවට පත් වන ඕනෑම පුද්ගලයෙකුට ලැබිය යුතු අයිතිවාසිකම් සපුගස්කන්ද පොලිසිය තුළ දී උල්ලංඝනය වෙමින් තිබෙන බව තේරුම් ගත් පාලිත විජේසිංහ විසින් මේ සම්බන්ධව පළාත් සභා මන්ත්‍රී, ආචාර්ය අශෝක රන්වල මහතාට දැනුම් දී ඔහු සමඟ සපුගස්කන්ද පොලිස් ස්ථානය වෙත යන්නේ පසුගිය 03 වැනිදාය. ඒ යන විටද අත්අඩංගුවට පත් වී සිටින පුෂ්පකුමාර නමැති සැකකරුට ඇවිද ගැනීමටවත් නොහැකි වන තරමට පහර දී තිබුණු බව පාලිත විජේසිංහ පවසයි. ස්ථානාධිපතිවරයා මුණගැසුණු අශෝක රන්වල නීතියට අනුව ක්‍රියා කරන ලෙසත්, සැකකරුට පහර දීම් නොකර ඔහු පොලිස් ඇප මත නිදහස් කරන ලෙස හෝ අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස හෝ ස්ථානාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. ඒ අනුව ඒ සිදුවීම එතැනින් අවසන් විය.
එහෙත්, ජනවාරි 04 වන දින වන විටත් පොලිසියේ පාර්ශ්වයෙන් කිසිවක් සිදු නොවී තිබෙන බවත්, දරුවා බැලීමට හෝ පොලිසියෙන් අවස්ථාව ලබා නොදෙන බවත් කියමින් අත්අඩංගුවට පත් පුද්ගලයාගේ පියා නැවතත් රන්වල මහතා හමුවන්නේ එදින කිරිබත්ගොඩ පැවති ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක රැළිය අවස්ථාවේදීය. ඒ අනුව නැවතත් එදින රාත්‍රී 9.00 ට පමණ අශෝක රන්වල මහතා සපුගස්කන්ද පොලිසිය වෙත යන අතර, ඒ වන විට පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති වශයෙන් සිට ඇත්තේ අපරාධ අංශයේ ස්ථානාධිපති වශයෙන් කටයුතු කරන ලින්ටන් ද සිල්වා නැමැත්තාය. ඔහු හමුවට යන පළාත් සභා මන්ත්‍රී අශෝක රන්වල මහතා පොලිසියට පවසා ඇත්තේ, නීත්‍යනුකූලව කටයුතු කරන ලෙසයි. එහෙත් ඒ කිසිවකට ඇහුම්කන් නොදෙන වැඩ බලන ස්ථානාධිපතිවරයා එක් වරම මන්ත්‍රීවරයාට පහර දී බිම දිගේ ඇදගෙන ගොස් පොලිස් සිර මැඳිරියට දමා සිරමැඳිරිය තුළ දී ද පහර දුන් බව සිද්ධිය ඇසින් දුටු පාලිත විජේසිංහ පවසයි.
ඒ අවස්ථාවේ පොලිස් නිල ඇඳුමෙන් සිටි වැඩ බලන ස්ථානාධිපතිවරයා සුළු වේලාවකින් නිල ඇඳුම තමන් විසින්ම ඉරාගෙන වෙනත් සිවිල් ඇඳුමකින් පැමිණ මන්ත්‍රීවරයා තමන්ට පහර දුන් බවට පැමිණිල්ලක් සටහන් කර තිබේ. ඒ සම්බන්ධයෙන් විමසූ විට පොලිසියේ සෙසු නිලධාරීන් තමන්ට පහර දෙන්නට සූදානම් වූ බවත් පවසන විජේසිංහ මහතා පොලිස් පහර කෑමෙන් බේරී ඇත්තේ එතනින් පැන දිවීමෙන් බවත් පවසයි. කෙසේ වෙතත්, අවසානයේ මන්ත්‍රිවරයා තමාට පහර දුන් බව පවසමින් එදින රාත්‍රියේ කළ පැමිණිල්ලකට අනුව එම පොලිස් නිලධාරියා විසින්ම අශෝක රන්වල මහතා අත්අඩංගුවට ගනු ලැබ තිබේ. පොලිස් අත්අඩංගුව යටතේ ප්‍රතිකාර ලැබූ අශෝක රන්වල මන්ත්‍රීවරයා මහර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉකුත් 5 වැනිදා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.
මතුපිටින් බැලු විට මෙය හුදෙකලා සිදුවීමක් සේ පෙනුණ ද, මේ පසුපස දේශපාලන බලපෑම් හොල්මන් කරමින් සිටින බව පැහැදිලිිවම පෙනෙන්නට තිබේ. පොලිසියේ මර්දනකාරී ක්‍රියාපිළිවෙත එක ප්‍රශ්නයකි. පොලීසියෙන් පහර කා රෝහල්ගතව සිටින කෙනෙකු ඇප ලබා නොදී බන්ධනාගාරගත කිරීමට අධිකරණය ගෙන තිබෙන තීන්දුව තවත් ප්‍රශ්නයකි. මෙම රාජ්‍ය ආයතනවල නිලධාරීන් නීතිය තමන්ට අවශ්‍ය ලෙස නවමින් අත්තනෝමතික ලෙස සිය බලය ජනතාවට එරෙහිව යොදවමින් සිටින බවට මෙය කදිම නිදසුනකි.
පොලිසිය, අධිකරණය වැනි ආයතනවලින් ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රීය අයිතීන්ට එල්ල වන තර්ජන ඉවත් කිරීම පසුගිය ජනාධිපතිවරණයේ දී සහ මහා මැතිවරණයේ දී වේදිකා දෙවනත් කළ යහපාලන පොරොන්දුවකි. ඒ සඳහා යෝජනා කෙරුණේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ස්වාධීන කොමිෂන් සභා පිහිටු වීමයි. මෙම කොමිෂන් සභා මගින් පොලීසිය, අධිකරණය වැනි ආයතනවලට එල්ල වන දේශපාලන මැදිහත් වීම් ඉවත් කරන බවට මතයක් නිර්මාණය කළ අතර, සිදු කළ ප්‍රතිසංස්කරණ හරහා නිලධාරී තන්ත්‍රය බලාත්මක කෙරිණි. එහෙත්, පැවසූ පරිද්දෙන් දේශපාලන බලපෑමේ අවකාශය සම්පූර්ණයෙන් අහෝසි නොවිණි. නීතිය තවමත් ක්‍රියාත්මක වන්නේ දේශපාලනයට අවශ්‍ය අයුරින්මය.
කෙසේ වෙතත්, මේ හරහා නිරුවත් වූ පොලිස් දෙපාර්තමේන්තුවේ නීතිගරුක භාවය සහ ස්වාධීන භාවයට නැවත සළුපිළි අන්දන්නට ආණ්ඩුව දැන් සෑම අතින්ම සූදානම් වෙමින් සිටී. ස්වාධීනත්වය පෙන්වීම සඳහා සපුගස්කන්ද පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවීමක් ලබා දෙන ලෙසට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක විසින් පොලිස්පති පූජිත් ජයසුන්දරට නිර්දේශ කර තිබේ. එසේම බස්නාහිර පළාත් සභා ජනතා විමුක්ති පෙරමුණු පළාත් සභා මන්ත්‍රි අශෝක රන්වල මහතාට පහර දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිදු කරන විමර්ශනයේ මූලික වාර්තාවක් එම කොට්ඨාසය විසින් අමාත්‍ය සාගල රත්නායකට ලබා දී ඇත. මෙම විමර්ශනය ස්වාධීනව හා අපක්ෂපාතීව සිදු කිරීම සඳහා එම පොලිස් නිලධාරියාව තාවකාලිකව පෑලියගොඩ මූලස්ථාන පොලිසිය වෙත මාරු කරන ලෙසට ද කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් ලබා දුන් මූලික වාර්තාවේ ද සඳහන්ව ඇත.
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ බව දන්නෝ දනිති. ඒ අවස්ථාවේ පොලිසියේ සිටි බාහිර පුද්ගලයන් යයි කියන දෙදෙනෙකුගේ සාක්ෂි සටහන් ද පොලිසිය විසින් ඉදිරිපත් කර තිබේ. ඒවායේ ස්ථානාධිපතිවරයා විසින් අශෝක රන්වල මහතාට පහර දුන් බවට සඳහනක් නැත. එහෙත්, පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේ මන්ත්‍රීවරයාට පහර දීමක් සිදු වී ඇති බව වෛද්‍ය පරීක්ෂණවලින් ද ඔප්පු වී තිඛෙන අතර, රක්ෂිත භාරයේ සිටිමින් මන්ත්‍රීවරයා රෝහල්ගත කර ඇත්තේ ඒ නිසාය. පොලිසිය ඉදිරිපත් කරන නිර්පාක්ෂික ස්වාධීන සාක්ෂි ද එසේය. තමන්ට පහර දුන් බවට පැමිණිල්ල කරන පොලිස් නිලධාරියාම මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනියි. ඒවා හතර බීරි වැඩ බව බැලුබැල්මටම පෙනේ.
කෙනෙකු පොලිසිය වෙත යන්නේ නීතියේ රැකවරණයක් පතාගෙනය. එසේ නොමැති නම්, සාධාරණ මැදිහත් වීමක් බලාපොරොත්තුවෙනි. පොලිසියේ කාර්යභාරය වන්නේ නීතියේ ක්‍රියාකාරීත්වයත්, නීතියේ රැකවරණයත් සැමට සමානව සහ සාධාරණව ලැබීමට අවශ්‍ය මැදිහත් වීම සිදු කිරීමයි. යුක්තිය පසිඳලීම පොලිසියේ කාර්යයක් නොවේ. එය අධිකරණයේ කටයුත්තකි. තමන්ට අදාළ කටයුත්ත නොකර බල්ලාගේ වැඩේ වෙනුවට බූරුවන්ගේ වැඩේ කරන්නට යන මෙවැනි පොලිස්කාරයන් නිසා අවසානයේ සිදු වී තිඛෙන්නේ ජනතාව අනාරක්ෂිත වීමය. පළාත් සභා මන්ත්‍රීවරයකුට පවා ජනතාවගේ පාර්ශ්වයෙන් සාධාරණය පිළිබඳව කතා කරන විට පොලිසියේ හැසිරීම මෙසේ නම් ජනතාවට පොලිසියේ ප්‍රතිචාරය ගැන කතා කිරීම පවා තේරුමක් නැති දෙයකි. එහෙත් එය බරපතළ ඛේදවාචකයකි.


චතුර දිසානායක